
මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ උපන් ලප (Birth Marks) ලෙස හඳුන්වනු ලැබේ. දෙමාපියන්ගේ ජාන මගින් ද ඇතැම් උපන් ලප පිහිටා ඇති බැව් ද හෙළි වී ඇත. දරු උපත්වලදී ඇතිවන තෙරපීම් හෝ වෙනත් ක්‍රියා නිසා ද සිරුරේ කැළැල් ඇතිවේ. කෙසේ හෝ වේවා මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් මගින් අතිශය පුදුම රහස් අනාවරණය වූ අවස්ථා ඕනෑ තරම්ය. බිලිඳු දරුවන්ගේ සිරුරුවල ඇතැම් විට දක්නට ලැබෙන ලප කැළැල් වෛද්‍ය අංශවල දැඩි පරීක්ෂාවට ලක්වන අවස්ථා ද ඇත. එවැනි ලප කැළැල්වල ද ඇතැම් විටවිවිධත්වයක් දක්නට තිබේ. සමහර විට ඒවායේ වර්ණයන් සහ ප්‍රමාණයන් ද විවිධාකාරය. ඇතැම් උපන් ලප දරු උපත් සිදු වී දින ගණනකට පසු මතුවන අවස්ථා ද තිබේ. අපතින් ඇතිවන ලප කැළැල් ඇති ස්ථානවලත් වේදනාකාරී බවක් දැනෙන අවස්ථා ද හෙළි වේ. තවත් විටක එවැනි ලප කැළැල් ඇති ස්ථානවල රෝම වැඩීමක් ද දක්නට ඇත.
උපන් ලප පිහිටි ස්ථානවලින් රුධිරය ගැලීම් සිදුවූ බැව් ද ඇතැම් විට අනාවරණය වේ. මෙසේ මිනිස් සිරුරේ උපතින් ඇතිවන උපන් ලප ඇතැම් විට වෛද්‍ය පරීක්ෂණවලට පවා යොමුවේ. උපන් ලප ලෙස හඳුන්වනු ලබන ඇතැම් ලප කැළැල් 'ඉන්නන් ලෙස හැඳින්වෙන චර්මය මත ඇතිවන ගැටිති ලෙස ද දක්නට ලැබේ. ඒ අයුරින් සිරුරේ උපතින් දක්නට ලැබෙන ළප කැළැල් පිළිබඳව පැහැදිලි නිගමන ලබාදීමට වෛද්‍ය අංශවලට ද අපහසුය. ඇතැම් විට දරුවන්ගේ සිරුරුවල උපතින් ඇතිවන එවැනි ලප කැළැල්වලට මනෝවිද්‍යාත්මක සබඳතාවක් ඇති බව ද මනෝවිද්‍යාඥයෝ පවසති. ඇතැම් විට දරුවන් බිහිවීමට සිටින මව්වරුන් දකිනු ලබන දර්ශන අනුව උපදින දරුවාගේ සිරුරේ ලප කැළැල් ඇතිවිය හැකි බව ද විශ්වාස කරනු ලැබේ. විශේෂයෙන් ඇතැම් පුද්ගලයන්ගේ මුහුණු මත ඇති අස්වාභාවික ලප කැළැල් නිතර නිතර ගැබිනි මව්වරුන්ට දර්ශනය වුවහොත් කුස තුළ සිටින දරුවාට එමගින් බලපෑමක් ඇතිවිය හැකි බැව් ද මනෝවිද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්තයකි. මේ නිසා අස්වභාවික විරූපී රුප ලක්ෂණ මනසට තදින් කාවදින ලෙස දර්ශනය කිරීමෙන් වළකින ලෙස ද මනෝවිද්‍යාඥයෝ මව්වරුන්ට උපදෙස් දෙති.
මේ අතර පුනර්භව පර්යේෂණ මගින් ද මිනිස් සිරුරේ උපන් ලප පිළිබඳව වැදගත් සාක්කි රැසක් ලොව හමුවට ඉදිරිපත් වී තිබේ. මේ නිසා පෙරභවය හෙළි කළ දරුවන්ගේ සිරුරු මත පිහිටා ඇති උපන් ලප කැළැල් දැඩි ලෙස පරික්ෂාවට ලක් කරනු ලැබේ. උපතින් සිරුරේ දක්නට ලැබෙන ලප කැළැල් සිය පෙර භවයට සම්බන්ධ බවට ඇතැම් දරුවෝ ප්‍රකාශ කරති. මේ නිසා පුනරිභව පර්යේෂණවලදී උපන් ලප පිළිබඳව එම දරුවන් කරනු ලබන ප්‍රකාශ ඉතා වැදගත් කොට සැලකේ (Birth Mark Related to Previous Lives) යනුවෙන් ඒ සඳහාම දැඩි විමර්ශනයක් සිදු කෙරේ. පෙර භවයේ සිරුරට සිදු වී තිබූ තුවාල නිසා එම ස්ථානවල උපන් ලප පිහිටා තිබෙන බැව් ද පර්යේෂණවලින් හෙළිවේ. ඇතැම් විට ඒවා තහවුරු කිරිම සඳහා වෛද්‍ය වාර්තා පවා සොයා ගන්නා ඇවස්ථා ඇත. (Birth Mark Corresnonding to Wounds Verified by Medical Record) යනුවෙන් උපන් ලප පෙර භවය හා සම්බන්ධ වී ඇති අන්දම වෛද්‍ය වාර්තා මගින් තහවුරු කිරීමට ද පර්යේෂණවලදි හැකි වී ඇත.
ඇතැම් දරුවන්ගේ උපන් ලපවලට හේතු වී ඇත්තේ පෙර භවයෙදී සිරුරට සිදු කළ සැත්කම් සහ විවිධ තුවාල බැව් ද අනාවරණය වේ. (Birh Marks Corresponding to Surgical Wound and Other Skin Lesons on Deceased Persons) යනුවෙන් එවන් උපන් ලප හඳුන්වති. එහෙත් පෙර භවයේ සිදු වූ තුවාල පිහිටි ස්ථාන ඇතැම් විට ඒ නියමිත ස්ථානයේම දක්නට නොලැබුණ අවස්ථා ද තිබේ. ඇතැම් විට තුවාලය සිදු වූ ස්ථානයට සුළු වශයෙන් වෙනස් ස්ථානයක වුව ද උපන් ලප පිහිටා ඇති බැව් දක්නට ඇත. පෙර භව තුවාලවලට සමාන වෙනත් ස්ථානවල පිහිටා ඇති උපන් ලප පිළිබඳව සිදු කළ පර්යේෂණ (Change in the Appearance and Relative Location of Birth Marks) යනුවෙන් වාර්තාවලට ඇතුළත්ය. ඇතැම් විට පෙර භවය හෙළි කළ දරුවා මගින් එම උපන් ලප පිළිබඳව ප්‍රකාශයක් සිදු නොවුණත් පෙර භවයේ පුද්ගලයාගේ මරණය දුටු අයගෙන් ලැබුණු තොරතුරු මගින් තුවාල කැළැල් සනාථ වන අවස්ථා ද තිබේ. එවැනි සිදුවීම් (Birth Marks Corresponding to wounds Verified by Informants Memories) යනුවෙන් හඳුන්වනු ලැබේ. උපන් ලප පිළිබඳව මේ අයුරින් සිදු කරන නිරීක්ෂණ සහ ලැබෙන සාධක උපන් ලපවලට ප්‍රබල සාක්කි බවට පත්වේ. මේ පිළිබඳව සිදු කළ පර්යේෂණ රැසක් ලොව රටවල් කීපයකින්ම අනාවරණය වේ. පුනර්භව සාධකවලින් මතුවු පෙර භවයෙන් සනාථ වූ ශාරීරික තුවාලවලට වෛද්‍ය වාර්තා මගින් සාක්කි ඉදිරිපත් වන්නේ පුදුමාකාර අයුරිනි. සිරුරේ පිහිටි උපන් ලප පෙර භවයට සම්බන්ධ බැව් ප්‍රකාශ කළ දරුවන් රැසක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකින්ම හමු වී ඇත.
ඉන්දියාව, තුර්කිය, තායිලන්තය, ඇලස්කාව, කැනඩාව, බුරුමය සහ ශ්‍රී ලංකාව ද වෛද්‍ය වාර්තා මගින් පෙර භව අනතුරු සනාථ කළ පුනර්භව පර්යේෂණ ප්‍රකාශයට පත්කර තිබේ. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් සිදු කළ එවැනි පර්යේෂණ රැසකදී සිරුරේ දක්නට ලැබුණු විවිධ වර්ගවල ඉන්නන් ද පෙරභවයේ සලකුණු ලෙස අනාවරණය වූ අවස්ථා ද ඇත. සිරුරේ ලප කැළැල් ඉතා පැහැදිලිව දක්නට ලැබී ඒවා පෙරභවයට සම්බන්ධ බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිදුවීමක් වාර්තා වූයේ බලන්ගොඩ ප්‍රදේශයෙනි. මීට වසර ගණනකට උඩදී තරුණියකට පිහියෙන් ඇන මරා දැමූ අයෙකුගේ තොරතුරු අනාවරණය කළ දරුවෙකුගේ උපතින් පපුවේ දක්නට ලැබුණු උපන් ලපය තරුණියට පිහි පහර එල්ල කළ ස්ථානය බවට සනාථ විය. ශ්‍රී ලංකාවේ පැහැදිලි උපන් ලපයක් වෙඩි පහරක් ලද ස්ථානය බවට සනාථ වූයේ රඹුක්කන ප්‍රදේශයේ දරුවෙකු මගිනි.
තුර්කියේදී උපත ලද මෙටින් නම් දරුවකුගේ බෙල්ලේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. ඔහු ප්‍රකාශ කළේ පෙරභවයේදී වෙඩි පහරකට ලක්වී මිය ගිය බවයි. ඒ පිළිබඳ සිදු කළ පර්යේෂණ - යේදී පෙරභවයේ තොරතුරු සනාථ කිරීමට පර්යේෂකයන්ට හැකි විය. පෙරභවයේ තැනැත්තා මරණයට පත්වී තිබුණේ වෙඩි තැබීමක් නිසාය. ඔහුගේ බෙල්ලට වෙඩි පහර එල්ල වී තිබිණි.
ලෙබනයේ තාලි නම් දරුවෙක් ද පෙර භවය අනාවරණය කරමින් කියා සිටියේ ඔහුට පෙර භවයේදී වෙඩි පහරක් එල්ල වු බවකි. ඔහුගේ මුහුණට වෙඩි වැදුණු බැව් එම දරුවා ප්‍රකාශ කළේය. පෙරභව තොරතුරු හෙළි කළ එම දරුවාට කතාව හුරු වීමට සෑහෙන කාලයක් ගත විය. කතාව ඉතා සෙමින් සිදුවන බැව් දෙමාපියන්ට අවබෝධ විය. කතාව දුර්වල වීම නිසා එම දරුවා වෛද්‍ය විශේෂඥයන්ට පවා පෙන්වීමට දෙමාපියන්ට සිදුවිය පසුව එහු අනාවරණය කළ පෙරභවයේ තැනැත්තා සොයා ගැනීමට ද හැකිවිය. පෙර භවයේදී වෙඩි තබා තිබුණේ මුහුණටය. මුහුණට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසා ඔහුගේ දිවට ද බරපතළ තුවාල සිදු වී තිබිණි.
මෙම පුනර්භව පර්යේෂණයේදී ද මුහුණට වෙඩි වැදීම සිදුවන විට ඇති වූ තුවාල වෛද්‍ය වාර්තා මගින් සනාථ විය. කැනඩාවේ සිදු කළ පුනර්භව පර්යේෂණයකට ලක් වූ දරුවකුගේ උපතින් අතක ඉදිමීමක ලක්ෂණ දක්නට ලැබිණි. ඒ පිළිබඳව දෙමාපියෝ බියට පත් ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද උනන්දු වූහ. එහෙත් එම දරුවාගේ අතක් උපතින්ම ඉදිමීම පිළිබඳව පැහැදිලි වෛද්‍ය මතයක් ඉදිරිපත් කිරීම දුෂ්කර වී ති බිණි. වසර කිපයක් ගතවිණි. දරුවා පෙර භව තොරතුරු හෙළි කළේය. පෙරභවයේදී වෙඩි පහරක් එල්ල වීම නිසා අතට තුවාල සිදු වූ බව ඔහු අනාවරණය කළේය. ඇලන් නමින් හැඳින් වූ එම දරුවා හෙළිකළ පුනර්භව තොරතුරු අනුව ඔහුට පෙරභවයේදී වෙඩි වැදීම නිසා අතට තුවාල සිදුවීම වෛද්‍ය වාර්තා මගින් සනාථ කිරීමට හැකි විය.
ඉන්දියාවේ දරුවකුගේ උපතින් පපුවේ සහ දකුණු අතට පැහැදිලි උපන් ලප දක්නට ලැබිණි. ඒ පිළිබඳව දෙමාපියෝ කිසිදු අවධානයක් යොමු නොකළහ. සුන්නා නම් එම දැරිය ප්‍රකාශ කළේ පෙරභවයේදී සිදු වූ තුවාල නිසා එම කැළැල් ඇති වූ බවය. පෙර ජීවත් වූ පරිසරය සහ පවුලේ තොරතුරු ද එම දැරියට ඉතා හොඳින් මතක තිබිණි. මෙම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ඇය හෙළි කළ පෙර භවයේ මරණය සිදු වී ඇත්තේ හෙල්ලයකින් පහරදීම නිසාය. තියුණු ලෙස හෙල්ලයෙන් එල්ල වී තිබු ප්‍රහාරය නිසා පපුවටත්, අතටත් තුවාල සිදු වී තිබිණි. එම තුවාල පිළිබඳවද මරණ පරීක්ෂණ වාර්තා සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.
ඉන්දියාවේ උපත ලද තවත් දරුවකුගේ පපුව ප්‍රදේශයේ කුඩා සිදුරු හා සමාන උපන් ලප පොකුරක් දක්නට ලැබිණි. එම දරුවාගේ ඇතැම් උපන් ලප පපුව සිදුරු වී ගිය අයුරින් නෙරීමක් ලෙස ද දර්ශනය විය. පසුව ඔහු බහතෝරන වියට පා තබමින් කියා සිටියේ පපුවේ උපන් ලප පිහිටි ස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවකි. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී පෙර භවයේ මියගිය පුද්ගලයා පිළිබඳව ද සිදු කළ මරණ පරීක්ෂණය වැදගත් සාක්කියක් බවට පත්විය. මරණ පරීක්ෂණ වාර්තාව අනුව පෙර භවයේ එල්ල වී තිබූ වෙඩි පහර මුනිස්සම් රැසක් සහිත පතරොම් යොදන තුවක්කුකින් එල්ල කළ වෙඩි පහරක් බැව් සනාථ විය. තුර්කියේ උපත ලද තවත් දැරියකගේ හිසේ එක් ස්ථානයක හිසකෙස් නොවැඩෙන ප්‍රදේශයක් ලෙස උපන් ලපයක් දක්නට ලැබිණි. වෘත්තාකාරව පිහිටා තිබූ එම උපන් ලපය පෙරභවයේදී හිසට තුවාල සිදු වූ ස්ථානයක් යැයි එම දැරිය ප්‍රකාශ කළාය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී පෙර භවයේ මරණය සිදු වූ අන්දම රෝහල් වාර්තා මගින් සනාථ කරගැනීමට හැකිවී තිබේ.
පෙරභවයේ සිදු වූ තුවාල උපන් ලප ලෙස පිහිටා උපත ලැබූ දරුවන් කීප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ පුනර්භව පර්යේෂණ අතර ද සිටිති. මීට වසර කීහිපයකට උඩදී ගාල්ල ප්‍රදේශයේදී උපත ලද එක් දරුවකුගේ කලවය ප්‍රදේශයේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණ. කළු පැහැතිව දක්නට තිබූ එම උපන් ලපය අස්වාභාවික අයුරින් පිහිටා තිබිණි. බහතෝරන වියට පත් වූ එම දරුවා ප්‍රකාශ කළේ උපන් ලපය පිහිටි ස්ථානයට පෙරභවයේදී වෙඩි පහරක් එල්ල වූ බවය. පුනර්භව පරික්ෂණ අතරින් හෙළිවන උපන් ලප පිහිටීම අතරින් බහුතරයක් මිනීමැරුම්වලට සම්බන්ධ සිදුවීම් බැව් දක්නට ලැබේ. වෙඩි තැබීම්. පිහි ඇනීම්, පොලු පහර එල්ල කිරීම් මේ අතර වෙයි.
වැටීම් සහ තැළීම්, රිය අනතුරු සහ විවිධ අනතුරු නිසා සිරුර කැඩී බිඳී ගිය අවස්ථා ගැන හෙළිවන උපන් ලප ද වෙයි. මේ අතර පෙරභව සිරුරේ පිහිටා තිබූ බැව් හෙළිවන උපන් ලප පෙර භවය හෙළිකළ දරුවන්ගේ සිරුරුවල ද නැවත දක්නට ලැබුණු අවස්ථා ද ඇත. පැහැදිලි උපන් ලප පෙරභවයට සම්බන්ධ ලප කැළල් බවට සනාථ වූ පුනර්භව සාධක රැසක් ඇත. වෙඩි පහර, පිහි පහර, සතුන් සර්පයන් සපා කෑම්, රිය අනතුරු සිදු වූ ස්ථානවල පිහිටි උපන් ලප ආදී වශයෙන් සිරුරේ උපන් ලප පෙරභවයට සම්බන්ධ වූ සිදුවීම් රැසකි. ඒ අතර පැහැදිලිව ඡායාරූවලට නැගීමට හැකි වූ උපන් ලප පිහිටි දරුවන් අතර ප්‍රේමතිලක වසන්ත ගුණසේකර, ගයාන්, නන්ද, සේනානායක, ප්‍රසන්න ගමගේ, සුගන්දි, ශිවන්ති, චම්පික සහ ගාමිණි යන දරුවන්ගේ පුනර්භව සිදුවීම් අතිශය වැදගත් සාක්ෂි ලෙස පර්යේෂණ ග්‍රන්ථවලට ඇතුළත් වී තිබේ. පෙර භවයේදී පිහිටා තිබූ උපන් ලප ඒ අයුරින්ම යළි උපත ලැබූදරුවන්ගේ සිරුරුවල දක්නට ලැබීමද විශේෂත්වයකි.
Comments
Post a Comment