gossiplanka image 1
 


ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය


1863 දී හඳුන්වාදෙන ලද ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත මගින් දැනට රට තුළ ක්‍රියාත්මක වන ඉඩම් ගනුදෙනු ලියාපදිංචිය ආරම්භ විය. පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර ඉඩමක හිමිකම මාරුවීම සඳහා නොතාරිස්වරයෙකු මාර්ගයෙන් විධිමත් ලියවිල්ලක් (ඔප්පුවක්) සකස් කර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම මගින් භුක්තිය භාර දීම මෙම ආඥා පනතට අනුව සිදුවේ.ඉඩම් හිමියන් මුහුණ දෙන අවාසිදායක තත්වයන් පිටුදැකීමටත්, ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් පුද්ගලයන් සතු ඉඩම්වලට රජය වග කියනු ලබන නිවැරදි මායිම් දක්වන, පිඹුරක් සහිත හිමිකම තහවුරු වන වටිනාකමකින් යුක්ත හිමිකම් සහතිකයක් ලබාදීමේ වැඩපිළිවෙල 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරිමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම මගින් අරඹන ලදි. පුද්ගල අයිතිය මෙන්ම රජයට අයත් ඉඩම්වලට අයිතිය ද මෙම පනතින් තහවුරු වන හෙයින් රටේ සංවරධනය සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීම  ද මෙම පනත තුළින් ලැබෙන අනෙක් ප්‍රතිලාභ වේ. 1925, 1955 සහ 1985 වර්ෂවලදී එවකට පැවති ආණ්ඩු විසින් පත් කරනු ලැබූ ඉඩම් කොමිෂන් සභා සහ පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇති වූ තරුණ කැරලි වලට හේතු වූ මූලික කරුණු පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කොමිෂන් සහා ද ඉඩම් හිමිකම පිළිබඳ පවත්නා අසමතුළිතතාවය හා පුද්ගලයන්ට ඉඩම් නොමැතිව ජනතා අසහනයන්ට මූලික හේතුවක් බව ප්‍රකාශ කොට තිබේ. මෙම සමාජ අසහනකාරිත්වයට විසදුමක් වශයෙන් එම කොමිෂන් සභා වාර්තාවලට ද අවධානය යොමු කරමින් 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වාදෙනු ලැබීය. ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය

1. මූලික ඉඩම් පරික්ෂාව

2. මිනුම්පති වෙතින් මූලික පිඹුරු ලැබුණු පසු බිම් කට්ටි පරික්ෂාව හා ප්‍රවේණි හා නිරවුල් කළ යුතු ඉඩම් හඳුනාගැනීම.

3. නිරවුල් කිරිමේ දැන්වීම පළ කිරීම හා ප්‍රචාරය කිරිම.

4. උරුම ලියාපදිංචි කිරීම හා නිරවුල් කිරිමේ විභාග පැවැත්වීම.

5. මැන වෙන්කිරීම් අවශ්‍ය නම් එම අවශ්‍යතා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.

6. මැන වෙන් කිරීම් ලැබුණු පසු රේඛා චිත්‍ර ඉල්ලුම් කිරීම.

7. නිරවුල් කිරිමේ ආඥාව සකස් කර පුද්ගලයන්ට නිරවුල් කරන ලද ඉඩම්, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීම.

8. නිරවුල් කිරීම් සඳහා ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම.

9. නිරවුල් කිරිමේ ආඥාව ගැසට් පත්‍රයේ පළ කිරීම හා පිඹුරු හා ගැසට් පත් බෙදා දීම.


ඉඩම් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු විශේෂ කරුණු


*ඕනෑම ඉඩමක් ප්‍රථම වරට ලියාපදිංචි කිරීම රජයේ ලියවිල්ලක් පදනම් කරගෙන කළ යුතු වීම.

* ඉඩම් ගණුදෙනු කරන ලියවිලිවල අනිවාර්යයෙන්ම පෙර ලියාපදිංචි විස්තර ඇතුළත් විය යුතු බව.

* නැවත නැවත කරනු ලබන ලියාපදිංචි කිරිම් මුල් ලියාපදිංචියට සම්බන්ධ විය යුතු බව.

*ඉඩම පිළිබඳ ඕනෑම ලියවිල්ලක නිශ්චිත සීමා මායිම් සඳහන් විය යුතු බව.

* ඉඩමක වර්ග ප්‍රමාණයමානක සැලැස්මකිත්තහවුරු වියයුතු බව.


පිඹුරක පිටපතක් ලබාගැනීම


පිඹුරු සහ ඉඩම් විස්තර ලැයිස්තුවල පිටපත් ආකාර තුනකට ලබාගත හැක.


(අ) තමාට අවශ්‍ය බිම් කැබැලේ පිඹුර රේඛා චිත්‍රයක් ලෙස ලබාගත හැක.

(ආ) තමාට අවශ්‍ය බිම් කැබැල්ල අඩංගු ක්ෂේත්‍ර පත්‍රයේ ඡයා පිටපතක් ලෙස

(ඇ) තමාට අවශ්‍ය බිම් කැබැල්ලට අදාළ ඉඩම් විස්තර ලැයිස්තුවේ ඡයා පිටපතක් ලෙස

(ඈ) තමාට අවශ්‍ය බිම් කැබැල්ල අඩංගු පතයේ / විස්තර ලැයිස්තුවේ කෑන් කල අංකිත ගොනුවක පිටපතක් ලෙස - ඔබගේ පිඹුරේ පිටපතක් ලබාගැනීම සඳහා එම පිඹුර අඩංගු වී ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සාදන ලද කුමන පිඹුරක ද ක්ෂේත්‍ර පත්‍රයේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අවශ්‍යවේ. මේ සඳහා ඔබ ළග ඇති ඔප්පුවේ හෝ ප්‍රදාන පත්‍රයේ අදාළ ඉඩම පිළිබඳ විස්තර එහි උපලේඛනයේ සඳහන්ව ඇත්නම් එය ඉතා පහසුය. නමුත් බොහෝ අවස්ථාවල ඔප්පුවක අදාළ පිඹුර හඳුනා ගැනීමට අවශ්‍ය සියලු විස්තර සඳහන්ව නොමැත. එනම් හිමිකම් පිඹුරු අංකය හෝ කැබලි අංකය පමණක් සඳහන් වන අවස්ථාවන් ඇත. මේ නිසා අදාළ ඉඩම පිහිටි ගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, පැරණි ක්‍රමය අනුව කෝරලය, පත්තුව වැනි තොරතුරු ඔබ ප්‍රදේශයේ දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය වෙත ලබාදී ඔබට අවශ්‍ය ඉඩම පිළිබඳ තොරතුරු සහ සේවාවන් ලබාගත හැකිවනු ඇත. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ආකෘති පත්‍රයක් සෑම දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයකම ඇති අතර එය සම්පුර්ණ කිරීම සඳහා එහි සිටින නිලධාරින්ගේ සහාය ලබාගත හැක. දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා ඔබ එහි යනවිට එම සේවාවන් ලබාගැනීමට අවශ්‍ය ඉඩමට අදාළ ඔබ සතුව ඇති සියලු ලිපිලේඛන රැගෙන යාම ඔබගේ කටයුත්ත කර ගැනීමට ඉතා පහසුවනු ඇත. ඔබට අදාළ ඔප්පු කියවා තේරුම් ගැනීමට අපහසු වුවත් එහි සිටින නිලධාරීන්ට ඒවා කියවා ඔබට අවශ්‍ය උපදෙස් දීමටත් එමගින් අවශ්‍ය තොරතුරු ලබාගෙන ඔබට අවශ්‍ය සේවාවන් ලබාදීමටත් ඔවුනට හැකිවනවා ඇත. ඔබ සතුව ඇති ලේඛන අනුව අදාළ පිඹුර සකස් කර ඇත්තේ බලයලත් මිනින්දෝරුවරයකු විසින් හෝ ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරයකු විසින් නම් ඊට අදාළ පිඹුරුවල පිටපත් එම මිනින්දෝරු මහතාගෙන්ම ලබාගත යුතුය. ඔබ සතු ලේඛනවල එම බලයලත් මිනින්දෝරු මහතාගේ ලිපිනය හා දුරකතන අංකය සඳහන්ව නොමැති නම් එම විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති මැනුම් සභාව ඇමතීමෙන් ලබාගත හැක. අදාළ මිනින්දෝරු මහතා මිය ගොස් හෝ විදේශ ගතවී ඇත්නම් අදාළ ලේඛන බොහෝ විට වෙනත් බලයලත් මිනින්දෝරු මහතකුට භාර දී යාම බොහෝවිට සිදුවේ. එම විස්තර එම ප්‍රදේශයේ වෙනත් බලයලත් මිනින්දෝරුවරයෙකු විමසා ලබාගත හැක. සියලුම බලයලත් ලියාපදිංචි මිනින්දෝරු මහතුන් විසින් මිනින්දෝරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්ද ලබාගත හැක


ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

සර්වේයර් ජනරාල් කාර්යාලය,

මිනින්දෝරු දෙපාර්තමේන්තුව

අංක 150,කිරුල පාර

නාරාහේන්පිට.

කොලඹ -05

දුරකථන : 0112369011-13

ෆැක්ස්     : 011-2369343

විද්‍යුත් තැපෑල: dsgit@ survey.gov.lk

වෙබ් අඩවිය: www.survey.gov.lk


10. ගොඩනැගිලි සැලසුම්

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම


ගොඩනැගිලි සැලසුමක් අනුමත කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම කළ යුතුය.

1. අදාළ බිම් කොටස නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම අවශ්‍යය.

2. එම අනුමත මානක සැලැස්මේ පිටපතක් ඉදිරිපත්කළ යුතුය.

3. ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම, පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, අත්තිවාරම් හරස්කඩ ඇතුළත්ව තිබිය යුතුය.

4. ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාළ පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම අවශ්‍ය ය.

5. සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම.


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය


1. ඔබ අයත් පලාත් පාලන ආයතනයේ ගොඩනැගිලි අංශයෙන් ඉල්ලුම්පත් ලබා ගත හැකිය.

2. ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවීය යුතු ගාස්තු :

                                  රු 200.00 සහ 158 වැට්- රු : 30.00

3. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) සති 02 ක් හෝ 08 ක් අතරතුර.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :


1. නේවාසික (නිවාස)

                                          1. පලාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්

                                          2. අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්

                                          3. ඔප්පු පිටපතක්.

                                          4. අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.

                                          5. වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත                                               අනුමත කර තිබිය යුතුය.

                                          6. අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.



2. වාණිජ හා කර්මාන්ත ගොඩනැගිලි

                                      1. පලාත් පාලන ආයතනය විසින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ                                          පිටපතක්.

                                      2. අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්

                                      3. ඔප්පු පිටපතක්.

                                      4. අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්,

                                      5. වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත                                                අනුමත කර තිබිය යුතුය.

                                      6. අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිරදේශය ලබා ගත යුතුය.

                                      7. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.

                                       8. කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් (පී.සී) ඉදිරිපත් කල යුතුය.