
නීල මහා යෝධයා සමග ගජබා රජ ඉන්දියාවේ සොළී පුරයට ගොස් සොළී රජු බියගන්වා කලින් ලංකාවෙන් ගෙන ගිය සිංහලෙන් හා සොළීන් දහස් ගණනක්ද රැගෙන ආපසු මව් රටට පැමිණීම විස්මයජනකය. ප්‍රථම වරට විදේශ රටකට ගොස් කීර්ති නාමයක් ගෙන ඒමට ගජබාවෝ සමත් වීම ඉතිහාසගත වී තිබේ. මෙතුමාගෙන් පසු (ගජබා රජු) මහල්ලක නාග රජකමට පත් වූයේය. මහල්ලක නාග රජුගේ පුතුන් දෙදෙනකු වන භාතිය තිස්ස හා කණිට්ඨතිස්ස කුමරුන් දෙදෙනාගෙන් හාතිය මුලින් රජකමට පත්විය. අනතුරුව තම සොහොයුරු රාජ්‍ය පාලනය භාර ගත්තේය. මොවුන් දෙදෙනාගේ රාජ්‍ය පාලන සමයේදී රට අවුල් වියවුල්වලින් තොරව ජනතාවට ආගමික කටයුතුවල නියැලෙමින් සුඛිත මුදිත ජීවිත ගත කිරීමට ඉඩ සලස්ව තිබිණි. දිවයින වටේ පිහිටි ස්වභාවික වරායන් මගින් වෙළෙඳ කටයුතුවල දියුණුවක් එසමයේ සිදුවිය. භාතිය හා කණිට්ඨ සහෝදරයන් (ක්‍රි.ව. 143-186) වසර 43ක රාජ්‍ය පාලනයෙන් පසු චූලනාග, කුඩ්ඩනාග, 1 වැනි සිරිනාග රජවරු (ක්‍රි. ව. 186-209) වසර
23ක් රාජ්‍ය පාලනය කළහ. සිරිනාග රජුගෙන් පසු ඔහුගේ පුතෙකු වන වොහාරක තිස්ස ඊළග රජු විය. (ක්‍රි. ව. 209-231) දිපවංශ ටීකාවට අනුව සිරිනාග තිස්ස රජුට පුත්තු දෙදෙනෙක් සිටියාහ. අභය හා තිස්ස යන නම්වලින් ඒ බව දැක්වේ. පිය රජුගෙන් පසු අහය රජ වූ වගක් දීපවංශයෙන් කියැවේ. ඉන්පසු තිස්ස කුමරු රජ වූ වගක් ගැන ද ගම්‍ය වේ. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව මහාවංශයෙන් දැක්වෙන පරිදි තිස්ස වැඩිමහලු වේ. එසේම මේ රජු ධර්ම ව්‍යවහාරයෙහි ධර්ම නීතියේ දක්‍ෂයකු ලෙසද හඳුන්වා තිබේ. තිස්ස යන නමට මුලින් වොහාරක යනුවෙන් යොදා ඇත්තේ නීතිගරුක රජකු වශයෙන් හැඳින්වීමට බව මහාවංශ කතු කියයි. වැරැදි කරන්නන්ට දඬුවම් දීමේදී ශාරීරික වධහිංසා නොකිරිමට මෙතුමා නීති පැනවීය. මේ අනුව නීති විශාරද, තිස්ස වෝහාර තිස්ස ලෙසින් පළමුව රජ වූ බව විශ්වාස කෙරේ.
වොහාරක තිස්ස රජතුමා (ක්‍රි. ව. 209-231) මහතොට නොහොත් මන්නාරම් වරායට සමීපව නැවක් මගින් වැටක් පැවැත්වූ වග මහාවංශය කියයි. මෙතුමාගේ පාලන සමයේදී ආගමික කටයුතුවලදී, මිරිසවැටිය, ඉසුරුමුණිය, නාගදීපයේ තිස්ස වැනි විහාරවල ප්‍රාකාර ඉදිකරවා තිබේ. එසේම එකල ණය බරින් මිරිකී සිටි සංඝයා වහන්සේලා වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් එකී ණය මුදල් ගෙවා ඇති වගක්ද කියැවේ. ණය ගත් හේතූන් ගැන සඳහනක් නැති බව පෙනේ. මෙතුමාගේ පාලන සමයට අයත් සෙල් ලිපි සොයා ගැනීම අපහසු වුවද, රුහුණේ බෝවත්හල " ගිරි ලිපියක්" මෙතුමාට අදාළව යැයි සැලකේ. මේ ලිපියට අනුව වොහාරක තිස්ස රාජ්‍ය සමයේ රුහුණ අභයගිරි ඇමැති යටතේ පැවතුණ බවට විශ්වාස කෙරේ. වළගම්බා රජතුමාගේ පාලන කාලසීමාවේ සිට වසර 300ක් පමණ ගතවන තෙක් අභයගිරිය සහ මහා විහාරය අතර පෙර සඳහන් කළ අයුරු මෙන් ගැටුම් ඇති නොවීය. එහෙත් වෝහාරික තිස්ස රාජ්‍ය පාලන සමයේ දී යළි ගැටුම් උද්ගත වී තිබිණි. මේ පිළිබඳව නිකාය සංග්‍රහය, සද්ධර්ම රත්නාකරය, රාජ රත්නාකරය විස්තර කරයි. එකල සිටි කපිල අමාත්‍යවරයකුගේ සහාය ඇතිව, අභයගිරිය කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රචලිත කරමින් පැතිරී තිබුණ වෙතුලා වාදයට අයත් ග්‍රන්ථ පුළුස්සා දමා බුදු සසුන ආරක්ෂා කිරිමට කටයුතු කළ බව නිකාය සංග්‍රහයෙන් අනාවරණය කරයි. විතණ්ඩ වාදය ලෙස දීපවංශ ග්‍රන්ථය මෙය හඳුන්වයි. මෙම වාදය දඹදිවින් ආ මහායාන මතවාදයක් ලෙස සැලකේ. වොහාරික තිස්ස රජතුමා ඉතාමත් ධර්මගරුක නීතිගරුක අයකු වුවද එතුමාගේ සහෝදර අභයනාග එසේ නොවීය. ඔහු තම සහෝදර වොහාරක තිස්සගේ බිසව සමග තහනම් රහස් සබඳතාවක් පවත්වාගෙන ගියේය. රජතුමා මේ බව දැන ගැනීමෙන් පසු අභයනාග භල්ලතිත්ථයට පැන ගියේය. භල්ලතින්ථය පිහිටි ප්‍රදේශය ගැන හරි තොරතුරු එළිවී නැතත් මෙය වෙරළට ආසන්න ප්‍රදේශයක් ලෙස පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල ඣානන්ද හිමියෝ පවසති. තම බිසව හා ඇති කරගත් අසම්මත ක්‍රියාව නිසා රට තුළ පැවති යහපත් වාතාවරණය අසමගියකට ආරම්භයක් වූයේය. අභයනාග, භල්ලතින්ථයේ සැඟවී සිට තම සහෝදර වොහාරක තිස්ස, රටවැසියන් හා බිඳවීමට නොයෙකුත් ප්‍රයෝග, සැලසුම්, උපක්‍රම කරන ලදී. ඔහුගේ මාමා කෙනකු වූ සුභදේව නමැති අයගේ අත් කකුල් කප්පා රජු වෙත යවා තිබේ. පසුව අභයනාග රට අත්හර ඉන්දියාවට පලා ගියේය. අත්පා කපා රජු වෙත යැවීමේ සැලැස්ම වූයේ (මාමා) රජුට බොරු හිතවත්කමක් පෙන්වා රාජ්‍ය පාලනය අවුකරලීමය. අභයනාග සතුරෙකු හැටියටත් ඔහු තමා විපතට පත්කළ අයකු ලෙසටත් රජුට දක්වා රජු යටතේ රජුගේ සිත් දිනා සිටියේය. අභයනාග ඉන්දියාවට පලායෑමට පෙර තමාට හිතවත් පක්ෂපාත අය පිළිබඳ දැක්වූ උදාහරණය මහාවංශය දක්වන්නේ මෙසේය. මෙය සුනඛෝපමාව ලෙස නම්කර තිබේ. අභයනාග තමා ඇති දැඩි කළ සුනඛයෙකුට ඊයෙන් විද ඌට යළි හඩි ගෑ කළ වේදනාවෙන් පීඩිත වුවද වලිගය වනමින් තමා වෙත එන අයුරු පෙන්වා යම් කිසි අයකු මා වෙත මේ අයුරින් හිතවත්කමක්, ළෙන්ගතුකමක් ඇත්නම් ඔහු මා සමග එකතු වන්න යනු ඒ වෙයි. අනතුරුව සුභදේව (මාමා) රජතුමාගේ යහපතට කටයුතු කරන වගක් පෙන්වමින්, අසාධාරණ ලෙස අය බදු ගැනීම් නිසා රට වැසියෝ රජු කෙරෙහි කලකිරුණාහ. ඔව්හු රජු කෙරෙහි කෙමෙන් කෙමෙන් දුරස් වූහ. ඉන්දියාවේ සිටි අභයනාගට චරපුරුෂයකු මගින් වොහාරක තිස්ස රජුගේ රාජ්‍ය පාලනය ගැන ජනතාව කලකිරි සිටින වග හා සේනා රැගෙන රජු පලවාහැර රාජ පදවියට පත්වන ලෙසට සුභදේව (මාමා) දන්වා යැවීය. ඒ අනුව අභයනාග ඉන්දියානු දෙමළ බලසේනාවක් රැගෙන සහෝදර වොහාරක තිස්ස සමග සටන්කොට රාජ්‍ය පාලනය භාර ගැනීමට කටයුතු කළේය. අභයනාග ද්‍රවිඩ සේනාව සමග ලංකාවට පැමිණි කල වොහාරක තිස්ස රජු ඔහු හා යුද්ධ කිරීමට ඉදිරිපත් වූයේ නැත. එතුමා තම බිසවද කැටිව මලය රටට පලාගියේය. රජු ලුහුබැඳ ගිය අභයනාග මලය රටේදී මරණයට පමුණුවාලීය. සහෝදරයා ජීවිතක්ෂයට පැමිණවීමෙන් පමණක් තෘප්තිමත් නොවූ අභයනාග ඔහුගේ බිසවද රැගෙන විත් අනුරාධපුරයේ රජකම බාරගත්තේය. ගජබාවන් ඉන්දියාවට ගොස් සටන් කර සොළී රටින් ද්‍රවිඩයන් දහස් ගණනක් ගෙන ඒමට සමත්වීම ලංකාවට ආදර්ශයක් වුවද අභයනාග ඉන්දියාවේ සිට දෙමළ සේනා ලංකාවට ගෙනවිත් රජ කිරුළ ලබාගැනීම නරක පූර්වාදර්ශයක් ලෙස සැලකිය හැක්ය. වොහාරක තිස්ස රජුගේ රාජ්‍ය පාලන කාලසීමාව වසර 22ක් වූ අතර තම සහෝදරයා වන අභයනාග වොහාරක ජීවිතක්ෂයට පමුණුවා වසර 08ක් රට පාලනය කර තිබේ.
Comments
Post a Comment