gossiplanka image 1
 

මෙම වදන් පෙළෙහි තේරුම පහර වැළැක්වීමේ ක්‍රම යන්නයි. බෲස්ලී නම් වූ අසහාය සටන් ශිල්පියා විසින් ලොවට ඉදිරිපත් කළ ජීට් කුන් ඩෝ නම් වූ අපූරු සටන් ක්‍රමය ලොව වැඩිම උපයෝගීතාවෙන් යුතු සටන් ශෛලිය ලෙස පිළිගැනේ.


1. වින්චුන් කුන්ග් ෆු ශෛලිය

2. බොක්සිං

3. ප්‍රංශ කඩු සටන්


යන සටන් ක්‍රම තුනෙහි සාරය අඩංගු ජිට් කුන් ඩෝ ශෛලිය මෙතෙක් මිනිසා විසින් බිහි කළ වේගවත්ම සටන් ක්‍රමයයි. බොක්සි කලාවේ ඉගැන්වෙන රළු පහරදීම් ක්‍රම ද විච්චුන් ශෛලියේ ඉගැන්වෙන පහර වැළැක්වීම් ක්‍රම ද කඩු සටන්වල ඉගැන්වෙන ඉදිරියට හා පසුපසට පනිමින් සටන් කිරීම ද යන අංගවල සංකලනයක් මෙහි අඩංගුය.  කෙසේ නමුත් බෘෘස්ලි සිය ජිට් කුන් ඩෝ ශෛලිය හඳුන්වා  දෙනුයේ ශෛලීගත නොවූ සටන් ක්‍රමයක් ලෙසය. සටන් ක්‍රම රාශියක් උගෙන අවශ්‍ය මොහොතේදී වඩා සුදුසුම ක්‍රමය අනුගමනය කර ප්‍රතිවාදියා දමනය කළ යුතුය යන්න බෲස්ලිගේ ඉගැන්වීමයි. එබැවින් ජීට් කුන්ඩෝ ශිල්පියා වරෙක බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස හැසිරෙයි. තවත් වරෙක ජූඩෝ ශිල්පියෙකු ලෙස හැසිරෙයි.  මේ නිතර වෙනස්  වන සුලු මායාකාරී ස්වභාවය නිසා නියම ජීට් කුන්ඩෝ ශිල්පියාගේ දුර්වලකම් වටහා ගැනීමට ප්‍රතිවාදියාට ඉඩක් නොලැබේ.


පීට් කුන් ඩෝ ක්‍රමයේ අධ්‍යයන රීති


1. කිසියම් පහරක් සාර්ථක ද යන්න තීරණය වනුයේ එයින් ප්‍රතිවාදියාට කවර බලපෑමක් ඇති කළේ ද යන්න මතයි. ඔබට  නොරිදෙන්නටත් ප්‍රතිවාදියාට රිදෙන්නටත් පහර දීමට වගබලා ගත යුතුය.


2. කිසියම් පහරක් නිවැරදි ද යන්න තීරණය කිරිමේ නිශ්චිත ක්‍රමයක්  නැත. ඔබට ගැළපෙන පරිදි පහර දෙන ආකාරය වෙනස් කරන්න. උදාහරණයක් ලෙස පැති පා පහරක් දෙනවිට ඇගිලි උඩට හරවා තිබිය යුතු ද නැතිනම් පහළට හරවා තැබිය යුතු ද යන්න තීරණය

කළ යුත්තේ ඔබමය. ඔබට වඩා පහසු ක්‍රමය අනුගමනය කරන්න.


3. සෑම විටම සතුරාට නොපෙනෙන්නට වේගයෙන් පහර දෙන්න.  සතුරා පහර දකී නම් ඔහුට එය වැළැක්වීමට හැකිවනු ඇත.


4. ඔබ කුන්ග් ෆු ක්‍රමයට පහර දෙන්නේ නම් පහර වදින තැනදී පමණක් බලය යොදන්න. අනෙක් විට වේගය පමණක් ප්‍රමාණවත් ය. ඇග දැඩි කර පහර ඇරඹීම පහරෙහි වේගය අඩාල කිරිමට හේතු වේ. එබැවින් ඇඟ සැහැල්ලුවෙන් තබා පහර අරඹන්න. පහර වදින තැනදී වහාම ඇග දැඩි කර ගන්න. කරාටේ ක්‍රීඩකයා යකඩ පොල්ලකින් පහර දෙන්නාක් මෙන් අතින් පයින් පහර දෙයි. කුන්ග් ෆු ක්‍රීඩකයා දම්වැලක බැඳි යගුලියක් කරකවන්නාක් මෙන් පහර දිය යුතුය.

වේගයෙන් සැහැල්ලුවෙන් පහර යොමු කර නිසි තැනදී පමණක් බලය යෙදිය යුතුය.


 5. ප්‍රතිවාදියා නොසිතන මොහොතක කඩා පැන පහර දිය යුතුය. ඔහුට සිතන්නටවත් මොහොතක් නොතබා පහර පිට පහර දිය  යුතුය. ඉතා අඩු කාලයකින් තරගය නිමා විය යුතුය.


6. සෑම මොහොතකදීම පූර්ණ අවධානයෙන් සිටින්න. සෑම ඉරියව් මාරුවක්ම අවධානයෙන් යුතුව සිදු කරන්න. නොසිතූ මොහොතක ප්‍රතිවාදියා ඔබට පහර දෙනු ඇත.


7. මාරාන්තික සටනකදී පවා නිදහස් මනසින් සිටින්න බිය ,කෝපය වැනි හැගීම් ඔබේ තීරණ ගැනීමේ නිරවද්‍යතාවයට බධා කරයි.


8.කිසියම් ශෛලියකට අනුගතවීම නිදහස් සටන් හැකියාවට  බාධාවකි. එබැවින් ශෛලියකට සීමා නොවී සටන් කරන්න.


9. තාත්වික සටනකදී සීමා පැනවීමක් සිදු නොකෙරේ. ඔබේ ජයග්‍රහණය සඳහා එවෙලේ ගත යුතු සුදුසු පියවර ක්ෂණිකව  සිතා බලා ගත යුතුය.


10. ජිට් කුන් ඩෝ හදාරන ඔබ ඉන් කිසිදු සටන් රීතියකට යටත් නොකරයි. ඔබට සුදුසු පරිදි ඔබේ සටන් උපක්‍රම ගළපා ගත හැකිය.


බෲස් ලී


බෲස් ලී මේ දක්වා ලොව ජීවත් වූ දක්ෂතම සටන් ශිල්පියෙකු ලෙස සැලකේ. කුඩා කල සිටම සටන් ක්‍රම ඉගෙනීමෙහි නිරත වූ ඔහු යිෆ් මෑන් නම් අතිදක්ෂ ගුරුවරයා යටතේ වින් චූන් සටන් ක්‍රමය හදාරා එහි කෙළ පැමිණියේය. තරුණ බෲස් ලී සිසුවා කෙතෙක් දක්ෂයෙකු වීද යත් සමස්ත විවෘත චීන බොක්සිං තරගාවලියට එක්වී පහසු ජයක් අත් කර ගත්තේය. මෙහි වැදගත්ම කරුණ වනුයේ ඒ වන වි ඔහු බෝක්සිං ක්‍රීඩාව හදාරා නොතිබීමයි.  දිගින් දිගටම සටන් කලාව ඉගෙනීමෙහි නිරත වූ හෙතෙම කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ, බොක්සිං,ඊගල් ක්ලෝස් ආදී සටන් ක්‍රම 14ක් ඉගෙන සටන් ක්‍රම විශාරදයෙක් බවට පත්විය. ටයිකොන්ඩෝ කළු පටි පස්වෙනි ශ්‍රේණිය ලබා ගැනීමට ඔහුට ගත වූයේ කෙටි කාලයකි.


වෝනර් සහෝදර සමාගම විසින් නිෂ්පාදනය කළ ග්‍රීන් හෝනට් නම් රූපවාහිනී කතා මාලාව තුළින් බටහිර ප්‍රේක්ෂකයන් වෙත ළංවීමට බෘලීට වරම් ලැබුණි. කෙසේ නමුත් ඔහුව සටන් කලා විශාරදයෙකු ලෙස ඔසවා තැබීම සිදු කරන ලද්දේ හොංකොං  දේශය මූලික කරගෙන හැටේ දශකයේදී නිර්මාණය වූ සටන් චිත්‍රපට රැල්ල මගිනි. බෲස්ලී ප්‍රධාන චරිතය රඟපෑ ද චයිනා කනෙක්ෂන්, ගේම් ඔෆ් ඩෙත්, ෆිස්ට් ඔෆ් ෆියුරි වැනි සටන් චිත්‍රපට බටහිර රටවලදී නොසිතූ තරම් ප්‍රසිද්ධ විය. ඔහුගේ අවසාන චිත්‍රපටය වූ එන්ටර් ද ඩැගන් චිත්‍රපටය මාස ගණන් එකදිගට නොකඩවා සිනමා හල්වල තිරගත විය.


හැටේ දශකයේදී ලොව දක්ෂතම සටන් ශිල්පියා ලෙස සැලකුණු වොන්ග් ජැක්ටන් හා යෙදුණු දරුණු තරග සටන ජය ගැනීමත් සමග බෘෘස්ලීගේ කීර්ති නාමය තවදුරටත් ස්ථාවර විය. කෙසේ නමුත් වෝන්ග් ජැක්ටන් පරාජය කිරීමට මිනිත්තු තුනක් සටන් කිරීමට ඔහුට සිදුවිය. ප්‍රතිවාදියා ක්ෂණයෙන් පරාජය කිරීම දක්ෂ සටන් ශිල්පියෙකු වීමට අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කළ හෙතෙම වෝග් ජැක්ටන්ට තමා පරාජය වූ බව සිතීය. හැත්තෑව දශකය වන විට ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තෙහි සිටි බෘෘස්ලී සටන් කලාව හැදෑරීම දිගටම කරගෙන ගියේය. යෝගාභ්‍යාස ක්‍රම හොඳින් ප්‍රගුණ කළ ඔහු දෑතේ මාපට ඇඟිලි මතින් සිට ගැනීමට තරම් සමබරතාව ඉහළ නැංවීය. වයස අවුරුදු 32දී අකල් මරණයට භාජනය වන විට ලොව වැඩිම ඉපයීමක් කළ සටන් ශිල්පියා වීමට ඔහු සමත් වී තිබුණි. බෲස්ලීගේ අකල් මරණය අදට ද අබිරහසකි. ඔහු මියගිය බව මිසක මිය ගිය ආකාරය කීමට කිසිවෙකු සමත් වූයේ නැත.