gossiplanka image 1
 



විශ්වය විසින් ලබාදෙන ග්‍රහ ශක්තිය මත ශාරීරික මානසික තත්වය පිළිබඳ හඳුනාගැනීමක් ජ්‍යොතිෂය මගින් ලබාදෙනු ඇත. උපත ලබන දරුවාගේ කේන්ද්‍ර සටහනේ සියල්ල තැන්පත්ව තිබීම සහ එය සත්‍ය වශයෙන්ම සිදුවන බව ද සත්‍යයකි. නමුත් කුසල් වැඩීමෙන් මේ බොහෝ පාපී බව අවම කර ගැනීමට හැකියාව ඇත. ඒ සමගම මව්පියන්ගේ බුද්ධිමත් භාවය අනුව දරුවන්ගේ මානසික මට්ටම සකස් කර ගත හැකි බව ද හඳුනාගත යුතුය. දරුවාගේ විභව ශක්තීන් උපරිමයෙන් නංවා ගැනීමට අවශ්‍ය පසුබිම ඔබ විසින් සකස් කළ යුතුයි. දරුවකු හදා වඩා ගැනීමේ දී ආහාරපාන, විවේකය, ක්‍රියාකාරකම්, භාෂාව, ක්‍රීඩා වැදගත් සේ බුද්ධිය, චිත්තවේග, සෞන්දර්යය, සමාජමය තත්වය සකස් වීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ යුතුයි. දරුවාගේ සිත හඳුනාගැනීමට තරම් ඔබ නොතේරුම්සහගත නම් ඒ පිළිබඳ උපදේශනය ලබා ගන්න. ඔබේ දරුවා ඔබට බිය කරගන්න එපා. එවිට බොහෝ දේ ඔබට සැගවිය හැකිය. වෛරක්කාරයෙකු ලෙස සලකන්න එපා. සමාව දෙන්න පුරුදු වන්න. නමුත් දඬුවම් ද අමතක නොකළ යුතුයි. දරුවා පුංචි අහිංසක සතුටක් විදීමට උපයෝගී කරගන්නා සිදුවීම් අගය කළ යුතුයි. ඔහුට හෝ ඇයට එයින් හානියක් නොවන්නේ  නම් ඔබේ සහාය ද ලබාදිය යුතුයි. වරදක් ලෙස සැලකිය හැකි යමක් වුයේ නම් ඔබ එය දන්නා බවත් හගවා දරුවාට එය වරදක් බව තේරුම් ගැනීමට ඉඩ ලබාදෙන්න. එක්වරම දඬුවම් දීමට යාම සුදුසු නැත. අපේ කාලයේ දරු පරපුරට වඩා වෙනස් සමාජයක් අද පවතින නිසා පැරැණි ක්‍රමවේදයන් අදට ගැලපෙන්නේ නැත. දරුවා දකින සමාජ සංකීර්ණත්වය සහ තාක්ෂණ දියුණුව නිසා ඔහු හෝ ඇය ලෝකය   පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සමාජය දකිනු ඇත. නමුත් වැඩිහිටියන් ඒ පිටුපස අවධානයෙන් සිටිය යුතුය. වර්තමාන බටහිර සංස්කෘතික ආභාසය නිසා සහ මාධ්‍ය රටාවන් නිසා දරුව විශිෂ්ටයින් බවට පත් කිරිමට අවහිරතාවක් ඇති බව පැහැදිලි පෙනෙන්නට ඇත. නමුත් එය මව්පිය බුද්ධි මට්ටම අනුව වෙනස් වන බව කිව යුතුය. හැමවිටම දරුවාට ගුරුහරුකම් දෙන්න යන්න එපා. එවි ඔහු හෝ ඇය ඔබේ වචන අත්හරිනු ඇත. ඔබට වැදගත් අදහස දරුවාගෙන් ලැබේ නම් ඔබ එය ගුරුහරුකමක් ලෙස භාර ගන්න, මනෝවිද්‍යාඥ 'එල්බට් හවුඩ්’ පවසන ආකාරයට මුල පිරිමට ඇති හැකියාව මුදල් තිළිණ සහ පන්නරය දෙන හැකියාවයි. කිසියම් අගය කිරීමකින් හෝ මුල පිරීමකින්, උපදෙසකින් තොරව යමක් ආරම්භ කිරීම එයයි. ඔබේ සිනහව දරුවා අපේක්ෂා කරන දෙයකි. එනිසා ඔබේ සිනහව සැම විටෙකදීම දරුවාට සම්පතකි. සත්වයින් අතර සිනහව ලැබී ඇත්තේ මිනිසාට පමණි. එය ඔබේ දරුවාටත් ලබා දෙන්න. බොහෝ මව්පියන් ජීවිතය පුරාම අදෝනාවන් සමග ජීවත් වෙති. එවැනි විටෙකදී දරුවන් සමීප වුයේ නම් නියෝග පවා දෙන්නේ තමන්ගේ නිදහස පතාගෙනය. එය අනුවණකමකි. කොතරම් කාර්ය බහුල වුවත් දරුවා සමීප වූ විට ඔහුට හෝ ඇයට කන් දෙන්න. ඔබ හෝ කවුරුන් හෝ දරුවාට නම තැබුවේ ඔබට කියන්නට නොව අන් අයට දරුවා හඳුනා ගැනීමටය. මේ නිසා ඔබ දරුවාගේ නම කියා ආමන්ත්‍රණය කරන්න එපා. කෙතරම් ආදරණීය ලෙස දරුවා ඇමතිය හැකිදැයි සිතා බලන්න. බොහෝ මව්පියන් කෝප වු විට දරුවන්ට දෙස් දෙවොල් තබති. කාලකණියා' යන වචනය යොදන අවස්ථා ද ඇත. එතරම් දුර්ගුණයක් තවත් නැත. පිටස්තරයින්ට වඩා මව්පියන් කටින් කියැවෙන දේ බරපතළ බව සිතට ගත යුතුය. එහි අනිසි ප්‍රතිඵල ලැබෙන්නේ ඔබටත් සමගය.