gossiplanka image 1
 


ලක්දිව ප්‍රථම වරට ඉදිකෙරුණ විශාල වැව සහ චෛත්‍යය ( මින්නේරිය වැව - දේවනාරාමය) මහසෙන් රාජ්‍ය පාලන යුගයේදී සිදුවිණි. මහාවංශ කෘතියට අනුව රජවරුන් 63ක් ගැන පළමු කොටසින් විස්තර වුවද, චූලවංශ කෘතියෙන් සිරි මේඝවර්ණ රජතුමාගේ විස්තර ආරම්භ වන වගක් විස්තර වේ. එසේ වුවද මහාවංශ - චූලවංශ යනුවෙන් භේදයක් නොසිදුවන අතර, මුළු ග්‍රන්ථයම මහාවංශය ලෙස හැඳින්වීම නිවැරැදි බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.මහසෙන් රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත්වූයේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාණන් වූ සිරි මේඝවණ කුමරුය. මෙම නම ඇතැම් ග්‍රන්ථවල කිත්සිරිමෙවන් හා කීර්ති ශ්‍රී මේඝ යනුවෙන්ද සඳහන්ව තිබේ. සෙල්ලිපි කියැවීමේදී මහසෙන් මහ රජහ පුත සරි මෙක වණ අටමහරජ (මහාසෙන් මහ රජුගේ පුත්‍ර සිරි මේඝවණ අභය මහරජු) ලෙස දැක්වෙයි. සිරි මේඝවණ රජතුමාගේ රාජ්‍ය සමයේදී තම පියාණන් වූ මහසෙන් රජතුමා විසින් මුලදී මහා විහාරයට එරෙහිව කරන ලද නොපනත්කම් ගැන කලකිරී සිටියේය. රජතුමා මුලින්ම කරන ලද්දේ මහා විහාරයට තම පියරජුගෙන් සිදුවූ අසාධාරණකම නිසා ජනතාව තුළ තිබූ විවිධ අදහස්, අවිශ්වාසය මගහැරලීමය. මෙතුමා මහා විහාරයට ගොස් එහි අඩුපාඩු සියැසින් දැක බලා ගත්තේය. සිදුවූ ඛේදනීය තත්ත්වයන් භික්ෂුන් වහන්සේලා රජුට සැළ කළහ මේ අනුව මහා විහාර ආරාමවාසීගෙන් බලහත්කාරයෙන් මෙන් උදුරාගත් වස්තූන්, සම්පත් යළි යථා පරිදි, සැපයීමට රජතුමා ඉදිරිපත් විය. භික්ෂූන් වහන්සේග්ලාට බියෙන් සැකෙන් තොරව එහි වැඩ වාසය කිරිමට යෝග්‍ය වූ පරිසරය සකස් කර දු න්නේය. මහා විහාරයට කරන ලද අලාභහානි, අඩාලව තිබූ කොටස් යළි නිම කරවීය. ලෝවාමහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කර එය දර්ශනීය තත්ත්වයට පැමිණ වූයේය. සියලු පිරිවෙන්වල අඩුපාඩු සකසා යථා තත්වයට පත් කරන ලදී. මහා විහාරයේ සහ චේතියගිරියෙහි මිහිදු උත්සව,

පෙරහැර පැවැත්වීමට කටයුතු සම්පාදනය කර වූයේය. මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරනු සඳහා මිහිඳු පිළිරුව ජීවමාන

ලෙසින් රනින් කරවා, එය වප් පුරපස හත්වන දිනයේ මිහින්තලයට වැඩමවා තැන්පත් කරන ලදී. මිහින්තලේ සිට අනුරාධපුර දක්වා මග

දෙපස ඉතාමත් දර්ශනීය අයුරින් අලංකාර සැරසිලිවලින් නිමා කරවීය. දිවයිනේ නන්දෙස වැඩම කර සිටි මහා සංඝයා වහන්සේග්ලාටද ආරාධනා කර මහාදාන ලබාදීමද සිදුවිය. මේ අතර වැරැදිවලට සිරකර තබා සිටි සිරකරුවන් ද නිදහස් කරන ලදී. මහජනතාවට කෑම් බීම් ආදියෙන් සංග්‍රහ කෙරිණි. රාජකාරිවල යෙදුණ උදවියට වැටුප පවා ලබාගැනීමට ඉඩකඩ සැලසිණි. රජතුමා සියල්ල සැලසුම් සහගතව සංවිධානය කරවා පෙරහැරින් මිහින්තලේ සිට අනුරාධපුරයට පැමිණියේය. වංශ කතාවලට අනුව රජතුමා සක්දෙවිඳු මෙන් සැරසී එදා මිහිඳු මාහිමිපාණෝ අම්බස්තලයේ සිට වැඩම වූයේ මේ විදියට යැයි කියා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා අනුරාධපුර නගරයේ නැගෙනහිර දෙස නුවර දොරටුව සමීපයේ ස්වස්ථිකාර නමින් වූ විහාරයේ තැන්පත් කළේය. අනතුරුව මහා බෝධීන් වහන්සේ සමීපයේ  පතා මෙවන් උත්සව, උපහාර පැවැත්විය යුතු බවට නියෝග පනවන ලදී. රජතුමාගේ මෙම ක්‍රියා පටිපාටියෙන් ජනතාව තුළ රජු කෙරෙහි ප්‍රසන්න බවක්, පැහැදීමක්, පහන් සිත් ඇතිවීමක් සිදුවූ වග වංශ කතා කියයි. තම පියාගේ රාජ්‍ය පාලන යුගයේදී ඇති වූ ආගමික අසමානතා මෙම ක්‍රියා පිළිවෙත නිසා වෙනස් විය. සිරි මේඝවණ රජතුමාගේ රාජ්‍ය පාලන ක්‍රම දඹදිව සමුද්‍ර ගුප්ත අධිරාජයාගේ යුගයට සමාන කර තිබේ. අවස්ථාවෝචිතව සම්‍යප්‍රයෝග යෙදීමෙන් කම්පනයට පත් ජනතාවගේ සිත් සතන් ප්‍රකෘතිමත් කිරීමට සිරි මේඝවණ රජතුමා සමත්වී තිබේ. සමුද්‍රගුප්ත අධිරාජයා සමග මෙම රජතුමා ඉතා කුළුපගව හිත මිත්‍රකම් දියුණු කර ගෙන තිබිණි. ඒ බව අලහබාද් සංස්කෘත සෙල්ලිපියකින් අනාවරණය වෙයි. දෙරටේ රජුන් අතර ඇති සම්බන්ධතාවන් පිළිබඳ චීන වාර්තාවල ද (හිතෝවන්) ඇතුළත්ව තිබේ. සිරි මේඝවර්ණ රජුගේ ආධාරය ඇතිව භික්ෂූන් වහන්සේලා දෙනමක් දඹදිව සිරිමාබෝධීන් වහන්සේ වැඳීමට වැඩම කර තිබේ. එහි නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් නොතිබීම නිසා තමන්ට නවාතැන් පිළිබඳ ඇති වූ කරදර, දුෂ්කරතා ගැන රජුට උන්වහන්සේලා දෙනම සැලකළහ. රජතුමා දූත පිරිසක් දඹදිව යැවීය. ඔවුන් අත සමුද්‍රගුප්ත අධිරාජයා වෙත පඬුරු, තෑගි ද යවනු ලැබීය. සමුද්‍ර ගුප්ත අධිරාජයා ලංකාවෙන් පැමිණෙන භික්ෂූන් වහන්සේස්ලාට විහාරයක් කරවා දී තිබේ. විශ්‍රාම ශාලාවක්ද ඒ අතර විය. බැතිමතුන්ට එය විශාල ප්‍රයෝජනයක් විය. විහාරය සහ විශ්‍රාම ශාලාව ඉදිවීම නිසා භික්ෂුන් වහන්සේලාට පමණක් නොව සාමාන්‍ය බැතිමතුනට ද ඒවා වැදගත් විය. චීන ග්‍රන්ථ කතුවරයා එහි පැමිණෙන විට බොහොමයක් වන්දනාකරුවන් විශ්‍රාම ශාලාව තුළ සිටි බව කියැවේ. ලංකාවෙන් පැමිණි "මහානාමන්' නමැති තෙර නමක් නිසා විහාරයක් ඉදිවූ වග බුද්ධගයා සෙල්ලිපියකින් කියැවේ. සිරි මේඝවණ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමය. මේ පිළිබඳව දඨාධාතු වංශයෙහි අනාවරණය වන්නේ බැමිණියක් දළදා වහන්සේ ගෙන කාලිංගයෙන් පැමිණි වගකි. සිරි මේඝවණ රජතුමා දළදා වහන්සේ පිළිගෙන ධම්මචක්ක නම් මන්දිරයක වඩා හිඳුවා පුද පූජා පවත්වා වර්ෂ පතා එසේ පූජා විධි පැවැත්වීමට අභයගිරි විහාරයට පවරා දුන් බව මහා වංශය කියයි. හෙළු දළදාවයෙහි මේ පිළිබඳව දක්වා ඇත්තේ මහසෙන් රජ දවස එතුමා අපේක්ෂා කළ කරුණක් පසුව හෝ ඉටු වී ඇති සැටියකි. එවකට භාරතයේ සිටි ගුහසීව නම් කාලිංග රජුට යුද්ධ කිරීමට යෑමට සිදුවීම නිසා තම දියණිය වූ හේමමාලා සහ බෑනා වූ දන්ත කුමරු යන දෙදෙනා අතර දළඳා වහන්සේ මෙහි ආරක්ෂාවට එව් බවක් ගම්‍ය වෙයි. හේමමාලා සහ දන්ත කුමරු ලංකාවට එනවිට මහසෙන් රජු අභාවයට පත්වී සිරි මේඝවණ රජ වී සිටියේය. හේමමාලා සහ දන්ත කුමරු කාලිංගයේ තමලුත් තොටින් නැව් නැග ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉලන්තූරේ (දෙමළ නමකි) තොටට පැමිණ තිබේ. මෙම අමරණීය පූජා වස්තුව සිංහල රජවරුන්ගේ රාජ්‍ය උරුමය කියාපාන්නක් මෙන් වූ සුවිශේෂී සාධකයක් ලෙස සලකා පුද පූජා  පැවැත්වීම සිදු විය. රාජ්‍ය උරුමය, ශාසනික ඉතිහාසය, රාජ්‍ය පාලනය දෑ පිළිබඳව මෙතැන් සිට මෙය බලපා ඇති වන විශ්වාස කෙරේ. මෙම රජතුමාගේ රාජ්‍ය පාලන සමයට අයත් සෙල්ලිපි 09ක් පමණ හඳුනා ගෙන තිබේ. දිවයිනේ නන් දෙසින් ඒවා හමුවී ඇත. දිවයිනේ උතුරු දකුණු නැගෙනහිර හා බටහිරට ඒවා අයත් බැවින් සිරි මේඝවණ, රජතුමාගේ අණසක දිවයින පුරාම ව්‍යාප්ත වී තිබිණි. උතුරේ පාලනය රජු යටතේ සිටි 'පහෙජ සිව' නමැති ඇමැතිවරයාට බාරදී ඇති වගක් කියැවේ. මෙම රජතුමාගේ රාජ්‍ය කාලයේදී රට ඉතාමත් සුඛිත මුදිතව, සමෘද්ධිමත්ව පැවතුන බව එම වංශ කතා කියයි. මහසෙන් රජු විසින් කරවන ලද වාරි තාක්‍ෂණය, මීට ඉවහල් වී තිබේ. කෘෂිකර්මාන්තයෙන් රට දියුණුවී විදේශ හෝ අභ්‍යන්තර කරදරවලින් තොරව වසර 28ක් රට පාලනය කරගෙන යෑමට මෙම රජතුමාට හැකිවී තිබේ.