gossiplanka image 1
 


ස්වාමීන්වහන්ස, බුදුදහම මෙරට ස්ථාපිත කරවීමට මහින්දාගමනයෙන් සිදු වූ බලපෑම කවරේ ද?


මිහිඳු හිමියන් බුදුදහමේ පණිවිඩය බෙදාදුන් ශ්‍රී ලංකීය සමාජය කිසිදු ආගමික විශ්වාසයකින් සමන්විත නොවූ සමාජයක් නොවෙයි. උන් වහන්සේ මෙරට වඩින අවධිය වන විට බුදු දහම ගැන අවබෝධයක් නොතිබුණත්, බුදු රජාණන් වහන්සේ පිළිබඳ මෙරට ජනතාවගේ වැටහීමක් තිබුණා. ඒ, බුදුරජාණන් වහන්සේ තෙවරක්ම මෙරටට වැඩ ම කර වූ නිසයි. පණ්ඩුකාභය රාජ්‍ය සමය ගැන සඳහන් වන ඓතිහාසික තොරතුරුවලට අනුව එම අවධිය වන විට යක්ෂෂ ඇගයීමත්, දේවාල සාදාගෙන දෙවියන් පිදීමත් තිබුණා. කවර හෝ ජන සමාජයකට ආගන්තුක කිසියම් දහමක ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් අනුව එහි රඳා පැවැත්මක් හෝ නොපැවතීමක් සිදු වෙනවා. බුදු දහමේ පණිවිඩය මෙරට ජනතාවට එකහෙළා ම වැලඳගැනිමට ප්‍රබල බලපෑමක් එල්ල කළේ මිහිඳු හිමියන් අනුගමනය කළ ක්‍රමවේදයන් බැව් ප්‍රකට කරුණක්..


මෙහි පැමිණි ධර්ම දූත කණ්ඩායමේ සංයුතිය ද ශාසනය  ස්ථාවර කිරීම කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීමට සමත් වුණා. විනය කර්මයක් කිරීමට අවශ්‍ය උපසම්පන්න භික්ෂූන් හතර නමකට වැඩි ප්‍රමාණයක් වැඩම කරවීමෙන්, සුමන සාමණේරයන්ගේ වැඩම කරවීමෙන් භණ්ඩුක උපාසක පැවිදි කිරීමෙන්, ගිහි සමාජයෙන් වෙන් කරගත් පිරිසක් හැටියට භික්ෂූන් හඳුනා ගැනීමටත්, ඔවුන් විශේෂයෙන් ශික්ෂණයකට පත් කිරීමෙන් උසස් තත්වයකට පත් වෙන බවත් මෙරට ජනතාවට අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබුණා. ධර්ම ප්‍රචාරක කටයුතුවලදී සුදුසු කාලය පිළිබඳ විශේෂයෙන් සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය යි. මිහිඳු හිමියන් ඇතුළු පිරිස දඹදිව දෙවන ධර්ම සංඝායනාවෙන් පසුව පිටත් කළ කාල වකවානුව අනුව මෙරට වැඩම කරවීමට නියමිතව තිබුණේ මුටසීව රජ සමයේ දි යි. සමන්තපාසාදිකාව සඳහන් කරන අන්දමට මුටසීව රජු මහළුව සිටි බැවින් ඔහුගේ ඇවෑමෙන් දෙවනපෑතිස් රජකමට පත් වන නිසා එතෙක් කාලයක් තුළ මිහිඳු හිමියන් වේදිසගිරියේ වැඩ සිටියා.


ධර්මදූත සේවය සඳහා මිහිඳු හිමියන් තෝරාගැනීමට විශේෂිත වූ කරුණු මොනවා ද?


මිහිඳු හිමියන් සතු පැවැති ධර්ම ඥානය හා ධර්මාවබෝධයත් ශාසනික කටයුතුවල යෙදී ලබා තිබූ අත්දැකීම් ප්‍රමාණයත් මෙරට බුදු දහම ස්ථාපිත කිරීමේදීත් ධර්මය ජනතාවට ගෙන යෑමේ දීත් බෙහෙවින් උපකාර වුණා. සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් වන පරිදි උන් වහන්සේ තම උපාධ්‍යාය මොග්ගලීපුත්තතිස්ස හිමියන් ඇසුරේ සිටිමින් වර්ෂ තුනක කාලයක් පුරා විනය පිටකය හැදෑරුවා. මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ මිහිඳු හිමියන්ට සම්පූර්ණ ථෙරවාදය හා විනය පිටකය මුළුමනින් ම ඉගැන්වූ බව දීපවංශයේ සඳහන් වෙනවා.  ධර්ම ප්‍රචාරක කටයුතුවලදී අනෙකුත් ධර්ම දූතයන් වහන්සේ ලද අධ්‍යාපනයට වඩා මිහිඳු මිහිඳු හිමියන් ලැබූ මෙම ශාසනික අධ්‍යාපනය මෙරට ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක වීමට බොහෝ ලෙසින් බලපෑවා. බුද්ධ දේශනාවේදී සම්මුති දේශනාව හා පරමත්ථ දේශනාව යනුවෙන් කොටස් දෙකක් තිබෙනවා. බුද්ධිය මුහුකුරා නොගිය සාමාන්‍ය ජනයා සඳහා බොහෝ විට දේශනා කරන්නේ සම්මුතිය පදනම් කරගත් දේශනාවක්.මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා තෝරාගැනීමේ දී උන්වහන්සේ ද සම්මුතිය පදනම් කරගත් දේශනා කිහිපයක් තෝරාගත්තා. ඒ වගේ ම එයින් කිහිපයක් ම මෙරට ජනතාවගේ ජීවිතයට සමීපකම් දක්වන සූත්‍ර කිහිපයක් වීම විශේෂත්වයක්.


මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජුට පළමුවෙන් ම දේශනා කළේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය යි. විනෝදයට සතුන් දඩයමේ යෙදෙමින්, වනය හුරු පුරුදු මේ පිරිසට තම අත්දැකීම් ඇසුරෙන් කරුණු අවබෝධ කිරීමට මෙය කදිම සූත්‍රයක් ඇතකුගේ තරම තෝරාබේරාගැනීමට ඇත් අඩිය සැලකිල්ලට ගැනීම පුරාණයේ සිට ම පැවත එන මිනුම් ක්‍රමයක්. වනය ඇසුරෙහි ජීවත් වන බොහෝ දෙනා තමන් නො දුටු ඇතා ගැන අනුමාන වශයෙන හෝ යම් යම් නිගමනයන්ට එළැඹීම සඳහා ඇත් අඩිය උපයෝගි කරගන්නවා. ආගන්තුක දහමක් ජනසමාජය වෙත ඉදිරිපත් කිරීමේදී එහි ඇතුළත් කරුණු ආගන්තුක වුණොත් ජනතාව එය ප්‍රතිෂ්ප කරන්න පුළුවන්. ඒ අනුව බලන විට මිහිඳු හිමියන් මුල් වරට දේශනා කිරීමට තෝරාගත් සූත්‍ර දේශනාව මෙරට ජනතාව තුළ බෞද්ධ හැඟීම් පැළපැදියම් කිරීමට ප්‍රබල පිටිවහලක් වුණා.


මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් අපට ලැබුණු දායාද මොනවා ද?


මිහිඳු හිමියන් දෙසූ බුදු දහම තුළින් නව ජීවන දර්ශනයක්, මිනිස් ජීවිතයේ නව පරමාර්ථ හා පුරුෂාර්ථ ද අපට ලැබුණා. මිහිඳු හිමියන් හඳුන්වා දුන්නේ විශ්ලේෂණාත්මක හා  සංලේෂණාත්මක මෙන්ම හේතු ඵලවාදි චින්තනයක්. පරිසරය  හා බැඳුණු සජීවී සරල උපමා රූපක ඇසුරෙන් ධර්මය සන්නිවේදනය කළා. නිසල නිහඬ නිකෙලෙස් පරිසරය උතුම් ම පරිසරය ලෙසයි උන් වහන්සේ වදාළේ. පරිසර හා සංස්කෘතික විවිධත්වය අගය කළ ආධ්‍යාත්මික හරයෙන් අනුන දේශීය චින්තන සම්පදාය බෙහෙවින් උපකාර වුණා. මිහිඳු හිමියන් සමග මෙහි ගෙනෙන ලද එතෙක් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ග්‍රන්ථ ද, බ්‍රාහ්මී අක්ෂර හා ලේඛන කලාව ද පැරැණි අධ්‍යාපන ක්‍රමයේ පදනම යි. බ්‍රාහ්මී අක්ෂර ද පාලි සාහිත්‍යය ද විනාශ වෙමින් සිංහල අක්සර මාලාව හා සාහිත්‍ය පෝෂණය වුණා. එදා අධ්‍යාපනයේ හා සාහිත්‍ය කලාවේ පරමාර්ථය වූයේ අද මෙන් විභාග ලිවීම පමණක් නොවේ.


මිනිසුන් තුළ පැවැති ඊර්ෂ්‍යාව,  ක්‍රෝධය, වෛරය වැනි පොදු මිනිස් අවගති බැහැර කරලීමයි.  මිනිසා එයින් ආනන්ද ජනක ප්‍රඥාවත් නිදහසත් අත්පත් කරගත්තා. මිහින්තලේ ඉපැරැණි රෝහල්, ඒවායේ වෛද්‍ය තාක්ෂණ ක්‍රම ද අනුරපුර පැවැති පැරැණි ආයුර්වේද ශිල්ප සලකා බලන විට නූතන ශල්‍ය වෛද්‍ය ක්‍රම හා සමාන වෛද්‍ය සායන ක්‍රම ද තාක්ෂණය ද උසස් ම දියුණුවක් ලබා තිබූ බව තහවුරු වෙනවා. එසේම රහතන් වහන්සේ ස්නානය සඳහා භාවිත කළ කුට්ටම් පොකුණ ජලය පිට කිරීමේ සූක්ෂ්ම වාරි තාක්ෂණ ක්‍රම මෙන් ම පුරාණ වැව් තාක්ෂණය ද දෙස බලන විට ඒවා ද උසස් ම දියුණුවක් ලබා තිබූ බව පෙනෙනවා. තව ද මහින්දාගමනයත් සමග එකල පැවැති ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යාවේ පෙරළියක් ද ඇති වුණා. පිළිම ගෙවල් හා ස්තූප විහාර සංකීර්ණ නිර්මාණය වෙමින් රට පුරාම පන්සල් ව්‍යාප්ත වීම ඇරඹුණා.


මෙසේ මහින්දාගමනයේ සිට වර්තමාන මහින්ද චින්තනය දක්වා මෙරට කිසිදු බලවේගයකට පහසුවෙන් විනාශ කළ නොහැකි ආර්ථික, සමාජ සංස්කෘතික, තාක්ෂණික, අධ්‍යාපනික හා දේශපාලන ආදි විවිධ ක්ෂේත්‍රයන්හි සංවර්ධනයක් හා ඉතිහාසයක් අපට උරුම වූයේ මහින්දාගමනය හා බුදුසමය නිසා බව අවිවාදයෙන් යුතුව පිළිගන්නවා.


ගෝලීය සමාජයේ නවීකරණ කතිකාවතකට මහින්දාගමනයෙන් ලබාගත හැකි ආදර්ශ කවරේ ද?


දිග් විජය අතහැර ධර්මවිජය තම පිළිවෙත බවට පත් කරගත් අශෝක අධිරාජයා අවට රටවල් නවයකට භාරතීය ධර්ම දූතයන් යවා බුදු දහම ජාත්‍යන්තර දහමක් බවට පත් කළා. එබඳු වැඩ පිළිවෙළක අවශ්‍යතාව එතුමාට වැටහී තිබුණා. කාලිංග යුද්ධයේ දී සිදු වූ මහා විනාශය ඊට හේතු වන්නට ඇති. යුද්ධයට විසඳුම සාමය බව බුදු දහමේ හරය ලෙස පිළිගෙන ගතලා හා ගස්වැල ධර්ම ලිපි කොටවා ගුණගරුක සමාජයකට පදනම දැමුවා.  ආගමික සදාචාරය තහවුරු කළ හැක්කේ දේශපාලන  සදාචාරය ඔන්සේ පමණක් බව දෙවනපෑතිස් රජතුමා විශ්වාස කළා. එනිසා මුල් බුදු සමයේ ප්‍රමුඛ සමාජ දේශපාලන පිළිවෙත වූයේ අහිංසා ධර්මය යි.


මිහිඳු හිමියන් සහ සංඝමිත්තා තෙරණිය ඒකාබද්ධව ඇති කළ බුදු සසුන භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස සමානාත්මතා පදනම අගය කළා. මෙයින් පෙනෙන්නේ මුල් බුදු සමයේ දැක්වෙන බෞද්ධ පිළිවෙත්වල හරය ඒ අයුරින් ම ලාංකික සමාජයට අනුගත කිරීමට ගත් උත්සාහය යි. හින්දු රාජ්‍ය සංකල්පයේදී රටේ හිමිකරුවා රජු ලෙස සැලකුණත් බෞද්ධ දස රාජ ධර්මයට අනුව රජුට ඇත්තේ භාරකාරත්වයක් පමණ යි. මිනිසුන්ට හා සමානව ශාක හා සත්ත්ව කොටස්වල පැවැත්මට ඇති අයිතියට හානි කිරීමට රජුට අයිතියක් නොමැති බවත් රජු එහි ආරක්ෂකයා හා සංරක්ෂකයා බවත් මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජුට දේශනා කළා.