gossiplanka image 1
 


අපේ ශරීරය වයස්ගත වන විට ශරීරය පුරා රුධිරය ගමන් කරන නහර විවිධ හේතු මත ලෙඩ වෙයි. එහි අවසන් ප්‍රතිඵලය හෘදයාබාධයක් හෝ අංශභාගය හෝ වීමට ද ඉඩ තිබේ. මෙසේ වීමට ප්‍රධාන හේතු 4ක් ඇත. මෙයින් අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ දුම්පානය ගැන දැනටමත් ඔබ දන්නවා ඇත. මේ හැරුණු විට මොනම රෝග ලක්ෂණයක්වත් කිසි විටෙකත් නොපෙන්වා තිරය පසු පස හිඳ අපව බිම වට්ටන්නට සමත් දෙයක් වන්නේ කොලෙස්ටරෝල්.


කොලෙස්ටරෝල් අපට සැමවිටම කරදරයක් ද?


තෙල් වර්ගයක් ලෙස ද හැඳින්විය හැකි කොලෙස්ටරෝල් අපට කොතෙක් කරදර කළත් එය ද අපේ ශරීරයට යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙයි. අපේ ශරීරය සැදී තිබෙන්නේ ඇසට නොපෙනෙන සෛල විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි. මේ සෑම සෛලයකම  ආවරණයක් සෑදීමට කොලෙස්ටරෝල් උපකාරී වෙයි. එසේම විටමින් D සහ පිත නිපදවීම සඳහාත් කොලෙස්ටරෝල් අවශ්‍ය වේ.


මේ සඳහා කොලෙස්ටරෝල් සහිත ආහාර අනුමත නොකරන්නේ ඇයි?



ඉහත කී කිසිවක් සඳහා කොලෙස්ටරෝල් කෑමට ගත යුතු නොවේ. එයට හේතුව අපේ ශරීරය තුළම වෙනත් තෙල් වර්ග පාවිච්චි කරමින් කොලෙස්ටරෝල් නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන නිසාය. නමුත්, ආහාරය මගින් ද කොලෙස්ටරෝල් ශරීරයට එකතු වූ කල ඒවායින් ද යම් ප්‍රමාණයක් උරා ගැනේ. මල මාර්ගයෙන් ද යම් තරමකට කොලෙස්ටරෝල් පිට කිරීම සිදු වෙයි. නමුත්, එසේ පිට කරන වේගයට වඩා වැඩියෙන් කොලෙස්ටරෝල් අප ලබා ගන්නේ නම් එය ශරීරයට කරදරකාරී තත්වයක් ඇති කිරීමට සමන්වනු ඇත. ශරිරයට සුදුසු නුසුදුසු ආහාර සහ සංතෘප්ත අසංතෘප්ත මේද දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම යනු ශරීරයට එක් දිනක දී අවශ්‍ය වන මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණයටම අප ළගා වී ඇති බවයි. කහමදය කොලෙස්ටරෝල්වලින් ගහනය. මේ හැරුණු විට බිත්තර දමා සාදන ලද කේක්, වටලප්පන්, පුඩිං වැනි දෙයකුත් අපේ ශරීරයට වැටුණොත් එය අනිවාර්ය ගැටලුවක් වීමට ඉඩ තිබේ. පීකුදු ද කොලෙස්ටරෝල් බහුල ආහාරයකි. කොලෙස්ටරෝල් ලෙසින්ම අප ආහාරයට නොගත්ත ද ශරීරයේ අප මුලින් කී කොලෙස්ටරෝල් නිපදවීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන උපකරණ ලබා නොදීම ද අපේ වගකීම වේ. මේ සඳහා මූලිකවම අවශ්‍ය කරන දෙයක් වන්නේ සංතෘප්ත මේද අම්ල ගැනීමෙන් වැළකී හිඳීමය. නිදසුනක් නම් පොල් තෙල්ය. අප මිල දී ගන්නා ආහාර ටින් හා බෝතල්වල මෙම මේද අම්ල ගැන විස්තර මුද්‍රණය වී තිබේ. සංතෘප්ත මේද අම්ල යන්න මේවායෙහි දක්වා ඇත්තේ Saturated fatty acid යනුවෙනි. ශරීරයට සුදුසුම දෙය අංසතෘප්ත මේද අම්ලයි. එය එක් අසංතෘප්ත මේද අම්ලය (Monounsaturated fatty acid) සහ බහු අසංතෘප්ත මේද අම්ල (Poly unsaturated fatty acid) යනුවෙන් දැක්වෙයි. සංතෘප්ත මේදය සාමාන්‍යයෙන් ශක්තිමත්ය. සිසිල් පරිසරයක දී බෝතල් තුළ ගන බවට පත් වන පොල්තෙල් මෙයට එක් නිදසුනකි. මෙයට අමතරව බටර්, චීස්, සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සහ කිරි ආහාර, සත්ව මාංස තුළ ද මෙම මේද වර්ගය බහුලව අඩංගු වේ. සිසිල් පරිසරයක දී අසංතෘප්ත මේදය අඩංගු තෙල් වර්ග දියර ලෙසින්ම පවතින අතර, සංතෘප්ත මේදය සහිත තෙල් ගන බවට පත්වේ. හොඳම උදාහරණය ශීතල කාලවල දී පොල්තෙල් ගන වීමය.

ශරිරයට සුදුසු බහු අසංතෘප්ත තෙල් වර්ග දෙකක් තිබේ. ඒ ඔමෙගා-6 (ෆ-6) සහ ඔමෙගා 3 (ෆ-3)යි.

ඔමෙගා 3 මාළුවල යහමින් තිබේ. ඒ අනුව සතියකට තුන් වරක්වත් මාළු ආහාරයට ගැනීම ඉතා හොඳය. ඔමෙගා - 6 පොල්

තෙල් නොවන බොහෝ තෙල් වර්ගවල අඩංගු වේ. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, කෝන් තෙල් ආදිය මෙයට උදාහරණ වේ.


එකම තෙල්වලින් නැවත නැවත බැදීම අහිතකර ඇයි?


මොන තෙල් වර්ගයක් වුවත් දිගින් දිගටම එකම තෙල් වර්ගය බැදුම් සඳහා පාවිච්චිය නම් සුදුසුම නැත. තෙල් ඉහළ උෂ්ණත්වය දී කළු පැහැ ගැන්වෙන විට එහි වෙනස්කම් ඇති වේ. සාමාන්‍යයෙන් cis නම් ආකාරයේ පවතින තෙල් ට්‍රාන්ස් (Trans)  ආකාරයට පත්විය හැකිය. ට්‍රාන්ස් තෙල් ශරිරයට එතරම් සුදුසු නොවේ. කොලෙස්ටරෝලින් නහරවලට සිදුවන විනාශයට මෙයින් තව දුරටත් සහයෝගයක් ලැබෙනු ඇත. ඒ අනුව ඔබ කඩෙන් තෙල් ආහාර ගන්නා විට ට්‍රාන්ස් මේදය මොන තරම් එහි තිබෙනවා ද යන්න සොයා බැලීම නුවණට හුරුය. ගැඹුරු තෙලෙහි බදින ලද ආහාරවල ට්‍රාන්ස් මේදය බහුලය. එසේම කිරි, බටර්, කේක්, බිස්කට්, බේක් කළ ආහාරවල ද ට්‍රාන්ස් මේදය අධික ලෙස පවතී.

ශරීරයට සුදුසු ආහාර වන්නේ එළවළු, මාළු, බත්, ධාන්‍ය, ඇට වර්ග, පලතුරු, කුරක්කන් සෝයා ආදියයි. සෝයා තෙල් සහ සෝයා ආහාරවල කොලෙස්ටරෝල් අඩු කිරීමේ ශක්තිය පවතියි. ඔලිව් තෙල්වල ප්‍රතිඔක්සිකාරක (Anti Oxident) බහුලය. ප්‍රතිඔක්සිකාරක මගින් සිදු කරන්නේ නහරවල කොලෙස්ටරෝල් තැන්පත් වීම වැළැක්වීමය. රටකජු ඇතුළු වෙනත් කජු වර්ගත් ශරීරයට සුදුසු වන අතර, කළු පැහැති චොකලට් ස්වල්පයක් එක්කර ගැනීම වරදක් නොවේ. මත්පැන් ඉතාම ස්වල්පයක් ගැනීම කොලෙස්ටරෝල් සඳහා ආරක්ෂකාරී වුවත් එහි සීමාව ගැන ප්‍රවේසම් විය යුතුය. පොල්තෙල්වල කොලෙස්ටරෝල් නැති වුවත්, එය ආහාරයට ගත් පසු ශරීරය තුළ දී එමගින් ඉතා පහසුවෙන් කොලෙස්ටරෝල් නිපදවෙයි. එනිසා එය ද සීමා කළ යුතුය. රුධිර පීඩනය දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගවලින් පෙළෙන අය පොල්තෙල් භාවිතයෙන් වැළකිය යුතු වේ.


ජීවිතය කෙටි කරන ෆාස්ට් ෆුඩ්ස්  


ඔබ වෙළෙඳ පොළෙන් මිල දී ගන්නා කොත්තු රොටී ඇතුළු විවිධ ෆාස්ට් ෆුඩ්ස් නමින් හඳුන්වන ක්ෂණික ආහාරවල කොයි තරම් ට්‍රාන්ස් මේදය ඇති දැයි සිතා බලන්න. මේ ෆාස්ට් ෆුඩ්ස් නිසා ඔබේ ලයිෆ් එකත් ෆාස්ට් ම වනු ඇත. එහි අරුත වේගයෙන් ඔබ අවසානය කරා ළගා වීමයි.

මින් අදහස් කරන්නේ ෆාස්ට් ෆුඩ්ස් සහ කේක් ආදී ඉහත දැක්වූ අනිකුත් ආහාර භාවිතයෙන් මුළුමනින්ම ඉවත් වීමක් නොවේ. කේක් වැනි දේවල් විශේෂ අවස්ථාවක දී පමණක් ගැනීම වරදක් නැත. නමුත්, දිනපතාම රාත්‍රී ආහාර වේල සහ උදේ ආහාර වේල කඩෙන්ම කන අය සිටිති. තුන් වේලම කඩෙන් කන අයත් නාගරිකව බහුලය. මෙහි ඇති අහිතකර බව ඔබට අත්විඳින්නට සිදු වන්නේ අද හෙට නොවේ. මේ ෆාස්ට් ෆුඩ්ස් සංස්කෘතිය අපට හිමි වූයේ 77න් පසුව ය. වඩාත්ම අප ඊට නැඹුරු වූයේ අසූව දශකයේදීය. ඊට පෙර දශකවල අයට වඩා ඉක්මනින් හා වේගයෙන් 80න් පසු බිහි වූ අය රෝගී වන අන්දම හා කලින් දකින්නට නොලැබුණු අන්දමේ රෝගාබාධවලට ගොදුරු වන අන්දම තව වසර කිහිපයකින් අපට බලා ගන්නට හැකි වනු ඇත. ඒ අත්දැකීම තවම හරිහැටි දකින්නට ලැබී නැති නිසා අපි තවමත් ෆාස්ට් ෆුඩ්ස්වලින් වේල පිරිමසා ගන්නා අය වී හිඳීමු. දියුණු රටවල ආහාර පැකට්ටුවක එහි අඩංගු සංතෘප්ත අසංතෘප්ත මේද ගැන පවා සඳහන් කොට ලේබලයක් ගැසීම සිදු වේ. නමුත්, අප කන කොත්තු රොටියේ අඩංගු දේවල් ගැනත්, කවදා හැදූ ඒවා ද යන්නත්, ඊට යොදන තෙල් කී වාරයක් බැදුම්වලට ප්‍රයෝජන ගෙන ඇති ද වැනි කිසිවක් අපට දැන ගන්නට ක්‍රමයක් නැත. ඒ අනුව වටහා ගත යුත්තක් වන්නේ මෙම ක්ෂණික ආහාර සංස්කෘතිය අප ඉක්මනින් වළපල්ලට රැගෙන යන්නක් බවය.


ශරීරයට නුසුදුසුම ට්‍රයිග්ලිසරයිඩ


තවත් ශරීරයට නුසුදුසු තෙල් වර්ගයක් වන්නේ ට්‍රයිග්ලිසරයිඩය. අප කුමන තෙල් වර්ගයක් ආහාරයට ගත්තත් ඒවා රුධිරයට උරා ගැනීමේ දී ට්‍රයිග්ලිසරයිඩ බවට පත්වේ. රුධිරයේ කොලෙස්ටරෝල් සම්බන්ධ සම්පුර්ණ පරික්ෂණයේදී (Lipid Profile) කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණය ද සොයා බැලේ. ආහාර ගත් වහාම රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ ඉහළ යන නිසා ලිපිඩ් ප්‍රොෆයිල් සම්පූර්ණ පරික්ෂණයේ දී රුධිරය ලබා ගැනීමට පැය දොළහක් නිරාහාරව සිටිය යුතුය. ට්‍රයිග්ලිසරයිඩ වැඩි වීම ද කොලෙස්ටරෝල් වැඩිවීම බඳුම අන්තරාකාරිය. මෙම මේද වර්ග වැඩි වූ විට මෙන්ම අඩු වූ විට ද රෝගියාට නොදැනෙන මුත් සම්පූර්ණ ලිපිඩ් ප්‍රොෆයිල් පරික්ෂණයක දී එය මැනවින් හදුනා ගත හැකිය.


කුඩා දරුවන්ට ආහාර දීමේ දී ප්‍රවේසම් විය යුත්තේ ඇයි?


ඉහත කී විෂ තෙල් වර්ග ශරීරයේ ඉහළ මට්ටමක පැවැතීම යනු පාර මැද සිටගෙන සිටීම බඳුම අවදානම් සහගත තත්වයකි. මවුවරුන් තම දරුවන්ට ආහාර ලබා දීමේ දී ඉතාමත් සැලකිල්ලෙන් එය කළ යුතුය. ආහාර මගින් ඇති කරන විනාශය ආරම්භ වන්නේ කුඩා කල සිටමය. එනිසා දරුවන්ට ආහාර දීමේ දී ඔවුන්ගේ උදරය ගැන පමණක් නොව, ඔවුන් කවදා හෝ වැඩිහිටියන් වන බව ද සිහි තබා ගෙන නීරෝගී වැඩිහිටි වියක් පිළිබඳව සලකා ආහාර දීමට ප්‍රවේසම් විය යුතුය.