
සංඝබෝධි නොහොත් සිරිසඟබෝ රජතුමා ගැන තොරතුරු විචාරීමට පෙර ඊට ප්‍රථම සිටි රජවරුන් ගැන සුළුවෙන් තොරතුරු දැන කියා ගැනීම පාඨකයන්ට වැදගත් යැයි සිතමි. මලය රටේදී වෝහාරක තිස්ස රජතුමා ජීවිතක්ෂයට පමුණුවා එතුමාගේ බිසවද කරකාර කමට රැගෙන ආ අභයනාග වසර 08ක් රාජ්‍ය පාලන්නේ යෙදී සිටියේය. වෝහාර තිස්ස රජුගේ පුතු වන සිරිනාග කුමරු ඊළගට අනුරාධපුර රජ වූයේය. (ක්‍රි.ව. 240-242) සිරිනාග රජු ගැන වැඩි විස්තරයක් පැරණි ග්‍රන්ථවලින් අනාවරණය නොවේ. මෙතුමාගෙන් පසු ඔහුගේ සහෝදර විජය කුමරුට රාජ්‍යත්වය හිමිවුවද එහි නියැළීමට හැකි වූයේ වරෂයක් පමණි. නිකාය සංග්‍රහය, රාජාවලිය, ග්‍රන්ථ, විජය කුමරු විජයදු ලෙස නම් කර ඇති බවක් ගම්‍ය වෙයි. මහියංගනයෙන් ආ ලම්බකර්ණ වංශික සිරිනාග රජුගේ පුතුන් වූ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය මැයින් සහෝදරයන් තිදෙනකු අනුරාධපුරයට පැමිණ විජයදා (විජය) කුමරු සමග විශ්වාසවන්තව කටයුතු කළහ. දිනක් සහෝදරයන් තිදෙනා තිසාවැව් බැම්ම කෙළවරින් ගමන් ගනිද්දී අන්ධ පුද්ගලයෙකුට ඔවුන්ගේ පා ගමන් හඬ ඇසී අනාවැකියක් මිමුණුවේය. අනාවැකිය වූයේ මොවුන් තිදෙනා පිළිවෙළින් අනාගතයේ රජුන් වන බවකි. පසු පසින් ගමන් කරමින් සිටි ගෝඨාභය කුමරුට අන්ධ පුද්ගලයාගේ අනාවැකිය සවන් වැකිණි. ඔහු යළි ආපසු අන්ධ ශාස්ත්‍රකරුවා සමීපයට පැමිණ කවරෙකු වැඩිකලක් රාජ්‍ය පාලනය කරන්නේ දැයි විමසීය. අන්තිමට ගිය තැනැත්තායැයි අන්ධයා පිළිතුරු දුනි. ගෝඨාභය යටිසිතින් සතුටුවී එය රහසක් සේ ධාරණය කර, ඉදිරිපසින් වූ සහෝදර දෙදෙනාට එක්විය. මෙම අනාවැකිය නිසා ගෝඨාභය තව දුරටත් විජය රජු හා සමීපවිය. විජය රජු විසින් වැඩිමහල් සංඝ තිස්සට ස්නාපති පදවිය පිරිනැමීය. පසුව තිදෙනාම එක්වී විජය රජු මරා දැම්මේය. සංඝතිස්ස රාජ පදවියට පත්විය. රාජ්‍යත්වය ලැබූ සංඝතිස්ස ප්‍රථමයෙන්ම මහා සෑයේ ජත්‍රය හා එහි රන් ආලේප කරවා මැණික් ගල් සතරක් සතරැස් කොටුවේ හිරු ලාංඡන මධ්‍යයේ තැබීය. සෑය අකුණු සර වලින් වළකා ලීමට වජු චුම්බක සවිකර වූයේය. හුදෙක් මේ සාසනික ක්‍රියා එකල සිදුකරන ලද්දේ රජකම ලැබුණ පසු ඔවුන් සතු ආගමික සම්ප්‍රදායක් ලෙසින් බව කියැවේ. සංඝතිස්ස රජු රාජ්‍ය පාලනයට එතරම් සුදුසු අයකු නොවීය. ඔහු නිහීන ලෙස අන්තඃපුර පවා පවත්වාගෙන යමින් ජනතාවට කරදරකාරයකු ලෙස හැසිරුණේය. ජම්බු කෑමට රුසියකු වූ මොහු මහා තිත්ථයට සමීප දූපතක් වන පාචීනයට ගොස් එහි වැසියන් තලාපෙලා ජම්බු කෑමට ඇබ්බැහි වීම නිසා එම පුංචි දිවයිනේ වාසීන් ජම්බුවලට විෂ දමා ඒවා අනුභව කිරීමට සැලැස්වීමෙන් රජු මියගිය බව මහා වංශයෙන් කියවේ. පාචින යනු වර්තමානයේ ඉරනතිව් නමින් හැඳින්වෙන රණ දූපතක් ලෙස පිළිගන්නේ. සංඝතිස්ස රජුගේ රාජ්‍ය පාලනය වසර 04 කට සීමා විය. (ක්‍රි. ව. 243 - 247) ඊට පෙර විජයකුමාර වර්ගයක් සාකච්ඡා කර තිබේ. සංඝ තිස්සගේ ඇවෑමෙන් සිරිසඟබෝ රාජ්‍යත්වයට පැමිණියේය. මෙතුමා ඉතාමත් දැහැමිව, අවිහිංසාවාදීව රාජ්‍ය පාලනය කරමින් සිටින විට, අභාග්‍යයකට මෙන් තද නියඟයක් ඇතිවී ජනතාවට ජීවත්වීමට අසීරු තත්වයක් උදාවිය. නියං සායෙන් ජනතාව මුදවාලීම සඳහා රජතුමා මහ සෑ මලුවේ දිගාවී උපවාසගතව ජීවිත පරිත්‍යගයෙන් කටයුතු කළේය. මෙම සිල්වත් දැහැමිකම නිසා දුර්භික්ෂ තත්ත්වය පහව ගියේය. රට යළි සභික්ෂ තත්ත්වයට පත් වුවද, එකල මං පහරණ හොරුන් මංකොල්ලකරුවන් ජනතාවගේ දේපළ සොරකම්, මංකොල්ලකෑම්වල යෙදුණාහ. ඔවුන් අල්ලා දඩුවම් කිරීම වෙනුවට සිරිසගබෝ රජු කෙළේ ඔවුන්ට තවත් වස්තුව දී ප්‍රදේශයෙන් සැගවී යන ලෙසට ඉඩකඩ සැලැස්වීමය. කිසිදු දඬුවමක් නොදී, අවිහිංසාවෙන් කටයුතු කිරිමේදී හොරුන්ට දඬුවම් දුන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට මියගොස් ඇති මළසිරුරු ගෙන්වා මහජන ප්‍රදර්ශනයේ තැබිණි. හොර උවදුරු අවසන් වීමත් සමගම තවත් උවදුරකට රජතුමාට මුහුණ පෑමට සිදුවිය. ඒ රත්තා නම් යක්ෂයෙකු පැමිණ මිනිසුන්ට රෝග බෝකර ඔවුන් මරා මාංශ කෑම නිසා ගම්වැසියන් තුළ යළි ලෙඩ රෝග හා පණ ආරක්ෂා කර ගැනීමේ බිය වැඩිවිය. පසුව රජතුමා ඔහුට ධර්මය කියාදී පංචශීලයෙහි පිහිටුවා ඔහුගේ අධර්ම ක්‍රියා පිළිවෙත නතර කෙළේය. සිරිසඟබෝ රජතුමාට මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයන්, අවිහිංසාවෙන්ම සීලයෙන්ම ධර්මයෙන්ම ජයගත් නමුත් රාජ්‍ය ලෝභයෙන් නොඉවසුම්ව සිටින ගෝඨාභය කුමරු නිසා වැඩි කලක් රාජ්‍ය සේවයේ නිරතවීමට අපහසු විය. එවකට සිරිසඟබෝ රජුගේ සෙන්පතියකු ලෙස සේවය කරමින් සිටි ගෝඨාභය කැරලිකරුවන් පිරිසක් සමග, රාජ්‍ය උදුරා ගැනීම සඳහා අනුරාධපුර නගරයට උතුරු පැත්තෙන් ඇතුළුවීමට තැත් කෙළේය. සිරිසඟබෝ රජතුමාට මෙය සැලවීමෙන් එතුමා ගෝඨාභය කුමරුට රාජ්‍ය බාර ගැනීමට හැකි වන සේ ඉඩ සලසා දකුණු දොරටුවෙන් පිටවී ගල් රට බලා හුදකලාව පැමිණියේය. මහා වංශයට අනුව රජු පලා ආ ප්‍රදේශය හත්ථවනගල්ලය. පෙර පටන් හත්ථවනගල්ල නමින් විහාරයක් පැවති බවද පැවසේ. සිරිසඟබෝ රජතුමා පලාගොස් වනගත වීමෙන් පසු ගෝඨාභය කුමරු රාජ්‍ය අභිෂේක ලැබීය. හත්ථවනගල්ලට පලාගිය සිරිසඟබෝ රජතුමා තපස් රකිමින් සිටියේය. සිරිසඟබෝ යළි සේනා රැස්කර සටන් කොට යළි රාජ්‍ය පැහැර ගනීවි යැයි සිතූ ගෝඨාභය සිරිසඟබෝගේ හිස ගෙන ආ අයකුට බොහෝ වස්තුව තෑගි පිරිනමන බවට ප්‍රසිද්ධ කෙළේය. ඇතැම් පිරිස් වස්තු තණ්හාවෙන් අසරණ මිනිසුන්ගේ හිස් කපා ඉදිරිපත් කළද, නියම හිස ඒ නොවන නිසා ප්‍රතික්ෂේප කෙළේය. මේ අතර එක් දුප්පත් කාන්තාවක්ද, සිරිසඟබෝ රජුගේ හිස ගේන්න හැකි වුවහොත් අපට ද වස්තුව ලබා හොඳින් ජීවත් විය හැකි යැයි තම ස්වාමි පුරුෂයාට තෙපළාය. ඔහුට හාල්මැස්සන් ව්‍යංජනයක් සමග බත්මුලක් සකසා දී අතරමග අනුභව කරන්න කියා හත්ථවනගල්ල කැලෑවට පිටත්කර හැරියාය. මේ පිළිබඳව රාජාවලිය සටහන් කර ඇත්තේ මෙසේය. රාජාවලි කතුවරයා ගේ විස්තර මහාවංශයේ විස්තරවලට වඩා සංවේදනීය බවක් ගම්‍ය කෙරේ."ඒ දුගී මිනිසා වල්වැද අවුත් අත්තනගල්ලේ ගල්පොත්තට පැමිණ ඒ රජ සම්මුඛ වී රජ බව නොදැන දෙදෙනා එකතුවී කථා කරමින් සිටිනාතර, එරජ තොපි කොහි යෙදැයි දුගියා අතින් ඇසූ කල්හි තමා ආ තතු රජු හට කියා සිරිසඟබෝ රජු නිසා නැතත් මිනිසුන් නැසුනාහයි කී සඳ රජු සිතට දුක්විද ඒ දිළිඳුහට සැපක් ඉල්ලා දෙමියි සිතා නුඹ ගෙනා බත් කමුද කියා ඒ දුගියාට කීහ. ඊට දුගියාද සතුටුව ඒ බත්මුල දෙන්නා බෙදාගෙන කන්නට ඉද එරජහට බුදුබව සිදුවේ නම් මේ හාල්මැස්සෝ පොකුණ දිය කෙළින්සායි කියා සත්‍ය ක්‍රියා කොට මේ බන්ද පැළැවී ගොයම් ගස් සෑදී සිටගත. මෙසේ බුදු බව ලබන නිමිති දැක එරජ බක්කා සිරිසඟබෝ රජ නම් මමය, ඉස කපා යවයි කියා ඒ දිළිඳා හට කීසඳ ඔහු භයින් තැතිගෙන දිවීය. ඒ රජු ඔහුට කථා කොට ළඟට ගෙන්වා කියනුයේ භය නොවව, මාගේ බුද්ධ ලාභයද තොපගේ වස්තු ලාභය ද මෙයින් සිදුවන්ය. මාගේ හිස රැගෙන යව. මාගේ හිස නොවෙයි කිවහොත් සඳුන් කිරුපැන් ඉස සුවඳ දමා උසනක් පිට තබව. එවිට දෙවියන්ගේ බලයෙන් මාගේ හිස දෙස් කියයි. ඒ දුගියාට කියා සළුපට ගසක බැඳ කරකවා ඒ දුගියා හට ඉස කඩා දන්දුන් සඳ ඒ දිළිඳු තමහට පළමු කී සැටි කළ විට දෙවියන්ගේ බලයෙන් තුන්යලක් අහසට පැන සිරිසඟබෝ රජ මමය කියා කැපූ හිසින් දෙකී සඳ ඒ දිළිඳුට බොහෝ සැපක් ලැබුණේය.'සිරිසගබෝ රජතුමා පලාගිය බව දැනගත් බිසව එරජ සොයමින් යන අතර, විධවා වනය අසල, රජුගේ කවන්ධ රූපය දුටුවාය. ඇය මළකඳ වැළඳ ශෝකයෙන් එහිම මියගියාය. හත්ථවනගල්ල කොහි පිහිටියේද යන්න නිශ්චිතව පැරණි ග්‍රන්ථවලින් අනාවරණය නොවුවද, රාජාවලී කතුවරයා කැලණි වෙහෙර ඊසාන දිගින් පිහිටි අත්තනගල්ලෙදී හිස දන් දුන් බවත් වර්තමාන අත්තනගල්ල විහාරය එය යැයි මතයක් වේ. එසේම රාජ්‍යයන ප්‍රදේශයේ ඓතිහාසික හත්තිකුච්චි විහාරය ඇති ප්‍රදේශය එය යැයි ද තවත් මතයකි. ඉකුත් කාලයේදී හත්ථිකුච්චි විහාරයේ කැණීමකදී හමුවූ අළු සිරිසගබෝ රජුගේ යැයි අනාවරණය වූ වගත් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. සිරිසඟබෝ රජුගේ මළ සිරුරට මහත් හරසරින් සත්කාර දක්වා එය ආදාහන කරවා විහාරයක් කරවීමට ගෝඨාභය රජු සමත් වූ වගක්ද කියැවේ. ඒ විහාර ආරාමය ඉසුරුමුණියට දකුණින් පිහිටා ඇති බව මහා වංශයේ දැක්වේ. රජුගේ සිරුර තිබුණේ ගල්වල රට නමැති ප්‍රදේශයේ බවත් අනුරාධපුරයට රැගෙන ආවේ හිස පමණක් බවටද මතයකි.ඉතාමත් ජනප්‍රිය බවට පත්ව සිටි සිරිසගබෝ රජු පලවාහැර, දාමරිකයෙකු ලෙස ගෝඨාභය කටයුතු කළද පසුව සංඝයා වහන්සේගේ සින්දිනා ගැනීමට ඔහු සමත් වූයේය. ගෝඨාභය රාජ්‍යත්වයට පැමිණියේ ක්‍රි. ව. 249 දීය.
Comments
Post a Comment