gossiplanka image 1
 

ජපන් සටන් කලා විශේෂඥයෙකු වූ ජිගාරෝ කානො දිගු ලක සිට නව ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් බිහි කිරීමට වෙහෙස දැරිය. මෙහි අවසාන ප්‍රතිඵලය වර්ෂ 1882දී එළි දැක්වුණි. ජපන් සම්ප්‍රදායික සටන් ක්‍රමයක් වූ ජු ජුට්සු ක්‍රමයේ අංග තවදුරටත් වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කෙරුණු මේ නව ආත්මාරක්ෂක සටන් ක්‍රමය ජූඩෝ ලෙස හඳුන්වනු ලැබීය. ජූඩෝ ක්‍රීඩාව ජපානයේ ජනප්‍රිය කිරීමට එහි නිර්මාතෘවරයා ගත් උත්සාහය කොතෙක් සාර්ථක වීද යත් ඔහුගේ ජීවිත කාලය තුළදීම ජපානයේ සියලු ජු ජුසු ශිල්පීහු ජුඩෝ හැදෑරීම පටන් ගත්හ.



1. පහර වැළැක්වීම්

2. ප්‍රතිවාදියා බිම හෙළීම හෝ විසි කිරීම

3. ප්‍රතිවාදියා නොසෙල්වෙන ලෙස බදා ගැනීම


යන ආරක්ෂක ක්‍රම ජූඩෝ සටන් ක්‍රමයේදී උගන්වනු ලැබේ. ජුඩෝ සටන්වලදී පහරදීම් සිදු කරනුයේ පාදවල සමබරතාව බිදීම සඳහා පමණි. එබැවින් මෙය ආත්මාරක්ෂක සටන් ගණයට වැටෙයි.  ජූඩෝ යන්නෙහි තේරුම සුමට වූ ක්‍රමය යන්නයි. ජු ජුට්සු යන ජපන් වදනෙහි තේරුම ද ඊට තරමක් සමානය. මේ සටන් ක්‍රම දෙකෙහිම අරමුණ එක සමානය. රළු නොවූ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් ප්‍රතිවාදියා දමනය කිරිම ජූඩෝ ශිල්පියෙකුගේ අරමුණයි. ඒ සඳහා ප්‍රතිවාදියා විසි කිරීමේ මූලික තාක්ෂණික ක්‍රම 40ක් පමණ ජූඩෝ ශිල්පයෙහි ඉගැන්වේ.


මෙහිදී සෑම විටම ප්‍රතිවාදියා යොදවන බලයට  සුළු අමතර බලයක් එක් කර ඔහුව විසි කිරීම හෝ බිම දැමීම සිදු කෙරෙයි. මීට අමතරව ප්‍රතිවාදියා මෙල්ල කිරීමට තාක්ෂණික ක්‍රම 99ක් පමණ භාවිත වේ.  පාදයේ නිල ස්ථානවලට පහර දී සමබරතාව බිඳ හෙලීම ජුඩෝ ක්‍රීඩාවේදී සාමාන්‍යයෙන් සිදුවේ. බත්කෙණ්ඩ නම් වූ මස්ගොබයට තරමක් වැරෙන් පා පහරක් දීමෙන් සමබරතාව බිදී යයි.  ජූඩෝ ශිල්පියෙක් ප්‍රතිවාදියෙකු ජය ගත යුත්තේ මෙසේය.


1. ඔබේ ප්‍රතිවාදියා ඔබට එරෙහිව බලය යොදන මොහොත තෙක්  ඉවසා සිටින්න.

2. සුළු බලයක් යොදා ඔහුගේ සමබරතාව බිදින්න.

3. මෙවිට ඔහුගේ බලය ඔහුටම විරුද්ධ වෙයි.

4. දැන් ඔබ කළ යුත්තේ ඔබේ ශක්තියෙන් අඩක් පමණක් යොදා ප්‍රතිවාදියා යෙදවූ බලය වෙනස් කර ඔහු බිම හෙලීමයි. නැතහොත් විසිකර දැමීමයි.


ජූඩෝ අධ්‍යයන ක්‍රමයන්හි ඇති විශිෂ්ටතම ලක්ෂණය වනුයේ ක්‍රමවත් ලෙස පරික්ෂණ පවත්වා සිසුන් ශ්‍රේණිගත කිරීමයි. මූලික මට්ටමේ ශ්‍රේෂ්ණවලදී වර්ණවත් පටි ලැබෙන අතර ප්‍රවීණ මට්ටමේ දී කළුපටි ශ්‍රේණි ලැබෙයි. ජීගාරෝ කානො විසින් හඳුන්වා දුන් මේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය පසු කාලීනව කරාටේ හා ටයිකොන්ඩෝ ශිල්පවලට ද අදාළ කරගන්නා ලදී.