gossiplanka image 1
 


ජෙට්ඨතිස්ස රජතුමාගේ රාජ්‍ය පාලනයෙන් පසු මහසෙන් කුමරු රාජ්‍යත්වයට පත් වූයේය. මහසෙන් කුමරුට රජකම ලැබුණ බව දැනගත් කලින් සඳහන් කළ සංඝමිත්‍ර භික්ෂුව ඉන්දියාවේ සිට යළි ලංකාවට පැමිණියේය. මෙම භික්ෂුව මීට පෙර මහසෙන් හා ඔහුගේ සහෝදර ජෙට්ඨතිස්සගේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි විට මහසෙන් කුමරු හා ඉතා කුළුපග විය. ජෙට්ඨතිස්ස සංඝමිත්‍ර සමග එතරම් හිතවත් කමක් දැක්වූයේ නැත. සංඝමිත්‍රගේ යටි අදහස් සඵල කර ගැනීමට නොහැකි වීම නිසා ඉන්දියාවට ගියේ මහසෙන් රජ වූ විට යළි ආපසු ඒමේ අදහස් ඇතිවය. මහසෙන් රජුගේ අභික්කය සිදු කරන ලද්දේ ද සංඝමිත්‍ර විසින් බව කලින් සටහන් කරන ලදී. මෙම භික්ෂුව මහා විහාරික භික්ෂුන් විනය විරෝධීන් ලෙස මහසෙන් රජුට ඒත්තු ගන්වා එහි වැඩ සිටින භික්ෂූනට දන් දෙන අයට දඬුවම් පැමිණ වීමට තරම් රජු ලවා ආඥා පැනවීමට සමත් වූයේය. මේ නිසා මහා විහාරික භික්ෂුහු මලය රටට හා රෝහණ දේශයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේලාගේ හිඟය නිසා මහා  විහාරය වර්ෂ 09ක පමණ කාලයක් පාලුවට ගියේය. මේ අතර මිහින්තලය ධර්ම රුචික භික්ෂූන් (සංඝමිත්‍රගේ පක්ෂය) අත්හත් කරගත් අතර සංඝමිත්‍රගේ උපදෙස් අනුව මහා විහාරයේ බඩු භාණ්ඩ උපකරණ අභයගිරි විහාරයට ලබාදීමට මහසෙන් රජු ක්‍රියා කළේය. මහාවංශ ටීකාවට අනුව සංඝමිත්‍රට මෙම හපන්කම් කිරීමට සෝණ නමැති ඇමැතිවරයකුගේ සහායද ලැබී තිබේ. දීපවංශ ග්‍රන්ථය සංඝමිත්‍ර සහ සෝණ ඇමැතියා හඳුන්වා ඇත්තේ දුමිත්ත සහ පාපසෝණ යනුවෙනි. මොවුන්ගේ නොපනත්කම් මත මහා විහාරය විනාශයට යද්දී අභයගිරිය දැකුම්කලු ප්‍රාසාදයගෙන්  යුක්ත විය. මහසෙන්ගේ සොහොයුරු ජෙට්ඨතිස්සයන් විසින් ප්‍රවීන තිස්ස පබ්බත විහාරයට රැගෙන ගිය මහාසීලා පාටිමා නම් වූ බුදු පිළිමය යළි අභයගිරි සෑයේ තැන්පත් කෙරිණි. පිළිමගෙය, බෝධිඝරය, ධාතු ශාලාව, චතුශාලාව යන ගොඩනැගිලිද ඉදිකරන ලදුව කුක්කුටගිරි පිරිවෙන්ද ප්‍රතිසංස්කරණය කරවන ලදී. සංඝමිත්‍ර යෝජනා හා උපදෙස් අනුව මෙම කාර්යයන් සිදුවීම නිසා රජුගේ අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමැතිවරුන් මෙන්ම රජ ගෙදර අභ්‍යන්තරයෙන්ද රජුන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩි විරෝධතා එල්ල වූයේය. මහසෙන් රජුට ඉතා හිතවත්ව සිටි මේඝවර්ණාභය නමැති ඇමැතිවරයා රජුට එරෙහි වී මලය රටට ගියේය. මේවගණාභය ඇමැතිවරයා මලය රටේදී සේනා සංවිධානය කර කැරලිකරුවකු වී යළි පැමිණ දූරතිස්ස වැව අසල කඳවුරු බැන්දේය. මහසෙන් රජුට ද මේ බව දැනී රජු ද කඳවුරු බැන්දේය. එදා රාත්‍රි කාලයේ මේඝවර්ණාභය ඇමැතිවරයාට රසවත් පාන වරිගයක් සහිත ආහාරයක් ලැබිණි. කලින් තමා හිතවත්ව සිටි රජතුමා සමග මෙම මිහිරි බොජුන් ගැනීම යෙහෙකැයි ඇමැතිවරයා සිතීය. කලින් මිතුරුව සිට දැන් සතුරුව සිටියත් ඇමැතිවරයා රාත්‍රියේම රජුගේ කඳවුරට ගොස් මිහිරි ආහාර පාන ගැන රජුට දන්වා දෙදෙනාම එක්ව ආහාර ගත්හ. ඇමැතිවරයාගේ හිතවත්කම ගැන රජු පැහැදී තමාට විරුද්ධව කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසා දැයි විමසීය. "ඔබතුමා මහා විහාරය විනාශ කිරීමට කටයුතු කිරීම නිසා'' යැයි ඇමැතින්ගේ පිළිතුර විය. රජු ඇමැතිගෙන් සමාව ඉල්ලා පරණ කෝන්තර නිමා කෙළේය. මේඝවර්ණාභය ඇමැතිවරයා අවස්ථාවෝචිතව ගත් බුද්ධිමත් ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේ සිදු වන්නට ගිය අකාරුණික විපත් කීපයක් වැළකී ගියේය. මෙම අමාත්‍යවරයා මහසෙන් රජුගේ එකගත්වය මත මහා විහාරයේ වැඩකටයුතු විධිමත්ව ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ අතර මහසෙන් රජුගේ විශ්වාසී බිසවක විසින් වඩුවකු ලවා සංඝමිත්‍රට මරු කැඳවූයේය. සෝණ ඇමැතිවරයාද මරණයට පත්කරන ලදී. අනතුරුව මහායාන දහම් ග්‍රන්ථ විනාශයට පැමිණවීය. මේ කාර්යයන් නිසා මහා විහාර විරෝධය තරමක් දුරට මැඩපැවැත්විණි. එසේ වුවත් මහසෙන් රජු තම ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම වෙනස් නොකෙළේය. ඔහු මහා විහාර භූමියේම ජේතවන දාගැබ ඉදිකරවා සාගලික නිකායේ තිස්ස තෙරුන්ට පූජා කළ වගක් නිකාය සංග්‍රහයෙන් කියැවේ. පසුව තිස්ස තෙර නම විනය විරෝධී ක්‍රියාවක් කිරීම නිසා ශාසනයෙන් පලවා හරින ලද්දේය.ජේතවන දැගැබෙහි නිධානය සඳහා ධාතු ලැබුණු ක්‍රමය අද්භූත ජනක කථාවක් ලෙස රාජාවලියෙන් හා පූජාවලියෙන් කියැවේ. එකී අද්භූතජනක කථාවට අනුව ලබාගත් පටී ධාතුවේ කොටස නිධන්කර ස්ථූපය සාදා තිබේ. ඉපැරණි ග්‍රන්ථවලින් දැක්වෙන පරිදි, මහසෙන් රජතුමා පාපමිත්‍රයන් ඇසුරු කිරීම නිසා අකුසල් රැස්කර ගෙන ඇති වග ගම්‍ය වෙයි. මහාවංශයේ දැක්වෙන පරිදි මෙම අකුශල සිද්ධි නිසා පසුව රජුගේ ප්‍රතිපත්තිවල වෙනසක් සිදු කර ගැටුම්වලින් තොර පිංකම් කටයුතුවල යෙදී තිබේ.

මෙම පිංකම් අතර වැඩියෙන්ම කැපී පෙනෙන්නේ විහාරාරාම ඉදිකිරීමය.ෙ මින්නේරි විහාරය, ගෝකන්න විහාරය, රුහුණේ ඒරකාවිල්ල සහ කලද විහාරයද කැපී පෙනේ. ගෝකන්න විහාරය (ගොකණි) මේ වන විට කෝන්පරම් කෝවිල පිහිටි භූමියේ වූවකි. මෙය තිරිකුණාමලය නගරයට සමීපව පිහිටියේය. මෙහි හමු වූ සෙල් ලිපියකින් එකී ස්ථානයේ ගොකන විහාරය තිබූ බව අනාවරණය වේ. ඒරකාවිල්ල විහාරය මඩකලපුව ප්‍රදේශයේ වත්මන් එරුවිල් කොටසේ පිහිටා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර භික්ෂණී ආරාම දෙකක් ද උත්තර හා අභය යනුවෙන් ඉදිකර තිබිණි. යටකී කරුණුවලින් පමණක්ම මහසෙන් රජතුමාගේ ක්‍රියා නිම නොවන්නේය. වසභ රජතුමාගේ රාජ්‍ය පාලන යුගයේදී ඇතිකරන ලද මහා පරිමාණයේ වාරි කර්මාන්තයට නව ජීවයක් කැවූ තැනැත්තා ලෙස මහසෙන් හැඳින්විය හැකිය. වංශ ටීකාවන්ට අනුව මෙන්ම ඉතිහාසගත සාධක අනුව මහසෙන් රජතුමා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියා වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙතුමා විශාල වැව් දහසයක් (16) ඉදිකර කෘෂි ආර්ථිකයට නව පණක් ලබා දුන්නේය. මින්නේරි, මාගම, ජල්ලුර, බානු මහාමනී, කොකවාත, ධම්ම රම්ම, කුම්බාලක, වාහන රත්නමාල, කණ්ඩක, තිස්ස වඩමාන, වේලංගා විට්ඨික, මහාගල්ලය, මහදාර ගල්ලක, කාලපාසාණ, වීර යනාදී වශයෙන් ඒ වෙයි. මේවායින් කීපයක් මේ වන විට හඳුනාගෙන නැත. මින්නේරිය ජලාශය මහසෙන් රජතුමාගේ විශිෂ්ට නිර්මාණයකි. සැතපුම් එකහමාරක් (1 1/2) දිගින් ද, අඩි 44 ක් උසින්ද වූ වැව් බැම්ම නිසා අක්කර හාරදහසක් පමණ කුඹුරු වගා කෙරේ. අඹන් ගඟින්  ඇළක් බැඳ ජලය තල්වතුර ඔය හරහා මින්නේරිය වැවට ඒමට සැලැස්විණි. මහවැලි ගගේ වේල්ලකින් ජලය ගෙනයෑමට පබ්බතන්න නමැති ඇළ ඉදිකළේය. මහාදාරගල්ල (මාදුරුඔය වැව) මාදුරුඔය හරස්කර ඉදිකරන ලද්දකි. ඇලහැර තතුර (තතුඇළ) ඇලේ දිග සැතපුම් 25 1/2 කි. කවුඩුල්ල වැව කවුඩුල්ල ඔය හරස් කර බැම්මක් බැඳ ඉදිකරන ලද්දකි. මින්නේරිය වැවේ සිට සැතපුම් 06ක් දිග ඇළකින් මෙම වැවට ජලය සැපයීම සිදුවිය. ඇලහැර මින්නේරිය, " කවුඩුලු ව්‍යාපාරයන් ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ සුවිශේෂී තැනක් ගනී. ආර්ථිකයේ විශාල ජයග්‍රහණයක් විය. මහාවංශ ටීකාවට අනුව මහසෙන් රජතුමා මරණයට පත්වන විට පව්, පිං දෙකම රැස්කර ගත් අයෙකි. ලක්දිව ඉදිකරන ලද විශාලම වැව ( මින්නේරිය) සහ විශාලම චෛත්‍ය (ජේතවනාරාම චෛත්‍යය) ගැන සිහිකරන විට පිංරැස්කරගත් බව සනාථ කරයි. මෙතුමාගේ රාජ්‍ය පාලන සේවා කාලය වසර 27ක් විය.