gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, එදා දහම් දිවයිනක් ලෙස ප්‍රචලිත වුණු අපේ රට අද වන විට අල්ලසට, දූෂණයට, නාස්තියට මුල් තැන ගත් රටක් ලෙසයි ප්‍රසිද්ධ වී තිබෙන්නේ. මෙවැනි තත්වයක් ඇති වීමට ඔබ වහන්සේ දකින හේතු මොනවා ද?


අද වන විට අපට බුදුදහම ලැබී වසර 2550කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. බුදුදහම මෙපමණ කාලයක් අපේ රටේ තිබුණා කියන එක නොවෙයි වැදගත් වෙන්නේ. මේ කාලය තුළදී අපේ පරිපාලනයට, දේශපාලනයට, සමාජය ගොඩනගන්නට බුදුදහම කොතරම් දුරට ප්‍රායෝගිකව යොදාගන්නා ද කියන එක යි. සාකච්ඡා කළ යුතු වන්නේ..අපට බුදුදහම සමග ලැබුණු හොඳ ජීවන දර්ශනයක් තියෙනවා. එහිදී පිළිපැදිය යුතු ප්‍රධාන සම්ප්‍රදාය වූයේ අරපිරිමැස්ම යි.  එනම් ආරක්ඛ සම්පදා අපේ පැරැණි රජවරු මෙය ප්‍රායෝගිකව  ක්‍රියාත්මක කළා. එවැනි සමාජයක් අවසාන වශයෙන් තිබුණේ අනුරාධපුර යුගයේදී. එතැන තමයි අරපිරිමැසුමෙන් යුක්ත මනා පරිපාලන තන්ත්‍රයක් දක්නට ලැබුණු අවසාන තැන. අනුරාධපුර  යුගයේ බිඳවැටීම කියන්නේ බෞද්ධ රාජධානියේ බිඳවැටීම.  බෞද්ධ ආර්ථික දර්ශනයක පදනම අවශ්‍යතා මුල් කරගැනීම. ඒ නිසා සීමිත සම්පත් සඳහා අසීමිත ආශා පාලනය කරන්න මිනිස්සු පුරුදු වුණා. නාස්තිය, දුෂණය, අල්ලස් ගැනීම් සඳහා අපේ රට පත් වීමේ ආරම්භය සිදු වුණේ 70 දශකයේ අග භාගයේදී යි. එනම් විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ යි.


එදා සහ අද සමාජය අතර ඔබ වහන්සේ පැහැදිලි වෙනසක් දකිනවා ද?


මට මේ ගැන කතා කරන්න වෙන්නේ 70 දශකයට කලින් තිබුණු සමාජය දැකලා නො වෙයි. ඊට කලින් හොඳයි කියන්නේ කවුද? අපේ වැඩිහිටියෝ. විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමග අරපිරිමැස්ම වෙනුවට මුල් ගැන ගත්තේ ආශාවන් සම්පූර්ණ කිරීම, එහිදී සමාජයේ සියලුම හර පද්ධතීන් සඳහා මිලක් නියම කර තිබෙනවා. මෙන්න මෙතැනයි ප්‍රශ්නය තිබෙන්නේ. සියලු මනුස්සකම් හෝ සමාජ සම්බන්ධතාවලට මිල කීය ද? කියල අහන තැනට මේ සමාජය පත්වෙලා තියෙනවා. බටහිර ආර්ථික කළමනාකරණය තුළ අපට කියල දෙනවා සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත ආශා සහ අවශ්‍යතා සම්පූර්ණ කරන්න කියලා. අපට ඒක කරන්න පුළුවන් ද? මගේ අදහස "බැහැ" කියලා.  අපට ලැබෙන සීමිත වැටුපකින් අසීමිත ආශාවන් සම්පූර්ණ කරන්න පුළුවන් ද? බැහැ. මෙන්න මේ නිසා තමයි මිනිස්සු, අල්ලස් ගැනීම, නීති විරෝධී ව්‍යාපාර, සොරකම් කිරීම ආදි ක්‍රම මගින් මුදල් හම්බ කරල තමන්ගේ ආශාවන් සපුරා ගැනීමට පෙලඹෙන්නේ.


අල්ලස් ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ද?


අල්ලස් ගැනීම බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක අනුමත කර නැහැ. "අල්ලස් අරගෙන වැඩ කිරීම හෝ අල්ලස් දී වැඩ කරවාගැනීම යන කරුණු අතිශයින් ම පව් පිරෙන අපායගාමී වෙන අකුසලයක්” ලෙසයි උන් වහන්සේ වදාළේ. අපේ රටේ අල්ලස් දීම ත්‍ර ගණනාවක් ම ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ලිංගික අල්ලස්, මානසික අල්ලස්, මුදල් අල්ලස් ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. අපේ රට කාන්තාවන්ට, මාතෘත්වයට බොහොම ගරු කළ රටක්. නමුත් අද වෙනකොට ගැහැනය ගැන එහෙම බලන්න මේ රට සූදානම් නැහැ. මේ රටේ යම් ආයතනයකට වැඩක් කරගන්න යන කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන් ම ගන්නවා. ඒ සඳහා උපරිම උත්සාහ කිරීම මේ රටේ හැටියක්. මෙන්න මේ තත්වයටයි ලිංගික අල්ලස් ගැනීම කියන්නේ.


කාන්තාවකට ඉහළ තනතුරකට යන්න නම් ඇතැම් විට ඇය ගේ ශරීරය පූජා කරන්න වෙන අවස්ථා තියෙනවා. මට ඒක ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. මෙය ඉහළ පුටුවලට පමණක් ම සීමා වුණු ප්‍රශ්නයක් නො වෙයි. අපේ පොදු ප්‍රවාහන සේවය තුළ දකින්න ලැබෙන දේ ගැන කතා කරමු. බස් එකේ යන්නේ කවුද? සාමාන්‍ය පොදු ජනතාව ඔවුන් බස් එකේදී කාන්තාවන්ට සලකන්නෙ කොහොම ද? ඔවුන් දුම්රියේදී කාන්තාවන්ට වද දෙන්නෙ කොහොම ද? 


මෙය ලොකු, පොඩි, දුප්පත්, පොහොසත් සියලු දෙනාගේ ආකල්ප බිඳවැටීම පිළිබඳ ප්‍රශ්නයක්. ගැහැනිය ගැන හිතන විදිහ සහ ගැහැනිය දෙස බලන විදිහ පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අනුව මම හිතන්නේ බටහිර යුරෝපා රටවල සංස්කෘතියටත් වඩා අපි පහළට වැටිලා.  මේ රට හරිම රැවටිලිකාර රටක්. ගොඩාක් මිනිස්සුන්ට මානසික අල්ලස් ලැබෙනවා. දේශපාලකයො මිනිස්සු රවටන්නේ මානසික අල්ලස් දීලා. කිසි දිනක කරන්න බැරි, සිදු නොවන දේවල් ටිකක් ගැන අපට සිහින මවනවා. අපි ඒ මානසික අල්ලසට අහුවෙලා එක් පක්ෂයක් බලයට පත් කරන්නත්, තවත් පක්ෂයක් ගෙදර යවන්නත් තීන්දු ගන්නවා. ඒ නිසා මානසික අල්ලස හරිම බලවත්.


අල්ලස් ගැනීම සම්බන්ධව පමණක් නීති රිති සම්පාදනය වීම ප්‍රමාණවත් ද?


ඒ පිළිබඳ නීති රීති ගොඩාක් සම්පාදනය වී තිබෙනවා. ඒ ගැන සතුටු විය හැකි යි. නමුත් මිනිස්සු පවට බය වුණොත් විතරයි මේ සියලු අල්ලස් වළක්වාගන්න පුළුවන් වෙන්නේ. රටක් සංවර්ධනය කිරීමට අල්ලස් නොගන්නා පරිපාලන තන්ත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය යි.  මහාමාර්ගයේදී ඔබෙන් වරදක් සිදු වුණ නම් ඒකට දඩ කොලයක් ඉල්ලාගන්න. ඒ වෙනුවට අපි රාලහාමි අතට රු. 200ක් දුන්නොත් ඊළඟ වතාවේදී ඔහු ඒ මුදලෙන් සතුටු වීමට සූදානම් නැහැ. බඩු මිල වැඩි වෙනකොට රාලහාමි කියනවා "පොල් ගෙඩිය කීයද ඕයි? 400ක් වත් දීල යනවා” කියලා. දැන් රුපියල් 1100 දඩයට රුපියල් 500 ගන්න තැනට පෙලඹිලා තියෙනවා.මම ජනතාවට කියන්නේ "ඔබේ කටයුත්ත කොතරම් ප්‍රමාද වුණත් අල්ලස් දෙන්න යන්න එපා” මම නම් කිසිවකුටත් රුපියල් 10ක් වත් දීල වැඩ කරවාගන්න සූදානම් නැහැ.වර්තමානයේ මිනිසුන් අහන්නේ "අදින්නාදානා” සිල්පදය රැකලා දියුණු වෙන්නෙ කොහොමද කියලයි. අද ඇතැම් අය පවසන්නේ "දියුණුවේ රහස හොරකම් කිරීම” කියලා. ඒක කෙටි කාලීන දියුණුවට ඉතා ම හොඳයි. මට මෙහිදී කවි දෙපදයක් මතක් වෙනවා.


ළිඳ ගිනි මොළවන තෙක් දිය සැළියේ

සැපයක් යැ යි කකුළුව දිය කෙළියේ

 

නැටුමේ ස්වභාවය අවබෝධ වෙන්නේ ළිපේ ගින්දර පත්තු වුණාට පසුවයි. එතකොට රත් වෙනවා. තැම්බෙන්න ගන්නවා. " එහෙම නම් අල්ලස් අරගෙන අතිශයින් ම වංචනික ජීවිත ගත කරන අයට බුද්ධාගමේ සඳහන්වන ආකාරයට අනිවාර්යයෙන්ම පව පල දෙනවා.


නමුත් වැරැදි වැඩ කරන පුද්ගලයාටමයි හරියන්නේ?


වැරැදි වැඩ කරන අයට හරියනවා. ඒත් බොහොම කෙටි කාලයක්. මැරෙන්න මොහොතකට කලින් හෝ පල දෙනවා. ඒක ස්ථිර යි. හොරකම් කළ, අනුන්ට නින්දා අපහාස කළ, වැරැදි ජීවනෝපායවල නියැලුණු කවුරුවත් ජීවිතයේ අවසාන අවධියේදී සතුටින් ඉඳලා නැහැ. මම කළ පව් මගේ පසුපස එනවා. ඒක එන්නෙ කොහොම ද? ගැලත් එක්කම ගමන් කරන කරත්ත රෝදය වගේ.


පීඩාවට පත් වන පුද්ගලයා මේ තත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද?


අප සැලකිලිමත් විය යුත්තේ අපේ මනස පාලනය කර ගැනීම පිළිබඳ යි. "කෝ අරයට තවම විපාක ලැබුණේ නැහැනේ” බුද්ධාගම ඇත්ත ද? කියල අහන අය ඉන්නවා. එලෙස සිතීම බෞද්ධයකුගේ ස්වභාවය නොවෙයි.   ඔහු කරන අකුසලයේ ප්‍රතිවිපාක ඔහුට ලැබෙ යි. ඔබ නිවැරැදි දේ සිතමින් නිවැරැදි දේ කරමින් ඔබේ ගමන ඉදිරියට යන්න. අරයට මොක ද වෙන්නෙ? කියල බලන්න එපා. එයාට ලැබෙනකොට ඔබටත් ආරංචි ලැබෙයි. දිට්ඨධම්මවේදනීය කර්ම ඇවිල්ලා කියලා.


අපි කරන හොඳ ක්‍රියාවල ප්‍රතිවිපාක ලැබෙන්නේ නැහැ නේ?


එනවා, හෙවණැල්ල වගේ. හොඳ කුසලයන්ට හොඳ විපාක ලැබෙනවා. නරක අකුසලයන්ට නරක විපාක ලැබෙනවා. නමුත් ටිකක් කල් යනවා. එතකොට අපිට හිතෙන්නේ මට මොනවත් වෙන්නේ නැහැ කියලා.


කරන කලට පව් මිහිරිය   මීසේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ


වැරැදි වැඩ කරන කොට හරි ම මිහිරි යි. නමුත් විපාක විඳවන කොට බොහෝ දුක් විඳින්න සිදුවෙනවා.


මේ අගාධයෙන් රට බේරාගැනීම සඳහා බුදු දහමෙන් ලැබෙන පිටිවහල මොකක් ද?


නීතියට බය සීමා සහිතවයි. හැම නීතියකින්ම රිංගලා යන්නත් ක්‍රමවේදයක් තියෙනවා. පහළ අධිකරණයේදී වැරැදිකරු වෙනවා. ඇපීල් කරල නිදහස් වෙනවා. නමුත් කමයෙන් රිංගල යන්න තැනක් නැහැ. ඇපීල් කරල නිදහස් වෙන්නත් බැහැ. ඒ නිසා මිනිසුන් තුළ පවට බය-ලැජ්ජාව තිබිය යුතු යි. ඒ සඳහා ප්‍රථමයෙන් පවට බය-ලැජ්ජා ඇති පාලකයො සිටිය යුතු යි. ඔවුන් ආදර්ශවත් විය යුතු යි.


එවැනි රාජ්‍ය නායකයො අද ඉන්නවා ද?


බොහොම දුර්ලභ යි. ඒ මොක ද? අයථා ජාවාරම් කරන පිරිසක් තමයි දේශපාලකයන්ගේ පිටුපසින් සිටින ආර්ථික බලවේගය. ඒ නිසා ධාර්මික ක්‍රමවේදයක්තූළ නෙමෙයි දේශපාලකයා බිහි වෙන්නේ අධාර්මික පසුබිමක බිහි වන දේශපාලකයන්ගෙන් සියයට සියයක්ම දැහැමි දේවල් බලාපොරොත්තු වීම ඇත්තට ම විහිළුවක්. දේශපාලකයා නිවැරැදි කරන්න පුළුවන් වෙන්නේ ජනතාවට යි. ඒ සඳහා පක්ෂ දේශපාලන මානසිකත්වය අයින් කළ යුතු යි. යම් පුද්ගලයකුට පක්‍ෂයක් අවශ්‍යයි. නමුත් පක්ෂ දේශපාලනික මානසිකත්වයෙන් රටේ ජාතිකමය වශයෙන් වැදගත් ම සාධක දෙස බැලීම නතර කළ යුතු යි.  ඉස්සර වගේ කැපුවත් පාට තියෙන අය අද අඩු යි. දැන් ක්‍රමයෙන් මැද මාවතකට මිනිසුන් ඇවිත් තියෙනවා. ඇතැම් පොදු දේවලදී මිනිස්සු එකමුතු වෙනවා. එකමුතුව හිටියොත් ඕනැම අධාර්මික බලයක් පරාජයට පත් කරන්න පුළුවන්. ඒ නිසා අඩු ම එකඟ විය හැකි කාරණා සඳහා වත් ජනතාව සමගි වීම අත්‍යවශ්‍ය යි. එවිට අපට පුළුවන් වේවි අල්ලසින්, දූෂණයෙන්, වංචාවෙන් සහ කළමනාකරණයක් නැති ක්‍රමවේදයෙන් මේ රට ගලවාගන්න.