
පුරාණ ඔකිනාවියානු අවි සටන් ක්‍රම කොබුදා යන නමින් පොදුවේ හඳුන්වනු ලබයි. අතීතයේ ඔකිනාවියානු රටවැසියනට නිතර නිතර සතුරු ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවිය. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් ද පල්හොරුන්ගෙන් ද රජයෙන් ද පීඩා විඳි ඔකිනාවියානු ජනතාව තමනට සුවිශේෂී වූ අවි සටන් කලාවක් නිපදවා ගත්හ. කොබුදො අවි ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකි.
1. මුළුතැන්ගෙයි උපකරණ (උදා: - පිහිය)
2. ගොවි උපකරණ (උදා :- දෑකැත්ත)
3. සිරුරේ සගවාගෙන යා හැකි කෙටි අවි (උදා:- නන්චක්කුව නම් වූ පොලු දෙකක් සවි කළ උපකරණය)
4. කර්මාන්ත උපකරණය (උදා :- සහල් පිටි කරන උපකරණ)
5. ධීවර ආම්පන්න (උදා :- මසුන් මැරීමට යොදා ගන්නා රිටි)
ඔකිනාවියානු කොබුදො සටන් ක්‍රමවල පියවර තැබීම, පහර වැළැක්වීම් ආදිය කරාටේ ශිල්පයෙහි ඇති තාක්ෂණික ක්‍රමවලට බොහෝ දුරට සමානය. මීට හේතුව කරාටේ හා කොමුදා ක්‍රම එකම මූලාශ්‍රයකින් පැවත ඒමයි. කොබුදො අවි සටන් බොහොමයක්ම ප්‍රහාරාත්මක ඒවා නොව ආත්මාරක්ෂක සටන් ක්‍රමයි. ප්‍රතිවාදීන් විසින් එල්ල කරන කඩු පහර සහ හෙල්ල පහරවලින් සාර්ථකව බේරී සිටීමට කොබුදො සටන් ශිල්පියාට හැකිය.
ජනප්‍රිය කොබුදො අවි කිහිපයක්
1. බෝ
මෙය දිගු ලී දණ්ඩකි. අස්වනු එකතු කිරීමටත්, ධීවර ආම්පන්නයක් ලෙසත් ඔකිනාවියානු ගැමියන් අතර භාවිත වෙයි. කොබුදො සටන් කලාවේදී ප්‍රතිවාදීන්ට පහර දීමටත්, අවිවලින් දෙන පහර වැළැක්වීමටත්, ප්‍රතිවාදියා නිරායුධ කිරීමටත් භාවිත කෙරෙයි. මෙම දණ්ඩෙන් වැර
යොදා පහර දීම මගින් හෝ නිල ස්ථානයකට ගැනීමෙන් මාරාන්තික ප්‍රතිඵල අත්විය හැකිය.
2. ටොංෆා
අඩි දෙකක් පමණ දිග මුගුරක එක් පැත්තක අගල් හයක් පමණ දිග හරස් දණ්ඩක් සවිකිරීමෙන් ටොංෆා අවිය යොදා පහසුවෙන්ම මාරාන්තික ප්‍රහාර එල්ල කළ හැකිය. මෙහි ඇති විශේෂත්වය වනුයේ කඩු පහර වැළැක්වීමට ටොංෆාව පහසුවෙන් යොදාගත හැකි වීමයි. ටොංෆාවෙහි කාර්යක්ෂමතාව අවබෝධ කළ බොහෝ බටහිර රටවල පොලිස් ඒකක සිය නිලධාරින්ට බැටන් පොලු වෙනුවට ටොංෆා ලබා දී ඇත. පොලිස් නිලධාරීන් එක ටොංෆාවක් භාවිත කරන මුත් දෑතට ටොංෆා දෙකක් සහිතව සටන් කිරීම කොබුදා ශිල්පීන් අතර වඩා ජනප්‍රියය.
3. සායි
මෙය ත්‍රිශුලයකට සමාන පෙනුම දෙන දිග කිණිස්සකි. සාමාන්‍යයෙන් සටන් පුහුණුවේදී දෑතට සායි අවි දෙකක් දරණ අතර තෙවැන්න ඉණෙහි සගවා ගනු ලැබේ. සටන් කරද්දී අත්තේ ඇති එක් අවියක් විසිකර පහර දිය හැකි අතර අනතුරුව ඉතිරි අවිය එළියට ඇදගත හැකිය. සායි අවියේ දෙපස ඇති උල් දෙකට හසුකර වෙනත් ආයුධවල පහරදීම් වළකාලිය හැකිය.
4. නන්චකු
කෙටි පොලු දෙකක් මැද්දට දම්වැලක් හෝ අස්ලාම් කඹ කැබැල්ලක් යොදා තැනූ අවියකි. සාමාන්‍යයෙන් මේ එක පොලු කැබැල්ලක දිග අග්‍ර බාහුවේ දිගට සමාන වන ලෙස සකසනු ලැබිය යුතුය. නමුත් දිගින් වැඩි නන්චකු ද දිගින් අඩු ඒවා ද විවිධ ප්‍රදේශවල භාවිත වෙයි. මුල් කාලීනව අසරුවන් විසින් භාවිත කළ මේ අවිය පසුව කොබුදො අවි අතරට එක්විය. නන්චකුව කරකැවීම හා ඉන් පහර දීම පැය කිහිපයකදී උගත හැකිය. නන්චකුව මාරක අවියකි. ඇසට නොපෙනෙන වේගයෙන් පහර දිය හැකිය. වෙනත් අවිවලින් දෙන පහර වැළැක්වීමටත්, ප්‍රතිවාදීන් නිරායුධ කිරීමටත් මෙය සාර්ථකව භාවිත කළ හැකිය. සිලින්ඩරාකාර සමාන දිගැති ලී කැබලි දෙකක් අතරට කෙටි දම්වැලක් යොදා තනන ලද මරුගාටා නන්චකුව භාවිතයට වඩා පහසුය. අටපට්ටම් හැඩැති ලීයෙන් තැනු නන්චකුව වඩා භයානක ආයුධයකි.
5. කාමා
මෙය අස්වනු නෙළීමට භාවිත වූ දිගු මිටක් සහිත දෑකැත්තකි. සටන් සඳහා යොදා ගන්නා කාමා අවිය සාමාන්‍ය දෑකැත්තකට වඩා දිගු මිටක් සහිතව ශක්තිමත් තලයක් ඇතිව සාදා ඇත. මෙයින් එල්ල කරන මාරක පහරකින් ප්‍රතිවාදියෙක් පහසුවෙන් මෙල්ල කළ හැකිය. මෙයද සායි අවිය ලෙසම දෑතට දෙකක් ගෙන පුහුණු විය හැකිය.
ජු ජුට්සු
ජු ජුට්සු යනු ජපානයේ විසූ සමුරායිවරුන් විසින් භාවිත කළ මල්ලව පොර ක්‍රමයකි. සාමාන්‍ය මල්ලව පොර සටන්වලට වඩා උසස් තාක්ෂණ ක්‍රම අඩංගුය. පසුකාලීනව ජූඩෝ සටන් කලාව බිහි කරන ලද්දේ ජු ජුට්සු ක්‍රමය පදනම් කර ගෙනය.
ජු ජුට්සු ක්‍රමයේ දාර්ශනික කරුණු පහත පරිදි වෙයි.
1. ඔබ සටන දිනිය යුත්තේ සතුරාට විරුද්ධ වීමෙන් නොව ඔහුට එකග වී අනතුරුව නොමග යැවීමෙනි.
2. නිතර සටන් කරන්නා පරාජය වීමේ අවදානමට යටත් වෙයි.
3. කිසිවිටෙක කෝපයට යටවී ක්‍රියා නොකළ යුතුය.
4. හදිසි අවස්ථාවකදී පළමුවෙන්ම කළ යුත්තේ මනස සන්සුන් කර ගැනීමයි.
5. සෑම විටම හොඳින් හුස්ම වැටෙන පරිදි ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය.
6. මනස එක්තැන් කිරීම තුළින් ඔබේ ජය තහවුරු වනු ඇත.
ජු ජුට්සු ක්‍රමය වැඩිදියුණු කිරීමෙන් නිපැයුණු ජූඩෝ සටන් ක්‍රමය වේගයෙන් ජනප්‍රිය වීම නිසා ජු ජුසු ක්‍රමය ක්‍රමයෙන් අප්‍රසිද්ධියට පත්විය.
කෙන්ඩෝ
මධ්‍යතන යුගයෙහි ජපානයේ වංශාධිපති සමුරායිවරුන් විසින් , වර්ධනය කළ කඩු සටන් ක්‍රමය කෙන්ඩෝ යන නමින් හැඳින්වේ. කෙන්ඩෝ යන්නෙහි තේරුම කඩුව භාවිත කරන ආකාරය යන්නයි. කෙන්ජි නම් වූ පුරාණ ජපන් සටන් ක්‍රමයේ වර්ධනයක් ලෙස මෙම ක්‍රමය හඳුනාගෙන ඇත. මේ සටන් ක්‍රමය ක්‍රිස්තු වර්ෂ අටවෙනි සියවසේදී පමණ බිහිවූ බව සැලකේ. ක්‍රි.ව. 12වන සියවස පමණ වන විට ජපානයේ රාජ්‍ය බලය හීනවී ඉඩම් හිමි සමුරායිවරුන්ට සිතු සේ ක්‍රියා කිරීමට බලය ලැබුණි. කෙන්ඩෝ ක්‍රමයට ද්වන්ධ සටන් ඇතිවීම සුලබ සිද්ධියක් විය. මෙහි ප්‍රතිඵලය වූයේ විනෝදයට සටන් කර මාරාන්තික තුවාල ලැබීමයි. ක්‍රි.ව. 18වන සියවස වන විට මේ සටන් ක්‍රමයේ බිහිසුණු මුහුණුවර මගහැරී ගියේය. වානේ කඩු වෙනුවට උණ ලී කඩුවලින් සටන් පුහුණු වීම ඇරඹුණි. කෙන්ඩෝ ක්‍රමය ආරක්ෂාකාරී මුහුණුවරක් ගත් වහාම එය ක්‍රීඩාවක් ලෙස ජනප්‍රිය වීම ඇරඹුණි. 1939දී ජපානයේ යුධ ශක්තිය තර කිරිමේ ක්‍රියාදාමය යටතේ සෑම පිරිමි ළමයෙකුටම කෙහෝ අවි සටන් පුහුණුව ලබා දුනි. කෙන්ඩෝ සටන් ක්‍රමවලට යටින් දිවෙන හරය සෙන් බුදුදහම හා සම්බන්ධය. එබැවින් දැඩි විනය රීතිවලට යටත්ව සංයමයෙන් යුතුව සටන් පුහුණුව සිදුවේ. උණලී කඩුව ද ඊටම විශේෂිත ඇඳුම ද, සන්නාහය ද, හිස්වැස්ම ද යන අංග කෙන්ඩෝ ක්‍රීඩා උපාංගයන්ට ඇතුළත්ය. කෙන්ඩෝ ක්‍රීඩා පුහුණුව පහත අංගයන්ගෙන් සමන්විතය.
1. මූලික පහරදීම
2. කඩුව දෙපසට හා ඉහළට පහළට වැනීමේ ක්‍රම
3. යුගල වශයෙන් පුහුණුවීම්
4. පාලනයක් යටතේ කෙරෙන ද්වන්ධ සටන්.
5. කාටා (පෙර සැලසුම් කළ සටන්)
නින්ජුට්සු
ක්‍රි.ව. දොළොස්වන සියවස පමණ වන විට ජපානයේ සිවිල් සමාජය පැහැදිලි ලෙසම ස්තර දෙකකට බෙදුණු වැඩවසම් ආර්ථික රටාවක සිරවිය. ධනවත් කුලීනයන් සමුරායිවරුන් ලෙස හැඳින්වුණු අතර සාමාන්‍ය ජනතාව ඔවුනට යටත්ව දුකසේ ජීවිකාව ගෙන ගියහ. සමුරායිවරුන් අතිදක්ෂ සටන් ශිල්පීන් වූ අතර අසු පිට නැගී කරන කඩු හරඹ හා වෙනත් සටන් ක්‍රමවල විශාරදත්වයක් ඔවුන් සතු විය. සමුරායිවරුන්ගේ පීඩාකාරී පාලනය නොරිස්සු සමහරු ඈත කදුකරයට පලා ගියහ. වරින් වර ගම්වැදුණු ඔවුහු සමුරායිවරුන්ගේ වතුපිටි කොල්ලකෑහ. සමුරායිවරුන්ගේ සටන් ක්‍රමවලට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඇති නින්ජා සටන් ක්‍රමය ඈත කඳුකරයේ සිටි කොල්ලකරුවන් අතර ප්‍රසිද්ධ විය. දහවල් කාලය සාමාන්‍ය ගම් වැසියන් සේ අහිංසක ජීවිතයක් ගත කර රාත්‍රියට සමුරායිවරුන්ගේ ගෙවල්වලට පැන මංකොල්ල කෑමට නින්ජාවරු හුරුවූහ. අවි සහිතව හෝ අවි රහිතව සතුරා වෙත කඩා පැන ක්ෂණිකව මරා දැමීමේ තාක්ෂණික විධි සමූහයක් නින්ජුට්සු සටන් ක්‍රමවල අඩංගු වෙයි. ක්ෂණයෙන් සතුරා මරා දැමීමටත්, කිසිවෙකුට අසු නොවී පලා යාමටත් මේ අති දක්ෂ නින්ජාවරුන්ට හැකියාව ලැබුණි. මේ හේතුව නිසාම කුලියට මිනී මැරීමට පවා නින්ජාවන් යොදා ගනු ලැබීය. නින්ජුට්සු ක්‍රමයේ හරය ලෞකික සම්පත් පරිභෝජනය වෙනුවෙන් සකස් වූවකි. මිනිසා සතුව පහත සඳහන් දුර්වලතා ඇතොත් සටනේදී පරදින බව ” නින්ජාවරු විශ්වාස කළහ.
1. බිය
2. කෝපය
3. අලස බව
4. අනුකම්පා සහගත බව
5. උඩගුකම
මිනිස් සමාජයේ පැවැත්මට පහත සඳහන් කරුණු මුල්වන බව ද නින්ජාවරු විශ්වාස කළහ.
1. ආත්මාරක්ෂාව
2. කම් සැපත
3. ධනය
4. සතුට
5. ආත්මාභිමානය
විසිවන සියවසෙහි ඇති වූ පුනරුදයත් සමගම නින්ජාවරුන් ද ඔවුන්ගේ සටන් ක්‍රම ද බොහෝ දුරට අතුරුදන් විය. විසිවන සියවසෙහි තෙවන කාර්තුව වන විට මුළු ජපානයේම ඉතිරි වූයේ සාම්ප්‍රදායික නින්ජුට්සු පාසල් දෙකක් පමණි. ඒ පාසල් දෙක ද සන්නද්ධ හමුදා සාමාජිකයන් පුහුණු කිරීමේ කාර්යයට සීමා කරවන ලදී.
Comments
Post a Comment