gossiplanka image 1
 


සෑම අයෙකුගේම පාණී තලය හෙවත් අත්ල මත විවිධ සලකුණු පිහිටයි. එහෙත් මුළු ලොවම දිග් විජය කළ සක්විති රජුගේත්, අසමසම ආධ්‍යාත්මික දියුණුවක් ලද බුදු, පසේ බුදු සහ මුනිවරයන්ගේත් පාණි තලය මත මෙන්ම පා තල මත ද පිහිටන සලකුණු වර්තමානයේ දී කෙරෙන රේඛා පරීක්‍ෂණයක දී දැක ගැනීම උගහටය. එවන් උතුමන්ගේ හස්ත පාදාදියෙහි මත්ස්‍ය සලකුණ, කොඩි හෙවත් ධජ සලකුණු, පුන්කලස, ස්වස්තිකය, හිරුමඬල, සඳමඬල, සක හෙවත් හක් ගෙඩිය, පද්මය, ඡත්‍රය, පාරාවළල්ල වැනි සලකුණු දැකිය හැකි බැව් සාමුද්‍රික ශාස්ත්‍රීය ග්‍රන්ථවල ගෙනහැර දැක්වෙයි. සාමාන්‍යයෙන් හස්ත රේඛා පරීක්ෂණයකදී දැකිය හැකි එමෙන්ම අවධානය යොමු කළ යුතු පිහිටීම් රැසක් වෙයි. කුරුසය හෝ කතිරය, ත්‍රිකෝණය, චතුරස්‍රය, කවය, ත්‍රිශූලය, ජාලය හෙවත් දැල් සටහන, ලප, දූපත්, දම්වැල් මෙම සලකුණු අතර වෙයි. එම සලකුණු අතෙහි පිහිටි ස්ථානය අනුව ශුභාශුභ වෙනස් වන අතර ඇතැම් සලකුණු කොතැනක පිහිටිය ද ශුභ ඵල දානය කරන අතර ඇතැම් සලකුණු කොතැනක පිහිටිය ද අශුභ ඵලම ගෙන එයි.


1. තාරකා සටහන


තරු සලකුණ ගුරු මණ්ඩලයේ ඉහළ පිහිටි කල ඉතා ශුභ වේ. සමාජ ගෞරවය, ධනය, බලය සහ උසස් අයගෙන් ගරු බුහුමන් හිමිවේ. එහෙත් තාරකා සටහන ගුරු මණ්ඩලයේ පහළින් පිහිටි කල එහි ප්‍රතිඵල ලබාගත යුත්තේ දැඩි ආයාසයකිනි. ශනි මණ්ඩලය මුදුනේ තරු සලකුණ පැවැති කල උසස් තනතුරු හිමිවන අතර ජනතාවගේ ගෞරවයට, බහුමානයට පාත්‍ර වේ. කීර්තිමත් පුද්ගලයෙකු වේ. එහෙත් හදිසි මරණයකට ගොදුරුවීමට හෝ සිය දිවි හානිකර ගැනීමට ඉඩ තිබේ. බොහෝ විට එවන් අනිටු ඵල හිමිවන්නේ තරු සලකුණු ශනි මණ්ඩලයේ පහළින් පිහිටි විටදීය. රවි මණ්ඩලය මුදුණේ පිහිටි තරු සලකුණු රාජ්‍ය පාලනයෙහි හෝ තම  ප්‍රදේශයෙහි නායකත්වයකට පත්වන බව කියැවෙන්නකි. එමෙන්ම ධනයෙන් ද බලයෙන් ද ආඪ්‍ය වෙයි.තරු සලකුණ බුධ මණ්ඩලය මත පිහිටි කල සදාකල්හිම තුරුණු බව ලබයි. ව්‍යක්ත කථිකයෙකු වේ. ජනමාධ්‍ය අංශයන්හි ඉහළ තනතුරකට පත්වීමට වාසනාව හිමි වේ. කුජ මණ්ඩලයේ සුදුසු ස්ථානයක තරු ලකුණ පිහිටියේ නම් ආරක්‍ෂක අංශයේ උසස් තනතුරකට නිරායාසයෙන් පත් වේ. කුජ මණ්ඩලයෙහි නොව කුජ තලාවෙහි තරු සලකුණ පිහිටියේ නම් සාහසික මරණයකට ගොදුරුවීමට ඉඩ ඇත්තේය. යම් තැනැත්තෙකුගේ සඳු මණ්ඩලයෙහි ඉහළ තරු සලකුණක් පිහිටියේ ද හෙතෙම දස දෙස කිතු ගොස පතුරුවන වියත් ලේඛකයෙකු බවට පත්වේ. උගත් ශිල්ප ශාස්ත්‍රාදිය නිසා ධනය රැස් කරයි. තරු සලකුණ සඳු මණ්ඩලයේ පහළ යෙදුණේ වී නම් ජලයෙන් අනතුරු ඇතිවීමට ඉඩ තිබේ. සිකුරු මණ්ඩලයේ මුදුනෙහි තරු සලකුණ පිහිටි කල තෙමේ කලා අංශයෙහි උසස් පිළිගැනීමකට ලක්වෙයි. එමෙන්ම රාගාධික වීම නිසා බොහෝ ගැටළුවලට මුහුණ දෙනෙකු වේ. මහපටැගිල්ලේ නිය පිහිටි අග පුරුක තුළ තරු සලකුණක් පිහිටියේ නම් තම ශක්තියෙන් ජයග්‍රහණය කරා එළඹෙනෙක් වේ. දබරැගිල්ලේ මුල් පුරුකෙහි තරු සලකුණු දෙකක් වූයේ නම් බෙහෙවින් අශුභ වේ. කිසියම් නීති විරෝධි කටයුත්තක යෙදී සිටින අතරතුර ජීවිතය හානිවීමට ඉඩ ඇත.


2. කතිරය හෝ කුරුස සටහන


කතිරය හෙවත් කුරුස සටහන වැඩියෙන් අශුභ ඵල ලබාදෙන ලක්ෂණයක් වේ. ගුරු මණ්ඩලය මත පිහිටි කුරුස සටහන වාසනාවන්ත විවාහයක සලකුණක් වන අතර බුධ මණ්ඩලය මත පිහිටියේ නම් සොර සිත් ඇත්තෙකු වේ. එහි එකකට වැඩියෙන් කතිර හෝ කුරුස සලකුණු වූයේ නම් වංචාකාරී අවස්ථාවකදී නින්දනීය ලෙස මරණය සිදුවනු ඇත. කුජ මණ්ඩලය මත පිහිටි මෙම සලකුණ සතුරු පීඩා ද කුජ තලාවේ පිහිටි විට අතිශයින් ශෝචනීය ජීවිතයක් ද සඳු මණ්ඩලයේ පිහිටි විට දියේ ගිලීමෙන් හෝ රුධිර පීඩනය නිසා හෝ මරණය ද උරුම වෙයි. සිකුරු මණ්ඩලයේ මෙම සලකුණ පිහිටියේ නම් ප්‍රේම වියෝව ද ඇතැම් විට අනියම් සබඳතා නිසා බොහෝ පටලැවිලි ද සිදුවෙනු ඇත.


3. ත්‍රිකෝණ සටහන.


රේඛා එකිනෙක කැපී යාමෙන් පිහිටන ත්‍රිකෝණ බලසම්පන්න නොවන අතර ප්‍රතිඵලදායක ද නොවේ. තනිව පිහිටි ත්‍රිකෝණ ශුභඵල ගෙනදෙයි. ගුරු මණ්ඩලයෙහි පිහිටි ත්‍රිකෝණය මනා පරිපාලන ශක්තියකින් යුතු බවට සලකුණක් වේ. උසස් තනතුරකට පත්වෙයි. සමාජයෙන් බුහුමන් ලැබේ. ශනි මණ්ඩලයෙහි ත්‍රිකෝණයක් පිහිටි කල ගුප්ත න්‍යාය ශාස්ත්‍රාදියෙහි පරිපූර්ණ නිපුණත්වයක් හිමිවේ. එමෙන්ම සුවිශේෂ ගුප්ත බලයක් හිමිව එයින් ඉමහත් වාසනාවක් උරුමවනු ඇත. රවි මණ්ඩලයෙහි පිහිටි ත්‍රිකෝණය ඉමහත් දියුණුවක් ශීඝ්‍රයෙන් හිමිවන බවට සලකුණක් වේ. බුධ මණ්ඩලයෙහි ත්‍රිකෝණයක් පිහිටි කල විද්‍යාත්මක දැනුම නිසා හෝ ව්‍යාපාරයක් නිසා මහත් වූ ධනස්කන්ධයක් හිමිවෙයි. කුජ මණ්ඩලයෙහි පිහිටි කල සියලු සතුරන් නසා විජයග්‍රහණය හිමිකර ගනිති. චන්ද්‍ර මණ්ඩලයෙහි මෙම සුවිශේෂ සලකුණ පිහිටියේ නම් දස දෙස කිතු ගොස පතල කවියෙකු වෙයි. එමෙන්ම දියර ආශ්‍රිත ව්‍යාපාර හෝ නාවුක යාත්‍රාදියෙන් මහත් වූ ධනයක් හිමිකර ගනියි. ත්‍රිකෝණ සටහනක් සිකුරු මණ්ඩලයේ පිහිටි කල විරුද්ධ ලිංගිකයන්ගේ සුවිශේෂ අනුග්‍රහයයෙන් ඉමහත් දියුණුවක් ලබාගනියි. එයින් යානවාහන, සැපසම්පත්, ගේදොර පවා හිමිවන ඇත.



චතුරස්‍ර සටහන


චතුරස්‍ර සටහන බලකොටුවක් සේ විපත්, අනතුරු ආදියෙන් ආරක්ෂාව ලබාදීමේ සලකුණක් වේ. යම් රේඛාවක් මත මෙම සලකුණ පිහිටියේ නම් එම රේඛාවට අයත් වූ අංශයෙහි සිදුවන සියලු දුර්වලකම් මගහැරී සුරක්ෂිත වීමට අවස්ථාව සැලසේ.


* ජීවන රේඛාව මත චතුරස්‍රයක් යෙදුන්නේ නම් අකල් ජීවිත හානි, රෝ බිය ආදියෙන් සුරක්ෂිත වීම ද


* ශීර්ෂ රේඛාව මත යෙදුණි නම් මානසිකව ඇතිවන ව්‍යසන, පීඩා සහ ආබාධවලින් සුරක්ෂිත වීම ද,


* දෛව රේඛාවේ චතුරස්‍ර සටහන යෙදුණි නම් හදිසි ආපදා විපත්, ධනහානි, බිඳවැටීම් ආදියෙන් සුරක්ෂිත වීම ද දැකිය හැකි වේ.


එසේම චතුරස්‍ර සටහන ගුරු මණ්ඩලය මත පිහිටීම නිසා දියුණුවත්, ගරු බුහුමන් ලැබීමත්, ධනය හිමිවීමත් සිදුවේ. ශනි මණ්ඩලයේ මෙම සලකුණ යෙදුණේ නම් මහත් වූ විපතකින් මිදීමේ භාග්‍යය හිමිවනු ඇත. බුධ මණ්ඩලයේ මෙම සටහන යෙදුණි නම් සිරගතවීමකින් මිදෙන අතර කුජ මණ්ඩලයක විණි නම් හදිසි ආපදාවකින් මිදීමේ භාග්‍යය ලබයි. සිකුරු මණ්ඩලය මත චතුරස්‍ර සටහනක් දෘශ්‍යමාන වූයේ නම් අනියම් සබඳතාදී කරුණක් හේතුකොට සිදුවන ව්‍යාසනයකින් ගැලවීම ලැබේ. කුජ තලාවේ පිහිටි චතුරස්‍රයක් ජීවන රේඛාව ස්පර්ශවන සේ පිහිටියේ නම් බන්ධනාගාර ගතවීමක් සලකුණු කරයි. නොඑසේ නම් සමාජයෙන් වෙන්ව ගත කිරීමක් සිදුවිය හැකිය.


කව සටහන


කව සටහන අශුභ ඵල ගෙන දෙන පිහිටීමක් වන අතර ශුභ ඵල ගෙන දෙනු ලබන්නේ රවි මණ්ඩලය මත දී පමණි. බුධ මණ්ඩලයේ

හෝ මහපටැගිල්ලේ යෙදීමෙන් වසවිස නිසා ජීවිතය අහිමි වීම ද චන්ද්‍ර මණ්ඩලයේ යෙදීමෙන් දියේ ගිලීම්, වසවිස පානය හෝ රුධිර පීඩනය නිසා හදිසි මරණ ද ශනි මණ්ඩලයේ යෙදුණි නම් ගින්නෙන්, පරම්පරාගත රෝගයකින් හෝ පහත් පෙළේ අයෙකු අතින් මරණය සිදුවීම ද හෘද රේඛාව මත පිහිටියේ නම් අක්‍ෂි ආබාධයන් නිසා  සිදුවන හානි ද කුජ තලාව මත ජීවන රේඛාවට සම්බන්ධ වී යෙදුණි නම් රුධිර රෝග හෝ හදිසි සාහසික අනතුරු නිසා ජීවිතය අහිමි වීමට ද ඉඩ ඇත. එහෙත් කව සටහනකින් දැක්වෙන මෙම අනිටු ඵල නියමිත ආකාරයටම පලදෙනු ලබන්නේ නම් අල්ලේ ඇති අනෙක් පිහිටීම්වලද මෙම අනතුර සටහන් වී තිබිය යුතුය. නිශ්චිත තීරණයක් ගත යුත්තේ සමස්ත පාණි තලයේම පිහිටීම් සලකා බැලීමෙනි. ඇතැම්විට වෙනත් ස්ථානයක යෙදුණු ශුභ සලකුණක බලපෑමෙන් කව සටහනෙහි දැක්වෙන හානිය වැළකී යාමට ද ඉඩ ඇත.


6. ත්‍රිශූල සටහන


මෙය නිර්මාණය වන්නේ යම් රේඛාවක අග කොටස රේඛා තුනක් බවට පරිවර්තනය වීමෙනි. සාමාන්‍යයෙන් ත්‍රිශූල සටහන ශුභ ඵල ගෙනදෙන සටහනක් ලෙස සාමුද්‍රික ශාස්ත්‍රයෙහි සැලකෙයි. ගුරු මණ්ඩලය මත යෙදුණු ත්‍රිශූල සටහන හේතුවෙන් බලය, ධනය සහ කීර්තිය පිළිබඳව ඇති සියලු අභිලාෂයන් මුදුන්පත් වෙයි. රවි මණ්ඩලයෙහි වී නම් හෙතෙම කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙකු බවට පත්වෙයි. ශනි මණ්ඩලයෙහි මෙම ත්‍රිශුල සලකුණ පිහිටියේ නම් පොදු ජනයාගේ වීරවරයෙකු බවට පත්වේ. නොඑසේ නම් සුවිශේෂ ගුප්ත බලයක් හිමිවේ. බොහෝ පාරම්පරික ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළ පැමිණෙයි. චන්ද්‍ර මණ්ඩලය මත මෙම ශුභ සලකුණ පිහිටියේ නම් නොසිතු විරූ ආධ්‍යාත්මික දියුණුවක් හිමිකර ගනි. බොහෝ විට මාර්ග ඵල ලැබීමට තරම් උසස් තත්ත්වයකට පත්වෙයි. කුජ මණ්ඩලය මත මෙම සුවිශේෂ සලකුණ යෙදුණ හොත් ආරක්‍ෂක අංශයේ සුවිශේෂ ප්‍රධාන ස්ථානයක් හිමි වේ. සෙන්පති, හමුදාපති වැනි ධූරවලට පත්වන්නන්ගේ පාණි තලවල මෙම සලකුණ බොහෝ විට දැකිය හැකි වෙයි. සිකුරු මණ්ඩලයේ මෙම සලකුණ යෙදුණු කල උසස් කලාකරුවෙක් බවට පත්විය හැකි වේ. දේශ දේශාන්තරයන්හි ගෞරව, බහුමාන හිමිවන්නා වූ සියලු යස ඉසුරින් ආඪ්‍ය වූ අභිමානවත් කලාකරුවකු බවට පත්වීමේ සුවිශේෂ භාග්‍යයක් උදාවෙයි.


ජාල හෙවත් දැල් සටහන


දැල් සටහන නිර්මාණය වන්නේ දිගට හා හරහට පිහිටියා වූ සිහින් රේඛා සමූහයක් එකිනෙක කැපී යන පරිද්දෙන් පිහිටීමෙනි. මෙම සටහන සාමුද්‍රික ශාස්ත්‍රයේ දී සැලකෙන්නේ ශුභ ඵල ගෙන දෙන සටහනක් ලෙස නොවේ.ගුරු මණ්ඩලය මත දැල් සටහනක් යෙදුනේ නම් ඉන් ලබන ශුභ ඵල වැලකේ. සමාජයේ අගෞරවයට පාත්‍ර වේ. පහත් පෙළේ ක්‍රියාවලට යොමු වේ. හිතුවක්කාර වේ. නොගැළපෙන්නන් ඇසුරට පත්වන බැවින් සමාජයේ උදහසට ලක් වේ. ශනි මණ්ඩලයෙහි මෙම දැල් සලකුණු පිහිටියේ නම් දරණු ලබන බොහෝ උත්සාහයන් නිරර්ථක

වේ. චෛතසික පීඩා බහුල වේ. කල්ගතවන රෝග වැලඳීමට ඉඩ ඇත. රවි මණ්ඩලය මත මෙම සටහන පිහිටියේ නම් බලය හීන වෙයි. අහංකාර ගති නිසා බොහෝ අයගේ ද්වේශයට බඳුන් වේ. සිතින් ලොක්කෙකු වීම නිසා බොහෝ අනුවණකම් කරයි. බුධ මණ්ඩලය මත දැල් සටහනක් පිහිටියේ නම් වංක ගති පහළ වේ. බොරු කියයි. අන්‍යයන් රවටා දියුණුවීමට උත්සාහ කරන  බැවින් අගෞරවයට පාත්‍ර වේ. අශෝබන චරිතයක් ඇත්තේ වෙයි. චන්ද්‍ර මණ්ඩලය මත මෙම සටහන පිහිටියේ නම් සිතෙහි සතුට දියවී යයි. මානසික කැලඹිලි බහුල වේ. ඇතැම්විට මානසික දුර්වලතා බලපෑමට ද පිළිවන. සිකුරු මණ්ඩලයේ පිහිටි මෙම සටහන හේතුවෙන් ස්ත්‍රීයක් නම් බොහෝ පුරුෂයන් ද, පුරුෂයෙක් නම් බොහෝ ස්ත්‍රීන් ද ඇසුරු කරන්නේ වෙයි. රාගාධික වෙයි. සමාජයේ අගෞරවයට පාත්‍ර වෙයි. ඇතැම් විට මේ හේතුවෙන් දරුණු අනතුරුවලට ලක් වන්නට වුව ද ඉඩ ඇත. යානවාහන පිළිබඳ ගැටළු මතු වේ. කුජ මණ්ඩලයක මෙම සටහන යෙදුණි නම් නීති විරෝධි කටයුතුවලට යොමුවීම නිසා බොහෝ ප්‍රශ්න මතු කර ගනියි. බලයෙන් හීන වී යයි. එනිසාම දුබලයින්ගෙන් පවා අගෞරව විඳින්නට සිදුවේ. රුධිර රෝග ආදිය මතුවීමට පිළිවන. කුජ තලාව මත මෙම දැල් සටහන යෙදීම වඩාත් අශුභ ඵල ගෙන දෙයි. ඇතැම් විට හදිසි සාහසික මරණයකට වුව ද මුහුණපෑමට ඉඩ තිබේ.


8. ලප හෙවත් තිත් සටහන්


මෙම සටහන් නිබඳවම අශුභ ඵල ගෙන දෙන පිහිටීම් බව . සාමුද්‍රික ශාස්ත්‍රයේ නිගමනයයි. මෙම තිත් හෝ ලප, රතු, කහ හෝ  කළු පැහැයෙන් දක්නට ලැබෙන අතර රේඛා මත පිහිටන කහ පැහැ තිත් හෝ ලප පිත් අධිකවීම නිසා ඇතිවන රෝගී තත්වයන් පිළිබඳ සලකුණු ලෙස සැලකේ. එමෙන්ම මෙම පිහිටීම ඇති බොහෝ පුද්ගලයන් දැඩි ලෙස කෝපාවිෂ්ට වන බව ප්‍රකට කරුණකි. ජීවන රේඛාවෙහි පිහිටි ලප හෝ තිත්වලින් රෝගාබාධ හෝ කිසියම් සමීප ඥාතියෙකුගේ වියෝවක් ගෙන හැර දැක්වෙයි. ශීර්ෂ රේඛාව මත මෙවන් පිහිටීමක් වූයේ නම් හදිසි අනතුරු පිළිබඳ ඇගවුමක් ගෙන එයි. එහෙත් එහි වූ ලප සටහන කළුපැහැ හෝ කහපැහැ විණි නම් රෝගාබාධ ලක්‍ෂණයකි. යම් හෙයකින් නිල් පැහැයට හුරු තිතක් හෝ ලපයක් පිහිටියේ නම් රුධිර රෝග හෝ ශ්වසන රෝග මතුවීමට පිළිවන. ගුරු මණ්ඩලයෙහි මෙවන් සටහනක් පිහිටියේ නම් ගෞරවය කැළැල් වන සුවිශේෂ සිද්ධියකට මුහුණදීමට සිදුවෙයි. ශනි මණ්ඩලයෙහි නිල් හෝ රතුපැහැ ලප වී නම් කල්ගතවන රෝගයකට හේතු වේ. කළු පැහැ ලපයක් හෝ ලප විණි නම් මරණ බියක් ඇති වේ. රවි මණ්ඩලයේ රතු නිල් හෝ කහ ලප අක්ෂි ආබාධවලට හේතුවන අතර කළු පැහැ ලප රාජ භය පිළිබඳ ඇගවුමක් වෙයි. බුධ මණ්ඩලයේ ලප පැවතියේ නම් සොරකම්, වංචාදී අශෝභන ක්‍රියාවලට පෙළඹෙන අතර හපන්කම් දොඩන්නට යාමෙන් හෙළිදරව් විය හැකිය. කුජ මණ්ඩලයෙහි පිහිටි ලප නිසා හදිසි අනතුරු සිදුවිය හැක. එමෙන්ම රුධිර රෝග, වස විස නිසා ඇතිවන උපද්‍රව, විදුලිය නිසා වන උපද්‍රව ආදියට මුහුණ දීමට සිදුවිය හැක.


9. හරස් ඉරි සහ තිරස් ඉරී


අත්ල මත පිහිටන හරස් ඉරි රෝග පීඩා ඇතිවන බවට මතුවන සලකුණු වේ. නොඑසේ නම් ලැබෙන ශුභ ඵලවලට මෙම රේඛා නිසා බාධා මතු කරයි. අත්ල මත යෙදෙන තිරස් ඉරි හෙවත් දිගු අතට පිහිටන ඉරි බොහෝ විට ශුභ ඵල ගෙනදෙයි.


10. දූපත් සටහන්


දූපත් සටහන් පහළ වන්නේ එක් රේඛාවක සම්බන්ධතාවෙනි. රේඛාවක් පැළීමෙන් අතු දෙකක් බෙදී නැවත එම අතු රේඛා එක්වීමෙන් දූපතක් නිර්මාණය වෙයි. රේඛාවක් සමග තවත් රේඛාවක් වෙළීමෙන් ඇතිවන දූපත් ලක්‍ෂණය නිවැරදි දූපතක් ලෙස නොසැලකෙයි. දූපත්  සටහන ද සලකනු ලබන්නේ දැල් සටහන මෙන්ම අශුභ ඵල ගෙනදෙන පිහිටීමක් ලෙසිනි. කල්ගතවන රෝග, පාරම්පරික රෝග වැනි ව්‍යාදීන් පිළිබඳව ද දූපත් සටහනින් හඳුනාගත හැකිව්වේ. මේ අනුව ශීර්ෂ රේඛාවෙහි දූපත් පිහිටීමෙන් මානසික රෝගාබාධ ද ජීවන රේඛාවෙහි වී නම් ශාරීරික දුබලතා, විවිධාකාර වූ රෝග පීඩා යනාදිය ද දෛව රේඛාවෙහි දූපතක් විනි නම් දෙවය වෙනස් කරන තරමේ බලවත් රෝග ද රවි

රේඛාවෙහි විණි නම් චර්ම රෝග, මානසික රෝග, අපකීර්තිය, රාජ භය සහ තනතුරුවලින් පහවීම් වැනි අශුභ ඵල ද සුඛ රේඛාවෙහි විණි නම් අනිවාර්යයෙන්ම රෝග පීඩා ද ප්‍රකට කරයි.මණ්ඩලවල මෙම දූපත් ලක්‍ෂණ පිහිටි විට එම මණ්ඩල මගින් ප්‍රකට කෙරෙන ශුභ ඵල හීන කෙරේ. ගුරු මණ්ඩලයෙහි දූපතක් විණි නම් තත්වය පහත වැටීම, අගෞරවය, අශෝභන සබඳතා නිසා ජීවිතය අවුල්වීම සිදුවන අතර ශනි මණ්ඩලය මත විණි නම් සිත්තැවුල්, - දුකට පත්වීම, කල්ගතවන රෝගාබාධවලට ගොදුරු වීම යනාදියට ගොදුරු විය හැකි වේ. බුධ මණ්ඩලයේ විණි නම් ජීවිතයේ අශුභ ඵල දෙන පෙරැළි විය හැකිය. කට කතා නිසා මහත් අගෞරවයකට පත්විය හැකිය. ඇතැම්විට බන්ධනාගාර ගතවීමට පවා පිළිවන. කුජ මණ්ඩලය මත දූපත් පිහිටියේ නම් දියුණුව බෙහෙවින් මන්දනයට පත් වේ. උනන්දුව හීන වේ. ආත්ම ධෛර්යය නොමැති වීමත් උත්සාහයේ පමණට ප්‍රතිඵල නොලැබීමත් නිසා ජීවිතය මන්දගාමී විය හැකිය. සිකුරු මණ්ඩලයේ දූපත් සලකුණු පිහිටියේ නම් රාගාධික අදහස් සහ ක්‍රියා නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර ජීවිතය පවා අහිමිවීමට ඉඩ තිබේ. චන්ද්‍ර මණ්ඩලයේ දූපත් සලකුණක් පිහිටිය හොත් චිත්ත ශක්තිය බෙහෙවින්ම දුර්වල වේ. ජීවිතයේ ගැටළුවලට මුහුණ දිය නොහැකිව බලවත් සන්තාපයකට පත් වේ. බොහෝ විට මන්ද්‍රව්‍ය වලට ඇම්බැහි වීමට ඉඩ තිබෙන අතර සියල්ල අවුල් කර ගනියි. කුජ තලාවෙහි දූපත් සලකුණක් පිහිටිය හොත් සහකරුට හෝ සහකාරියට මරණය අපල ගෙනදෙයි.


11. කුන්තායුධ (හෙල්ල) ලක්‍ෂණ

 

මෙය ශුභ ලකුණක් වේ. අත්ලක කොහි පිහිටිය ද ඒ ඒ ස්ථානවලට අනුරූප වන ලෙසින් ධනය, බලය සහ ගෞරව හිමි වෙයි. මෙය බොහෝ විට බලවතුන්ගේ අත්ල මත පිහිටන සලකුණක් වේ. ඇතැම් විට කුන්තයක් සේ පෙනෙන ලක්‍ෂණයක් හොඳින් පරික්ෂා කළ විට දූපතක් බැව් පෙනේ. එබැවින් කුන්ත ලක්ෂණයක් දුටුවිට එය සියුම්ව පරීක්ෂා කර බලා තීරණය ගත යුතුවේ.


12. කරු සටහන


කිසියම් රේඛාවක අගයක් දෙකකට හෝ තුනකට බෙදීමෙන් තරු ලකුණ පහළ වේ. මෙය ශුභ අශුභ සම සමව ගෙන එන ලක්‍ෂණයක් වේ. එහි ශුභ අශුභ තීරණය වන්නේ පිහිටි ස්ථානය අනුවය. තරු සලකුණ උඩුකුරුව පිහිටියේ නම් ශුභ ඵල ද යටිකුරුව පිහිටියේ නම් අශුභ ඵල ද ගෙන දෙයි.


13. දම්වැල් ලක්‍ෂණ


දම්වැලක් යනු දූපත් රැසක් එක පෙළට එක් වුණාක් සේ - පෙනෙන රේඛාවකි. දම්වැල ශුභ ඵල ප්‍රකට කරන පිහිටීමක් නොවේ.  කුමන රේඛාවක වුවද මධ්‍යයෙහි දම්වැල් ලක්‍ෂණ පිහිටියේ නම් එම යුගය දුක්ඛදායි යුගයක් බව ප්‍රකට කරුණකි. බොහෝ විට රෝග පීඩාවලට ගොදුරුවන කාලයකි. මැණික් කටුවේ පිහිටි හරස් රේඛා (ඇතැමුන්ගේ) දම්වැල් බවට පත්වී ඇති අවස්ථා දැකගත හැකි වේ. ඔවුන් මුළු ජීවිත කාලයම දුක් සහිතව ගෙවති.


14. ධාන්‍ය ලක්‍ෂණ


ධාන්‍ය ඇටයක හෙවත් වී ඇටයක හැඩයෙන් යුතු ලක්ෂණය මේ නමින් හැඳින්වෙන අතර එය ශුභඵල දෙන සලකුණක් ලෙස ප්‍රකටය. අල්ලේ කුමන ස්ථානයක පිහිටිය ද ධාන්‍ය ලක්ෂණය අශුභ ඵල නොගෙනෙයි. යස ඉසුරු ලැබදෙන සුවිශේෂ භාග්‍යමත් සලකුණක් වන මෙය රේඛාවන් මැද පිහිටීම ශුභ දායක නොවන්නේ එම සටහන එවිට දූපතකට සමාන වන බැවිනි. රේඛා සන්ධි අතර මෙම සුවිශේෂ ලක්ෂණය පිහිටයි. ගුරු මණ්ඩලය මත මෙම ධාන්‍ය ලක්ෂණය පිහිටිය හොත් එය අතිශයින්ම ශුභඵල දෙන පිහිටීමක් වේ.