
වූෂු යන චීන වදනේ තේරුම සටන් ක්‍රම යන්නයි. පොදුවේ චීන සටන් ක්‍රම සියල්ලම පාහේ වුෂු යනුවෙන් හැඳින්වේ. චීනයේ ශෛලිගත සටන් සම්ප්‍රදායන්හි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව අවදිය දක්වා දිව යයි. චංචුවාන් වැනි වුෂු ශෛලීන් ගැන ලියැවුණු පතපොත අවුරුදු දෙදහසකට වඩා පැරණිය.
චීන ශෛලිගත සටන් ක්‍රම
1. සාම්ප්‍රදායික සටන් ක්‍රම (Traditional Wushu)
2. නූතන සටන් ක්‍රම (Modern Styles) ලෙස වර්ග දෙකකට බෙදෙයි. මෙයින් සාම්ප්‍රදායික සටන් ක්‍රම මූලික වශයෙන් ආකාර කිහිපයකි.
1. සොල්දාදුවන් සඳහා වූ යුධ සටන් ක්‍රම
2. ෂාඔලින් ආත්මාරක්ෂක සටන් ක්‍රම
3. පවුල් අතර රහස් ලෙස පැවති ආත්මාරක්ෂක සටන් ක්‍රම (Family Styles).
නූතන සටන් ක්‍රම යනු සාම්ප්‍රදායික සටන් ක්‍රම අධ්‍යයනය කිරිමෙන් පසුව මෑත කාලීනව එළිදක්වන ලද ප්‍රායෝගික සටන් ක්‍රමයන්ය. උදාහරණයක් ලෙස වංචූන් නම් සාම්ප්‍රදායික ශෛලිය වැඩිදියුණු කර Modern Wing Chun ශෛලිය බිහි කිරීම දැක්විය හැකිය.
චීන වුෂු ශෛලීන් ඒවායේ අන්තර්ගතය අනුව කොටස් 3කට බෙදිය හැකිය.
1. බාහිර ශෛලීන්
සිරුරේ විද්‍යමාන වන ශක්තිය මෙහෙයවා පහර එල්ල කර සතුරා මර්දනය කිරීම බාහිර ශෛලීන් හිදී ඉගැන්වේ . චංචුවාන් හා නන්වුවාන් යන ශෛලීන් බාහිර ශෛලීන් සඳහා උදාහරණයන්ය. රළු පහර දීම් වේගවත් පියවර තැබීම් හා පැනීම් ක්‍රම සාමාන්‍යයෙන් රළු ශෛලීන්ට පොදුය.
2. අභ්‍යන්තර ශෛලීන්
අභ්‍යන්තර ශෛලීන් මීට ඉඳුරාම වෙනස්ය. සිරුරේ අභ්‍යන්තරිකව පවතින ශක්තිය හදුනාගෙන එය තවදුරටත් වර්ධනය කර අභ්‍යන්තර ශක්තිය යොදවා සතුරා මර්දනය කිරීම අභ්‍යන්තර ශෛලීන්හිදී සිදු කෙරෙයි. අභ්‍යන්තර ශෛලීන් මතුපිටින් පෙනෙන්නේ මෘදු ක්‍රියාකාරකම් අඩංගු ඒවා ලෙසයි. නමුත් ක්‍රමවත්ව හා නිසි පරිදි සුළු බලයක් යෙදීම මගින් වැඩි ප්‍රතිඵලයක් ගෙන දීමට මේවා සමත්ය. තයිචී, බාගුවා, ක්ෂින්ජිචුආන් වැනි සටන් ක්‍රම අභ්‍යන්තර ශෛලීන් ලෙස වර්ග කෙරෙයි. මේ ශෛලීන් අද විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ ඒවායේ ඇති අතිශය දියුණු තාක්ෂණික උපායයන් හා ව්‍යායාම් ලෙස ඇති වැදගත්කම නිසාය. කෙසේ වුව ද තනිකරම අභ්‍යන්තර ශෛලීන් පමණක් ඉගෙන දක්ෂ සටන්කරුවෙකු විය නොහැකිය. ඒ සඳහා මේ වර්ග දෙක්ම සටන් ක්‍රම ප්‍රගුණ කළ යුතුය.
අතරමැදි ශෛලීන්
බාහිර හා අභ්‍යන්තර ශෛලීන් යන දෙවර්ගයේම ගුණ ඇතුළත් සුවිශේෂී සටන් ක්‍රම මේ ගණයට වැටෙයි. සිරුරේ බාහිර ශක්තිය ගැන විශ්වාසය තබන අතරම අභ්‍යන්තර ශක්තිය ද ඊට එක් කිරීම මෙහිදී සිදු කෙරෙයි. වින්චුන්වුවාන් යනු තවැය අද්විතීය සටන් ශෛලියකි.
සම්මත වුෂු ශෛලීන්
වුෂු හෙවත් සටන් කලාව ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කිරිමේ අගය වටහා ගත් මහජන චීන සමූහාණ්ඩුව වර්ෂ 1958දී ජාත්‍යන්තර ශෛලීන් කිහිපයක් හඳුන්වා දුන්නේය. මේවායේ ආකාර 3කි.
1. හිස් අත් සටන් ක්‍රම
තයිච්චුවාන්
නන්චුවාන්
චංචුවාන්
2. කෙටි අවි සටන් ක්‍රම
පළල් කඩුව, කඩුව, හෙල්ල, මුගුර
3. දිගු අවි සටන් ක්‍රම
(මෙහි මුලින් දැක්වූ සටන් ශෛලීන් හත දැනට වැඩිම ජන ප්‍රියත්වයක් උසුලන වුෂු ශෛලීන් ය.)
වුෂු ශෛලීන්හි විවිධත්වය
දැනට චීනයේ විවිධ වුෂු ශෛලීන් සිය ගණනක් ප්‍රචලිතව ඇත. වුෂු ශෛලීන්හි විවිධත්වයට බලපෑ සාධක කිහිපයකි.
1. දේශගුණික සාධක
ශුෂ්ක හා සමතල පරිසරය බිහිවූ සටන් ශෛලීන් තුළ දිවීම් හා පහරදීම් වැඩිය. මඩ වගුරු, කඳු හා ගල් අතර සටන් කිරීමට සිදු වූ පරිසරයන්හි මේ ශෛලීන් වඩා ස්ථාවර ඉරියව් තෝරාගෙන ඇත. එම ශෛලීන්හි පා පහර දීම් අඩුය. අත්මිටෙන් කරන පහරදීම් වැඩිය. සෑම විටම සිරුරේ සමබරතාව රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙයි.
2. පරිණාමීය සාධක
වුෂු සටන් ක්‍රම රාශියක නිජබිම වූ ෂාඔලින් පූජකාරාමයෙන් උතුරු දිගට සංක්‍රමණය වූ සටන් ශිල්පීහු උතුරු දිග සටන් ශෛලීන් බිහි කළහ. (Nothern Styles) දකුණු දිගට සංක්‍රමණය වූ ශිල්පීහු දකුණු දිග සටන් ශෛලීන් බිහි කළහ. (Southern Styles) උතුරු දිග ශෛලීන්හි පා පහරදීම් හා වේගවත් දිවීම්, පැනීම් බහුලය. දකුණු දිග ශෛලීන්හි අත් පහරවල් වැඩිය. චන්වුවාන් ශෛලිය උතුරු දිග ශෛලීන්ට උදාහරණයකි. නංචුවාන් හා වින්සුන්වුවාන් ක්‍රම දකුණු දිග ශෛලීන්ය.
3. රුචිකත්වය
සමහර සටන් ශිල්පීහු දිගු ඉරියව් සහිත සටන් ක්‍රම ප්‍රිය කළහ. තවත් අය කෙටි ඉරියව් සහිත සටන් ක්‍රම ප්‍රිය කළහ. විංචුන් ක්‍රමයේ කෙටි පියවර පමණක් උපයෝගී කරගැනෙයි. චන්වුවාන් ක්‍රමයේදී දිගු පියවර උපයෝගී කරගැනෙයි. කෙටි පියවර හා කෙටි පහරදීම් සහිත සටන් ක්‍රම (Short Range Boxing) හා දිගු පියවර හා දිගු පහරදීම් සහිත සටන් ක්‍රම (Long Range Boxing) ලෙස චීන සටන් ශෛලීන් මෙලෙස නැවත වර්ග වෙයි. අති දක්ෂ සටන්කරුවකු වීමට දිගු ශෛලීන් හා කෙටි ශෛලීන් යන දෙවර්ගයම හැදෑරීම සුදුසුය. චංචුවාන් යනු කෙටිම ශෛලියයි. චංචුවාන් යනු දිගම සම්මත ශෛලියයි.
දාර්ශනික මතවාද සහ මුලූ ශෛලීන්
ලඔට්සෙ නම් වූ චීන දාර්ශනිකයාගේ ඉගැන්වීම් බොහෝ වුෂූ ශෛලීන්ට අවශ්‍ය දාර්ශනික පසුබිම සකසා දුන්නේය. රළු බවට එරෙහිව මෘදු බවත් මෘදු බවට එරෙහිව රළු බවත් යෙදවීමෙන් වඩා දක්ෂ ලෙස සටන් කළ හැකි බව වුෂූ ශිල්පීහු දනිති. ඉතා තදබල පහරකින් බේරීමට කුඩා මගහැරීමක් ප්‍රමාණවත්ය. කල්යල් බලා පහර දිය යුතුය යන්න වෙන්නේ නෑ නමැති දාර්ශනිකයාගේ මතයයි. පහර දීමට සුදුසු අවස්ථාව එනතෙක් පසු බැසීම හා මගහැරීම සුදුසුය. සුන් සූ නම් හමුදා ප්‍රධානියාගේ ඉගැන්වීම් ක්‍රම කෙළින්ම වුෂු හෙවත් සටන් කලාවේ හරයට එක්විය. සතුරාට අවාසි වන තැන තෙක් පසු බැසීම සුත්සුගේ එක් ඉගැන්වීමකි. නොසිතන මොහොතක කඩා පැන පහර දිය යුතුය යන්න ඔහුගේ තවත් ඉගැන්වීමකි.
වුෂු සටන් කලාවේ ප්‍රධානතම ශාඛාව වූ ෂාඔලින් සටන් ක්‍රම ඍජුවම සෙන් දහමේ ආභාසයට නතුවිය. එබ බිය වෙතින් සටන් ක්‍රම ආත්මාරක්ෂාව යන ඉලක්කයෙන් ඔබ්බට යන්නනේ කලාතුරකිනි. ෂාඔලින් රීති අනුව,
1. සතුරාට පළමුව පහර දීමට ඉඩ හැරිය යුතුය.
2. සටන් කළ යුත්තේ ජීවිතයට තර්ජනයක් ඇත්නම් පමණි.
3. සතුරාගේ බලයම ඔහුට එරෙහිව යෙදිය යුතුය.
4. සටනක් නොමැති තැන පරාජයක් නැත. එබැවින් සටන්
නොකරන්නේ නම් දෙපක්ෂයම ජය ගනිති.
වුෂූ ශෛලීන් කිහිපයක් හඳුනා ගනිමු.
1). තයිචී
මෙය සියලු සටන් කලාවන්ට උත්තරීතර වූ ශෛලියකි යන අදහසින් තයිචී හෙවත් තයිච්චුවාන් ලෙස හඳුන්වනු ලැබේ. තයිච්චුවාන් ක්‍රමයේ මූලික ලක්ෂණ පහත පරිදි වේ..
•සෙමෙන් රිද්මයානුකූලව ගලා යන ඉරියව් හා පහරදීම්
•වඩාත් මෘදු නොවූත් වඩාත් රළු නොවූත් සටන් ශෛලිය
• කඳ සෘජුව තබාගෙන සටන් කිරිෂ්ම ක්‍රමය
• කවාකාරව අත් මෙහෙයවා පහරදීමේ ක්‍රමය
• හුස්ම සමග එකට බැඳුණු පහරදීම් හා ඉරියව් මාරුව
• පහර යොමු කරන දිශාවට හිස හා ඇස් යොමු කිරීම
මේ අංග සියල්ල කැටි කරගත් තයිමී ශෛලිය සටන් ක්‍රමයකට වඩා යෝග ව්‍යායාම්වලට නෑකම් කියයි. තයිචී මනාව පුහුණු වීමෙන් සිරුරේ අභ්‍යන්තර ශක්තිය පිටතට විවෘත වෙයි. මේ තත්වය තයිචී ශිල්පියාට මැනවින් අත්දැකිය හැකිය. අභ්‍යන්තර ශක්තිය මගින් සටන් කිරීම හා ලෙඩ රෝග සුව කිරීම අත්හදා බැලීමට කැමති අය තයිචී අභ්‍යාස ක්‍රම පුහුණු වීම සුදුසුය. වූ, චෙන් , යෑන් හා සන් ආදී ලෙස එක් එක් ගුරුවරුන් විසින් ඉදිරිපත් කර ඇති තයිචී ශෛලීන් හඳුන්වා දී ඇත. මේ ශෛලීන් එකිනෙක අතර කැපී පෙනෙන වෙනස්කම් පවතී.
|2). සන්ෂු (සන්ඩා /Sanda)
මෑතක් වන තුරුම සාම්ප්‍රදායයීය වුෂු ශෛලීන් රංගනයන් හෙවත් තාඔලු (Thaolu) යන අංගයට සීමා විය. මෙයින් අදහස් කෙරෙනුයේ මුහුණට මුහුණලා කෙරෙන සටන් පුහුණු නොකෙරුණු බවයි. මේ හේතුව නිසා මෑත කාලීනව සන්ඩා හෙවත් බොක්සි ඉසව්වක් වුෂු තරගාවලීන්ට එක්විය. මේ බොක්සි සටන් සඳහා නන්වුවාන් ශෛලියට අදාළ තාක්ෂණ ක්‍රමයන් අදාළ කරගනී.
චංචුවාන්
මෙය ඉතා මනහර සටන් ශෛලියකි. දිවීම්, පැනීම්, වැටීම ඇතුළත් ඉතා වේගවත් ඉරියව් මාරුවීම් චංචුවාන් හිදී අදාළ කරගනි චංචුවාන් නිසිලෙස පුහුණු වීම සඳහා සිරුරේ අධික නම්‍යතාවයක තිබිය යුතුය. එමෙන්ම තරමක් විශාල ඉඩක් ඊට අවැසි වෙයි. කෙසේ නමුත් චංචුවාන්හි දැක්වෙන සටන් ක්‍රම ප්‍රායෝගික සටනකට වඩා සංදර්ශනාත්මක ව්‍යායාම් පෙළක් නිරූපණය කරයි. මෙම ශෛලියේ එන මූලික රීතිය වනුයේ පහර දීමට ඉගෙනීමට පෙර බිම වැටීමට උගත යුතුය යන්නයි. එබැවින් ආරක්ෂිතව බිම පතිත වීමේ ක්‍රම රාශියක් මේ ශෛලියේදී ඉගැන්වේ .
4). නංචුවාන්
නංචුවාන් ශෛලිය පෙරකී චංචුවාන් ශෛලියට වඩා හාත්පසින් වෙනස්ය. ඍජු හා රළු පහරදීම් මෙහි බහුලය. ස්ථාවර ඉරියව් වැඩි වශයෙන් භාවිත කෙරෙයි. පා පහරවල් අඩුය. නංචුවාන් ශෛලියේ එන මූලික රීතිය වනුයේ පහර දීමට ඉගෙනීමට පෙර අසු පිට යන ඉරියව්ව හුරුවිය යුතු යන්නයි. නංචුවාන් ශෛලියේ එන බොහෝ පහරදීම් මෙකී අසුපිට යන ඉරියව්වේ සිට පළමුව හුරු කරනු ලැබේ.
Comments
Post a Comment