gossiplanka image 1
 සමහර වෛද්‍යවරුන් අසවල් රසායනාගාරයෙන් (Laboratory) පරීක්ෂණ කරවා ගන්නැයි කියන්නේ ඇයි?


වෛද්‍යවරුන් මෙසේ කියන අවස්ථා තිබේ. බොහෝ දෙනකු ම සිතන්නේ එවිට එම වෛද්‍ය රසායනාගාරය වෛද්‍යවරුනට කොමිස් මුදලක් ලබා දෙන බවයි. නමුත්, වෛද්‍ය රසායනාගාරයකට මෙම පරීක්ෂණවලින් අති විශාල ලාභ ලැබෙන්නේ නැත. වෛද්‍යවරයෙකු අසවල් ලැබ් එකෙන් කරන්ගෙන එන්නැයි රෝගියාට පවසන්නේ එම රසායනාගාරයේ වාර්තා ගැන වෛද්‍යවරයා තුළ විශ්වාසයක් පවතින නිසාය. නිවැරැදි පරීක්ෂණ වාර්තවක් අවශ්‍ය වන්නේ වෛද්‍යවරයාටය. ඒ රෝගියාගේ රෝගය නිවැරැදිව තීරණය කරගෙන අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන්නටය. වැරැදි වාර්තාවක් ලැබුණොත් වෛද්‍යවරයාත් රෝගියාත් දෙදෙනාම අමාරුවේ වැටෙයි. එනිසා වෛද්‍යවරයා තමාට විශ්වාසයක් ඇති රසායනාගාරයකට රෝගියා යොමු කිරීම අසාධාරණ දෙයක් නොවේ. 



රුධිරයේ සීනි සංයුතිය විමසා බැලෙන ග්ලුකොමීටරවලින් ලැබෙන ප්‍රතිඵල නිවැරැදි නොවන්නේ ඇයි?



එසේ වීමට හේතුව මෙයයි. ග්ලූකෝමීටරය මගින් පරීක්ෂා කිරිම සඳහා රුධිරය ලබා ගන්නේ අතක ඇගිල්ලකිනි. ඇගිල්ලේ  තිබෙන්නේ මස් තුළ ගැටෙන රුධිරයයි. එම රුධිරය ඇගිල්ල විසින් තවමත් පාවිච්චි කරනු ලබන රුධිරය වේ. ග්ලූකෝස් ද රැගෙන ශරීරය පුරා රුධිරනාල ඔස්සේ රුධිරය ගමන් කර ආපසු එන්නේ ශිරා තුළිනි. එවිට ශිරා තුළ ඇත්තේ ශරීරය විසින් පාවිච්චි කරනු ලැබ අවසාන වූ රුධිරයයි. ඒවා ආපසු හෘදයට ගමන් කරමින් හිඳින ඒවාය. එම අවස්ථාවට එන විට ශරීරය තමන්ට ඇති ප්‍රමාණයට ග්ලූකෝස් ලබා ගෙන අවසන්ය. ඒ අනුව ශිරාවලින් රුධිරය ලබා ගෙන පරික්ෂ කරන විට රුධිරයෙහි සීනිවල අඩුවැඩිභාවය පැහැදිලිව දැන ගැනීමේ හැකියාව තිබේ. ඇගිලිවල තිබෙන රුධිරය තවමත් පාවිච්චි කර අවසන් නැති නිසා සීනි වැඩි බවක් පෙන්නුම් කරන්නට පුළුවන. 



සමහර පරීක්ෂණ වාර්ත පැය දෙකෙන් තුනෙන් ලැබෙද්දී තවත් වාර්තාවලට දින කිහිපයක් ගත වන හේතුව කුමක් ද?



සමහර පරීක්ෂණවල දී රුධිරයට යොදන ද්‍රව්‍ය මිල ඉතා වැඩිය. එසේම තවත් සමහර පරීක්ෂණවල දී රුධිරයට එකතු කරන ද්‍රව්‍ය සහිත ලොකු පැකැට්ටුවක කුඩා පැකට් 25ක් පමණ අඩංගුය. එක් රෝගියකු හෝ කිහිපදෙනකු සඳහා හෝ මේ එක පැකට්ටුවක් විවර කළහොත් අවශ්‍ය පැකට් ප්‍රමාණය ගත් පසු ඉතිරි පැකට් අපතේ යයි. ඊට හේතුව ලොකු පැකට්ටුව විවර කළ පසු එය කල් තබා ගැනීමට නොහැකි වන හෙයිනි. මේ නිසා එවැනි පරික්ෂණයක් කර ගන්නට ලේ සාම්පල් 25ක් එකතු වන තුරු බලා සිටින්නට සිදු වෙයි. එවැනි පරික්ෂණ කල්යාමට හේතුව එයයි. නමුත්, ප්‍රධාන පෙළේ වෛද්‍ය රසායනාගාරවල බොහෝ විට මේ තත්වය නොමැත්තේ ඒවාට විවිධාකාර පරීක්ෂණ සඳහා විශාල ප්‍රමාණයක් රෝගීන් දිනපතා පැමිණෙන බැවිනි. ඉහත කී ගණයට අයත් වන එක් පරීක්ෂණයක් වන්නේ තයිරොයිඩ් හෝමෝන පරික්ෂවයි.


ඉතාම කලාතුරකින් කරන්නට සිදුවන පරීක්ෂණ පිටරටකට යවා කරවාගන්න අවස්ථා ද තිබේ. මේවායෙහි මිල ඉතා අධිකය. එසේම පරික්ෂණ වාර්තාව පැමිණෙන්නට දින කිහිපයක් ගත විය හැකිය.  



එකම අවස්ථාවක දී එකම පුද්ගලයකු රසායනාගාර දෙකකට එකම පරීක්ෂණයක් සඳහා රුධිරය ලබා දුනොත් වාර්තවෙහි ප්‍රතිඵලවල යම් යම් වෙනස්කම් ඇති වන්නේ ඇයි?



ඕනෑම වාර්තාවක් හරියටම එකම ඉලක්කමක අගයක් ගන්නේ නැත. සෑම වාර්තාවකම සාමාන්‍ය අගයක් (Normal Range) දක්වන්නේ ඒ නිසාය. පුද්ගලයන් දෙදෙනෙක් අගල් කිහිපයකින් උස වෙනස් වුණත්, මිටි පුද්ගලයා කුරුමිට්ටකු ලෙස හඳුන්වන්නේ නැහැ නේද? මේ අනුව මේ සාමාන්‍ය අගය ඇතුළත ඕනෑම අගයක් සාමාන්‍ය තත්ත්වය ලෙසින් පිළිගැනේ. රුධිරයේ සීනි පරීක්ෂ කිරීමේ දී එහි සාමාන්‍ය අගය 80-100ත් අතරය. එය එක් රසායනාගාරයක 85 වශයෙනුත් තවත් රසායනාගාරයක 88 වශයෙනුත් තිබුණ ද එය අසාමාන්‍ය තත්වයක් සේ නොසැලකේ.


මේවා ජීව විද්‍යාත්මක දේවල් නිසා සීමා සහිත පරාසයක් තුළ යම් යම් වෙනස්කම් සිදුවීම අසාමාන්‍ය නොවන සේම වළක්වන්නට ද නොහැකිය.


මෙහි දී තවත් විශේෂ දෙයක් කියන්නට තිබේ. රුධිරය යනු සිරුර පුරා නොනවත්වා ගලා යන දෙයකි. ඒ අනුව එක් තැනක් සිදුරු කර දැන් ගන්නා රුධිර සාම්පලයත්, ඊට තත්පර ගණනකට පසුව නැවත ගන්නා රුධිර සාම්පලයත් අතර වෙනස්කම් පැවැතීමට පුළුවන. 



රෝහලක නැවතී සිටින රෝගියකුගෙන් දිනපතාම රුධිරය ලබා ගන්නේ ඇයි? එක් වරක් රුධිරය ලබා ගෙන රෝග නිරීක්ෂණයක් කිරීම අපහසු ද?



නේවාසික රෝගියකුගෙන් එක් වරක් රුධිරය ලබා ගෙන නැවතත් ගන්නට ගිය විට රෝගීන් බොහෝ විට කියන දෙයක් වන්නේ “මගේ කලිනුත් ලේ ගත්තා” යන්නය. නමුත්, මෙහිදී රෝගීන් නොදන්නා දෙයක් තිබේ. නිදසුනක් ලෙස උණ වැලඳී රෝහල්ගත වූ රෝගියකු ගනිමු. උණ වැලඳෙන්නට හේතු ගණනාවක් තිබේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් කළ හැකි රුධිර පරික්ෂණ ද රාශියකි. ඒ අනුව වෛද්‍යවරුන් කරන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ ද සලකා බලා එවකට වැඩිපුර පවතින රෝග සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණ කර බැලීමය. ඒ රෝග කිසිවක් රෝගියාගෙන් සොයා ගැනීමට නොහැකි වුණොත් කලාතුරකින් දැකිය හැකි වෙනත් රෝග පිළිබඳ පරික්ෂ කිරීමට නැවත රෝගියාගෙන් රුධිරය ලබා ගැනේ. එසේ නැතිව උණ වැලඳීමට බලපාන හේතු සියල්ලම එකවර පරික්ෂ කිරිම පිණිස එක් වරක් පමණක් රුධිරය ලබා ගන්නට ද බැරිකමක් නොතිබුනත්, එවිට රෝගියාට අඩු තරමින් රුපියල් දස දහසක් පමණවත් රුධිර පරීක්ෂණවලට වැය කරන්නට සිදුවනු ඇත.