gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, වත්මන් සමාජය ලෞකික සැප සම්පත් ලබාගැනීමේ අපේක්ෂාවෙන් 'දේව ඇදහීම්' සොයමින් යනවා.  තෙරුවන් සරණ ගොස් පංචශීලය සමාදන් වූ බෞද්ධයකුට මෙබඳු ඇදහීම් සුදුසු ද?  තෙරුවන් සරණ ගිය බෞද්ධයකුට තවත් දෙවියකුගේ සරණ යන්න බැහැ. එසේ හැකි යැ යි කියන්නේ 'බෞද්ධකම කුමක් ද? කියාවත් නොදන්නා අය යි. තෙරුවන් සරණ ගොස් පංචශීලය සමාදන් වී ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම යි බෞද්ධකමේ පදනම. දානයෙන් ලෝභයත්, ශීලයෙන් ද්වේෂයත්, භාවනාවෙන් මෝහයත් නැති වන නිසයි, බුදුරජාණන් වහන්සේ දාන, ශීල, භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් බෞද්ධයන්ට දේශනා කර වදාළේ.  දැන් ඇතැම් අය කියනවා අපි තෙරුවන් සරණ ගොස් දෙවි පිහිටත් යදිනවා කියලා. මෙවැනි කතා සමාජයේ වැඩි වැඩියෙන් පැතිර යන්නේ අපේ ජන සමාජයෙන් සැබෑ බෞද්ධ ආකල්ප තුරන් වෙමින් පවතින නිසයි.  


නමුත් පංච ශීලය රකින පුද්ගලයාට දෙවියන් පවා නමස්කාර කරන බව බුදු දහමේ සඳහන් වෙනවා?


ඇත්තෙන්ම ඔව්, තිසරණ සහිත පංච ශීලය රකින, පින්දහම් කරන, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරන බෞද්ධයන්ට සක් දෙවිඳුන් පවා නමස්කාර කරන බව සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වෙනවා.  දේව ආකර්ෂණය බලාපොරොත්තුවෙන් නමට තෙරුවන් සරණ ගොස් පංච ශීලය සමාදන් වෙලා නම් වැඩක් වෙන්නේ නැහැ. පංච ශීලය ජීවිතයට බද්ධ කරගත යුතු වෙනවා.  නමුත් වර්තමාන ජන සමාජයේ ඉහළ සිට පහළට ම යන තුරු පන්සිල් රකින අය අඩු වේගෙන යන බවක් ද ඒවා නොසලකා හරින බවක් ද පෙනෙන්නට තියෙනවා.  මේ නිසා ලෝකය පුරා ම සතර අගතිය ද, ඉතා භයානක අපරාධ, වෛරය, පලි ගැනීම, ක්‍රෑරකම්, දුරාචාරය ආදී මෙකී නොකී සෑම ආකාරයකම අපරාධ වැඩි වෙමින් පවතිනවා.


ජනගහනයෙන් 70% බෞද්ධයන් ජීවත් වන අපේ රටේ මිනිසුන් දිනකට බුදින මස් ප්‍රමාණය රාත්තල් දහස් ගණනක්. පළමු සිල්පදය රැකීමෙන් ඇති කෙරෙන ප්‍රධානතම මානව ගුණාංගය වන අහිංසාවාදී බව මේ නිසා පිරිහී තිබීම ගැන කතා කළොත්?


පළමු සිල් පදය රැකීමෙන් ඇති කෙරෙන ප්‍රධානතම මානව ගුණාංගය අහිංසාවාදී බව යි. අන් කිසිදු පුද්ගලයකුට හෝ සත්වයකුට වුව ද නපුරක් හිංසාවක් පීඩාවක් සිදු නොකරන්නට නම් පළමුව තමන්ම උපමාවට ගත යුතු යි. දඬුවමට, හිංසාවට, පීඩාවට, මරණයට තමන් බිය වන්නේ යම් සේ ද අන් සියලු සත්වයා ද එසේ ම බැව් කියන්නට ඕනැ.  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයෙන් යුතු සැබෑ බෞද්ධයකු අතින් කිසිවකුටත් හිංසාවක් පීඩාවක් සිදු වන්නේ නැහැ. ඔහු කිසිවකුට එරෙහිව දඬු මුගුරු, අවි ආයුධ, අතට ගන්නේ නැහැ. සියලු සත්වයාට අභය දානය ප්‍රදානය කළ පුද්ගලයෙක්. . අද දිනයේ සතුන් මස් කරමින් මිනිසුන් දිනකට අනුභව කරන මස් කන්දරාව ගණන් බැලුවොත් මෙට්‍රික් ටොන් දහස් ගණනක්. එය මිහිතලයට ඔරොත්තු නොදෙන තරම් ප්‍රමාණයක්. මේ නිසා කිසියම් පාලනයකට මිනිසා නැඹුරු කරලීම සඳහා මස් පිණිස ඝාතනය කෙරෙන සතුන්ට ගවකුර රෝග, කුරුලු උණ, ආදී නොයෙකුත් රෝග තත්වයන් ස්වභාව ධර්මය විසින් ම වර්ධනය වී, මස් අනුභවය අධෛර්යමත් කිරීමට බලපෑම් සිදු කෙරෙනවා.


සොරකම් නොකිරීම සමාජයක යහපතට හේතු වන හැටි පහදා දෙන්න.


ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනගන්න දරුවන්ට වෙන් වූ සිංහල පොතක තිබුණු කතාන්දරයක් මට මෙහිදී සිහිපත් වෙනවා.  පාසලට ඇතුළත් කළ කුඩා දරුවෙක් තම පන්ති කාමරයේ තිබුණු පාට හුනු කෑල්ලක් සොරකම් කර ගෙදර ගෙන ගියා. එය දුටු මව දරුවාගේ හපන්කම ගැන ප්‍රශංසා කළා. එයින් දරුවා වඩාත් ධෛර්යවත් වුණ. ඉන්පසු මේ දරුවා පන්තියේ ළමයින්ගෙන් ද වෙනත් අයගෙන්  ද යම් යම් දේ සොරාගෙන එන්නට පුරුදු වුණ. සොරකම් කිරීමෙන් නොයෙකුත් දේ ලැබීම නිසා සොරකමේ ආශාව තවත් වැඩි වුණා. කල් යාමේදී ඔහුට මෙය අත්හරිය නොහැකි පුරුද්දක් බවට පත් වුණා.  ක්‍රමයෙන් තරුණ වියට පත් වූ පසු ඔහු ගෙවල් බිඳින, මං පහරන ප්‍රසිද්ධ සොරකු බවට පත් වුණා. එක් දිනක් මං පහරන විටදී පොලිස් අත්අඩංගුවට පත් වී අවසායේ දැඩි දඬුවම් සහිතව වසර ගණනාවකට සිරගත වීමට සිදු වුණා. එයට අනුබල දුන් මවට ද එහිදී අඬා වැලපෙන්නට සිදු වුණා.  දීඝ නිකායේ වාසෙට්ඨ සූත්‍රයේ මිනිස් සිත සොරකමට යොමු වන ආකාරය ගැන මැනවින් පැහැදිලි කර තිබෙනවා.


රටක දිළිඳුකම වැඩි වන විට සොරකමට මිනිසුන් නිරායාසයෙන් ම පෙලඹෙනවා. එවිට ප්‍රාණඝාතාදි අනෙක් අකුසල් ද වැඩෙන බවත් පෙන්වා දී තිබෙනවා. බුදු දහමේ සඳහන් වන පරිදි සොරකම අඩු වීමට නම් ධනය ඇති අය අනුන්ට දීමේ පුරුද්ද වර්ධනය කරගත යුතු යි. දැනට අවුරුදු හතලිහකට පමණ පෙරදී ජීවත් වූ මිනිසුන් හොරමැරකම්, වංචනික ක්‍රියාවන් සිදු කිරීමට බිය වුණා. ඒ, ඔවුන් තුළ පැවැති ආගමික භක්තිය නිසයි. ඒ කාලයේ අපරාධ ඉතා අඩුවෙන් සිදු වුණේ.  නමුත් පක්ෂ දේශපාලනයෙන් පසුව හොරමැරකම්වලට මෙන් ම අපරාධවලට මහජනයාගේ සිත් තුළ පැවැති බිය අඩු වෙන්නට පටන් ගත්තා. විශේෂයෙන් ඇතැම් භික්ෂුන් වහන්සේ මන්ත්‍රී පුටුවලට පැමිණීමෙන් මේ තත්වය තවත් වර්ධනය වුණා.  මේ නිසා මිනිසුන්ගේ සිත් දේශපාලනයට ඇදී ගියේ බණ දහම්වලට ඇදී යනවාටත් වඩා වැඩි වේගයකින්.


මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි යුග දිවිය බිඳවැටීමට ප්‍රධානතම හේතුව වූ අනියම් සබඳතා සාධාරණීකරණය කරමින් චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකතා, ගීත පවා නිර්මාණය වී තිබෙනවා. කවුරු කෙසේ විග්‍රහ කළත් මේ සියල්ල බුදු දහමට පටහැණියි නේද?


කාමයේ වරදවා හැසිරීමෙන් ඇති වන අර්බුද පිළිබඳ සිගාලෝවාද සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.  කයින් කෙරෙන කාර්යයන් අතරින් වඩාත් ම කතාබහට ලක් වෙන තෙවන සිල් පදය බිඳ වැටීම පිළිබඳ වර්තමායේ බෞද්ධ සමාජය තුළ සාමාන්‍යකරණය කිරිමට උත්සාහ ගන්නා අයුරු අපට පෙනෙනවා. එහිදී චිත්‍රපට, ටෙලි නාට්‍ය, නවකතා, කෙටි කතා කතාකතාකතා, කවි, ගීත පවා නිර්මාණය වී තිබෙනවා. කවුරු කෙසේ කීවත් මේවා සියල්ල බුදු දහමට පටහැණි යි.  සමාජයේ පැවැත්මට, වර්ගයා බෝ කරගැනීම බුදු දහමෙන් තහනම් කර නැහැ. නමුත් එය පාලනය කරගැනීමේ අවශ්‍යතාව හා වැදගත්කම නිතර පෙන්වා දී තිබෙනවා. නූතන මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනපරිදි පවුල් දිවියේ බිඳවැටීමට ප්‍රධානතම හේතුවක් වී  ඇත්තේ අයථා සබඳතා යි. මේ නිසා එම පවුල්වල දූදරුවනට අත් වන ඉරණම ද ශෝචනීය යි. සමාජයට හානිකර අර්බුද හා ගැටලු රැසක් නිර්මාණය කිරිමට මේ තත්වය හේතු වී තිබෙනවා.


අද අප වටා තියෙන්නේ පුද්ගල කාමාශාවන්, පසිඳුරන්, රාගික සිතිවිලි, පාලනය කරගැනීමට ලබාදෙන අනුබලයක් නො වෙයි. සියදහස් ගුණයකින් ඒවා වැඩි දියුණු කිරීමට, භාවයන් ප්‍රකෝප කරවීමට, හැඟීම් අවුස්සාලීමට අනුබල දෙන සමාජ වටපිටාවක්,  මේ කාම මිථ්‍යාචාරයේ යෙදීම වර්තමානයේ ප්‍රමාණාත්මක ව ඉහළ ප්‍රතිශතයක් ගැනීම නිසා එය මිහිතලයට ඔරොත්තු නොදෙන කරුණක් බවට පත් වී තිබෙනවා. ඊට දඬුවම් වශයෙන් නවීන විද්‍යාවෙන් පවා ප්‍රතිකාර ලබාදිය නොහැකි ඒ වැනි රෝග ස්වභාවධර්මය විසින් ම නිර්මාණය කර තිබෙනවා.


ධම්මපදයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බොරු  කියන පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැති බවයි. නමුත් අද සමස්ත සමාජය වැඩි පිරිසක් බොරුවෙන් ජීවත් වීමට නේද උත්සාහ කරන්නේ?


මුසාවාදය මිනිසාගේ පරාභවයට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබියදීත් ඒ ගැන නොසලකා ක්‍රියා කරන පිරිස් ද සිටිනවා.  බොරු කියන අය අපාගත වෙනවා පමණක් නොව කතා කළ නොහැකි අය බවට ද පත් වෙනවා. මිනිස් බව ලැබුණත්  ගොළු බවට පත් වූවන් ගැන මඳක් සිතා බලන්න. ප්‍රතිඵල දැන දැනත් ඒ ගැන නොසලකා හැරීම මොන තරම් අවාසනාවක් ද? සැබෑ බෞද්ධයා යනු මත්පැන් පානයෙන් වැළකුණ අයෙක්. නමුත් වර්ෂ 2000දී මත්පැන් භාවිතයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉදිරියෙන්ම සිටි රට බවට පත් වුණා. සුරාවට ඇබ්බැහි වීම නිසා කඩාකප්පල් වුණු පවුල් ජීවිත, බේබදු සැමියන්ගෙන් දිනපතා ගුටිකන කාන්තාවන්, බීමත්කම නිසා මහමගට වැටුණු ප්‍රමාණයත් ඉමහත්. ඒ අය පුනරුත්ථාපනය සඳහාත් රෝගී වුවන්ට විදේශ රටවලින් බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වී සඳහාත් වෛද්‍ය සේවක සේවිකාවන්ගේ නඩත්තුව සඳහාත් විශාල මූදලක් වැය වෙනවා.


පෙරදිග ධාන්‍යාගාරය බවට ලෝක ප්‍රසිද්ධ ව තිබුණු ශ්‍රී ලංකාව වර්තමානයේ පෙරදිග ස්කාගාරය බවට පත් වීම කණගාටුවට කරුණක්. මත්පැන් පානය කර වසර 2000දී අපි ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. මේ රටේ බහුතරය බෞද්ධ නම් මේ ලෝක වාර්තාව තැබීමට දායක වූ වන් මේ පිරිස අතර සිටිනවා.  අපේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබියදීත් මෙවැනි අවාසනාවන්න දේවලින් රටත් ජනතාවත් බේරාගැනීමට ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණක්. රටේ ඉහළ තනතුරුවල සිටින උදවිය අවංකව පන්සිල් රකිනවා නම්, රටේ සිටින සෙසු පිරිස ද එය තම ආදර්ශයට ගෙන ක්‍රියා කරනවා. යළිත් අපි පන්සිල් ගැන සිත් යොමු නොකොළොත් දරුවන්ට පන්සිල් පුහුණු නොකළොත් අනාගතයේදී අපට දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ දීමට සිදු වෙනවා.