
පෙදරේරු රැකියාවට වඩා ඔහු මුල් තැන දෙනු ලැබුවේ ගොවිතැනටය. මී මැසි පාලනය මගින් ද ඔහුට අතිරේක ආදායමක් ලබා ගැනීමට හැකි විය. ගොවිතැන් කටයුතු සඳහා ඔවුන්ට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ජල ප්‍රශ්නයයි. ඒ සඳහා වාරිමාර්ග වැඩ පිළිවෙළ යටතේ රජයෙන් ලැබුණු ජල යෝජනා ක්‍රමය උපකාරි විය. එහෙත් එම ජලය බෙදා හැරීම සිදු වූයේ ගම් කිහිපයකට සම්බන්ධ කිරීමෙනි. ජලය බෙදා ගැනීම අසල්වැසියන් සමඟ සුහදව කරගත යුතු බවට ඔවුන්ට වාරිමාර්ග ඉංජිනේරු අංශ මගින් දන්වා තිබිණි.උග්‍ර ජල ප්‍රශ්නයට විසඳුම් ලබා ගනිමින් අසල්වැසියන් සමග සිය ගොවිතැන් කටයුතු සඳහා ජලය පරිහරණය කරගැනීමට ඔවුන්ට සිදු වී තිබිණි. ගම් දෙකක් යාබද තිබූ ඉඩමක් ඔවුන් සතුව තිබිණි. යාබද ඉඩමේ පදිංචිව සිටියේ ද ඔවුන්ගේ ඥාතීන් වන ජන කොටස්ය. යාබද ඉඩමේ ගොවිතැන් කටයුතු සිදු කිරීමට ජලය ලබා ගන්නා අවස්ථාවලදී ඇතැමුන්ට තම ගොවිපළට ජලය ලබා ගැනීමට නොහැකි විය.ඔවුන්ගේ ඉඩමට යාබද ඉඩමේ පදිංචිව සිටි ඥාති පවුලේ තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක් පදිංචිව සිටියහ. ඔවුන් ද ජීවිකාව කරගනු ලැබුවේ ගොවිතැන් කටයුතුවල නියැළීමෙනි. එම පවුලේ සිටි තරුණිය හැඳින්වූයේ සාමියා යනුවෙනි. සාමියා තරමක් සැර පරුෂ කටකාර තරුණියක් වූවාය. ඇතැම් විට අල්ලපු ඉඩමේ ගොවිපළට ජලය ලබා ගන්නා ජලමාර්ග වසා දමා ඔවුන්ගේ ගෙවත්තට ජලය ලබා ගැනීම ඇගේ සිරිත වුවාය.
මේ තත්ත්වය දිගින් දිගටම සිදුවිම නිසා අසල්වැසි ඉඩමට ජලය ලබා ගැනීම " බොහෝ විට ගැටලුවක් බවට පත් වී තිබිණි. ඇතැම් විට ඇගේ එම ක්‍රියාව නිසා බලවත් අපහසුතාවට පත් වන අල්ලපු ඉඩමේ පිරිස එය විඳ දරාගෙන සිටියේය. එයට හේතු වූයේ සාමියාගේ සොහොයුරන් ඔවුන්ගේ මිතුරන් වීම නිසා ය. සැමියාගේ ක්‍රියා නිසා ඇඩ්නන්ට සිදුවන ජල ගැටලුව ඔහු ඉවසා සිටිය ද එය එතරම් දිගු කලක් කළ නොහැකි විය. "මගේ ගොවිපළට ජලය එන කරාම වසන්නට එපා, ඔහු සාමියාට කිව්ව වාර අනන්තය. එහෙත් එයට සාමියා කන් දෙන බවක් දක්නට නොලැබිණි. දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව නිසා පවුල් දෙක අතර ගැටුම් ඇති වන්නට විය. සාමියා සහ ඇඩ්නන් අතර නිතර උණුසුම් වාද විවාද ඇති විය. සාමියා බොහෝ විට ඇඩ්නන්ගේ ගොවිපළට අවශ්‍ය ජලය ලබා ගැනීම අවහිර කළාය. ජල ගැටලුව බරපතළ අර්බුද තත්ත්වයකට පත් විය. ඔවුන්ගේ මායිම් ඉඩම් නිසා සාමියා සහ ඇනන්ගේ පවුලේ අය නිතර ගැටුම් ඇති කරගත්හ. අවසානයේ එය බලවත් වෛරයක් බවට පත් වන්නට වැඩි කලක් ගත නොවිණි.ජලය බෙදා හැරිමේ ඉංජිනේරු අංශ වෙත පැමිණිලි කළ ද ඉන් එතරම් වැඩක් නොවීය. ඔවුන් කියා සිටියේ සුහදව ජලය පරිහරණය කරන ලෙසය. මේ වන විට ඇඩ්නන් සහ සැමියාගේ පවුලේ අය ද නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබිණි. අඬදබර මැද්දේ ජීවත් වූ ඇඩ්නන් ඒ වන විට තිස්වන වියේ පසු විය. තරුණ වයසේ සිටිය ද ඔහු සෙම් රෝගියෙකු විය. නිතර උණ රෝගය වැලඳීම ද ඔහු තුළින් දක්නට ලැබිණි.
රෝගී තත්වය මැද වුව ද ඔහු තම රැකියාව සඳහා ගොවිතැන් කටයුතුවල නියැළිණි. සර්පයින් අල්ලා බෝතල්වල දැමීම ද ඔහුගේ විනෝදාංශයක් විය. ඇඩ්නන්ගේ නිවසේ බෝතල්වල ඇතැම් විට සර්පයින් දෙතුන් දෙනා සිටි අවස්ථා ද විය. දිනක් හදිසියේ රෝගාතුර වූ ඇඩ්නන්ට උදරයේ වේදනාවක් දැනුණි. දැඩි උණ ගතියක් ද ඔහුට දැනිණි. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගත්ත ද ඔහු දැඩි ලෙස රෝගි වූයේය. අවසානයේ ඔහු ජීවිතයෙන් සමු ගත්තේ නාඹර තුරුණු වියේ සිටියදීය. ඔහුගේ මරණය සිදුවූයේ 1948 ජූනි මාසයේදීය. ඇඩ්නන් මරණයට පත් වුව ද අසල්වැසි සාමියාගේ ජල අර්බුදය දිගට පැවතුණි. වාරිමාර්ග ජල පහසුකම් අවහිර කිරීම නිසා ඇඩ්නන්ගේ පවුලේ අය සාමියාගේ පවුලේ අයත් සමග දිගින් දිගටම ගැටුම්කාරී තත්ත්වය මැද්දේ ජීවත් වූහ. කාලය ගෙවී ගියේය. සැමියා විවාහ ජීවිතයට ඇතුළත් වූවාය. ඇය බිහි කළ පළමු දරුවාට සහීර් යනුවෙන් නම් තැබිණි. විවාහයෙන් පසුව ඇය පදිංචිව සිටියේ මහගෙදරට නුදුරුවය. එහෙත් එම නිවස කිලෝමීටර් දහයක පමණ දුරින් පිහිටා තිබිණි. ඇගේ සැමියා ද පෙදරේරුවකු විය. වයස අවුරුද්දක් පමණ වන විට සහීර් දරුවා බහ තෝරන්නට විය. තරමට වඩා පැසුණු ගතිසිරිත් එම දරුවා තුළින් දක්නට ලැබිණි.ඔහුට වයස අවුරුදු දෙකක් වන විට ඉතා හොඳින් කතා කිරිමේ හැකියාව ලැබිණි.සහීර් දිනක් කළ ප්‍රකාශයක් නිසා පියා අතිශය පුදුමයට පත් වූයේය. එම ප්‍රකාශය වූයේ ඔහුගේ මව පෙන්වා "ඔයා ඒ දවස්වල අපේ වතුර හොරකම් කරනවා. හැම තිස්සෙම අපිත් එක්ක රණ්ඩු කරනවා.”
යනුවෙනි.
"අපි දෙගොල්ලොම හිටියේ එක ළග. මගේ ගොවිතැන්වලට වතුර ගන්න ගියාම මෙයා හිරිහැර කරනවා. සමහරදාට වතුර ගන්න කරාම වසා දමනවා” යැයි ද එම දරුවා මව පෙන්වමින් කියා සිටියේය.ඉන් අනතුරුව ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශය සහ එහි තිබූ නිවස පිළිබඳව ඔහු කියන්නට විය. දරුවාගේ මවටද ඔහුගේ ප්‍රකාශ ඇදහිය නොහැකි විය.ඒ පිළිබඳව ඔහුගෙන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔහු පෙර භවයේ තොරතුරු අනාවරණය කළේය. එම තොරතුරු රහසිගතව තබා ගැනීමට සහීරගේ දෙමාපියන් උත්සාහ ගත්ත ද සහීර් කියා සිටියේ ඔහුට පෙර නිවසට යාමට අවශ්‍ය බවය.එහි පදිංචිව සිටින අය අතර සහෝදරයින් කීපදෙනාගේ පුද්ගල නම් පැහැදිලිව හෙළි කිරීමට ඔහුට හැකි විය. ඉන් අනතුරුව ඔහු පෙරභවයේදී කළ රැකියාව ගැනත් ඒ සඳහා භාවිත කළ උපකරණ කට්ටල නිවසේ ඇති බවත් එම දරුවා පැහැදිලිව හෙළි කළේය. ඔහු හෙළි කළ තොරතුරු අතර වාරිමාර්ග ජල බෙදා හැරිමේ තොරතුරු ඉතා නිවැරදිව අනාවරණය කර තිබිණි. "මම එහි දි මී මැස්සන් ඇති කළා.සර්පයින් අල්ලලා බෝතල් වලට දමනවා.” යැයි ද ඔහු කීප විටක්ම පියා සමඟ කීවේ. පෙරභවයේ පියාගේ නමත් සහෝදරයකුගේ නමකුත් ඔහු නිවැරදිව හෙළි කළේය. සහීර් හෙළි කරන තොරතුරු අනුව ඔහුගේ නිවැරදි පෙරභව තොරතුරු බැව් දෙමාපියන්ට පැහැදිලිව දක්නට ලැබිණි. එහෙත් ඒ පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඔවුන් උත්සාහ නොගත්හ. කුඩා සහීර් පෙරභව මතක සටහන් අතරින් නිතර කියා සිටියේ, "මට ඉස්සර ගෙදරට යන්න ඕනෑ”
යනුවෙනි.පෙරභවය පිළිබඳ ප්‍රශ්න කිරිමක් ද සිදු කෙරිණි. එම ප්‍රශ්න ඔහු ඉදිරිපත් කරන විට ඔහු හයවන වියේ පසුවිය. එහිදී ඔහු හෙළි කරන පෙරභව තොරතුරුවල සත්‍ය සනාථ කරනු ලබන්නේ කෙසේ දැයි ඔහුගෙන් විමසීය. "මම එහෙ සිටිද්දී අම්මා අපි එක්ක වතුරවලට රණ්ඩු කර ගත්තා මතක නැද්ද?” යයි ඔහු ප්‍රශ්න කළේය. ඒ සමගම පෙර භවයේ තොරතුරුවල සත්‍යතාව සනාථ කරමින් සර්පයින් බෝතල්වල දැමීමේ ක්‍රියාව ඔහු ඉදිරිපත් කළේ. තමා මරණය සිදුවන විට උණ රෝගය සෑදී සිටි බවත් දෙදිනක් පමණ ඔහුට කතා කළ නොහැකිව සිට මරණයට පත් වූ බවත් ඔහු හෙළි කළේය. සහීර් පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී සර්පයින් බෝතල්වල දැමීමේ සිදුවිම අතිශය පුදුම උපදවන සාක්ෂියක් බවට පත් වී තිබිණි. එයට හේතු වූයේ ඔහු බෝතල දමා සර්පයින් ගෙනැවිත් දුන් බවට ලැබුණු පුද්ගල සාක්ෂි නිසාය. පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් මැද එම ආරවුලට සම්බන්ධ පවුලේ යළි ඉපදීමක් සිදු වූ බැව් තහවුරු වූ ලොව ප්‍රථම පුනර්භව සාධකය වූයේ සනීගේ කතා පුවතය. ලෙබනනයේදී පර්යේෂණයට ලක් කළ මෙම කතා පුවත පුනර්භව පර්යේෂණ අතර අතිශය වැදගත් සිදුවීමක් ලෙස පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. මෙම පුනර්තව සිදුවීම නිසා පවුල් දෙකක් අතර ඇති වූ ගැටුම ද නිරාකරණය වීම අතිශය වැදගත් සිදුවීමක් ලෙස ද වාර්තා ගතව තිබේ.
Comments
Post a Comment