gossiplanka image 1
 



නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීමට

1. මරණය සිදුවී දින 07ක් ඇතුළත ග්‍රාම නිලධාරි වෙත දැනුම්  දෙන්න.

2. ග්‍රාම නිලධාරි විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.

3. මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය  රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.


දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් -


මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නැදෑයා

අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නැදෑයා


එවැනි නැදෑයකු නොමැති වූ විට


මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුළ වාසය කරන  මියගිය තැනැත්තාගේ නෑදෑයකු


කොට්ඨාශය තුළ ද එවැනි නෑදෑයකු නොමැති වූ විට

මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්

මරණය සිදුවූ ගෙදර පදිංචිකරු


ඉහත සඳහන් පුද්ගලයන් නොමැති වූ විට

මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා මරණය සිදු වී මාස 03ක් ඇතුළතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. මරණය සිදු වී මාස 03කින් පසුව ද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරිමේ විස්තර බලන්න.  දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.


කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම


මරණයක් සිදුවී මාස තුනක් ඇතුළත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන. අදාළ මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුළදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.  ප්‍රකාශ පත්‍රය මරණය සිදු වූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාට ඉදිරිපත් කරන්න.


ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්


මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා  අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා

උනන්දුවක් දක්වන වෙනත් අය

ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.


මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම


මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන්න.


මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,


මරණය සිදුවන වේලාවේ එහි සිටි පුද්ගලයන්

මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා

රෝහලේ වෛද්‍ය නිළධාරී

මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා  දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ,

දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.


ඉදිරිපත් කළයුතු ලියවිලි


නිවැරදිව සම්පුර්ණ කරන ලද ප්‍රකාශය

මරණය සිදු වූ බව තහවුරු කිරිමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

මාස 03ක කාල සීමාවක් ඇතුළතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.  දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.


මරණ සහතිකයක් ලබා ගැනීම


ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ සිටින පුද්ගලයන්ට එම ප්‍රදේශය තුළ මරණයක් සිදු වූ විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ සහතිකයක් ලබා ගත හැක.


මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම


මරණ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ මරණය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.  අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.


අයකරනු ලබන ගාස්තු


මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00

මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00 අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න. මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.

මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.