
මෙහිදී වන්දි සඳහා හිමිකම වෙනම නඩු නිමිත්තක් වශයෙන් ඔප්පු කිරීම අවශ්‍ය නොවෙයි. අනාචාරය ඔප්පු කිරීමෙන්ම වන්දි සඳහා හිමිකම පැන නගී. සිල්වා එදිරිව සිල්වා (27 නනිවා 289) දරන නඩුවේ දක්වා ඇති පරිදි අනාචාරයම වන්දි ප්‍රදානය සඳහා හේතුවකි. අනාචාරය ඔප්පු කිරීමට බලාපොරොත්තු වන පාර්ශ්වය විත්තිකාර පාර්ශ්වය අනාචාරයේ හැසිරුණු ස්ථාන වෙලාවන් ආදිය ඔප්පු කිරීමට සූදානමින් සිටිය යුතු බව සමරවීර එදිරිව ජයවර්ධන (4 නනිවා 106) යන තරමක් පැරණි නඩු තීන්දුවේ දැක්වෙයි. අනෙක් වෛවාහක වැරැදි මෙන් නොව අනාචාරය ඔප්පු කළ යුත්තේ සාධාරණ සැකයෙන් තොරවය. ඒ බව ජයසිංහ එදිරිව ජයසිංහ (55 නනිවා 410) නඩුවේ දී අවධාරණය කර ඇත. සිවිල් නඩුවල මෙවැනි තදබල ඔප්පු කිරීමේ භාරයක් පවතින අවස්ථා ඇත්තේ කිහිපයක් පමණි.
අනාචාරය නම් වෛවාහක වරද සාක්ෂි මගින් ඔප්පු කිරීමේ අපහසුතාව දන්නා නීතිඥවරු අනාචාරය මත දික්කසාදය ඉල්ලා සිටින අවස්ථාවලදී බොහෝ විට වේෂසහගත ලෙස හැර දැමීමද ඔප්පු කිරීමට ප්‍රයත්න දරති. එවැනි ඉල්ලීමකදී නඩු නිමිති දෙකෙන් එකක් හෝ දෙකම වුව ඔප්පු කර දික්කසාදයක් ලබා ගැනීමට හැකිය. මෙයාකාරයෙන් අනාචාරය සහ ද්වේෂසහගත හැර දැමීම යන වෙවාහක වැරැදි දෙකින් එකක් විකල්ප ලෙස ඔප්පු කිරීමට බලාපොරොත්තුවෙන් දික්කසාද නඩුවක් පැවැරීම නීත්‍යනුකූල බව විජේසිංහ එදිරිව ඇස්ලින් නෝනා (80 නනිවා 213) දරන නඩුවේදී තීරණය කර ඇත. අනාචාරය සාක්ෂි මගින් ඔප්පු කිරීමේදී බොහෝ දෙනෙක් අපහසුතාවන්ට මුහුණ දෙති. ඊට හේතුව අනාචාරි ක්‍රියාවන් බොහෝ විට රහසේ සිදුකිරීමයි. මෙම අසීරුතාව අධිකරණය විසින්ද පිළිගන්නා බව පුෂ්පකුමාර එදිරිව මාමෙට් (2003-2 ශ්‍රීලනිවා 244) නඩුවේ දී ප්‍රකාශ කර ඇත. ඒ අනුව පිළිගත් මූලධර්මයක් ලෙස අනාචාරය ඔප්පු කිරීමට ඇසු දුටු සාක්ෂි අනවශ්‍යය යන මතයෙහි අධිකරණය සිටියි.
උදාහරණයක් ලෙස යම් දෙපාර්ශ්වයක්කිසියම් හෝටලයකට ගොස් අනාචාරයේ හැසිරුණු බව පෙන්වා දීම සඳහා හෝටලයේ නවාතැන් ගත් අමුත්තන්ගේ නාම ලේඛනය සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 598 වැනි වගන්තිය අනුව අනාචාරය මත පවරනු ලබන දික්කසාද නඩුවකදී අනාචාරියා සම විත්තිකරුවකු කළ යුතු වෙයි. තවද 598 වැනි වගන්තිය අනුව අනාචාරියාට විරුද්ධව මුදල් අලාභ එම නඩුවෙන්ම ඉල්ලීම නීත්‍යානුකූල වෙයි. අනාචාරියා සමවිත්තිකරුවකු නොකර නඩු පැවැරීමට අදහස් කරන්නේ නම් එලෙස සමවිත්තිකරු නොකර නඩුව පවත්වා ගෙන යෑමට පහත සඳහන් හේතුවලින් එකක් හෝ දක්වමින් අධිකරණයේ අවසරය ඉල්ලා සිටිය යුතු වෙයි.
විත්තිකාරිය ගණිකාවක ලෙස ජීවිතය ගත කරන බව සහ ඇය සමඟ අනාචාරයේ යෙදුණු කිසිම තැනැත්තකු පැමිණිලිකරු නොදන්නා බව
අනාචාරියාගේ නම සොයා ගැනීමට පැමිණිලිකරු නිසි ප්‍රයත්න දරන ලද නමුත් ඔහු එය නොදන්නා බව
අනාචාරියා මියගොස් තිබීම
මෙකී කරුණු එකක් හෝ මත අනාචාරියා නඩුවේ පාර්ශ්වකරුවකු නොකර සිටීමේ අවසරය පැමිණිලිකරු අත්සන් කර නඩුවටම ගොනු කළ දිවුරුම් ප්‍රකාශයක් සමග ඉල්ලා සිටීම වඩාත් සුදුසු ක්‍රමයයි (599 වැනි වගන්තිය). තවද අනාචාරියා සමවිත්තිකරුවකු නොකිරීමට බලාපොරොත්තුවන අවස්ථාවන්හි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අතිරේකව නඩුවෙහි ආයාචනයෙහි අනාචාරියා සමවිත්තිකරුවකු නොකිරීමේ අවසරය ඉල්ලා සිටිය යුතු බව ජස්ලින් නෝනා එදිරිව සමරනායක (49 නනිවා 381) නඩුවේදී පෙන්වා දී ඇත.
මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණක් වනුයේ අනාචාරියා සමවිත්තිකරුවකු කිරීමේ අවශ්‍යතාව පැන නගින්නේ අනාචාරය නඩු නිමිත්තක් ලෙස ඉදිරිපත් කර ඒ මත වෛවාහක සහන ඉල්ලා සිටින්නේ නම් පමණක් වන බවයි. අනාචාරය මත සහන ඉල්ලා සිටින්නේ නැතිනම් පැමිණිලෙන් අනාචාරය සහන ඉල්ලා සිටින්නේ නැතිනම් පැමිණිල්ලෙන් අනාචාරය හෙළිදරව් කළද අනාචාරියා සමවිත්තිකරු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව කරුණාතිලක එදිරිව කරුණාතිලක (52 නනිවා 500) නඩුවේදී පෙන්වා දී ඇත.
සම විත්තිකරුවකුගේ අනාචාරය ඔප්පු කරනු ලැබුවහොත් ඔහුගෙන් වන්දි අයකර දීමට අතිරේකව නඩු ගාස්තු අයකර දීමේ බලයද සිනවිස 612(1) වගන්තිය අනුව අධිකරණය වෙත ඇත. සම විත්තිකරු සමග පැවැති අනාචාරය පැමිණිල්ල විසින් ඔප්පු කළ අවස්ථාවක වුවද අලාභ හෝ නඩු ගාස්තු ගෙවීමට යටත් නොවීම සඳහා පහත සඳහන් විත්තිවාචක ගෙනඒමේ හැකියාව සමවිත්තිකරුට අයිතිය ඇත. ඒ විත්තිවාචක ඔප්පු කළ යුත්තේ සිවිල් ඔප්පු කිරීමේ භාරයට යටත්වය. අනාචාරයේ යෙදුණු කාලයේ දී විත්තිකාරිය ස්වාමියාගෙන් වෙන්ව ගණිකාවක ලෙස කටයුතු කළ බව අනාචාරයේ යෙදුණු කාලයේදී විත්තිකාරිය විවාහක ස්ත්‍රියක් බව විශ්වාස කිරීමට ප්‍රමාණවත් හේතු නොවූ බව (612(1) අතුරු විධානය)
Comments
Post a Comment