gossiplanka image 1
 


රුහුණේ සිට අනුරාධපුරයට පැමිණි සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාහය තිදෙනා විජය රජු සමග ව්‍යාජ විශ්වාසයක් ඇති කරන්ගෙන එතුමා රාජ්‍ය බලයෙන් පහකර සංඝතිස්ස රජ වූ හැටිත්, අනතුරුව සංඝතිස්ස විෂ යෙදූ ජම්බු කෑමෙන් ජීවිතක්ෂයට පත්වූ වගත් ඉහතින් හෙළිකරන ලදී. සංඝතිස්සගේ ඇවෑමෙන් පසු සංඝබෝධි නොහොත් සිරිසඟබෝ රාජත්වයට පත්ව සිටියදී රට තුළ අයහපත් වාතාවරණයක් පැවැතුනද යහපත් ධර්මිෂ්ඨ පාලනයක් ගෙනයාමට උත්සාහ දැරීය. එහෙත් රාජ්‍ය ලෝභයෙන් සිටි ගෝෂ්ඨාභය, රාජ්‍ය පාලනය ලබා ගැනීමට තැත් කිරීම නිසා ඔහුට ඉඩදී රජ මාලිගාවෙන් නික්ම අප්‍රකටව වනගතවී තවුස් ජීවිතයක් ගත කරමින් සිටියේය. කෙසේ නමුත් සිරිසගබෝ රජුගේ හිස ලබාගෙන රජකම ස්ථිර කර ගැනීම ගෝඨාභයගේ අභිප්‍රාය වූ නිසා රජු තම හිස දන් දුන් වගක්ද පැහැදිලි කරන ලදී.

මහියංගනයේ සිට පැමිණි තිදෙනාගෙන් ගෝඨාභය කුමරු විජය රජුගේ සහෝදරයකු හා මහානාග යුව රජුගේ පුතෙකු බවට මතයක් පවතී.

ගෝඨාභයගේ පරම්පරාව වර්ෂ 15කට අධික කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටි බව ඉතිහාස වංශ කතාවලින් ගම්‍ය වෙයි. ගෝඨාභය රජුට ගොටක අබ' යනුවෙන්ද හැඳින්වූ වගක් දෙමට මල් විහාරයේ සෙල් ලිපියකින් දක්වයි. ගොට යනු මිටි අර්ථය ගෙන දේ. ගෝඨාභයද උස නැති මිටි අයකු වීම නිසා ගොටක වී තිබේ. මෙම රජතුමා තම රාජ්‍ය තනතුර ස්ථිර කර ගැනීමෙන් පසු නොයෙකුත් ආගමික කටයුතුවල නිරත වූ වග මහාවංශ ටීකාවේ දැක්වේ. පළමුව මෙම රජු මහා උයනක් ඉදිකර එහි දොරටුව අසල මණ්ඩපයක් සාදවා දින 21 ක මහා පිංකමක් භික්ෂුන් වෙනුවෙන් කර තිබේ. ඒ වන විට ලෝවා මහාපායේ ඉදිකර තිබුණ කණු පෙරළී තිබීම නිසා ඒවා විධිමත්ව සකස් කර සිරිමා බෝධියේ සිව් දිසාවේ ගල් පිළිකඩ හා තොරණ හතර කොන්වල ධර්ම චක්‍ර සහිත ටැම් හතරද දොරටුවලට ශෛලමය ප්‍රතිමාද ඉදිකර වූ වග කියැවේ. මිහින්තලේ වටදා ගෙයද මේ රජුගේ කාලයේදී සිදුවූවකි. මීට අමතරව මේ වර්ණභය නමින් විහාරයක්ද කරවා තිබේ. ගෝඨාභය රාජ්‍ය පාලන සමයේදී ශාසනික වශයෙන් යම් යම් ගැටලුවලට මුහුණදීමට සිදුවූ වගද පැවසේ. කලින් ලිපියකින් සඳහන් කළ පරිදි වළගම්බා රාජ්‍ය සමයේ මහා විහාරයෙන් කැඩී ගිය භික්ෂූන් වහන්සේලා වජ්ජිපුත්තක නිකායේ ඉගැන්වීම් අනුමත කළ අතර, එය ධර්මරුචි නිකාය ලෙස ප්‍රචලිත විය. ඒ වනවිට අභයගිරි විහාරයේ "ධර්මරුචි නිකායිකයින් පිරිසක් සිටි අතර, ඔවුන්ගෙන් කොටසක් වෙන්වී සාගලිකයෝ නමින් වී දකුණු ගිරි වෙහෙරෙහි විසු බව නිකාය සංග්‍රහයේ දැක්වේ.වෛතුල්‍යවාදය යළි හිස එසවීම නිසා ඒ වෙනුවෙන් කැපවූ 60 ක් පමණ භික්ෂුන් වහන්සේලා, ගෝඨාභය රජු වෙත ගෙන්වා ගත්තේය. රජතුමා ඒ අයගේ පිටේ හංවඩු ගස්වා රටින් පිටුවහල් කර තිබේ.මෙම භික්ෂුන් වහන්සේලා රජුගේ ඇතැම් ඇමැතිවරුන්ගේ සිත් ගත් අය ලෙසද විශ්වාස කෙරේ. එසේ නමුත් ඒ ඇමැතිවරු රජුට එරෙහිව නැගී නොසිටියහ. හුදෙක් ඒ පොදු ජනතාව රජුන්ගේ ක්‍රියාව අනුමත කිරීම නිසාවෙනි. පිටුවහල් කරන ලද ධර්මරුචික භික්ෂුගෙන් සමහරක් දකුණු ඉන්දියාවේ කාමේරියට ගියහ. මෙහි පටන් ගමක  වාසය කළ භික්ෂුවරු අතර සංඝමිත්‍ර නමින්. යකදුරුකම් කරන වෛතුල්‍යවාදය පිළිපදින භික්ෂුවක් සිටියේය. මෙම භික්ෂුව මෙරටින් පලවා හරින ලද හංවඩු (පිටේ) ලකුණ ඇති භික්ෂූන් දැක ඒ පිළිබඳ විමසීය. තතු දැන ගැනීමෙන් පසු මහා විහාරය භික්ෂූන් වහසේක්ලාගෙන් පළිගැනීමට යකදුරු භික්ෂුව ලංකාවට පැමිණ තිබේ. සංඝමිත්‍ර යකදුරු භික්ෂුව, අනුරපුර ථූපාරාමයට ගොස් රජු හා මිත්‍ර වීමට උපායක් යෙදීය.මනෝවිද්‍යාව හා ශාස්ත්‍ර දැනුම ලත් මෙම යකදුරු භික්ෂු තෙම ගෝඨාභය රජුගේ පුතුන් දෙදෙනා වූ ජෙට්ඨතිස්ස සහ මහසෙන් කුමරුන්ගේ අධ්‍යාපන කාර්යයන් සඵල කරදීමට එකඟවී ඒ සදහා අවසර ලබා ගත්තේය. යකදුරු සංඝතිස්සගේ ක්‍රියාවන්ට, හැසිරීම් රටාවන්ට, මහසෙන් කුමරු යම් කැමැත්තක් දැක්වුවද ජෙට්ඨතිස්ස කුමරු ඔහු ගැන ප්‍රියතාවයක් නොදැක්වීය. මෙම සිද්ධියෙන් ගුප්තාකාරයෙන් ගම්‍ය වන්නේ එවකට භික්ෂු ශාසනයට වූ බලපෑම් සහ අභියෝගයන්ය. භික්ෂූන් වහන්සේලා මතවාදවලට එබ ඒවායේ ගොනු ගතවී සාක්ෂි ලෙස රාජ්‍ය නායකයන්ගේ උදව් ඇතිව තම යටි අදහස් මුදුන්පත් කරගැනීමට ප්‍රයෝග කළ බව පසක් කළ හැකිය. ගෝඨාභය රජුගේ මරණය දක්වාම (ක්‍රි. ව. 249-262) ලකාවේ රැඳී සිටි සංඝමිත්‍ර භික්ෂුව ගෝඨාභයගේ පුත් ජෙට්ඨතිස්ස රාජ්‍ය බලයට පැමිණීමෙන් පසු ටික කාලයකින් යළි ඉන්දියාවට ගියේය. සංඝමිත්‍ර ඉන්දියාවට ගියේ තම යටි අභිප්‍රායයන් ජෙට්ඨතිස්ස රජු ලවා කරවාගැනීම අපහසු බව දැනගැනීමෙන් පසුවය. මහායානවාදය ව්‍යාප්ත කිරීමට අභයගිරි විහාර භික්ෂූන්ගත් උත්සාහයන්ට ථෙරවාදීහු විරුද්ධ වූහ. මේ කාරණයේදී ගෝඨාභය රජතුමා ගත් දැඩි ක්‍රියාමාර්ගය ජෙට්ඨතිස්සුද (පුතා) ගත්තේය. ගෝඨාභය බලහත්කාරයෙන් සිරිසගබෝ රජුගේ රාජ්‍ය ලබාගෙන ඉන් නොනැවතී රජුගේ හිසද ගෙන රාජ්‍යත්වය ස්ථිර කර ගැනීම කෙරෙහි ජනතාව තුළ අප්‍රසාදය නැගී ආයේය. මෙය තුරන් කරනු වස් ගෝඨාභය කළේ ශාසනික ක්‍රියාවලට අත හිත දීමය. මින් සංඝයා වහසේක්ලාගේ සිත් දිනාගැනීමට ඔහු සමත් වූයේය. අනුරාධපුරයෙන් උතුරු දේශයේ ද මෙම රජු රජවීමට පෙර ජනතාව සමග ප්‍රියතාවයකින් කටයුතු කර ඇති බවත්, සෙල්ලිපිවලට අනුව රෝහණ දේශය තම අණසක පිළිගෙන තිබූ බවටද, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. මේ අනුව සමස්ත රට පුරාම ගෝඨාභයගේ අණසක පැතිරී තිබුණු වග විශ්වාස කෙරේ. ඇතැම් ඇමැතිවරු පිරිසක් ගෝඨාභය රජුගේ පාලන ක්‍රියාවලියට එරෙහිව රහසින් කුමන්ත්‍රණය කළ වගක් ගැනද අනාවරණ න්වේ. එහෙත් මෙම කුමන්ත්‍රණකරුවන්ට රජුට එරෙහිව නැගී සිටීමට නුපුළුවන් විය. ගෝඨාභය රජුගේ රාජ්‍ය සමයේ සෙල්ලිපි හතරක් දැනට සොයාගෙන ඇති බව පැවසේ. තිඹිරිවැව ප්‍රදේශයේදී සොයාගත් ලිපි 02ක් වන අතර ඒවායින් ගම්‍ය වන මෙකවන අභය රජු ගෝඨාභය ලෙසින් සලකා තිබේ. සමහර ඉතිහාසඥයන් මෙකවන අභය' යනු සිරි මේඝවණ්ණ නමින් මහාවංශයේ දැක්වෙන රජු හැටියටද සැලකීම වැරදි බව මේධානන්ද හිමියෝ කියති. ගෝඨාභය රජුගේ රාජ්‍ය පාලනය වසර 13කට සීමා වූ අතර (ක්‍රි. ව. 249-262) ඔහුගෙන් පසු තම පුත් ඉහතින් සඳහන් කළ ජෙට්ඨතිස්ස කුමරු රජවිය.