gossiplanka image 1
 



ස්වාමීන් වහන්ස, සෑම ආගමක ම පූජා විධි දක්නට ලැබෙනවා. බුදු දහමේ මෙය දැක්වෙන්නේ කොහොම ද?



අනෙක් ආගම්වලට වඩා බුදු දහමේ පූජාවිධි වෙනස්. ඒවා ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් දෙවර්ගයකට බෙදෙනවා. මල්, පහන්, සුවඳ දුම්, ආහාර ආදිය පූජා කිරිම, වෙහෙර විහාර තැනවීම, සංඝාවාස තැනවීම, දන්සල් පැවැත්වීම, තොරණ ඉදි කිරීම ආදි දේවල් ආමිස පූජාවලට ගැනෙනවා. මේ පූජාවල යෙදීමේදී සිතේ ඇති වන පහන් හැඟීම, පින වැදගත් වෙනවා. එයින් රැස් වන පින් මෙලොවත්, පරලොවත් යහපත පිණිස හේතු වෙනවා. ඒවා සුගතිගාමි වීමට උදව් වෙනවා. එහෙත් ආමිස පූජා ඍජුව ම නිවන් දැකීමට, සසර කෙටි කිරීමට උදව් ව න්නේ නැහැ. සුගතිගාමී වෙමින් සංසාරයේ පැවැත්මට ඒවා උදව් වෙනවා. 



එතකොට ප්‍රතිපත්ති පූජාවේ අනුහස් කොහොම ද?



ප්‍රතිපත්ති පූජාව ඊට වඩා වෙනස්. එය සම්බන්ධ වන්නේ අධ්‍යාත්මයට. තමා තුළ ගුණාත්මක සංවර්ධනයක් ඇතිවීම ප්‍රතිපත්ති පූජාවෙන් බලාපොරොත්තු වෙනවා. සිල්වත් වීම තුළ මේ ප්‍රතිපත්ති පූජාව දකින්නට ලැබෙනවා. ආර්ය උත්තමයන් වහන්සේලා ඒ තත්වයට පත් වීමට අනුගමනය කළ ප්‍රතිපත්ති තමා තුළ ද ඇති කරගැනීම ද මෙයින් බලාපොරොත්තු වෙනවා. අපි උදාහරණයක් ගනිමු. පොහොය දා අටසිල් සමාදන් වන අය ඒ පැය කිහිපය තුළ කරන්නේ රහතන් වහනසේලා තුළ පැවති ප්‍රතිපත්ති තමා තුළ ඇති කරගැනීමට වෑයම් දැරිමක්.


බුදු රජාණන් වහන්සේ මේ ආමිස, ප්‍රතිපත්ති පූජාවලින් ප්‍රතිපත්ති පූජාව වඩාත් වැදගත් බව වදාළා. එක් පර්වතයක් පෙන්වමින් 'අර පර්වතය තරම් උසට දන්දීමකට වඩා එක මොහොතක් විදර්ශනා භාවනාවේ යෙදීමෙන් ලබන ප්‍රතිඵලය උතුම් බව පෙන්නුම් කළා. මේ නිසා අතිවිශාල වශයෙන් ධනය වැය කොට කරන ආමිස පූජාවට වඩා හුදෙකලාව තමාගේ සිත තුළ කෙලෙස් මර්දනය කොට කුසල් සිතිවිලිවල වර්ධනයක් ඇති වන ආකාරයට භාවනාවේ යෙදීම, ප්‍රතිපත්ති පූජාවේ යෙදීම වඩාත් වැදගත් බව පැහැදිලි වෙනවා. වර්තමාන සමාජය දෙස බැලීමේදී ආමිස පූජාව මිනිසුන්ගේ සිත් තුළ ඉතා ගැඹුරින් තැන්පත් වෙලා තියෙනවා. මේ ගැන යමක් කියනවා නම්.. මූලික වශයෙන් ආමිස පූජාවෙන් අපි බලාපොරොත්තු වන්නේ බාහිර වත්පිළිවෙත් හරහා තුනුරුවන්ට ගෞරව දැක්වීම යි. බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම අනුව ආමිස පූජාව කියන්නේ එක්තරා විදියක භාවනාවක්. එය මනෝ චිකිත්සාවක් ලෙසයි දක්වන්නේ.උදාහරණයක් ගනිමු. චිත්ත භාවනාවල ඇතුළත් වන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන මේ අනුස්සති භාවනා සමග පුද පූජා චාරිත්‍ර සහ ආගමික උත්සව සෘජුව ම සම්බන්ධ වෙනවා. අපි මල් පූජාවක්, බෝධි පූජාවක් හෝ වෙනත් බුද්ධ වන්දනාවක් කරනවා නම් එනැතදී අප තුළ ඇති වන්නේ බුද්ධානුස්සතිය; බුදුගුණ මෙනෙහි කරමින් කරන භාවනාව. ඒ අවස්ථාවේ ලෝභ, ද්වේෂ, මෝහ යන චිත්තවේගවලින් සිත කිලිටිභාවයට පත් වන්නේ නැහැ.. ලෝභ, ද්වේෂ, මෝහ කියන මනෝ භාව තුන තමයි මූලික වශයෙන් ම සෑම සමාජ අපරාධ ක්‍රියාවකටම මූලික වී තිබෙන්නේ. ආගමික පුද පූජා චාරිත්‍රවල නිරත වීමේදී අර මනෝභාවයන් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒවා ප්‍රකාශ වීම අවම වන විටදී පුද්ගලයා තුළ යම්කිසි ශික්ෂණයක් ඇති වෙනවා. මූලික වශයෙන් ඒ අරමුණින් තමයි අපි ආගමික උත්සව සංවිධානය කරන්නේ. ආගමික උත්සවයක් කියන්නේ සමාජ ක්‍රියාවක්. මෙයින් අන්තර් පුද්ගල සම්බන්ධතාව වැඩෙනවා. උදාහරණයක් වශයෙන් පෙරහරක් ගනිමු. එහිදී එය අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීමට  කොයි තරම් උදව් වෙනවා ද? නමුත් අද පෙරහරවල් පවත්වන ආකාරයේ වෙනසක් තියෙනවා. බුද්ධාලම්භන ප්‍රීතිය වෙනුවට මුදල්වලට වැදගත්කමක් ලබාදෙන තත්වයක් පෙනෙනවා. 



පෙරහර කිරීම් ආදියෙන් බෞද්ධයා බලාපොරොත්තු වන්නේ කුමක් ද? 



බෞද්ධ සමාජයේදී ඒවායෙන් බලාපොරොත්තු වුණේ මූල්‍යමය අංශය නො වේ. බුදුන් වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය, ශ්‍රද්ධාව ප්‍රකාශ කිරීම වැනි සැබැ ශික්ෂණයක් එයින් අපේක්ෂා කරනවා. සාමූහිකව පිරිසක් එකතු වෙනකොට ඒ සමූහය තුළ පුදුමාකාර බැඳීමක් ඇතිවෙනවා.


පිරිත් පින්කමක් සංවිධානය කිරීමේදී පිරිසක් එකතු වෙලා පිරිත් මණ්ඩපය සකස් කරනවා. ඒවා සියල්ල සාමූහික ක්‍රියාකාරකම් නමුත් පිරිත් මණ්ඩප සපයන ස්ථානයකින් අපි පිරිත් මණ්ඩපයක් ගෙනැවිත් සකස් කිරීමේදී සාමූහික ක්‍රියාකාරකම. ලැබෙන්නේ නැහැ. දානයත් දෙනකොටත් එහෙම යි. බෞද්ධ උත්සව සෑම එකකදී ම වගේ ම ඒ ලක්ෂණය දකින්න ලැබෙනවා.අපේ කාර්ය බහුල ජීවිතයේ ගොඩනැගිල තියෙන ආතතිය මෙබඳු ආමිස පූජා නිසා ක්‍රමයෙන් ලිහිල් වෙලා යනවා ඒ කටයුතුවල නිරත වීමෙන්. එහිදී කායික වශයෙන් ද සැනසිල්ලක් ලැබෙනවා.ආමිස පූජාව තුළින් අප ගොඩනගා ගන්නා මානසික සහනය තාවකාලික එකක්. නමුත් ස්ථාවර වූ මානසික සහනයක් ලබාගන්න නම් මනසේ තැන්පත් වී තිබෙන දුර්වල මනෝ භාවයන් ප්‍රතිපත්ති පූජාවට අයත් භාවනාව හරහා ඉවත් කරන්න ඕනැ. නමුත් ඊට ප්‍රථම මේ පුදපූජා චාරිත්‍රවලින් අපට මූලික ශික්ෂණයක් ලැබෙනවා. ඒ වගේ ම උත්සව කටයුතුවලින් මෙන් ම මේ ආකාරයෙන් ආමිස පූජා-ප්‍රතිපත්ති පූජා වෙනස දැකීමට පුළුවන්. 



අද සමන් පිච්ච මල් ලක්ෂයක පූජා, අසූහාරදාහේ පහන් පින්කම් දක්නට ලැබෙනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ ගේ මතය?



ඔය කියන පුදපූජා චාරිත්‍ර මූලික බුදුසමයට ගැළපෙනවා ද? නැද්ද? කියන එක විනිශ්චය කළ යුත්තේ ඒවායේ අභිමතාර්ථයන් සමග යි. මා මුලදී දැක්වූ කරුණුවලට අනුගත ව සිදු වෙනවා නම් අපට ඒවා යම් පමණකට අනුමත කරන්න පුළුවන්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ, සසර දුකින් නිදහස් වී ලබන විමුක්තියට ඒක ඒ තරම් අදාළ කරගන්න බැහැ. එය අවශ්‍ය වන්නේ යම් ආකාරයක පෙලඹවීමක් සඳහා පමණ යි. ඔබ සඳහන් කළ පූජාවගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමූහික පිරිසක් වැඩීම යි. එය වෙළෙඳාමට, ප්‍රසිද්ධියට, දේශපාලන අරමුණු සඳහා යොදා ගන්නවා නම් ඇත්තට ම ඒක ගැටලුවක්. මූලික වශයෙන් ම විය යුත්තේ තුනුරුවන්ට ගෞරව කිරීම යි. නමුත් දැන් ඒ තත්වය ගිලිහී ගොස් තිබෙනවා.මල් ලක්ෂ ගණන් පූජා කිරීමේ පින්කම් වැනි දේ මම දකින්නේ ධර්මය පිළිබඳ අඩු අවබෝධයක් ඇති මිනිසුන්ගේ මනෝ භාවයන් ගසාකෑමක් හැටියට යි. අද සෑම තැනකම, සෑම කාරණයකට ම බෝධි පූජා පවත්වනවා. මේ බෝධිපූජා බුද්ධ ධර්මයට කොයි තරම් එකඟ ද? අද මුළු ලෝකය ම වාණීජකරණය වෙලා. මේ නිසා අතීතයේ අපේ සමාජය තුළ තිබුණ සරල ජීවිතය ගිලිහිලා. සමාජය සංකීර්ණ තත්වයට පත් වෙලා. ආර්ථික ගැටලු, සමාජ ගැටලු උග්‍ර වීම නිසා මිනිසුන්ගේ මානසික අසහනය බරපතළ ලෙස වර්ධනය වෙලා.බෝධි පූජාව යනු වර්තමානයේ ඉතා ජනප්‍රිය පූජා චාරිත්‍රයක්. එයට ජ්‍යොතිෂය සම්බන්ධ කර තිබෙනවා. ජ්‍යොතිෂය හරහා විවිධ අපල දුරු කරගැනීමට බෝධි පූජා භාවිත කරනවා. කාලයක් ගත් වන විට මෙහි ව්‍යාපාරික ලක්ෂණ මතුවෙනවා. ජ්‍යෙතිෂය කරන අය එයින් මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා. පූජා චාරිත්‍රවල නිරත වෙන පිරිස බලාපොරොත්තු වෙන්නේ මානසික සහනයක් ලබාගැනීමට. වර්තමාන සමාජයේ බොහෝ දුරට අන්‍යෝන්‍ය සම්බන්ධතාව බිඳ වැටිලා. අපේ ගැටලු ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. අපේ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. මේ ආර්ථික ගැටලු නිසා මිනිසුන් හුදෙකලා වී තිබෙනවා. මේ මනෝ භාවය නිසා මිනිසුන්ගේ මානසික ආතතිය උග්‍ර වෙනවා. මේ උග්‍රවීම සමහර පුද්ගලයන් වැරැදි තත්වයකට හරවාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "ප්‍රාර්ථනා කළ පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ" කියලා. උන්වහන්සේ ම පැහැදිලි කරනවා. "ප්‍රාර්ථනා කිරිමෙන් යමක් ඉටු වේ නම් මේ ලෝකයේ මිනිසුන්ට මොනවා ද අඩු?” කියලා සැප, ධනය, ප්‍රාර්ථනා කිරිමෙන් ලැබෙන්නේ නැහැ. ඒවාට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු යි. අද වන විට බෞද්ධ සමාජයේ තිබු පුද පූජා චාරිත්‍රවල අභිමතාර්ථයන් මොනවද යන්න හඳුනාගෙන නැහැ. එය ප්‍රධාන ගැටලුවක්.



ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර වෙනසක් අද සමාජය වටහාගෙන නැති බව ද ඔබ වහන්සේ කියන්නේ?



අද සමාජයේ බොහෝ පිරිසකට මේ වෙනස හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා. ප්‍රතිපත්ති පූජාවන් කිරීමට ගොස්, ඒවාත් ආපසු ආමිස පූජාවන් බවට පත් කරගෙන. ආමිස පූජාවේ පරමාර්ථය ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් සකස් කරගැනීම යි. උදාහරණයක් ලෙස, මල් පුදන ගාථාව අර්ථ කථනය කළහොත් අපට ඒ බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. "මේ මල් පූජා කිරීමෙන් මම පිනක් රැස් කරගන්නවා. ඒ පිනෙන් මම නිවන අපේක්ෂා කරනවා. මේ මල් මැලවෙනවා වගේ ම මගේ ශරිරයත් විනාශ භාවයට පත් වෙනවා, මේ ජීවිතාවබෝධය යම් කෙනකුට ලබාගන්න පුළුවන් වන්නේ මේ ලෝකයේ අටලෝ දහමින් ප්‍රකම්පිත නොවී වෙනවා නම් පමණයි. ඒ මගින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මූලික යථාර්ථය, සංසාරික ගැටලුව අවබෝධ කරගැනීමට හැකි වෙනවා. මේ කරුණු අවබෝධ කරගත් පුද්ගලයාට පුළුවන් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් කරගන්න. වර්තමානයේ බොහෝ පිරිස් එකතු වී ප්‍රසිද්ධ විහාරස්ථානවල සහ ක්‍රීඩා පිට්ටනිවල පවත්වන වැඩසටහන් තියෙනවා. මේවා තාවකාලික මානසික සහනයක් එතැනින් ලැබෙන්නේ නැහැ. සමූහයක් ලෙස ගායනා කිරීමෙන් පුද පූජා චාරිත්‍රවල නිරත වීමෙන් තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. මේ වැඩපිළිවෙළ නරකයි කියල මා අදහස් කරන්නේ නැහැ. නමුත් මේ තාවකාලික සහනයෙන් ස්ථාවර වූ සහනයකට අපි යා යුතුයි. මේ ආමිස පූජා මුල් කරගනිමින් පවත්වන උත්සව ඉහතින් සඳහන් කළ පරමාර්ථ පිළිබඳ අවබෝධයකින් තොරව යි පවත්වන්නේ. මේ නිසා අද මේවා ව්‍යාපාර බවට පත් කරගෙන. මේවා හරහා වෙළෙඳ ප්‍රචාරණය වැඩී වී තිබෙනවා. දේශපාලන අරමුණු සඳහා දේශපාලනඥයන් ආගමික උත්සව පදනමක් කරන්ගෙන තිබෙනවා. තවත් ඉතා ම ඛේදනීය තත්වක්. ඒ තමයි පංච ශීලය ධර්ම සාකච්ඡා කරන්න ප්‍රායෝගික වැඩ සටහනක් ඒ ඒ විහාරස්ථානවල සිදු කෙරෙන්නේ බොහෝ සීමිතව යි. අටමස්ථානයට ගියත් තොරතෝචියක් නැති ව ආධාර එකතු කරනවා. නමුත් පැමිණෙන පිරිසට ධර්මය කියා දීමට වැඩපිළිවෙළක් ඒ ස්ථානවලදී කෙරෙන්නේ සීමිතව යි.



භික්ෂූන් වහන්සේ සමාජ යහපතට කරන මෙහෙය පිළිබඳ සෑහීමකට පත් වෙනවා ද?



නැහැ. මම නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් ග්‍රාමවාසී ව වැඩ වෙසෙන අපේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රදේශවල විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා පැවැත්වීමෙන් විශාල සේවයක් සිදු කරනවා. නමුත් අති බහුතරයක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සරල ජීවිතයක් ගත කරමින්, ඒ මගින් සමාජයට පණිවිඩයක් දීමට උත්සාහ කරන්නේ නැහැ. මගේ පැවිදි ජීවිතය මට බරක් නම්, මම මේ පැවිදි ජීවිතය ගත කරන්නේ අසතුටින් නම් මගේ ධර්ම දේශනාවලින් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. සමාජයට මග පෙන්වීමට නම් ප්‍රථමයෙන් මම ආධ්‍යාත්මික වශයෙන් දියුණු තත්ත්වයකට පත් විය යුතු යි. වර්තමානයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ධර්ම සාකච්ඡා නිරතුරු ව පවත්වනවා. මේ උනන්දුව පිළිබඳව ඇත්තෙන් ම සතුටු විය යුතු යි. නමුත් ඇතැම් වැඩසටහන්වල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු තිබෙනවා.පෝය දිනයට සියලු ම රූපවාහිනී සේවාවල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා විකාශය කරනවා. නමුත් මාසයේ අනෙකුත් සැම දිනයක ම පැය 24 පුරා ම පෙන්වන්නේ මොකක් ද? ඉන්ද්‍රියන් කලඹවන, සිත අවුල් කරන, මිනිසුන් ගේ රාගය ද්වේෂය මෝහය කුපිත කරවන වැඩසටහන්. 



පූජා විධි පිළිබඳව ඔබ වහන්සේ අවසාන වශයෙන් රටට දෙන පණිවිඩය කුමක් ද?




ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා දෙක ම වැදගත්කොට සැලකිය යුතු යි. ආමිස පූජාවල අවසානය ප්‍රතිපත්ති පූජාවේ ආරම්භය විය යුතු යි. මා මුලින් ම සඳහන් කළ "පූජේමි බුද්ධං කුසුමේන නේන” ගාථාව ඊට හොඳ උදාහරණයක්. මලක් පුදනවා. මල ඇසුරෙන් ජීවිතයේ අනිත්‍ය දකිනවා. ඉන් පසු නිවන පතනවා. මෙම ගාථාවෙන් කියාදෙන නියම අර්ථය ජීවිතයට සම්බන්ධ කරගැනීමට යම් බෞද්ධයෙක් වෑයම් කළ හොත්, නිසැකව ම ඔහු නිවන් මගට වැටෙනවා. ත්‍රිලක්ෂණය අවබෝධය තුළින් ලෝකෝත්තර මාර්ගයට පිවිසෙනවා. අපට අවශ්‍ය එය යි. ආමිස පූජාව හරහා අපි ප්‍රතිපත්ති පූජාවට යමු. ප්‍රතිපත්ති පූජාවට ම මුල්තැන දෙමින් මේ සංසාර කතරින් එතෙර වෙමු.