gossiplanka image 1
ලොව පුරා අති විශාල බැතිමතුන් පිරිසක් සමරනු ලබන්නා වූ උත්සවය වන්නේ නත්තල් උත්සවයයි. එමෙන්ම ලොව සෑම රටක ම, සෑම දේශයකම මෙම උත්සවය පැවැත් වෙන්නේ සෑම තැනක ම කිතුණු ජනතාව ව්‍යාප්තව සිටින බැවිනි. සෑම වසරක ම දෙසැම්බර් 25 වන දා යෙදෙන නත්තල් උත්සවය කිතුණු බැතිමතුන්ගේ ගෞරවනීය ශාස්තෘවරයාණන් වූ ද සාමයේ පණිවුඩය ගෙන ලොවට පහල වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ද ජේසු ස්වාමි දරුවාණන්ගේ උත්පත්තිය නිමිති කොට පවත්වනු ලැබේ. මෙය ආගමික උත්සවයක් වුව ද සංස්කෘතිකමය වශයෙන් ද සමාජයී වශයෙන් ද වැදගත් වන්නා වූ සුවිශේෂ උත්සවයක් වේ.


නත්තල් උපත


නත්තල යන වචනය නතාල්, නතාලේ (NATALE) යන 'උපත' නැමැති අරුතැති ලතින් වචනයෙන් බිඳී ආවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නත්තල් උත්සවය සැමරීම හතරවන සියවසෙන් පසු කාලයේ ඇරඹුනු බව පෙනේ. ක්‍රිස්තු වර්ෂ 274 දී පමණ රෝමයේ සිටි 'ඇරේලියස්” අධිරාජ්‍ය විසින් එතෙක් හිරු දෙවියන්ගේ උපත ලෙස සැලකූ දෙසැම්බර් 25 වන දිනය ජේසුස් වහන්සේ උපන් දිනය ලෙස සලකා සමරන ලෙස සම්මත කළ බව කියැවේ. මීට හේතුව හිරු සේම ජේසු තුමන් ද ලෝකයට ආලෝකය ගෙන ආ බව සංකේතවත් කිරීම විය හැකිය. ජේසු තුමන්ගේ මව වන්නේ මරිය තුමියයි. එතුමන්ගේ පියා වූයේ ජෝසප් ය පේසු තුමා ඉපදීමට වසර 400කට පෙර උන්වහන්සේ බෙත්ලෙහෙම් නගරයේ උත්පත්තිය ලබන බව දිවැසිවරයෙකු කියා තිබුණ. ඒ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ. 



ජේසු තුමන් ඉපදීමට පෙර මරිය තුමිය වෙත ආ දේව දූතයකු විසින් එතුමියට සුවිශේෂ දරුවකු ලැබෙන බවත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන බැවින් ද ලෝක වාසීන් පාපයෙන් ගලවා ගැනීමට පහළ වන  බැවින් ද ජේසු යන නාමය තබන ලෙස දන්වා අතුරුදන් විය. ජේසු බිළිඳා උපදින්නට ආසන්න දිනවල දී ඔගස්ටන් අධිරාජ්‍යයේ අණඥාවක් මත පැවැත්වුණු සංගණනයක් සඳහා ජෝසප් තුමා හා මරියතුමිය බෙත්ලෙහෙම් නගරයට ගියහ.සංගණනය සඳහා පැමිණ සිටි පිරිස නිසා එදින බෙත්ලෙහෙම් නගරය අතුරු සිදුරු නැති විය. ජෝසප් තුමාට සහ මරිය තුමියට නවාතැන් ගැනීමට ස්ථානයක් නොවීය. එබැවින් එදින රාත්‍රියෙහි ඔවුනට ගත කිරීමට සිදු වූයේ ගවයින් සඳහා තනා තිබුණු ගව මඩුවක වන අතර ලෝකයට සාමය උදා කළ ඒ මහා පුරුෂයාණන්ගේ උත්පත්තිය එදින රැයේ ගව ලෙනේ දී සිදු විය. සුව පහසු ඇඳ ඇතිරිලි වෙනුවට එහි වූයේ පිදුරු පමණි. නෑදෑ හිත මිතුරන් වෙනුවට වටා සිටියේ ගවයින් පමණි. මරිය තුමිය බිළිඳු ජේසු කුමරා ගවයින්ට ආහාර දෙනු ලබන ගව ඔරුවක උණුසුම් කොට තැබුවා ය. ගව මඩුව ආසන්නයේ තණ බිම්වල බැටළු එඩේරු එම රාත්‍රියේ බැටළුවන්ට ආරක්ෂව සපයමින් සිටියහ. එඩේරුන් වෙත පැමිණි දේව දූතයෙක් එදින රාත්‍රියේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මෙලොව උපත ලැබූ බව පැවසීය. වසර දහස් ගණනක් පුරා තමන් පාපයෙන් මුදවා ගැනීමට දෙවියන්ගේ පුත්‍රයා පැමිණෙන තුරු බලා සිටි එඩේරු ගව ලෙන සොයා ගොස් ජේසු බිළිඳාණන්ට නමස්කාර කළහ. මේ අතර අහසේ පෑයු සුවිශේෂ තරුවෙන් ගැලවුම්කරුවාණන් ලොව පහළ වූ බව දැන ගත් විද්‍යාධරයෝ තිදෙනෙක් පෙර දින සිට පැමිණෙමින් සිටියහ. ගව මඩුවට පැමිණි ඔවුන් සුවඳින්, අමරණීන්, වස්ත්‍රයෙන් ජේසු බිළිඳාණන් පිදූහ.සෑම වසරකම දෙසැම්බර් 25 වන දින ජේම්සු බිළිඳාණන්ගේ උපත වෙනුවෙන් නත්තල් සාම පණිවඩුය බෙදා හැර එම දිනය උත්සව ශ්‍රීයෙන් යුතුව සැමරීම කිතුණු ජනතාවන්ගේ චාරිත්‍රයයි.


ලංකාවේ ප්‍රථම නත්තල් දේව මෙහෙය


ලංකාවේ නත්තල් උත්සවය පළමුවෙන් සමරන ලද්දේ 1505 වසරේ දී ය. 1505 ඉල් මාසයේ දී ඉන්දියන් සාගරය හරහා ලංකාවට සේන්දු වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි නාවුක කණ්ඩායම ගාල්ලට ගොඩ බසින ලද අතර අනතුරුව මුහුදු බඩ මාර්ගය ඔස්සේ ඔවුහු කොළඹ දක්වා පැමිණියහ. ඉන්පසු අල්මේදාගේ ප්‍රධානත්වයෙන් යාච්ඤා ගෘහයක් ඉදි විය. එය ''ලව්රෙන්ති' මුනිතුමාගේ නාමයට කැප විය. 1505 උඳුවප් මාසයේ 25 වන නත්තල් දින මේ ගෘහය තුළ  නත්තල් දේව මෙහෙයක් පැවැත්විනි. එය පවත්වන ලද්දේ ' මින්සෙස්” නම් කතෝලික පූජකතුමා විසිනි. එය ලංකාවේ පැවැත් වු ප්‍රථම නත්තල් දේව මෙහෙයයි.


බෙත්ලෙහෙමේ නත්තල් උත්සවය .


ජේසු බිළිඳාණන් මෙලොවට බිහි වූයේ බෙත්ලෙහෙම් නගරයේ දී ය. ශුද්ධ වූ බෙත්ලෙහෙම් නුවර පැවැත්වෙන නත්තල් දේව මෙහෙය ලෝකයේ පැවැත්වෙන සියලුම් නත්තල් දේව මෙහෙයන් අතර ප්‍රධාන ස්ථානය ගනි. එමෙන්ම නත්තල් උත්සවයේ කේන්ද්‍රය වන්නේ ද බෙලෙහෙමේ කෙරෙන නත්තල් උත්සවයයි. මධ්‍යම පලස්තීනයේ පිහිටි බෙලෙහෙම, යෙරුසෙලම් නගරය කිලෝමීටර් 8ක් දකුණු දෙසින් පිහිටා ඇත. ජේසු ස්වාමි දරුවාණන්ගේ උපත සිදු වූණු සමයේ බෙත්ලෙහෙම, ජුදයාව, ගලීලය සහ සමරියාව යන කොටස් තුනකින් යුක්ත විය. එදා අගනුවර වූයේ ජෙරුසෙලමයි. බෙත්ලෙහෙම මුලින්ම හඳුනාගනු ලැබුයේ ජස්ටින් ශාන්තුවරයා විසිනි. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ දී බෙලෙහෙමට ආසන්නව පිහිටි ගල් ගුහාවක් ජේසු සමිදාණන් බිහි වූ ගල් ලෙන ලෙස හඳුනාගන්නා ලදී. මෙය මේ වන විට ඉතා අලංකාර දේව මන්දිරයක් බවට පත්ව ඇත.උපත්තේ දේව මන්දිරය ලෙස මෙය කිතුණු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත්ව ඇත. පළමු වන කිතුණු අධිරාජයා වන කොන්ස්ටැන්සටයින් අධිරාජ්‍යයාගේ මව ශාන්ත හෙලේනාවන් විසින් මෙම දේව මන්දිරය ගොඩ නැගු අතර ක්‍රි. ව. 527-565 දක්වා පාලනය කළ ජස්ටින් අධිරාජ්‍යයා විසින් මෙම මන්දිරය ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම දේව මන්දිරයට යටින් කුඩා මන්දිරයක් පිහිටා ඇත. ඒ තුළ රිදී තාරකාව තැන්පත් කොට ඇති ස්ථානය ස්වාමි දරුවාණන් උපත ලද ස්ථානය ලෙස සැලකේ. බෙත්ලෙහෙමේ නත්තල් උත්සවය සඳහා විවිධ රටවලින් දහස් ගණන් ජනතාව එක්රොක් වන්නේ කිතුණු උපත සිදු වූ ස්ථානයේ දී ම එය සමරන බලාපොරොත්තුවෙනි. නත්තල් දිනය පුරාම මෙම දේව මන්දිරයේ දේව මෙහෙයන් පවත්වනු ලබන අතර ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රොක් වී තමන් පාපයෙන් ගලවා ගැනීම සඳහා ලොව පහළ වූ දෙවියන්ගේ පුත්‍රයාණන් ද කිතුණු ආගමේ  ශාස්තෘවරයාණන් ද වන ජේසු ස්වාමි දරුවාණන්ගේ උපත ගෞරවයෙන් ද කෘත ගුණ පූර්වකව ද සිහිපත් කරති.


නත්තල් සිරිත


ජේසු ස්වාමි දරුවාණන් යනු හුදු ආගම් කතෘවරයකු පමණක් නොවේ. එතුමා තැලී පෑගී අසරණ වුණු ජනතාවට සරණ වූ මානව හිතවාදියෙකි. අයුක්තියට, අසාධාරණයට එරෙහි වු ජනතා නායකයෙකි. ජනතාවගේ පාපය වෙනුවෙන් වන්දි ගෙවූ පුරුෂයෙකි. සත්‍යයත් යුක්තියත් සාධාරණයක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ මහා පරිත්‍යාගශීලියෙකි. රෝගිනට සෙත සැලසූ දයාවෙන් ද කරුණාවෙන් ද යුක්ත වූ මහා වෙදදුරෙකි. සියලු ලෝ වැසියට විමුක්තිය ලබා දීම පිණිස කැප වූ මහා විමුක්ති දායකයෙකි. එතුමන්ගේ උපත සිහි කිරීම පිණිස පවත්වනු ලබන නත්තල් උලෙලේ උන්වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන සුවිශේෂ දේව මෙහෙයන්ට සහභාගී වෙමින් ආගමික කටයුතු සම්පූරණ කළ පමණකින් ම එතුමන් වෙනුවෙන් කළ යුතු  සියලු වතාවත් සම්පූර්ණ නොවේ. නත්තල් චාරිත්‍ර ගොඩ නැගී ඇත්තේ එතුමන් ආදර්ශයක් කොට ගෙන තම ජීවිත සකස් කර ගනු පිණිස ය. එබැවින් නත්තල් සමය කිතුණු බැතිමතුන්ගේ සාමය සමගිය පළ කරනා උත්කර්ෂවත් උත්සව සමයක් බවට පත් වී ඇත. අසල්වාසී හිතවතුනට හැකි පමණ සංග්‍රහ කිරීමෙන් ද අසරණයින්ට පිහිට වීමෙන් ද තෑගි බෝග දිමාදියෙන් ද අන්‍යයන් හැකි පමණ සතුටට පත් කිරිමෙන් ද, රෝගීන් කායිකව මෙන්ම මානසිකව ද සුවපත් කිරිමේ අටියෙන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන ඖෂධ ආදී දේ පරිත්‍යාග කිරිමෙන් ද කිතුණු බැතිමතුන් ජේසු ස්වාමි දරුවාණන්ගේ ආදර්ශය අර්ථවත් කරති.  


නත්තලේ සුවිශේෂතා


නත්තල් උත්සවයේ දී තම හිත මිතුරන්ට ඥාතීන්ට නත්තල් පත් යැවීම සුවිශේෂ සිරිතකි. මෙහි ආරම්භකයා ලෙස සලකනු ලබන්නේ එංගලන්තයේ විසූ 'හොන්රි කෝල්” නැමැත්තෙකි. ඔහු සිය ඥාතීන්ට 'ජෝන් කොලංකෝට් හොස්ලි නැමැති චිත්‍ර ශිල්පියා ලවා මුල්ම නත්තල් පත නිර්මාණය කැරැවු බවත් එය සිදු වුණේ 1843 දී බවත් ඓතිහාසික තොරතුරු අනුව හෙළි වේ. නත්තල් ගී ගායනය නත්තල් උත්සවයේ දී සුවිශේෂ වූවකි. කිතුණු උපතටත් පෙර දෙවියන් උදෙසා ස්තුති ගීතිකා ගැයීමේ චාරිත්‍රයක් පහළව තිබුණු අතර ශුද්ධ වූ ලූක් තුමාගේ සුභාරංචිවලට අනුව බෙත්ලෙහෙම් නුවර සිටි එඩේරුට දේව දූතයින් විසින් තණ බිම්වලදී ශුභාරංචි ගීතිකා ගැයූ බව කියැවේ. කෙසේ වුවද එකොළොස්වන ශත වර්ෂයේ දී දෙව් මැඳුරු තුළ ස්තුති ගීතිකා ගැයීමේ චාරිත්‍රය පැවැතිණි. මෙහිදී ගැයුණු ගීය ලෙස සඳහන්වන ඇත්තේ " Welcome LordChrist, Lord of us all" නම් ගීයය. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නත්තල් ගීය වන 'සයිලන්ට් නයිට් - හෝලි නයිට්' ගීතය ලියා ගායනා කලේ ඔස්ට්‍රිටයාවේ, ජෝසප් ප්‍රාන්ස් මෝහර් නම් දේවගැතිවරයා විසිනි. අද යුගයේ දී "Silent Night - Holy Night" ගීතය ලෝකයේ වැඩිම දෙව්මැඳුරු සංඛ්‍යාවක ගැයෙන බැති ගීයයි. ලංකාවේ කැරොල් ගී ආරම්භය පෘතුගීසි යුගයේ දී සිදු වූ අතර භික්ෂූන් වහන්සේලා ඇසුරින් සිංහල බස හදාරා ගී රචනා කොට කිතුණු බැති ගී සාහිත්‍යයක් ගොඩ නැංවීමේ උදාර කාර්යය කරනු ලැබුයේ ඉන්දියානු ජාතික 'ජාකෝමේ ගොන්සාල්වේස්” පියතුමා බව ප්‍රකට කරුණකි.නත්තල් සීයා සීත නත්තලේ සුවිශේෂ චරිතයකි. 'සැන්ටර් ක්ලෝස්” යන නමින් පොඩිත්තන් හඳුන්වන නත්තල් සීයාගේ චරිතය ගොඩ නැගුනේ තුර්කියෙනි. එරට ළමා ළපටින්ට තෑගි බෝග දී සතුටු කිරීමේ සිරිතක් තුර්කියේ විසූ 'ශාන්ත නිකුලස්” තුමා විසින් ආරම්භ කරන ලද අතර ලොව පුරා නත්තල් සීයා' ලෙස පැතිර ගියේ මේ සුවිශේෂ චරිතය හා සිරිතයි. මුළු මහත් ධනයම අවසන් වන තුරු ළමා ළපටින්ට තෑගි බෝග දෙමින් පොඩිත්තන්ගේ සිත් සතන් නත්තල් දිනයේ දී තුටු පහටු කළ ශාන්ත නිකුලස් තුමා ක්‍රිස්තු වර්ෂ 341 දෙසැම්බර් 6වන දින ස්වර්ගස්ථ වූ බව කියැවේ.නත්තල් සමයේ තෑගි බෝග, කෑම බීම, රස කැවිලි මේ හැම දේකින් ම සතුටු වන පොඩිත්තන්ගේ සුවිශේෂ නත්තල් රසකැවිලි වර්ගයක් ලෙස 'සීනි කෙවිට' හැඳින්විය හැකියි. එඬේරෙකුගේ යෂ්ඨිය සිහිපත් කරවන 'සීනි කෙවිට' මුලින්ම හඳුන්වා දී ඇත්තේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රස කැවිලි වෙළෙඳකු විසින් බව කියැවේ. සීනි කෙවිටේ සුදු පැහැයෙන් ජේසු තුමන්ගේ පාරිශුද්ධත්වයත් සිහින් ඉරි තුනින් ශුද්ධ වු ත්‍රිත්වයන් සංකේතවත් වේ. ජේසු ස්වාමි දරුවාණන්ගේ උපත සිහි ගන්වන නත්තල් උත්සවය ලංකාවේ සැමරෙන උත්සව අතර සුවිශේෂ වූවකි. එය කිතුණු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් ලෙස ආරම්භ වුව ද අද යුගය වන විට ආගම් භේදයකින් තොරව ලාංකික ජනතාව එම උත්සවය සමරති. අගය කරති. ඒ අනුව පෙනී යන්නේ නත්තල් උත්සවයේ ප්‍රධාන අරමුණ ලාංකීය ජනතාව අතර සැබැවින්ම අර්ථවත් වී ඇති බවයි. ආගම් භේදයෙන් තොරව දෙව් මැඳුරු කරා ගොස් පූජාවලට සහභාගී වීමෙන් ද උත්සව පැවැත්වීමේ දී එකිනෙකාට සුබ පතමින් තෑගි බෝග දීම දී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් ද ලාංකික ජනතාව කිතුණුවන්ගේ ශාස්තුවරයාණන් වන ජේසු තුමන්ගේ දර්ශනය අගය කිරීමත් අර්ථවත් කිරීමත් තුළින් නත්තල් උත්සවය ලාංකීය ජනතාවගේ සාමය, සමගිය තහවුරු කෙරෙන සුවිශේෂ අවස්ථාවක් වී ඇති බව අවධාරණය කළ යුතු ය.


නත්තල් කාඩ්පතේ කතාව.


නත්තල් කාඩ්පත යනු නත්තල් සමයේ තම සුහදතාවය පෙන්වීමටත්, හිතවත් කම කියා පෑමටත් යවනු ලබන සාම්ප්‍රදායික සුභ පැතුම් පතකි. ලෝකයේ ප්‍රථම නත්තල් සුභ පැතුම් පත අඳිනු ලැබුවේ ජෝන් කැල්කොට් හෝර්ස්ලේ විසිනි. ඒ සුභපැතුම් පත අඳිනු ලැබුවේ ශ්‍රීමත් හෙන්රි කෝල් වෙනුවෙනි. ලොව ප්‍රථම නත්තල් සුභ පැතුම් පත යවනු ලැබුවේ ඔහු විසිනි. දකුණු පසින් ඇත්තේ එම කාඩ්පතයි. එම කාඩ්පත් පින්තූරයේ ඇත්තේ පරම්පරා තුනක පිරිසක් කාඩ්පත ලබන්නාට නත්තල් සුභාසිරි පතන බවය. ඒ දෙපසින් ඇති පින්තූර දෙකෙන් පිළිබිඹු වන්නේ දුප්පතුන්ට නත්තල් තෑගි ලබා දෙන අයුරු ය. මින්පසු මුද්‍රණය වූ බොහෝ නත්තල් සුභ පැතුම් පත්වල ආගමික සේවාවන් හෝ ශීත කාලය සනිටුහන් කර නොතිබුණේ ය. සුරගනගේ සහ සතුන්ගේ පින්තූර යොදා මුද්‍රණය කරනු ලැබූ නත්තල් සුබ පැතුම්පත් එකල බෙහෙවින් ජනප්‍රිය විය. 1873 වසරට පසු මුද්‍රණය කළ නත්තල් සුබ පැතුම්පත්වලට ආගමික තේමාවන් සහ ශීතකාලයේ දර්ශන ඇතුලත් කළ නත්තල් සුබ පැතුම්පත් එළි දක්වනු ලැබී ය.