
කුන්ග් ෆු යන්නෙහි නිපුණ මිනිසා යන අර්ථය ඇත. චීනයේ ෂාඕලින් නම් වූ සෙන් බෞද්ධ ආරාමයෙන් බිහිවූ සටන් කලා ක්‍රම බොහෝ විට කුන්ග් ෆු හෝ ෂාඕලින් කුන්ග් ෆු ලෙස හඳුන්වා දෙනු ලැබේ. ලොව මෙතෙක් බිහි වූ වෙනත් කිසිදු සටන් ක්‍රමයක් නැති තරම් විශාල අන්තර්ගතයක් ෂාඕලින් කුන්ග් ෆු සටන් ක්‍රමවල ඇත. දැනට වසර 1400කට පමණ පෙර ඉන්දියාවේ සිට චීනයට මදුත මෙහෙවරෙහි යෙදුණු බෝධිධර්ම හිමියන් කුන්ග් ෆු සටන් ලොවේ නිර්මාතෘවරයා ලෙස අවිවාදයෙන් සැලකේ. බෝධිධර්ම හිමියන් තම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා යොදා ගනු ලැබූයේ චීනයේ හෙනාන් ප්‍රාන්තයයි. හෙනාන් හි පිහිටි ෂාඕලින් ආරාමයේදී සිසුන්ට භාවනා ක්‍රම ආදිය ඉගැන්වූ හෙතෙම ඔවුන්ගේ ශාරීරික සුවය සඳහා ව්‍යායාම් මාලාවක් හදුන්වා දුන්නේය. මේ ව්‍යායාම් මාලාව පාඩම් 14කින් යුක්ත වූ අතර සතුන්ගේ ඉරියව් සහිත අභිරූපණ විධීන් ඊට අතුළත් විය.
චීනයේ මේ වන විට දේශීය වුෂූ සටන් කලා ශෛලීන් ද ජනප්‍රියව පැවතුණි. ෂාඕලින් ආරාමයට බැඳුණු නවක සිසූහු තමන් දත් වුෂු සටන් ක්‍රම එහි සිටි භික්ෂූන්ට ඉගැන්වූහ. භික්ෂූහු ඔවුන්ට සත්ත්ව ඉරියව් හුරු කළහ. මේ අපූරු සංකලනය ෂාඕලින් ක්වාන් (ෂාඕලින් චුවාන්) හෙවත් ෂාඕලින් කුන්ග් ෆු යනුවෙන් හැඳින්වීමට ලක්විය. සුයි අධිරාජ්‍ය සමය වන විට (ක්‍රි.ව. 1581 - 618) ෂාඕලින් සටන් ක්‍රම අනෙක් දේශීය සටන් ශෛලීන් අභිබවා යන තරම් බලගතු තත්ත්වයට පත් විය. රජයට පක්ෂපාතීකම් දැක්වූ ෂඕලින් පූජකවරු යුද්ධවලදී රජයට සහාය දී ප්‍රතිවාදීන් පරාජය කළහ. එබැවින් ෂාඕලින් පුජකාරාමය තව දුරටත් සවිමත් බළකඳවුරක් බවට පත්විය. අධිරාජ්‍යවරුන්ගේ සමය වන විට (ක්‍රි.ව. 1368 - 1644) ෂාඔලින් පුජකවරුන් සියලු දෙනාම පාහේ අවි සහිත සටන් සඳහා හොඳින් පුහුණු කරවන ලදී. ඔවුහු ජපානයට එරෙහිව යුද වැදුණු චීන රජය හා එක්ව ජපානයට එරෙහිව 1533 වර්ෂයේදී යුද වැදුණහ.
ක්විං අධිරාජ සමයට අයත් 1727 වර්ෂයේදී රජයේ හමුදාවලට හැර අන් අයට සටන් පුහුණු වීම තහනම් කෙරෙන නීති ගෙන එන ලදී. මේ නිසා සියලු පුහුණු වීම් රහසිගතවම සිදු කරන්නට ෂඕලින් පූජකවරුන්ට සිදුවිය. පවත්නා රජයට පක්ෂපාත නොවූවන් සිටින බවට සැක කරන ලදුව ෂාඕලින් පූජකාරාමය කිහිප විටක්ම ගිනිබත් විය. කෙසේ වෙතත් 20වන සියවස වන විට චීනය පුරාම මාඕලින් සටන් ක්‍රම ප්‍රචලිත විය. ෂාඔලින් ආරාමයේ ශාඛා 12ක් චීනය තුළ බිහිවිය.
කුන්ග් ෆු ශෛලීන්
ශෛලීන් අතර විවිධත්වය අතින් කුන්ග් ෆු ශිල්පය ඉදිරියෙන්ම සිටියි. මේ ශෛලීන් පහත පරිදි වර්ග කළ හැකිය.
1. සත්ව ඉරියව් සහිත ශෛලීන්
විවිධ සතුන් අනුකරණය කෙරෙන ඉරියව්, පැනීම්, පහරදීම් හා පහර වැළැක්වීම් ඇතුළත් මේ සටන් ශෛලීන් ෂාන් සටන් ක්‍රමවලටම ආවේණිකය. සත්ව ශෛලීන් පුහුණු වන්නා එක්කෝ තනි ශෛලියක් පුහුණු කර එහි කෙළ පැමිණිය යුතුය. නැතිනම් ශෛලීන් කිහිපයක් හැදෑරිමට ඔහුට සිදුවේ. සත්ව ශෛලීන් පුහුණු වී සාර්ථක සටන්කරුවෙක් වීමට දීර්ඝ කාලයක් ගතවේ. මේ ශෛලීන් හැම එකක්ම පොදු පදනමක් මත පිහිටයි. එය රළු බව මෘදු බවින් හා මෘදු බව රළු බවින් පරාජය කළ යුතුය යන්නයි.
2. රහස් සටන් විධි
මේවා පවුලේ සටන් ක්‍රම ලෙස ද හැඳින්වේ . (Family Styles) මෙලෙස හැඳින්වීමට හේතුව මූලික ෂාඕලින් පරපුරෙන් බිඳී ආ සටන් ශිල්පීන් විසින් මේ සටන් ක්‍රම ස්වකීය පවුලේ අයට උගන්වා තැබීමයි. ෂා ශෛලිය (Zha Style) මෙවැන්නකි.
3. අවි සටන්
මුල් කාලයේදී ෂාඔලින් භික්ෂූන් අවි ලෙස භාවිත කළේ උදැල්ල, දෑකැත්ත, අලවංගුව වැනි ගෘහස්ථ උපකරණ පමණි. පසුකාලීනව වුෂු හා කුන්ග් ෆු ක්‍රම ඒකාබද්ධ වීම හේතුකොටගෙන චීන හමුදාව භාවිත කළ කඩු, හෙල්ල වැනි අවි ද ඊට එක්විය.
4. යෝග අභ්‍යාස ක්‍රම
තාඕ යෝග විද්‍යාව ඇසුරෙන් වැඩිදියුණු වූ තයිචී, චී කුන් වැනි යෝග සටන් ක්‍රම ද කල් යත්ම ෂාඕලින් භික්ෂූන්ගේ භාවිතයට එක්විය. මේවා සටන් ක්‍රමවලට වඩා යෝගාභ්‍යාස ලෙස වැදගත්කමක් උසුලයි.
ස්වභාවධර්මයෙන් උපයාගත්තාණය
විවිධ සත්ව ශෛලීන් අනුකරණයෙන් තැනුණු කුන්ග් ෆූ සටන් ක්‍රමයෙහි ස්වභාවධර්මයෙන් උපයාගත් ආප්තෝපදේශ රාශියක් භාවිත වෙයි. සාර්ථක සටන් ශිල්පියෙක් වීමට මේ ආප්තෝපදේශ දැන සිටීම වැදගත් ය.
හොර බළලෙක් මෙන් සැහැල්ලුවෙන් පා තබන්න.
කොටියෙකු මෙන් කඩා පැන පහර දෙන්න.
මකරෙකු මෙන් පොළොවට බරදී සිටගන්න.
හෙණයක් මෙන් පහර පතිත කරන්න.
අකුණු සැරයක් මෙන් හඬ නගා සතුරා බිය වද්දන්න
කුණාටුවක් මෙන් පහර පිට පහර දෙන්න.
ඇණයක් මෙන් නොසැලී සිටීමට හුරුවන්න.
කන්දක් මෙන් ස්ථාවර වන්න.
සිංහයෙකු මෙන් රළු වන්න.
පුළුන් රොදක් මෙන් සැහැල්ලුවෙන් ගමනෙහි යෙදෙන්න.
විවිධ කායික ක්‍රියාවලදී රළු බව හා මෘදු බව එකට කැටි කරගන්නා අයුරු මේ ආතෝපදේශවලින් කියැවේ. තනිකරම රළු වීම හෝ මෘදුවීම තුළින් දක්ෂ කුග් ශිල්පියෙකු විය නොහැකිය. රළු බවෙහි හා මෘදු බවෙහි ගුණාත්මක සංකලනයක් තුළින් සැබෑ කුන්ග් ෆු ශිල්පියා බිහිවෙයි.
කුන්ෆු සටන් කලාවේ අධ්‍යයන රිති
කුන්ග් ෆු සටන් කලාවේ ඉතා ගැඹුරු මූලධර්ම හා රීතීන් භාවිත කෙරෙයි. මේ රීතීන් අනුව සටන් කිරීමෙන් අති දක්ෂ සටන්කරුවෙකු විය හැකිය.
පහරෙහි බලය උපරිම ඉම දක්වා වැඩි කරන්න.
සෑම පහරකදීම මුළු ශරීරයම ඊට සහභාගී කරවන්න. (මුළු ඇගෙහිම බලය යොදවන්න.) සිරුරේ අභ්‍යන්තර ශක්තිය පහරට මුසු කරන්න.
සෑම සටනකදීම ප්‍රතිවාදියා නිරික්ෂණය කර ඔහුට ගැළපෙන පරිදි ඉන් අකමය වෙනස් කරන්න.
සෑම ඉරියව් මාරුවක්ම අරුතක් ඇතිව කරන්න.
අත් පා ආයුධ යැයි සිතා සටන් කරන්න.
පහර දෙකක් අතර කාල පරතරය හැකිතාක් අඩු කරන්න. පහර පිට පහර දෙන්න. ආත්මාරක්ෂාවට මුල්තැන දෙන්න.
සෑම විටම සතුරා ගැන අවධානයෙන් සිටින්න.
සතුරාගේ බලය ද ඔබේ බලය ද විශ්වයේ බලය ද එක්කර පහර දෙන්න.
විවිධ සන්ව ශෛලීන්
වින් චුන් චුආන් (Wing Chuun Chuan) 19වන සියවසෙහි ජීවත් වූ ෂාඕලින් සටන් ගුරුවරයෙකු වූ යැං සි විසින් නිපදවන ලද මේ ශෛලිය ඔහුගේ දියණිය වන යැං යො චුං විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී. වේගවත් කෙටි පහරදීම් නිසා මේ ශෛලිය ලෝක ප්‍රසිද්ධ විය. සංවේදීතාවෙන් සටන් කිරීම හෙවත් ප්‍රතිවාදියා වෙත පූර්ණ අවධානයෙන් සිට අඩු බලයක් සහිත පහර වළකා එකෙණෙහිම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මේ ක්‍රමයේ ඇති වෙනසයි. කෙටි පහරදීම්, කෙටි වැළැක්වීම් හා කෙටි ඉරියව් ඇති වින් චුන් ශෛලියේදී තාඕ සටන් රීතියක් වූ රළු බවට එරෙහිව මෘදු බව සහ මෘදු බවට එරෙහිව රළු බව යන සිද්ධාන්තය නිරතුරුව භාවිත වේ. ඒ අනුව කය එහා මෙහා කර සුළු බලයක් යෙදවීම මගින් ඕනෑම තදබල පහරකින් බේරීමට වින් චුන් ශිල්පියා සමත් වෙයි. පුරාවෘත්තයන්ට අනුව මේ අද්විතීය සටන් ක්‍රමය බිහිවූයේ කොකෙකු සහ නයෙකු අතර කෙරුණු මාරාන්තික සටනක් අධ්‍යයනයෙන් පසුවය.
නයාගේ රළු පහරදීම්වලින් සිරුර ආරක්ෂා කිරිමට කොකාගේ අත්තටුවලට හැකිවිය.
ටයිගර් (කොටියා)
කොටියෙකුගේ හැසිරීම් අනුකරණය කරන පහරදීම් සහිත ශෛලියකි. ඇගිලි තුඩුවලින් සතුරාගේ සිරුරේ මෘදු ස්ථාන සූරා ඉරා දැමීමට මෙහිදී මූලික තැනක් ලැබෙයි. පා පහරවල් අඩුය. දිගු ඉරියව් සහිත මේ ශෛලිය පුහුණුවීම ඉතා පහසුය.
ලෙපර්ඩ් (දිවියා)
දිවියෙකුගේ හැසිරීම් අනුකරණය කරන පහරදීම් සහිත ශෛලියකි. ඉහත විස්තර කළ ශෛලියට වඩා පැරණි ශෛලියකි. මාරක පහරදීම් සහිතය.
සනේක් (නයි)
නයෙකුගේ හැසිරීම් අනුකරණය කරන පහරදීම් සහිත ඉතා දර්ශනීය ශෛලියකි. ඉතා දිගු ඉරියව් සහිතය. පා පහරවල් ඉතා අඩුය. සිරුරේ නිල ස්ථාන බලා ඇගිලි තුඩුවලින් පහර දීම සිදුවේ.
ඩ්‍රැගන් (මකරා)
මකරා චීන පුරාවෘත්තවල එන සත්වයෙකි. පළිගැනීම මකරාගේ ස්වභාවයයි. එම නිසා ආපසු හැරී කරන පා පහර දීම ද උරගයෙකු මෙන් කරන වෙළා ගැනීම් ද මෙහි අඩංගුය.
මැන්ටිස් (වන්දා)
වන්දා නම් පළගැටි විශේෂය ගොදුරු අල්ලන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මේ ශෛලිය බිහි වී ඇත. සතුරා දැඩිව ග්‍රහණය කරමින් පහර වැළැක්වීමට ද අඩු මහන්සියකින් පහර දීමට ද මෙහිදී හුරු කෙරෙයි.
ක්‍රෑබි (කකුළුවා)
අත් හා පාදවල නිල ස්ථානවලින් අල්ලා සතුරන් මෙල්ල කරන විධි අඩංගු මේ ශෛලිය කකුළුවකු අනුකරණය කරයි.
ක්‍රේන් (කොකා)
කොකෙකු විසින් අත්තටුවලින් පහර වළකන ආකාරය අනුකරණය කර නිපැදවූ ශෛලියකි. ඉතා සැහැල්ලු ලෙස පහර වළක්වා හදිසියේම මාරාන්තික පහර එල්ල කිරීමට හුරු කරනු ලැබේ.
බර්ඩ් (උකුස්සා)
උකුස්සකුගේ ඉරියව් අනුකරණය කර තැනූ අති දර්ශනීය ශෛලියකි. ඉතා දර්ශනීය පැනීම් ක්‍රම මෙහි අඩංගුය.
ඊගල් ( රාජාලියා)
මෙහිදී රාජාධියකු අනුකරණය කර ඇත. ඇඟිලි තුඩුවලින් කරන පහරදීම් හා සිරීම් බහුලය.
මන්කි (වඳුරා)
වඳුරෙකු අනුකරණය කරන ශෛලියකි. ඉතා උසස් තාක්ෂණ ක්‍රම හා පැනීමේ ක්‍රම අඩංගුය. එහාට මෙහාට පැන පහර වළක්වන ආකාරය මෙහිදී උගත හැකිය.
ඩ්‍රන්කන් (බීමත් මිනිසා)
යුද්ධ කාලයේදී ෂාඔලින් පුජකාරාමයෙන් පලා ගිය ගුරුවරයෙකු විසින් නිපදවන ලද ශෛලියක් යැයි සැලකේ. ඔහු පලා ගොස් විවාපත් වී සටන්කම ඉගැන්වීම ජීවිකා වෘත්තිය කර ගත් බව කියැවේ. සිය දියණිය සතුරන්ට අසුවීම නිසා දුකට පත් ඔහු බීමත්ව සිට ඉගැන්වීම් කටයුතු කළ බව කියැවේ. වරින් වර සමබරතාව බිඳිමින් නැවත සමබරතාවට එමින් සටන් කිරීම මෙම ශෛලියේ ඇති විශේෂත්වයයි. මෙහි ඇති පහර වැළැක්වීමේ ක්‍රම අන් කිසිදු සටන් ක්‍රමයකට අඩංගු නොවන බව පැවසේ.
Comments
Post a Comment