gossiplanka image 1
 



ග්‍රහදොස් දුරුකර ගන්න ජීවිතය ජය ගැනීමට කඩඉමක් බඳු උසස් පෙළ විභාගයට ඔබේ දරුවා කොතෙකුත් පාඩම් කරන්නට ඇද්ද? එහි ප්‍රතිඵල කුමක් වේද යන්න පිළිබඳව ඔබේ සිත අවිනිශ්චිත බවින් පිරි ඇත්ද? හොඳින් පාඩම් කළ දරුවන්ගේ ප්‍රතිඵල අඩු තත්වයක තිබු අවස්ථාවන්ද බොහෝය. පාඩම් නොකළ එහෙත් මතක ශක්තිය වැඩි දරුවන්ගේ ඉහළ ප්‍රතිඵල වු අවස්ථාවන් ද බොහෝය. එම මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩිවන්නටත්, විභාගයේ ප්‍රශ්නය දුටු සැණින් පිළිතුරු ගලා එන්නට තරම් පිරිසිදු මනසකින් යුක්ත වන්නටත් කුසල්ම බලපානු ඇත. කුමන ආගමක හෝ පෙර පින් සහ දැන් කරගන්නා කුසල් මත තම සිත ශක්තිමත් කරගන්නා දරුවන්ට හොදින් විභාගයට මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත. විභාගයට දරුවන් බියට පත් වුයේ නම් එයද එක් බාධාවකි. අසමත් වුවහොත් සමාජයේ පිළිගැනුමක් හෝ ඉහළ තත්ත්වයක් නොලැබී යනු ඇතැයි යන අවිශ්වාසය ද තවත් බාධාවකි. නමුත් මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට ගතයුතු උත්සාහය නිවැරැදිව ගත යුතුය. තමන්ට තමන් පිළිබඳව විශ්වාසය පැවැතිය යුතුය. කිසියම් බාධාවක් හෝ පසුබෑමක් ඇත්නම් ඒ කුමක් නිසාද යන්න සොයා ගත යුතුය. කිසියම් ග්‍රහ දෝෂයක් ඇත්නම් එයට පිළියම් යෙදිය යුතුය. එක් එක් ග්‍රහයාගේ දුර්වල තත්ත්වය මත ඔබේ දරුවා යම් අපහසුතාවකට පත්ව ඇත්නම් එය වහාම නිවැරැදි කරගැනීම මව්පියන්ගේ යුතුකම වේ. උසස් අධ්‍යාපනය පිළිබඳව කියැවෙන නවවැන්න අපිරිසිදු නම් එහි නිසි ප්‍රතිඵලය නොලැබෙනු ඇත. නවවැනි භාවයේ බුධ දුර්වල යැයි සිතමු. එසේම ශනි හෝ වෙනත් පාපියෙකුගේ දුර්වල දෘෂ්ඨිය එල්ල වී ඇත්නම් එය විභාගය පිළිබඳව සතුටුදායක කරුණක් නොවේ. නමුත් අපට එකහෙළාම කිව නොහැකි වනුයේ නවවැන්නාධිපති යෝගයක් ඇතිව බලවත්ව සිටී නම් එම ඉහත අශුභ බලපෑම අඩුවන නිසාය.ඔබේ දරුවාගේ කේන්ද්‍ර සටහන නිවැරැදිව පරික්ෂා කරගන්න. එහි යම් දෝෂයක්, අපලයක්, ඒරාෂ්ඨකයක් හෝ අශුභ අතුරු දශාවක් තිබේද යන්න දැනගන්න. ඒ අනුව කළ යුතු ආගම දහම සම්බන්ධ පිළිවෙත්, ප්‍රතිකර්ම වහාම කරන්න. එවිට අශුභ ග්‍රහදෝෂ ඉවත්වී, කුසල් වැඩී හොඳින් විභාගය ලිවීමට අවශ්‍ය බලවත් මානසික ශක්තියක් ලැබෙනු ඇත. ඉදිරි කාලය තුළ විශේෂ විනෝද ගමන්, අවදානම සහිත ගමන් හෝ වැඩකටයුතු යොදා නොගත යුතුයි. එසේ වැඩිහිටි දරුවෙකු නිසා අනිසි බලපෑම් ද නොකළ යුතුයි.


නිවසේ වෙනත් අයගේ ද සහය දරුවාට ලැබිය යුතුයි. පවුලේ අනෙක් සියලු දෙනා ඔහු හෝ ඇය වෙනුවෙන් ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ යුතුයි. අශුභ ග්‍රහ දෝෂය කුමක්ද යන්න දැනගන්නේ නම් ලැබෙන උපදෙස් අනුව නියමිත පුජා, සෙත් ශාන්ති කටයුතු ඉටුකරන්න. දරුවා නොමැතිව හෝ එම කටයුතු වගකීමෙන් නිවැරැදිව සිදුකළ යුතුයි. විභාගයට දිනයක් තබා බෝධි පුජා පැවැත්වීම ප්‍රමාණවත් නොවිය හැකිය. වෘශ්චික, ධනු, තුලා රාශි ලග්නය වුයේ නම් ශනි දුෂ්ඨව සිටී නම් එම ඒරාෂ්ඨක බලය දුර්වල ලෙස බලපෑ හැකිය. එවිට අවම වශයෙන් දින 7ක්වත් නිවැරැදි බෝධි පුජා, දේව පුජා පැවැත්විය යුතුය. දරුවාට බලවත් ග්‍රහ ශක්තියක් ලැබෙන්නේ එවිටය. එවිට දුර්වල ග්‍රහයන්ගේ දෝෂ ඉවත් වී ශුභ ශක්තියක් ඇතිවේ. සිත බලවත් වී මතක ශක්තිය ධාරණ ශක්තිය වර්ධනය වී බලවත් චිත්ත ඒකාග්‍රතාවකින් යුක්තව උසස් පෙළ විභාගය උසස් ලෙස ලියන්නට දරුවාට හැකිවනු නියතය. ඒ ඒ ග්‍රහයන්ට අනුව දෝෂ අවම කර ගැනීම සඳහා කළයුතු පිළිවෙත් එකිනෙකාට වෙනස්ය. එනිසා ග්‍රහ පිහිටීම සහ ගෝචර ගමනේ බලය සහ මහ දශා විශේෂයෙන්ම අතුරු දශා අනුව දුර්වල බව හඳුනාගත යුතුය. එවිට නිවැරැදි ඉලක්කය බලා කළ යුතු පිළියම් කිරීමෙන් දරුවාට ඉතා බලවත් විශ්ව ශක්තියක් සමගම චිත්ත ශක්තියක් ද ලබා ගත හැකි වනු ඇත. විභාගයේ දී ප්‍රශ්නය දුටු පමණින්ම යටි සිතේ තැන්පත්ව ඇති පිළිතුර නිවැරැදිව ඉස්මතු වේ. එවිට හොඳින් පිළිතුරු සපයන දරුවා ඉතා ඉහළින්ම විභාගය සමත් වේ. විභාගයේ දී පාඩම් කරන්නේ ද, පිළිතුරු ලියන්නේ ද දරුවා වුව ද අනෙක් සියලුම වැඩකටයුතු ඇත්තේ මව්පියන් සහ වැඩිහිටියන් අතය. එහෙයින් ඔබේ යුතුකම වන්නේ දරුවා වෙනුවෙන් එම වගකීම ඉටුකිරිමය.