gossiplanka image 1
 


පත්තිනි යනෙහි වාච්‍යාර්ථය ස්වාමි භක්තිය ඇති බිරිඳය. ඇයගෙන් පවිත්‍රතාවය, මාතෘත්වය, දයානුකම්පාව, ඉවසීම වැනි ගුණාංග ප්‍රකට වේ. පත්තිනි මාතාව යනුවෙන් ඉන්දියාවෙත්, ලක්දිවත් මහත් පුද පූජාවනට ලක් වෙන මෙම  දේවාත්මය ලෙස දේවත්වයට පත්ව ඇත්තේ, චේර, චෝළ, පාණ්ඩ්‍ය යන ද්‍රවිඩ රාජ්‍යයන් තම පතිව්‍රතා බලයෙන් කම්පිත කළ ‘කන්නගී නම් කාන්තාවකි. ඉන්දීය ප්‍රභවයක් ඇති මෙම දෙවඟන ලාංකීය ජනයාගේ දේවධූරාවලියට එක්ව ඇත්තේ වංකනාසික තිස්ස රජුගේ පුත් ගජබාහු රජතුමාගේ සමයෙහිය. ඒ බව ඓතිහාසික මූලාශ්‍රවල එන කරුණු මගින් හෙළි වේ. දකුණු ඉන්දියාවේ පුහාර් නගරයේ විසූ කන්නගී නම් තරුණ කාන්තාව පතිව්‍රතා බලය පසක් කොට දේවාත්මයක්  ලැබූ සැටි කියවෙන ඉන්දීය ග්‍රන්ථයකි 'සීලප්පදිකාරම්' හෙවත්  සලඹේ කතාව. මෙය ඉලංකෝ අඩිගල් නමැති ජෙන සාධුවරයා විසින් රචනා කරන ලද්දකි. එහි අනුව පත්තිනි දේවිය වෙනුවෙන් (කන්නගීය) මුල් වරට දෙවොලක් තැන වූයේ චේරයේ (කේරළයේ) රජ කළ ‘සෙන්ගුත්තවාන්” රජුය. ඔහු හිමාලයේ ගල් කුළකින් පත්තිනි දේවියගේ පිළිරුවක් තනවා එය ගංගා නම් නදියේ ශුද්ධ වූ ජලයෙන් සෝදා අභිනවයෙන් දෙවොලක් කර වූයේය.


මංගල පූජෝපහාර අවස්ථාවට ගජබාහු රජු ද සහභාගීව සිටි බවත්, ඔහු ආපසු එන ගමනේ දී පත්තිනි සලඹක් සෙන්ගුත්තවාන් රජු විසින් ත්‍යාග කළ බවත් දැක්වේ.

සෙන්ගුත්තවාන් රජු ඉදි කළ දේවාලය පත්තිනි දෙවඟනට  කැප කිරීමේ උත්සවයට උතුරු කොන්ගයේ රජු ද, මාලාව කුමාරයා ද ලංකාවේ කායබාහු හෙවත් ගජබාහු රජු ද, එහි සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූ බව “සීලප්පදිකාරම් ” මහා කාව්‍යයේ සඳහන් වේ. ඒ ගජබාහු රජුගේ පිය රජ වූ වංකනාසික තිස්ස රජු මෙරට රාජ්‍ය කළ කෙටි කාලය තුළ දී  එනම් (ක්‍රි. ව. 111-114) කාලයේ දී දකුණු ඉන්දීය සොළි රජෙක් වූ කරිකාලන් මෙරට ආක්‍රමණය කොට මෙරට සිංහලයන් 12,000 ක් රැගෙන ගොස් කාවේරි නදීබඩ ආරම්භ කළ කෘෂි කටයුතු සඳහා ශ්‍රමය ලබා ගත්තයෙ. මේ අතර ගජබා කුමරු සිය පියාගෙන් පසුව මෙරට රජ පෑවි ප්‍රාප්ත වූ අතර ඔහු මෙරට සිංහලයින්ට, ජාතියට වූ අසාධාරණය දැක ජාතියට වන්දි ගැනීමට සිතා නීල මහා යෝධයා ප්‍රමුඛ සේනා සහිතව දකුණු ඉන්දියාවට ගියේය.


මේ අතර 'කරිකාලන් මරණයට පත්ව සිටියෙන් සොළී රාජ්‍යය පිරිහෙමින් පැවතිණ. සොළීන් සමග කේරළ රජු වූ සෙන්ගුත්තවාන් රජු මිත්‍ර බවක් නොතිබූ අතර ගජබා රජු සමග හිතෙෂිව සිටියේය. ඔහුගේ සහය ද ඇතිව ගජබා රජු මෙරටින් රැගෙන ගිය සිංහලයින් 12,000 ද එයට වන්දි ලෙස ද්‍රවිඩයින් 12,000 ද බුදුන් වහන්සේන්ගේ පාත්‍රා ධාතුව ද රැගෙන මෙරටට ආයේය.  ගජබාහු රජු මෙරටින් ගෙන ගිය සිංහලයින් හා වන්දි ලෙස ද්‍රවිඩයින් ද රැගෙන එන අවස්ථාවේ සෙන්ගුත්තවාන් රජු පත්තිනි දෙවඟන පිළිබඳවත්, ඉදිකෙරෙන දේවාලය පිළිබඳවත් ගජබාහු රජුට සැලකොට අභිනව දේව මංගල්‍යයට එන ලෙසට ආරාධනා කළ බව “සීලප්පදිකාරම්’ කාව්‍යයේ දැක්වේ.‍ ආරාධනාව පිළිගත් රජු මංගල්‍යයට සහභාගී වූ බව ද එහි සඳහන් වේ.


වංකනාසික තිස්ස රජු කල වූ සොළී ආක්‍රමණයත්, ගජබා රජු සොළී දේශයට ගිය පුවතත් පත්තිනි සලඹ සම්බන්ධ තතුත්  මහා වංශයේ විස්තර නොවෙතත් පූජාවලිය, රාජාවලිය,  පැරකුම්බා සිරිත, හලඹ කතාව ආදී මෙරට දේශීය මූලාශ්‍ර මෙන්ම දකුණු ඉන්දියානු මූලාශ්‍රවල ද දැක්වේ. ගජබාහු රජු කල මෙරට පැතිරී ගිය පත්තිනි ඇදහිල්ල යුගයෙන් යුගය වත්මන තෙක් නොනැසී පැවත එල්ලෙන් ජනතාවගේ සිත් සතන් තුළ පත්තිනි මාතාව ජීවමානව පවතින බව පෙනේ. මුලින් කී පරිදි පත්තිනි මෑණියන් ලෙස දේවත්වයට පත්ව ඇත්තේ කන්නගී නමැති දකුණු ඉන්දීය කාන්තාවකි.  ඇය පිළිබඳව ඉලංකෝ අඩිගල් නම් කතුවරයා ලියා ඇති සලඹේ කතාව හෙවත් ‘සීලප්පදිකාරම්' ග්‍රන්ථයේ එන පරිදි පත්තිනි උපත මෙසේයි.  


දකුණු ඉන්දියාවේ සොළී රාජධානියේ පුහාර් නම් නගරයකි. (කාවේරිපට්ටනම) එහි කෝවලාන් යයි වෙළෙන්දෙක් සිටියේය. ඔහු විවාහ දිවියට පත් වූයේ රූපයෙන්ද ගුණ දහමෙන් ද ඔද වැඩුණ කන්නගීය නම් තරුණියක සමගිනි. ඇය විවාහය යනෙහි සැබෑ අරුත වටහා ගත් ස්වාමි භක්තිය ඇත්තියක වූවාය. එහෙත් කෝවලාන් චංචල සිතැති දැඩි විනෝදකාමී අයෙකි. දිනක් ඔහු තම නිජ භූමිය වූ පුහාරය මැදින් ගමන් කරමින් සිටියේය. එම නගරයේ විසූ නගර ශෝභිනියක වූ 'මාධවී' නම් සුරුපිණිය ඔහුට මුණගැසිණි. ඇගේ රූපශෝභාවයෙන් උමතු වූ කෝවලාන් ඇය සමග හාද වූයේය. ඇයට පෙම් බැඳ කන්නගීය අමතක කළේය. කන්නගීය හිමි නැති සොවින් තැවෙමින් සිටියාය. පතිදම් සුරකිමින් කෝවලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාය.


කෝවලාන් මාධවීයගේ රූපශෝභාවෙන් වශිකෘතව ඇය වෙනුවෙන් සකල ධනයම විය පැහැදම් කළේය. මේ හේතුවෙන්ම කෝවලාන් ඉතා දුගී තත්ත්වයට පත් වූයේය. වියළී ගිය පරඩැල්පතක් මෙන් සලකා මාධවීය කෝවලාන් හැර දමා යන්නට ගියාය. තාවකාලික සැපත පතා විනාශ මුඛයට ඇද වැටුණ බව තේරුම් ගත් කෝවලාන් පශ්චාත්තාප වෙමින් මුල් බිරිඳ සොයා ආවේය. වරද පිළිගත් ස්වාමියා වෙතට සමාව ලබා දුන් කන්නගී පත්තිනිය, ඔහුගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට නැවතත් සැමියාව වෙළෙඳාමේ යෙදවිය යුතු බවට තීරණය කළාය. ඕ තොමෝ පය රැඳි වටිනා රන් පා සලඹ ගලවා දී ඔහුට එය විකුණා මුදලක් උපයාගෙන වෙළෙඳාමේ නිරත වන ලෙසට ආදරයෙන් තෙපලාය. මවක් වැනි සෙනෙහසක් ඇති බිරිඳ ගැන මහත් සතුටකින් යහපත් යුග  අවිතයක් ඇරඹීමේ සිතැතිව කෝවලාන් රන් සලඹ රැගෙන එය විකුණා ගැනීමේ අරමුණින් මථුරාවට (මධුරාවට) ගියේය.


මථුරාව යනු පඬි රට අගනුවරය. කෝවලාන් එහි යන විට මහත් කලබලයකි. පඩි රජුගේ මෙහෙසියගේ පා සලඹ සොරෙකු පැහැරගෙන තිබුණි. රාජ පුරුෂයින් නගරය පුරා සලඹ සෙවීමට යොදවා තිබුණි. එය සොයා දෙන්නකුට වටිනා ත්‍යාග ලබා දෙන බවට ද අණ බෙර ගසා තිබිණ. කෝවලාන් මේ කිසිවක් නොදත්ය. ඔහු බිරිඳගේ රන් සළඹ විකුණා ගැනීමට රන්කරුවකු හමු විය. පා සලඹ පරික්ෂා කළ රන්කරුවා, ‘මෙය ඉතා වටිනා එකකි. රජ බිසවගේ නැති වූ සලඹ මෙය විය හැකි'යි සිතුවේය. ඔහු කෝවලාන්ට මඳක් නතරව සිටින  ලෙස කියා නගරයේ සැරිසැරූ රාජපුරුෂයනට මෙය දැන්වීය. ඔවුහු කෝවලාන්ව අත් අඩංගුවට ගත්හ. රජු වෙතට ඉදිරිපත් කරන ලදුව පඬි රජු කිසිවක් නොවිමසා ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය.  මෙතෙක් නොපැමිණි තම සැමියා සොයා ගැනීමේ අරමුණින් කන්නගී මෙහෙකාර දැරියක සමගින් පඬි පුරයට ගියාය. එහි ඇයට වධ භූමියේ දී සිය ස්වාමියා මරා දමා ඇති සැටි පෙනුණාය. එතැන් පටන් ඇය උන්මත්තියක ලෙස තම නිර්දෝෂී ස්වමියා මරණයට පත් කිරීමට හවුල් වූවන්ට ශාප කළාය. අධර්මිෂ්ඨයින්ට බැණ වැදුණාය. පඬි රට පුරා මෙය ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ශෝකයෙන් බරිත  කන්නගීය පඬි රජු වෙතට ගොස් රජුට ශාප කොට නිර්දෝෂී බව ඔප්පු කළාය. මෙයින් දැඩි කම්පනයට පත් පඩි රජු මිය ගියේයෙ. තව තවත් ශෝකයෙන් බරිත වූ කන්නගිය ලෝ පාලක දෙවියනට දොස් තැබුවාය. තම වම් පයෝධරය කඩා පොළොව මතට හෙළා පඩි පුරය දැවී අළුව යන සේ සත්‍ය ක්‍රියා කළාය. එවේලේ නිල් සිරුරකුත්, රතු ජටාවකුත් ඇතිව ගිනි දෙවියා ඇය ඉදිරියේ පහළ විය. ඒ පිළිබඳව සීලප්පදිකාරම් කාව්‍යය සිංහලයට පරිවර්තනය කළ හිස්සැල්ලේ ධර්මරත්න හිමි මෙසේ දක්වා තිබේ.


ගිනිදෙවි-

උත්තම මාතාවනි! මහා පතිව්‍රතා ධර්ම රක්ෂණියක් වූ ඔබට මේ වරද කළ දිනයෙහිම මේ මධුරා පුරය ගි නෙන් අළු කළ යුතු යයි එක් නියෝගයක් මට ලැබුණේය. මාතාවනි! කියන්න! වහා නියෝග කරන්න! මුළු නගරයම ගින්නෙන් අළු කර දමන්න ද? නැතිනම් බේරි යා යුත්තෝ සිටිත් ද?”


කන්නගී-

දෙවියනි ! දැමි, බමුණු එළදෙන් කිරි දුන්න

දරුවන් යුවතියන් පතිවත බලය දන්න

මහලුන් හැර අදහමට බර වී  ඉන්න

වහලුන් ඇති පෙදෙස් ගින්නෙන් වනසන්න


කන්නගීය මෙසේ ධාර්මික බමුණන්, දරුවන්, යුවතියන්, මහලු අය, කිරිදෙන එළදෙනුන් ඇතුළු අහිංසක සතුන් හැර පාපිෂ්ඨයින් සියල්ල වනසන මෙන් ගිනි දෙවියාට කීවාය. එය  එසේ විය. කන්නගීය එසේ කොට මධුරාවෙන් ඈත වනයකට ගියාය. වම් පියයුර කැඩී යාම නිසා ඇය මරණයට පත් වූ අතර  කෝවලාන් දේවාත්මයක් ලබා පිරිවර සමග පැමිණ කන්නගිය දිව්‍ය ලෝකයට රැගෙන ගියේය.  සීලප්පදිකාරම් ග්‍රන්ථයේ එන සලඹේ පුවත මේ රටේ ප්‍රචලිතව ඇත්තේ එයට යම් යම් කරුණු ද එක් වෙමින් ප්‍රසාරණය  වෙමිනි. මනුෂ්‍ය වේශයක් දරා සිටින පත්තිනි මෑණියන් පතිදම්  පුරමින් කුසල කර්ම කරමින් පිරිමි අවයක් පතමින් මතු බුදු බව පතන්නියක යැයි මෙරට ජන විශ්වාසයක් පවතී. සලඹේ කතාවේ එන කෝවලාන්ව මෙරට ගැමියන් හඳුනා ගන්නේ පාළඟ ගුරුන් කියායි. කන්නගී ලෙස පෙනී සිටින්නේ දිව්‍ය බලැති පත්තිනි මෑණියන්ය. පත්තිනි මාතාවගේ සහායට සිටින  මෙහෙකාරිය කාලිය. ඇය අර්ධ දේව බලයක් සහිත  යක්ෂණියකි. පාළඟ ගුරුන් සමග පත්තිනිය විවාහ වූයේ මතු කලෙක පිරිමි ආත්ම භාවයක් ලබා බුදු බව ලැබීමට පාරමිතා පිරිමේ අටියෙනි. පිරිමි ආත්මයක් පතමින් පාළඟ ගුරුන්ට සියලු උපස්ථාන කළාය. පතිභක්තියෙන් විවාහ වුව ද පත්තිනිය පාළග ගුරුන් සමග ලිංගිකව එක් නොවුණාය. එය සිය සත්‍යක්‍රියා බලය පිරිහෙන බැවිනි.


පාළඟ ගුරු අනියම් ඇසුරකට පත්ව එයින් ධනය විනාශ කර ගත්තොත්ය. පත්තිනිය වෙත පැමිණ වටිනා පා සලඹ ඉල්ලා ගෙන එය විකුණා ගැනීමට පඬි රටට ගියෙන්, පඩි රජ බිසවගේ නැති වූ පා සලඹ යැයි කපටි රන්කරුවකු උප්පරවැට්ටියෙන් පාළඟ ගුරු රාජ දණ්ඩනයට හසු කළේය. පසුව පඩි රජු කරුණු නොවිමසා පාළඟ ගුරු මරණයට නියම කළේය. රාජ පුරුෂයෝ ඔහුව මරා කොහොඹ  ගසක් යට දමා යට සැරසුණි. උදෑසන ගුරු ගෙදරට යන ළමුන් මෙය දුටු අතර මෙය කිසිවකුට නොපවසන ලෙසට රාජ පුරුෂයෝ ඔවුන්ට තර්ජනය කළහ.  මේ අතර පත්තිනි දේවිය සේවිකාව වූ කාලිය සමග පාළඟ ගුරු සොයා පඬි රටට යෑමට සූදානම් විය. අතර මග දී  ගැනීමට මුංගුළි, අග්ගලා ආදී කැවිලි වර්ග ද තනා ගත්තාය.  මේ දෙදෙනා පඬි රටට යන ගමන මහත් දුෂ්කර එකක් විය. මග දී ගොපලු තරුණයින් පිරිසක් මුණගැසිණි. ඔවුහු පත්තිනියගේ අතිශය සුන්දර රූ සපුවට වශීකෘත විය.


නොයෙකුත් චාටු පෙම්බර බස් කියමින් යන ගමන වළකන්නට උත්සාහ ගත්හ. පත්තිනියත්, කාලිත් ඒවා දෙස නොබලා ඉදිරියටම ගියෝය. මොවුන් ගඟක් ළඟ දී නැවතිණ. එහි වූ  තොටියාට කතා කරමින් ගගෙන් එගොඩ කරන ලෙස ඉල්ලීය. එවේලේ මග දී හමු වූ ගොපලු තරුණයින් දුවවිත් තොටියා  වෙත පැමිණ “ මේ දෙදෙනා එතෙර කිරිමට දෙන මුදල මෙන් දෙගුණයක් අප ඔබට දෙමු මොවුන් එගොඩ නොකර සිටිනුයි” කීය. එවිට තොටියා නිශ්ශබ්ද විය. ඊටත් වඩා මුදලක් මා ලබා දෙමි' යි පත්තිනි මාතාව කී විට ගොපලු තරුණයින් එයටත් වඩා මුදලක් ලබා දෙමුයි කීයෙන් තොටියා ඔවුන්ගේ බසට එකඟව පත්තිනි මාතාව එගොඩ කිරීම ප්‍රතික්ෂෙප කළේය. මෙයින් නොසැලී පත්තිනි මාතා තම පේරැස් මුදුව ගලවා සත්‍යක්‍රියා කොට ගංගා ජලයට දැමුවාය. එකෙණෙහිම ගං ජලය දෙබෑව සුදු වැලි තලයක් පෑදිණ. අසීරූවකින් තොරව කාලිත් සමග එගොඩ විය. එකවරම ගං ජලය එක්ව සුපුරුදු ලෙස ගලා යන්නට වූයේය.


මුදුව දේවිය අතට පත්විණ. ගොපලු තරුණයින් මෙම සිදු වීම දැක මහත් වික්ෂිප්තව මැය ඒකාන්තයෙන්ම දෙවඟනකි. අප මුළා වූයෙමු'යි පත්තිනි මාතාව පිළිබඳව කතා කළහ. පත්තිනි මාතාව එගොඩ කිරීමට කැමැත්ත නොදුන් තොටියා ඇතුළු පිරිසටත්, ඔවුන්ගේ ඥාතීන්ටත් දෙවගනගේ ශාපයෙන් නානාප්‍රකාර වූ වසංගත රෝග (වඳුරු) වැලඳිණ.  පඬි රට බලා යන මේ දෙදෙනාට උදෑසන ගුරු ගෙදරට ගිය ළමුන් ආපසු ගෙදර බලා එනු මුණගැසිණි. ඔවුන් නවතා පත්තිනි මාතා පාළඟ ගුරු පිළිබඳ තොරතුරක් ඇසුවාය. ළමුන් එකිනෙකාගේ මුහුණ දෙස බලා නිශ්ශබ්දව වූහ. ළමුන් කුසගින්නේ පසුවන බව දත් කාලිය රැගෙන ආ මුගුළි, අග්ගලා කන්නට දුන්නාය. ඒවා ප්‍රතික්ෂේප කළ ළමුන් රඹ කැනුත්,   පැණි හකුරුත් ඉල්ලූහ. එවේල්ලේ පත්තිනි දේවිය තම රන් වස්ත්‍රයෙන් කොටසක් ඉරා එය කාලියට ලබා දී කඩයෙන් ඒවා ගෙනෙන ලෙසට උපදෙස් දුන්නාය. ඉරා දුන් රන් වස්ත්‍ර  කැබැල්ල කඩ හිමියාට දී රඹ කැනුත්, පැණි හකුරුත් ඉල්ලූ විට   කඩ හිමියා පුදුමයෙනුත් පුදුමයට පත් වූයේ වටිනා රන් වස්ත්‍රය දැකීමෙනි. ඔහු අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්නා ලෙසට කාලිය හට කී. ඇති පමණට රඹ කැන් හා පැණි හකුරු   ගෙන ළමුනට දුන්නාය. ඒවායින් කුස පුරවා ගත් ළමෝ පිපාසය නිවා ගැනීමට ජලය ද ඉල්ලූහ. එකෙණෙහිම පත්තිනිය ගල් තලාවක ඊතණ පඳුරක් දෙස බල මහිමයෙන් මවා එයින් ජලය ලබා දුනි. ඇයගේ බල මහිමය දුටු ළමුන් පාළඟ ගුරු මරා දැමූ බවත් මළ කඳ කොහොඹ ගසක් යට දමා ඇති බවත්, කියා වහ  වහා තම නිවෙස්වලට පිටව ගියෝය.


දේවිය ශෝකී හදවතින් උතුරා යන කදුළු මැදින් පාළග ගුරු මරා ඇති ස්ථානයට  ගොස් ලෝ පාලක දෙවිවරුන්ට දොස් තැබුවාය. කන්නලව් කළාය. ඒ හේතුවෙන් මිය ගිය පාළඟ ගුරුට යළි ප්‍රාණය ලැබී පත්තිනිය වැලඳ ගැනුමට සැරසුණේය. එවිට පිළිකුල් ලෙසින් දේවිය චික් චික් කියා කෙළ ගැසුවාය. සදහටම පාළග ගුරුගේ ප්‍රාණය ශරීරයෙන් ඉවත් වූයේය. තව තවත් ශෝකයට පත් පත්තිනි දෙවඟන පඩි පුරය විනාශව යන ලෙසට සත්‍යක්‍රියා කොට සිය වම් පයෝධරය කඩා පඩිපුරයට දමා ගැසුවාය. සිල්වතුන් හැර පාපිෂ්ඨයින් සමග එම පුරය දැවී ගියේය.  පසුව පත්තිනි දෙවඟන මෙහෙකාර කාලි සමගින් දෙව්ලොව ගියාය. ජනප්‍රවාදයේ එන පරිදි දෙවන වරට ප්‍රාණය පැමිණීමෙන් පාළඟ ගුරු පත්තිනිය වැලඳ ගැනීමට ආ මොහොතේ 'චික් චික්” කියා කෙළ ගැසූ පාපය නිසා පත්තිනි දෙවගන දිව්‍ය ලෝකයේ ඉදිකටු මලක් මත තපස් රකින බව කියවේ. එසේම එතුමිය කලෙක අඳුන්ගිරි පර්වතයෙහි තපස්  රකිමින් සිටියාය.


පත්තිනියගේ ශීල බලය විමසීමට සිතා ශක්‍ර දෙව් මහලු දිළිදෙකුගේ වේශයෙන් ඇය ඉදිරියේ පෙනී සිට නැගණිය ‘මම මහත් වූ කුසගින්නෙන් පෙළෙන්නෙමි. සත් දිනක් තිස්සේ නිරාහාරව සිටින මා හට දානයක් දුනහොත් එය නුඹට මහත් කුසලයක් වන්නේයි බෑගැපත් ස්වරූපයෙන් කීය. දුගියා දෙස අනුකම්පාවෙන් බැලූ දේවිය සමවැද සිටි ධ්‍යානයෙන් නැගිට 'ඔබට දානයක් දීමට මා ළඟ කිසිත් නැත. එහෙත් සත්‍යක්‍රියා බලයෙන් ඔබ කුසගිනි කෙසේ හෝ සංසිඳවම් ඔබට කී පැයක් දරාගත හැකිදැ'යි ඇසුවාය. “සත් පැයකට වඩා ඉවසිය නොහැකිය, නැගණියනි.' කී පසු පර්වත මස්තකයේ සිට පා පහර කීපයකින් පර්වත මුදුන මඩ කොට කෙතක් මවා සුවඳැල් වී ඉස පැළකොට අස්වද්දවා අස්වැන්න ගෙන වේළා පාගා කොටා සුවඳැල් කිරි බතක් උයා සත් පැයක් තුළ දානයක් පිළිගන්වා බුදු බව ප්‍රාර්ථනා කළ බැව් කියවේ.


දකුණු ඉන්දීය ප්‍රභවයක් ඇති පත්තිනි දේවිය එම ප්‍රදේශවල බොහෝ විට එක් දේවතාවියක ලෙස සැලකුව ද වැදුම් පිදුම් කළ ද ලක්වැසියන් එතුමියගේ උපත් අනුව සත් පත්තිනි, හා දොළොස් පත්තිනි ලෙසින් සලකා වන්දනාමාන කිරීමට හුරු පුරුදුව ඇත. පත්තිනි දෙවඟන මව් කුසකින්  උපත ලබා ඇතැයි විශ්වාසයක් පවතී.


ජලයෙනි, දළෙනි, සුරන් දමෙනි, අඹෙනි උපන්නා

ගලෙනි කුළෙන්, සළුවෙන් එක්වරක උපන්නා

එවෙනි සවෙනි සත්වෙනි රන් අඹෙනි උපන්නා

මෙවෙනි පතිනි තෙදිනි මෙ ලක්දිව බබළන්නා


මෙය පහතරට ශාන්තිකර්මවල භාවිත කරනු ලබන පත්තිනි කෝල්මුර කවියකි. පත්තිනි දෙවියන් සත්වරක් උපන් බව මෙයින් කියවේ.  එක් වර්ග කිරීමකට අනුව සත්පත්තිනි උපන් ස්ථාන මෙසේය.


1. දෙමට මලෙන්

2. ගිනි කඳෙන්

3. නයි කඳුළෙන්

4. විදුලි වලාවෙන්

5. පිනි බිංදුවෙන්

6. සිනා රැල්ලෙන්

7. මී අඹෙන්


තවත් වර්ග කිරීමකට අනුව දොළොස් පත්තිනි උපත් ස්ථාන මෙසේය.


1. සළු පොටෙන්

2. නුග පත්‍රයෙන්

3. කදුරු පොත්තෙන්

4. හෙණ සැරයෙන්

5. ජලයෙන්

6. දොවොල් සැරෙන්

7. සඳුන් විමානෙන්

8. නාමල් රේණුවෙන්

9. කාලි අවතාරයෙන්

10.සිව ඉසිවර කලවෙන්

11. ගොටු මලෙන්

12.නීල පොල් මලෙන් ලෙසිනි


දකුණු ඉන්දියාවේ එක් ස්වරුපයකින් සිටින පත්තිනි ලක්දිව තුළ මෙසේ ප්‍රසාරණය වීම තුළින්ම පත්තිනිය ඇදහීම කොතෙක් දුරට මුල්බැස තිබේ දැයි ප්‍රකට වන්නේය. බුදු දහම වැනි ඉතා අවිහිංසාවාදී දර්ශනයකින් පෝෂණය වූ සිංහල ජන සංස්කෘතිය තුළ පතිව්‍රතය රැකීම ඉතා ශ්‍රේෂ්ඨ වූ යහ පැවැත්මකි.  එය මනාකොට ප්‍රකට කළ පත්තිනි මාතාව කෙරේ මෙරට ජන සිත් සතන් තුළ විශේෂ ගෞරවයක් ඇති වීම අනිවාර්යය කරුණකි. එමෙන්ම එතුමිය බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෞද්ධ දේවාත්මයක් ලෙසට මෙ රටේ ආරෝපණයව පැවතීමත්, සශ්‍රීකත්වය හා විවිධාකාර වූ වසංගත රෝග නිවාරණය ඇති කරවන ගුණාංග පැවතීමත් මුල් කොට මෙතුමිය ලාංකීය දේව වන්දනයේ ප්‍රමුඛ ස්ථානයක සිටී.


පත්තිනි උපත් කතා පිළිබඳව විමසීමේ දී මෙතුමිය සත්පත්තිනි ලෙසට අවසන් වරට උපන්නේ අඹයෙනි. පත්තිනි උපත් කතාවලින් ඉතා ප්‍රසිද්ධව ජන ව්‍යවහාරයේ පවතින්නේ මෙයයි. දඹදිව පාණ්ඩව දේශයේ පඩි රජුගේ අඹ උයනකි. එහි වූ මී අඹ ගසක අසාමාන්‍යාකාරයෙන් රන්වන් පැහැති දැකුම්කලු අඹ ගෙඩියක් හට ගත්තොත්ය. උයන්පල්ලා මේ දෙස දැඩි සුපරික්ෂාකාරීව සිටියේය. එන්න එන්නම මී අඹය විශාලව ආයෙන් ඔහු මේ බව රජුට සැල කර සිටියේය. රජු ඇතුළු  පිරිවර එම පුවත අසා මී අඹ ගස වෙත පැමිණ රන්වන් වූ අපූරු අඹය නෙළා ගැනීමට උත්සාහ කළහ. එහෙත් කිසිවකුත් එය නෙළා ගැනීමට සමත් වූයේ නැත. අනතුරුව රජු අඹය විද නෙළීමට හැකි අයකු වෙතොත් ඉදිරිපත් වන ලෙසට අණබෙර ගැසීය. බොහෝ දෙනෙක් උත්සාහ කළ ද නොහැකි විය. මේ අතර එක් මහලු මිනිසෙක් දුනු හී ගෙන රජු වෙත පැමිණ අභියෝගය භාර ගත්තේය.


රජු අඹ ගස යටට වී බලාගෙන සිටියේය. සියල්ලෝම පුදුමයෙන් පුදුමයට පත් කරවමින් මහල්ලා එල්ල කළ හීය මී අඹයේ නටුවටම වැදී  අඹය පොළොවට පතිත වනවාත් සමගම රන් තලියක් මැවී එය ඩැහැ ගත්තේය. ඒ සමගම අඹයෙන් නික්මුණ කිරි, පඬි රජුගේ නළලේ වූ නෙතට (ලලාටාක්ෂිය) වැටීමෙන් එම ඇස අන්ධ වූයේය. මෙයින් බියට පත් රජු අඹයට පුද පූජා කොට එය රන් ඔරුවක බහාලා කාවේරි ගගේ පා කර හැරියේය. මෙම ඔරුව “මානායර' නම් වෙළෙන්දෙකු විසින් ගොඩගෙන.  එහි වූ අඹය තම නිවසට ගෙන ගියේය.  මේ අතර මහලු පුද්ගලයෙක් මෙම නිවසට පැමිණ වෙළෙඳ පුත්‍රයා පුදුම කරවමින් මී අඹය ඉල්ලා සිටියේය. වෙළෙඳ  පුත්‍රයා නිවසේ වූ අඹය තැන්පත් කොට තිබූ ස්ථානයට ගොස් බැලීය. පුදුමයකි! අඹය දෙපළුව එයින් රූමත් කුමාරිකාවක ඉපදී ඇත. ඇයව ආරක්ෂා කරන මෙන් පවසා මහලු වේශයෙන් සිටි සක්දෙවි සැබෑ දේව විලාශයෙන් පෙනී සිට අතුරුදන් වූයේය.


 පත්තිනි මාතාවන් අඹෙන් උපන් බව කියවෙන්නේ මෙම කතා පුවතට අනුවය. එසේ දෙවුන්දර දෙවොලට සම්බන්ධ “පත්තිනි පැතුම නම් කෝල්මුර කවි පන්තියකට අනුව ඇය කකුසඳ බුදුන් කල බොළඳ නම් සිටුවරයාට දාව 'තිරිමා' නම් කුලඟනගේ කුසයෙන් ඉපදුණු අතර සත්වියැති මේ කුමරිය යෙහෙළියන් සමග කෙළි සෙල්ලමින් ජල ක්‍රීඩාවට යන අතර කලිඟු පුර සිටුවරයා කකුසඳ බුදුන් ප්‍රමුඛ සංඝයාට මහාදානයක් පිරිනමනු දුටුවාය. මෙයින් කුමරියගේ සිත් පැහැදිණ. ඇය කඨින චීවර දහසක් හා සෙසු සිවුරු තුන්දහසක් බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරි නැමුවාය. ඒ අතර යෙහෙළියෝ මී අඹ ගෙනැවිත් බුදුන්ට පිරිනැමූහ. එයින් එකක් කුණුව පැවති හෙයින් එය ගෙන, කුමරිය පැළ කළාය. එයින් හට ගත් මී අඹයක් ගෙන කකුසඳ බුදුන්ට පූජාකොට මී අඹයක උපත ලැබීමට ප්‍රාර්ථනා කළ බව කියවේ.


පත්තිනි දේවිය මලෙන් උපන් කතා පුවතට අනුව නාග  ලොව සිට නරලොවට පැමිණ පොකුණකට බැස ජල ස්නානයට සූදානම් විය. එවිට ඇගේ ගොඩ තිබූ සළුව නොමැති බව පෙනුණි. දිය පල්ලට ගොස් මලක සැගවුණාය. එම මල නෙළීමට වරෙක බමුණෙක් උත්සාහ කළ ද එය අසාර්ථක විය. පසුව බමුණා සිල් රැක යළි මල නෙලීමට පොකුණට ගියේය. මලට වැඳ දෝත පා සිටි කල රූපශ්‍රීයෙන් යුතු කුමරිය පැමිණියාය. බමුණා ඇයව නිවසට ගෙන ගොස් හදා වඩා ගත්තේය. පසු කලෙක පත්තිනි දේවිය තපස් රැකීමට අඳුන්ගිරි පර්වතයට ගිය බව කියවේ.


වරක පත්තිනිය නාග කඳුළෙන් උපත ලබා ඇත. එයට අනුව 'නව කෙළ නම් නාග රාජයා දිනක් ජල ක්‍රීඩා කරමින් සිටින විට සැඩ සුළගක් හැමූයෙන් ජල ක්‍රීඩා කිරීමට නොහැකි වූයේය. ජලය කැලඹෙන්නට වූ නිසා නාගයා කඳුළු වගුරුවමින් හඬන්නට වූයේය. කීප දිනක්ම නා රජු හඬ හඬා රැකගෙන සිටි කඳුළු දහරාවෙන් ඉතාමත් සුරූපී කුමාරියක් ඉපදුණි. ද මේ අයුරින් පත්තිනි මාතාව පිළිබඳව නොයෙකුත් ජනශ්‍රැති  ගොඩ නැගී ඇත. බොහෝ ඒවායේ එතුමිය මතු බුදු බව ප්‍රාර්ථනා කරන බෞද්ධ දේවාත්මයක් ලෙස සැලකීමට පාත්‍රව ඇති බව පෙන්නේ.  කෘෂිකර්මාන්ත කටයුතුවල දී නිසි කලට වැසි ඵල ලබා ගැනීමටත්, කුඹුරු ගොවිතැන් සශ්‍රීක කරවා ගැනීමටත්, ස්ත්‍රීන්ට කුඩා ළමුනට වැලදෙන ලෙඩ රෝගවලින් මෙන්ම වසංගත රෝග නිවාරණය කරවා ගැනීමට ආදී බොහෝ කටයුතුවල දී මෙරට ගැමි ජනයා පත්තිනි මාතාවගේ පිහිට ප්‍රාර්ථනා කරති.


පත්තිනි දේවිය සම්බන්ධව පුරාණ දේවස්ථාන රාශියක්ම මෙරට පවතී. තියඹරා හේන, උදන්විට, කෝට්ටේ, අංබොක්කේ, මැදගොඩ, අල්දොර, මගුරුගොඩ, හොරපානේ, බොල්තුඩේ, බටවල, ඇල්ලගාව, මඩවල, රබලිය, කවුඩුමුල්ල, බිංගිරිය, දේවාලේගම, කඩුවෙල, එල්ලක්කල, ලොල්ලාගල, ගිණිගත්හේන, කෙසෙල්වත්ත, උඩුවැල්ල ආදී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පවතින දෙවොල් අතර ප්‍රධානම දේවාලය නවගමුව මහා දේවාලය වේ. එය මෙරටෙහි ඉදි වූ පළමු පත්තිනි දෙවොල බව ගජබා පුවතෙහි ද ඒ.


පින් ගජබා නිරිඳු සඳ විපුල යසස් සාලේ

ගන්න මහත් පඬුරු පුදා ඉට්ටන් කළ සෙන් මාලේ

මින්මතු තොර නොවී නිතර පෙරහැර කර හැම වේලේ

සිංහල පුරයට මුන් නවගමුවේ  දේවාලේ


පත්තිනි දේවියගේ පිහිටාරක්ෂාව සෞභාග්‍ය ලබා ගැනීමේ අරමුණින් සිංහල ජන ක්‍රීඩා රාශියක් බිහිව ඇත. අංකෙළිය, පොල් කෙළිය, ඔලිඳ කෙළිය, ලී කෙළිය, ගුඩු පැනීම, උඩැක්කි කෙළිය, පේළි යාම, බුහු කෙළිය, මුතු කෙළිය, සොකරි නැටීම, නෙරංචි කෙළිය, පත්තේරු කෙළිය ඒ අතර වෙයි. මෙරට ජන සමාජයට පත්තිනි ඇදහිල්ල කොතෙක් දුරට මුල් බැසගෙන ඇත්තේ දැයි මෙයින් මැනවින් පෙනේ.