
ස්වාමීන් වහන්ස, වර්තමානයේ සමාජය දූෂිත වී ඇතැයි පවසනවා. මේ තත්ත්වයට හේතුව?
ඕනැම ජන සමාජයක් ගොඩනැගෙන්නේ සංස්කෘතිය පදනම් කරගෙන යි. සංස්කෘතිය සකස් වෙන්නේ ආගම දහම අනුවයි. ඒ හැම සමාජයකට ම අනාදිමත් කාලයක සිට තමන් විසින් අගය කරනු ලබන සාරධර්ම පද්ධතියක් ද තිබෙනවා. මේ සාරධර්ම පිරිහීම නිසා අද සෑම ක්ෂේත්‍රයකම විශාල පරිහානියක් දක්නට ලැබෙනවා. සමාජයක් පිරිහීමට පත් වෙන්නේ ඒ සමාජ ව්‍යුහයේ ප්‍රධාන ඒකකය වන පවුල පිරිහීම නිසා ය. යහපත් පවුලක් යනු සාරධර්ම පාසලක්. හොඳ මිනිසුන් බිහි වෙන්නේ හොඳ පවුලකින්. දරුවකුගේ පළමු පාසල පවුල යි. දරුවා සමාජය පිළිබඳ මූලික අධ්‍යාපනය ලබන්නේ පවුල තුළදී යි. ඉන්පසු පාසලට යන දරුවා අනාගතය සඳහා අධ්‍යාපනය ලබනවා. මා දකින ආකාරයට වර්තමාන සමාජ පිරිහීමට පවුල සහ පාසල යන ආයතන දෙකම වගකිව යුතු යි. සමාජ පරිහානියට පවුල් ඒකකය' බලපාන්නේ කෙසේ ද?
බුදු දහමේ පවුල පිළිබඳ කරුණු රාශියක් සඳහන් වෙනවා. 'නකුල මාතා සහ නකුල පිතා' කතා වස්තුව යහපත් පවුලකට කදිම නිදසුනක්. පවුලක ආරම්භය විවාහය යි. නමුත් පවුල සඳහා පසුබිම සකස් වෙන්නේ ළදරු වියේ සිටයි. ගුණ දහමින් පිරිපුන් දරුවකු වැඩෙන්නේ පවුල තුළදී යි. මා සිතන ආකාරයට පවුල නඩත්තු කිරීම පිරිමියාගේ වගකීමක්. ඒ සඳහා ඔහු ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගන්නට ඕනෑ. බිරිඳගේ වගකීම නිවෙස පාලනය යි. ධනය රැස් කිරීම මූලික අරමුණ කරගත් වත්මන් පාරිභෝගික සමාජයේ සාරධර්ම රැකගැනීම අපහසු යි. සියල්ලන් ම මුදල් රැස් කිරීමේ තරගයක යෙදෙනවා. මේ නිසා අද මවුපිය දෙදෙනා ම රැකියාවට යනවා. ඔවුන් ගේ ජීවිත යන්ත්‍රයක් වගෙයි. රැකියාවකට යන කාන්තාව අද ඉතා විවෘත සමාජයකයි ජීවත් වෙන්නේ. මුදල් ඉපයීම සඳහා බිරිඳට ලැබී තිබෙන මේ නිදහස අද අවුල් රැසකට හේතු වී තිබෙනවා. රැකියා සඳහා මවුවරු විදේශගත වීම අද අර්බුද රැසකට හේතු වී තිබෙනවා. එය මාතෘත්වයට විශාල හානියක්. විශේෂයෙන් අනුරාධපුරය, පොලොන්නරුව, ගල්ඔය ආදි ඈත පළාත්වල බොහෝ නිවෙස්වල අම්මා රට ගිහින්. දරුවන් සිටින්නේ ආච්චි හෝ වැඩිමහල් සහෝදරයකුන්ගේ රැකවරණය යටතේ. මෙහි බාල වයස්කාර දැරියන් මාමාගේ හෝ බාප්පාගේ ගොදුරු බවට පත් වුණු අවස්ථා තියෙනවා. තාත්තා රාත්‍රියට බීමත් ව ඇවිත් තමන්ගේ දියණිය අඹුව ලෙස තියාගන්නවා. ඒ දරුවන්ගෙන් ඇතැමෙක් දරුවන් බිහි කළ අවස්ථා තියෙනවා. ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති වරුන්ගෙන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අපට මේ පිළිබඳ තොරතුරු රාශියක් ලැබි තියෙනවා.
ඉස්සර මවක් කියන්නේ බොහොම ලජ්ජාශීලි සංවර කෙනෙක්. ඇඳුම, පැලඳුම කතාබහ ආදියේ හික්මීමක් තිබුණා නමුත් අද අපේ කාන්තාවෝ කොයි තරම් අසංවර වෙලා ද?
මනුෂ්‍යයා ඇඳුමක් ඇඳීමේ මූලික පරමාර්ථය විළි වසා ගැනීම, ශරීර අලංකාරය සහ ශීත උෂ්ණාදියෙන් රැකවරණය ලබා ගැනීම යි. නමුත් අද ඇඳුම විළි ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් බවට පත් වෙලා. ඔවුන් හිතනවා තමන්ගේ ඇඟ ප්‍රදර්ශනය කරන්න ඇන්දොත් අනෙක් අයගේ ආකර්ෂණය ලබාගන්න පුළුවන් කියලා. ඇතැම් කාන්තාවෝ අද පන්සලට එන්නේ කානිවල් එකකට යනවා වගෙයි. කළු ඇඳුම් ඇඳගෙන, මලක් පහනක් හඳුන්කුරක්වත් අතේ නැතිවයි එන්නේ. තවත් සමහරු එන්නේ කොට කලිසම් හෝ ජංගි කොට ඇඳගෙන නාන කාමරයෙන් එළියට බැස්සා වගෙයි. පන්සලේ හාමුදුරුවන් මුණගැහිලා කතා කරන්න බැරි තත්වයක් තියෙන්නේ මේ විකාර දකින දරුවන් ඒවා අනුකරණය කරන්න උත්සාහ කරනවා. මෙවන් මවුවරුන්ගෙන් යහපත් අනුකරණයක් බලාපොරොත්තු විය හැකි ද?
මේ සමාජ පිරිහීමට පාසල් අධ්‍යාපනය’ වගකිව යුතු ද?
අපේ පැරැණි සමාජයේ 'ගුරුවරයා' දෙවියෙක් හැටියටයි සැලකුණේ. ඒ තනතුරට විශාල ගෞරවයක් තිබුණ. ගුරුවරයෙක් දුටු විට තම ආසනයෙන් නැගිට්ටා. ගුරුවරයා ඉදිරියේ සංවරයක් ඇතිවයි කතා කළේ. ඔහුට ඉක්මවා ගියේ නැහැ. සිය වත්පොහොසත්කම කුමක් වුවත්, දරුවන්ට ඉගැන්වීමට මවුපියන් බොහෝ වෙහෙස මහන්සි ගන්නවා. තම දරුවන් සමාජයේ ඉහළින් කැපීපෙනෙන ප්‍රභූන් බවට පත් කිරීම යි. ඔවුන්ගේ එකම අරමුණ. අද හතු පිපෙන්නා වගේ ජාත්‍යන්තර පාසල් හැම තැන ම ආරම්භ කරලා. බටහිර අධ්‍යාපන ප්‍රතිපත්ති මත පදනම් වූ මෙම පාසලින් ඇතැම් ඒවායේ නිල ඇඳුමත් බටහිර පන්නයට කොටට සකසා තිබෙන්නේ. මෙහි ගුරුවරයා යනු සේවකයෙක් ළමයි ඉගෙන ගන්නවාට සල්ලි ගෙවනවා. ඒ නිසා ශිෂ්‍යයාට බලපෑම් කිරීමේ අයිතියක් ගුරුවරයාට නැහැ. කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක මා හඳුනන ගුරුවරයෙක් තම පන්තියේ ළමයෙකුගේ අධ්‍යාපනය දුර්වල නිසා 'මීට වඩා උනන්දු වන්න' කියල උපදෙස් දුන්නා.'ඉගෙන ගැනීම හෝ නොගැනීම මගේ වැඩක්. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න' කියා ශිෂ්‍යයා ගුරුවරයාට පවසා තිබෙනවා.
මෙවැනි අදහස් දරන ළමයෙක් පාසලෙන් එළියට එන්නේ සදාචාරය හඳුනන්නේ නැති, මවුපියන් හඳුනන්නේ නැති මහා විකාර අදහස් දරන උන්මත්තකයෙක් විලසටයි. ඒ අධ්‍යාපනයෙන් ඇති ප්‍රතිඵලය මොකක් ද? කුඩා කාලයේ පටන් ම හැදියාව අමතක කර, උගත්කම පමණක් ලබාදීමට උත්සාහ කිරීම නිසයි මෙවන් තත්වයක් ඇති වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධියෙන් තොර උගත්කම නිෂ්ඵල බවයි. මේ අවස්ථාවේ දී මට එක්තරා ඉතිහාස කතාවක් සිහිපත් වෙනවා. චීන අධිරාජ්‍යයා එක් අවස්ථාවක දී එරට සිටි මහා දාර්ශනිකයෙක් වූ කොෆියුසියස්තුමා හමු වීමට ගොස්, චීන අධිරාජ්‍යය දියුණු කිරීමට සම්පූර්ණ කළ යුතු කරනු කවරේ දැ යි එතුමාගෙන් විමසුවා. ඒ සඳහා කරුණු තුනක් සම්පුර්ණ කළ යුතුයි. බලවත් හමුදාවත්, ආර්ථික දියුණුවත්, සදාචාර සම්පන්න වීම යන කරුණු සම්පූර්ණ විය යුතු යි' එතුමා පැවසුවා. එහිදී මේ අධිරාජ්‍යයා ඇසුවා 'මේ කරුණු තුනෙන් ඉවත් කළ හැකි කරුණු කවරේ දැ' යි කියා.
එහිදී කොන්ෆියුසියස් තුමා පැවසුවේ බලවත් හමුදාවත්, ආර්ථිකත් දියුණුවත් යන කරුණු අයින් කරන්න. නමුත් සදාචාරය නම් කිසි දිනක නැති කරන්න එපා. 'රටක ආරක්ෂාව නැති වුණොත් ආර්ථික දියුණුවක් නැති වුණොත් සදාචාරයෙන් ඇති ඵලය කුමක් දැයි එවිට අධිරාජ්‍යයා ඇසුවා. 'යම් සමාජයක සදාචාරය පිරිහුණොත් ඒ සමාජය තිරිසන් තත්වයට වැටෙනවා. මව්පියන් - දරුවන් හඳුනන්නේ නැහැ. දරුවන් - මව්පියන් හඳුනන්නේ නැහැ. තිරිසන් සමාජයකට සදාචාරයක් අවශ්‍ය නැහැ. ඔවුනොවුන් තිරිසන් තත්වයේ ම ජීවත් වෙනවා. ආධ්‍යාත්මික දියුණුවෙන් තොර සංවර්ධනය තාවකාලික යි. ආර්ථිකයෙන් දියුණු වූ රාජ්‍ය පවා අද පිළිගෙන තියෙනවා ආගම ධර්මය සමඟ මේ ගමන ගියේ නැති නම් විශාල කඩාවැටීමක් ඇතිවෙනවා කියලා. අද මත් උවදුර, ඒඩ්ස් වැනි රෝග ඒ රටවලට විශාල ප්‍රශ්නයක්. අපේ සමාජයත් අද ඒ තත්වයට පැමිණෙමින් සිටිනවා. අතීත වීරයන් ලෙස අපි පුංචි කාලයේදී ඉගෙනගත්තේ දුටුගැමුණු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා, විහාරමහා දේවිය ආදී පිරිස යි. ඔවුන් පිළිබඳ අප තුළ ලොකු ගෞරවයක් තිබුණා. ඒ වගේ ම ඒ චරිත තුළින් අපේ ජීවිතයට ගත හැකි යම් කිසි ආදර්ශයක් තිබුණා.
නමුත් අද වීරයන් වෙලා තියෙන්නේ කවුද? කාගෙන් හෝ අහුලාගත් සින්දු ටිකක් ගායනා කළ පුද්ගලයෙක් මාධ්‍ය මගින් වීරයෙක් හැටියට පුම්බලා තියනවා. එයින් විශාල ම හානිය වෙන්නේ සිංහල සංස්කෘතියට යි. ඇතැම් රාජ්‍ය මාධ්‍ය කරන්නෙත් පෞද්ගලික මාධ්‍ය කොපි කිරීම යි. නමුත් මේ ආයතන භාර ව ඉන්න වගකිවයුත්තන් නිශබ්ද යි. මේ විදිහට ගියොත් ඉදිරියේදී අපේ රට ගැන ජාතියේ අභිමානය ගැන තැකීමක් නැති තරුණ පිරිසකුයි බිහි වෙන්නේ. ඔවුන්ට අපේ රට, ආගම, භාෂාව ආරක්ෂ කරගැනීමට හැඟීමක් නැහැ. ඒ නිසා අනාගතයේදී හමුදාවට බැඳෙන්න පවා තරුණයෙක් ඉදිරිපත් නොවන තත්ත්වයට සමාජය පහළට වැනෙන්න පුළුවන්.
අද රාජ්‍ය මාධ්‍ය මගින් දැන්වීම් ප්‍රචාරය කරනවා. මේවාට කිසිම ප්‍රමිතියක් නැහැ. ඕනෑම බොරුවක් සිය දහස් වාරයක් කියන විට මිනිස්සු හිතනවා ඇත්ත කියලා. බටහිරින් ගෙන්වන සොසෙජස් ආදි නොයෙකුත් රසකාරක යෙදූ ආහාර රූපවාහිනියෙන් දකින අපේ ළමයි ඒවා ඉල්ලලා කෑගසනවා. මේ විදිහට ගියොත් අනාගතයේ අපට උරුම වෙන්නේ සොසෙජස් සංස්කෘතියක්. දැන්වීමක් ප්‍රචාරය කිරීමේ දී ප්‍රමිතියක් තිබිය යුතු යි. ජාතිය පිළිබඳ හැඟීමක් තියෙන අධීක්ෂණ මණ්ඩලයක් යටතේ මේ සැම දැන්වීමක් ම අධීක්ෂණය කිරීම අවශ්‍ය යි. අපේ සංස්කෘතියට, සෞඛ්‍යයට, දේශීය ආර්ථිකයට සුදුසු දැ යි විමසා බැලිය යුතු යි. ඉන්දියාවේ තියෙනවා මේ හැම දෙයකට ම ජාතික ප්‍රතිපත්තියක් නමුත් අපේ රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ.
නැති වී ගිය සාරධර්ම ප්‍රතිෂ්ඨාපනයට භික්ෂුන් වහන්සේගේ දායකත්වය කෙබඳු ද?
මේ සාරධර්ම සෝදාපාළුවට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ අපේ හාමුදුරුවරු කිහිප අවස්ථාවකදී ම වගකිවයුත්තන්ට යෝජනා ඉදිරිපත් කළ නමුත් ප්‍රතිඵලයක් ලැබී නැහැ. එතැන දී කොමිෂන් පත් කරනවා. නැති නම් බොරු වාර්තා ඉදිරිපත් කරනවා. අද සමාජය මේ තරමින් වත් පවතින්නේ පන්සලෙන්, දහම් පාසලෙන් සිදු වන සේවය සහ හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනා නිසා යි.
Comments
Post a Comment