gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, අපේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයෝ. රාජ්‍ය අනුග්‍රහයත් බුදු දහමට ලැබෙනවා. නමුත් වැඩි පිරිසකට බුදුදහම පිළිබඳ නිසි අවබෝධයක් නැති බව පෙනෙන්නට තිබෙනවා? ඇත්තට ම ඔව්. ලංකාවේ ජනගහනයෙන් එකෝටි හතළිස් ලක්ෂයක් එනම් 70%ක් බෞද්ධ ජනතාව. මේ අයගෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය පිළිබඳ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්නේ ලක්ෂ පහක් වැනි ඉතාම සුළු පිරිසකට යි. ඉතිරි එකෝටි තිස්පන් ලක්ෂයකට ම බුදුදහම පිළිබඳ නිවැරැදි අවබෝධයක් නැහැ. ලංකාවට පුරාම මම ධර්ම දේශනා පවත්වනවා. එහිදී මට ආචාර්ය, මහාචාර්යවරු මෙන් ම පාසල් ශිෂ්‍යයන් ද හමු වෙනවා. නමුත් මේ කිසිවකුත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්පූර්ණ සුත්‍ර ගණන වත් දන්නේ නැහැ.  උන්වහන්සේ වසර හතළිස් පහක් වැඩ සිටියා. එනම් දින වශයෙන් නම් දහසය දහස් හාරසිය පනහක්. ඒ කාලය තුළදී එක දවසකට එක සූත්‍රයකට වඩා දේශනා කර තිබෙනවා. සූත්‍ර පිටකයේ පමණක් මුළු සූත්‍ර ප්‍රමාණය දහහත් දහස් හත්සිය පහක්. ලංකාවේ ඉන්න සෑම බෞද්ධයෙක් ම වාගේ කියන්නේ අපි දන්නව බුද්ධාගම, හන්දි ගානේ ඉන්න අයත් කියන්නේ අපි දන්නවා බුද්ධාගම නමුත් කතා කරල බලන කොට දන්න බුද්ධාගමක් නැහැ.



නොයෙකුත් මිථ්‍යා මත එකතු වීම නිසා එදා මිහිඳු හිමියන් දේශනා කළ බුදුදහම අද වන විනාශ වෙමින් පවතිනවා? මේ තත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?



මෙය ඉතා ම ශෝචනීය තත්වයක්. අද ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ගේ මත බුදුරජාණන් වහන්සේන්ගේ දේශනා ලෙස පළ කරනවා. එයට හොඳ ම උදාහරණය තමයි බෝධි පූජා තැබීම. එදා උන් වහන්සේ දේශනා නොකළ ආකාරයට අද බෝධි පූජා තියනවා. මේ අය බෝධි පූජා තියෙන්නේ සාස්තර කියන, කේන්දර බලන කපුමහත්වරු කට්ටඩි මහත්වරු කියන ආකාරයට යි. පූජාව තැබිය යුතු වේලාව, දින ගණන, පහන් කීයක් පත්තු කළ යුතු දැ යි තීරණය කරන්නෙත් ඔවුන් ම යි. ග්‍රහයෝ නවයට පහන් නවය යි. නමුත් දැන් විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා ග්‍රහයෝ අටක් පමණක් යි  ඉන්නේ කියලා. මේ නිසා ග්‍රහයන්ට පහන් පත්තු කරන පිරිසට මීට පසුව පත්තු කරන්න වෙන්නේ පහන් අටයි! මේ පූජාවන් සඳහා ගත යුතු නොයෙකුත් තෙල් වර්ග ඔවුන් විසින් නියම කරනවා. තවම පෙට්‍රල් ඒ සඳහා නිර්දේශ කළේ නැහැ. එහෙම නිර්දේශ කළා නම් අපේ අය අනිවාර්යයෙන් ම ඒකත් ගන්න බව මට විශ්වාසයි. පෙට්‍රල්වලින් පහන් පත්තු කරන්න ගිහිල්ලා පිච්චිලා මැරෙනවා. ඒ වගේ කියන කියන පදේට නටන අඳබාල බෞද්ධයෝ පිරිසක් අද බිහිවෙලා ඉන්නවා.



මේ විශ්වය තුළ ග්‍රහ අපල' පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද?



මේ විශ්වය තුළ ග්‍රහ අපල' කියා දෙයක් ඇතැයි උන් වහන්සේ කිසිදු අවස්ථාවකදී දේශනා කළේ නැහැ. නමුත් අද මේ රට යට වෙලා තියෙන්නේ ග්‍රහ අපලවලට යි. කවුරුන් හෝ දියුණු වෙනවා නම් ඒ බ්‍රහස්පතී’ ගේ වැඩක්. කාට හෝ වැරදුණා නම් ඒ 'සෙනසුරු' නිසා. - කේන්දරේ තියෙනවා අවුරුදු අසූවක් ජීවත් වෙනවා කියලා. ඒ නිසා සිල් ගන්නේ නැහැ. පින්දහම් කරන්නේ නැහැ. හතර මායිම් පරිස්සම් කරමින් වයසට යන තුරු බලා සිටිනවා. හිටිහැටියේ ම අවුරුදු හැටෙන් මැරෙනවා. 'බෝධි පූජා තැබීම බුදුරජාණන් වහන්සේ කරන උපහාරයක් බවයි උන් වහන්සේ දේශනා කළේ. වත්මත් සමාජයට බෝධි පූජා තියන්න නම් අනිවාර්යයෙන් ම අපලයක් තියෙන්නට ඕනැ. වර්ෂ 2000දී ග්‍රහ අපල නිසා බෝධි පූජා පැවැත්වූ අයෙකුට නැවතත් ඒ අපල කාලය උදා වෙනවා 2007දී. එහෙම නම් එයා නැවතත් බෝධිපූණ කියන්නේ 2007දී. ඒ කාලය අතරතුරදී පන්සල පළාතෙවත් එන්නේ නැහැ.


එහෙම නම් 'කේන්දරය කියන්නේ බොරුවක් ද?



කේන්දරය සම්පුර්ණයෙන් ම බොරු කියල මම කියන්නේ නැහැ. නමුත් ඒක නොවෙයි පරම සත්‍යය. යම් පුද්ගලයෙක් උපන් වෙලාවත් කේන්දරයේ සඳහන් වේලාවත් වෙනස් වෙන්න පුළුවන්. දරුවා උපදින මොහොතේ සිටි හෙදිය නිවැරැදි වෙලාව සඳහන් කළා ද? නැති නම් ඇයට හිතුණු වෙලාවක් ලිව්වද? අපි දන්නේ නැහැ. ඒ නිසයි අපට විශ්වාස කරන්න බැරි.


නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අපට විශ්වාසයි. උන් වහන්සේ දේශනා කළේ ජීවිතය අනිත්‍ය යි. මරණය නියත යි. 'මරණ සති සූත්‍රයේදී උන් වහන්සේ දේශනා කළා 'එක බත් පිඩක් කාල ඊළඟ බත් පිඩ කන්න කලින් අපි මැරෙන්න පුළුවන්” කියලා. ඒ නිසා ඒ බව පිළිගෙන, සතර සතිපට්ඨානය තුළ කර්මය කරම එලය විශ්වාස කරගෙන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් වූ පසු බිය විය යුතු දෙයක් නැහැ. කේන්දර සරණ, සාස්තර සරණ, දේවාල සරණ ආදි නොයෙකුත් මිථ්‍යා වැඩ කිරීම නිසා වර්තමාන බෞද්ධයන්ට තිසරණයට එන්න වෙලාවක් නැහැ. සාස්තරයකට කිව්වොත් ඔබේ ගෙදර අපලය දුරු කිරීමට නම් බුදුපහන නිවන්න කියා අපේ අය ඒකත් කරනවා.



අපේ සංස්කෘතිය කියන්නේ මේ දැන් තිබෙන සංස්කෘතිය නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ වුණේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කර ආරම්භ කළ පිරිසුදු සිංහල බෞද්ධ සංස්කෘතියෙන්. ඒ තුළ කේන්දර තිබුණේ නැහැ. "දේවනම්පියතිස්ස, දෙන්න ඔබේ කේන්දරය, මම ඉන්දියාවෙන් බලල ගෙනැල්ල දෙන්නම්. ලංකාවේ බුද්ධාගම ප්‍රචලිත කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ” කියා මිහිඳු හිමියෝ එදා දේශනා කළේ නැහැ.  අපේ වාස්තු විද්‍යාත්මක ඤාණයක් තියෙනවා. අපි හැදුවා රුවන්වැලි සෑය. පරාක්‍රමබාහු රජතුමා මේ රට පෙරදිග ධ්‍යාන්‍යගාරය කළා. පිටරටට සහල් යැව්වා. මහවැව් 163ක් කුඩා වැව් 2376ක් ඇල මාර්ග 3910ක් ඉදි කළා. මේවා නැකැත් බලල නොවෙයි කළේ. මම ඒවාට ගරු නොකරන්නේ නැහැ. වැරැද්ද අපි මේවාට වහල් වීම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයාට සෑම වෙලාවක් සුබ නැකතක්ය කියලා.



මළගිය ඥාතීන්ට ගෙදර පින් දීම නුසුදුසු ද?



මළගිය ඥාතීන්ට ගෙදර පින් දීම හොඳ නැහැ කියන මතය බුදුරජාණන් වහන්සේන්ගේ දේශනයක් නො වෙයි. මළ ගිය ඥාතීන්ට නිවෙසේදී පිදීම ආරම්භ කළේ බුදුරජාණන් වහන්සේ යි. ඒ බිමිම්බිසාර රජුට තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කරමින්. අපේ ඇතැම් බෞද්ධ පණ්ඩිතයෝ උන් වහන්සේ දේශනා නොකළ කරුණු අලුතෙන් නිර්මාණය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දහහත් දහස් හත්සිය පහ තුළ කිසිම ස්ථානයක නැහැ. 'මැරුණට පසුව අඟහරුවාදා, සිකුරාදා, මිනී වළලන්න එපා කියලා. මිනිය තැන්පත් කරන කොට නිවෙසින් එළියට ගන්නකොට ‘ඔළුව බටහිර දිශාවට තියෙනවද බලන්නව කියලා. මැරුණු පුද්ගලයාට "පෙරේත ගොටු" තිබීමත් අපේ අය විසින් ම ඇති කරගත් සම්ප්‍රදායක්.




"කරණීය මෙත්ත සූත්‍රය” නිවෙසේදී කීම නුසුදුසු ද?


"කරණීය මෙත්ත සූත්‍රය” කියන්නේ සම්පූර්ණයෙන් ම මෙත්‍රී  භාවනාව යි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ දේශනා කරනවා "මෛත්‍රී භාවනාව සුළු වේලාවක් වැඩිම” මඟින් රහතන් වහන්සේ දහස් නමකට දෙන දානයට වඩා පින් සිදු වෙන බව. එතරම් බලයක් තිබෙන "මෛත්‍රී භාවනාව” අඩංගු කරණීය මෙත්ත සූත්‍රය ගෙදර කියන්න එපා කියන තරම් පණ්ඩිත අඥාන ප්‍රාථමික බෞද්ධ පිරිසක් මේ රටේ ඉන්නේ. අද රජ කරන්නේ බුදුරජාණන් වහන්සේන්ගේ ධර්මය නොවේ. ගෞතම බුදුරජාණන් වහන්සේට අද ලංකාවේ තැනක් නැහැ. ගෙදර පහන තියන තැන චූටි බුද්ධ රූපයක් තියෙනවා නොතියා බැරිකමට. බුදුන්ගේ රූපය ළග රාග, ද්වේෂ, මෝහ තියෙන ලොකු  දේව රූප ගහලා. මේ නිසා සමහර නිවෙස්වල බුදු පහන තියන තැන බුදුරජාණන් වහන්සේ වැහිලා. සායි බාබාගේ, ජනප්‍රිය හිමිවරුන්ගේ පින්තුර ලැබුණ විටදී ඒවත් ගහනවා. කෙටියෙන් ම කියනවා නම් බලු නැට්ටක් හොඳයි කිව්වා නම් ඒකත් එතැනින් තියන තත්වයේ ප්‍රාථමික බෞද්ධ පිරිසක් අද බිහි වෙලා ඉන්නවා.මංගල සූත්‍රෙය් තිබෙනවා සමනානංච දස්සනං ශ්‍රමනයන් වහන්සේ දැකීම මංගල කාරණයක්.නමුත් මේ රටේ ජනතාව ඒක දකින්නේ අසුබ කරුණයක් ලෙසයි.


තමන්ගේ දුවගේ පුතාගේ මංගල සම්මත අවස්ථාවකදී හාමුදුරුනමක් ගෙදරට වඩමවා කරණීය මෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය, රතන සූත්‍රය තුන් වරුවක් දේශනා කරවා ගන්නවා. නමුත් ඒ හාමුදුරුවන්ට අර යුවළ නැකතට පිටත් වෙන අවස්ථාවේදී ඉදිරියට හමු වුණොත් මවුපියන්ගේ මුහුණ ඇඹුල් වෙනවා. ඥාතීන් කලකිරෙනවා. එහෙම නම් මේ රට පිළිගන්නේ බුදු දහම ද වෙනත් මිථ්‍යාමතද? මා දකින ආකාරයට මෙහි වැරැදිකරුවන් වන්නේ වැඩිහිටියෝ. භික්ෂූන් වහන්සේත් මේ සඳහා වගකිව යුතු යි. නමුත් අනෙක් ආගමික පූජ්‍ය පක්ෂය තම යුතුකම හරිහැටි ඉටු කර තිබෙනවා. ඒ නිසා ඒ ළමයිගේ සම්, මස්, ඇට, නහර, ඇට මිඳුළු දක්වා ආගම කාවද්දල තියෙනවා.


අපාය දිව්‍ය ලෝක පවතිනෙන් මේ මනුෂ්‍ය ලෝකයේ ම බව ඇතැම් අය පවසනවා?


බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් සර්වඥතා ඥාණයට අභියෝග කළ හැකි බෞද්ධ ජනතාවක් අද මේ රටේ බිහි වෙලා ඉන්නවා. ඔවුන් පවසන්නේ අපාය, දිව්‍යලෝකය, පෙරේත ලෝකය මනුෂ්‍ය ලෝකයේ ම පවතින බවයි. කෝටි ගණනක් මහරතතන් වහන්සේ පරීක්ෂා කර ප්‍රතිඵල ලැබූ මේ ධර්මය නැවත අලුතෙන් පරික්ෂා කළ යුතු ද? එහෙම නම් මේ රටේ ඉන්නේ "වෙස්ටන් සයන්ස්” සරණ ගිය පිරිසක්. ඒ කියන්නේ කිසි දා අවසන් නොවන සදාචාරාත්මක නොවන පරික්ෂණයක නියැලුණු පිරිසක්.  බුදුරජාණන් වහන්සේයි පළමුවැනි වරට විද්‍යාව හඳුන්වා දුන්නේ. ප්‍රථම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පෙර නොඇසූ

විරූ විද්‍යාව පහළ වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.  මේ ඤාණය ඉක්මවා යා හැකි ජගතෙක් මෙතෙක් පහළ වී නැහැ. නමුත් අද ලංකාවේ කරන්නේ විද්‍යාවේ සඳහන් ආකාරයට පරික්ෂණයක් කරලා අපාය' පිළිගන්න පුළුවන් ද? බලනවා. අපේ පාරම්පරික බෞද්ධ ජනතාව අමෙරිකාවේ නාසා ආයතනය පරීක්ෂෂා කර අපාය, දිව්‍ය ලෝකය තියෙනවද කියල තහවුරු කරන තුරු හිටියොත් මේ ජීවිතේටම ඔවුන්ට බුදුන් සරණ යන්න ලැබෙන්නේ නැහැ.


මේ ආකාරයට අපේ ආගම සංස්කෘතිය බිඳවැටීමට හේතුව කුමක් ද?


ප්‍රධාන හේතුව ශ්‍රද්ධාව නැතිකම යි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ අප තුළ පවතින වෙනස් නොවන පැහැදීමයි. එනම් ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා ශ්‍රද්ධාවයි. එනම් ඒ කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැනගෙන සරණ යාමයි. අමූලිකා ශ්‍රද්ධාව යනු මූලික නැති පැහැදීමක්. මම මුලින් සඳහන් කළ බෞද්ධයන් එකෝටි හතළිස් ලක්ෂයෙන්, එක් කෝටි තිස්පන් ලක්ෂයක් ම බුදු ගුණ නවයේ තේරුම දන්නේ නැහැ. පසුගිය කාලයේ ළමයින් තිදහසකට පමණ මම ධර්ම දේශනා පැවැත්වූවා. අඩු පිරිසක් තමයි බුදුගුණ නවය ම දැනගෙන හිටියේ. නමුත් අපේ බෞද්ධයෝ අද තිබෙන ජන ප්‍රිය රැල්ලේ ගීත, ටෙලි නාට්‍ය, ඕදූප, මේ සියල්ල ම දන්නවා. පුංචි දරුවන් ඕනෑම කාටුන් වැඩසටහනක් දන්නවා. ලංකාවෙ තියෙන දහම් පාසල්වලට මම අභියෝග කරනවා ඒවායේ ඉන්න දරුවන්ගෙන් අහල බලන්න බුදුගුණ නවය සිංහලෙන් කියන්න පුළුවන් අය ඉන්නවද කියලා. මම පැහැදිලිව කියනවා උත්තර දෙන්න බැහැ.


බෞද්ධයන් තුළ බුදුදහම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කරවන්නේ කොහොම ද?


 මම සිතන ආකාරයට බුද්ධාගම ව්‍යාප්ත කිරීමට ඉතා හොඳ ක්‍රමයක් තියෙනවා. එය කළ හැක්කේ කපුමහත්වරු, කට්ටඩි මහත්වරු හා සාස්තර කියන අය මගින්. ඒ අය කියන දේ ජනතාව අහනවා. ත්‍රිපිටකයේ තියෙනව කියල අපි කිව්වට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ අය හදනවා ලැයිස්තුවක්. එහි බලු කපුටු දානය දීම, බෝධි පූජා තැබීම ඇතුළු ඉටු කළ යුතු කරුණු රාශියක් ඇතුළත් වෙනවා. මම යෝජනා කරනවා මේ ලැයිස්තුවේ අගට ම ලියන්න බුද්ධානුස්සති භාවනාව වඩන්න, මෙත්‍රී භාවනාව වඩන්න කියලා. ඇතැම් පිරිස් අපල දුරු කරගැනීමට කරණීය මෙත්ත සූත්‍රය විසි එක් වතාවක් බෝධීන් වහන්සේ ළඟට ඇවිත් කියනවා. නමුත් අර්ථය විමසන්නේ නැහැ. දෙවියන් සරණ, සායි බාබා සරණ, කේන්දර සරණ, සාස්තර සරණ පැතීමෙන් කරන පුණ්ඩරීක වැනි බුදු දහමට පරිබාහිර වූ සූත්‍ර සරණ යාමෙන් අපට ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදි වූ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න බැහැ. එසේ නම් අපි සරණ යා යුත්තේ ලෞකික සැපත්, ලෝකෝත්තර සැපත් ලබාගත හැකි බුදුරජාණන් වහසේගේ ධර්මය යි. එවිට මිථ්‍යා විශ්වාස ගැලවී ගොස් සම්මා දිට්ඨිය ඇති වෙනවා.