gossiplanka image 1
 


 

ස්වාමීන් වහන්ස, ධර්ම ද්වීපයක් ලෙස ප්‍රචලිත වුණු අපේ රටේ දැනට වසර තිහකට ආසන්න කාලයක සිට යුද ගිනි ඇවිළෙනවා. මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතුව කුමක් ද?


ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව උසස් සංස්කෘතියක, ශිෂ්ටාචාරයක් මත ගොඩ නැගුණු බුදු දහම පදනම් කරගත් රටක්, රට වැසියන් අතර සිංහල - දෙමළ බෙදීමක් තිබුණේ නැහැ. නමුත් අපි දන්නා ඉතිහාසය තුළ එනම් හැටේ දශකයේ පමණ සිට දෙමළ ජනතාවගේ කුලීන කුලහීන අය අතර ගැටුමක් පැවතුණා. ඉහළ කුලයේ අය පහළ කුලයේ අයට තමන්ගේ ළිඳකින් වතුර වත් ගන්න දුන්නේ නැහැ. ඒ විතරක් නො වෙයි, ඒ අයගේ කෝවිලේ පූජාවට පහළ කුලයේ අයට එන්න දුන්නේ නැහැ. මේ ආකාරයට මූලික අයිතිවාසිකම් පවා කඩ වීම නිසා ඔවුන් ඊට එරෙහිව නැගී සිටියා. මේ විදිහට ආරම්භ වුණු ප්‍රචණ්ඩකාරිත්වයේ පළමුවෙන්ම ඝාතනය වුණේ යාපනය පුරපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතා යි. ඒ 1975දී යි. ඉන් පසු විවිධ කරුණු එකතු වී, අද එය බිහිසුණු යුද තත්වයකට පෙරළී තිබෙනවා. වසර තිහකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් අතර පවතින මේ යුද්ධය නිසා දෙපාර්ශ්ව යෙන් මිය ගිය සංඛ්‍යාව දසදහස් ගණනක්, විනාශ වූ දේපළවල වටිනාකම කෝටි ගණනක්.


බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මෙවැනි වාගික බෙදීම් තිබුණා නේද?


බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සමාජය ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් චතුර්වරණයකට ලක් ව තිබුණා.  නමුත් උන්වහන්සේ ඉතා පැහැදිලිව මේ වර්ණ ධර්ම ප්‍රතිෂේප කළා.මිනිස්සු බෙදන්න බැරි බව බුදුරාජණන් වහන්සේ "වාසෙට්ඨ සුත්‍රයේදී” ඉතා පැහැදිලිව දේශනා කළා. සිවුපාවෝ, උරගයෝ, කුරුල්ලෝ ම විදිහට අපට සතුන් බෙදන්න පුළුවන්. නමුත් මිනිස්සු එහෙම බෙදන්න බැහැ. මුළු විශ්වයේ ම ජීවත් වන්නේ එකම මනුෂ්‍ය වර්ගයක් බවත් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වැඩ සිටි අවදියේ විවිධ පිරිස් අතර යුද්ධ ඇති වුණා. ඊට හොඳ ම උදාහරණය තමයි, රෝහිණි නදියේ ජලය බෙදා ගැනීම සඳහා ශාක්‍ය - කෝලිය දෙපිරිස අතර ඇති වූ යුද්ධය. තුන් වතාවක් ම එම ස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ යුද්ධය නිසා සිදු වන ජීවිත හා දේපළ හානිය පිළිබඳවත් සමගියේ ආනිසංස පිළිබඳවත් දේශනා කළා. ත්‍රස්තවාදී ග්‍රහණයට නතු වූ උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල ජනතාව අදත් සහයෝගයෙන් කටයුතු කරනවා. උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත්වල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, ඇතුළු සියලු පිරිස් සහයෝගයෙන් ජීවත් වෙනවා. ඔවුන් කාර්යාලවල, වෙළෙඳ ව්‍යාපාරවල දිනපතා සහයෝගයෙන් කටයුතු කරනවා. එක් ව ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ දරුවන් එකම පාසලේ සරසවියේ සහෝදරත්වයෙන් අධ්‍යාපනය ලබනවා. ඒ විතරක් නො වෙයි. සිංහලයන් යටතේ ද්‍රවිඩයන් ද, ද්‍රවිඩයන් යටතේ සිංහලයන් ද රැකියා කරනවා. සිංහලයන් නායකත්වය දරන වෘත්තීය සංගම් වලට ද්‍රවිඩයන් ද එක් ව තිබීම අද සුලබ කරුණක්. ඒ වගේ ම ද්‍රවිඩ නායකයන් සිටින වෘත්තීය සංගම්වලට සිංහලයන් බැඳී ඉන්නවා. මේ අනුව අපට පෙනෙනවා උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත්වල ජනතාව සහයෝගයෙන් ජීවත් වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සාමයෙන් සමගියෙන් ජීවත් වීමට අපහසු වී ඇත්තේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී ඇති ප්‍රදේශවල පමණ යි. එපමණක් නො වෙයි, ත්‍රස්තවාදීන්ගේ පාලනයට අයත් ප්‍රදේශවලින් ගැලවී දිවි බේරාගත් ද්‍රවිඩ අය පවා අද සිංහයන්ගේ රැකවරණය ලබමින් බියක් සැකක් නැතිව ජීවත් වෙනවා. සියලු ද්‍රවිඩ දේශපාලන නායකයෝ පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව ලබනවා. ඔවුන් අද ආරක්ෂාව ලබා සිටින්නේ සිංහලයන්ගෙන් හෝ මුස්ලිම්වරුන්ගෙන් වන අනතුරක් නිසා නො වෙයි. ඒ ජාතිකයන් වන ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය බේරාගැනීමට යි.


රජය අද යුද්ධයකට අවතීර්ණ වී සිටිනවා. බුදුදහම මෙවැනි තත්වයක් අනුමත කරනවා ද?


වෛරයෙන් වෛරය නොසන්සිඳේ. බුදුදහමේ මෙය සනාතනික ධර්මතාවක්. මේ නිසා බුදුදහමට අනුව යුද්ධය අනුමත කරන්න බැහැ.

යුද්ධය සහ ත්‍රස්තවාදය යනු වචන දෙකක්. මම දකින ආකාරයට අද ඇති වී තිබෙන්නේ ත්‍රස්තවාදයක්. අපේ යුද හමුදාව තවත් ජන වර්ගයකට විරුද්ධව නොවෙයි සටන් කරන්නේ. අද ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය උතුරු නැගෙනහිර ජීවත් වන ද්‍රවිඩ ජනයා වෙනුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ද මුහුදු තීරයෙන් තුනෙන් දෙකක් ද වෙන් වන සේ උතුරු නැගෙනහිර පළාත් එක් කර, වෙන ම ම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සටන් කරනවා.පිළිගත් රාජ්‍යයකට විරුද්ධව යම් කණ්ඩායමක් අවි ආයුධ අතට අරගෙන ගැටුම් ඇති කරනවා නම් ඒක ඇත්ත වශයෙන් ම රජ කෙනකුට නිහඬව ඉන්න පුළුවන් කරුණක් නොවෙයි.  බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී මෙවන් ගැටුම්කාරි තත්වයක් පැන නැගුණු විටදී රටේ රජතුමා විසින් එය මර්දනය කිරීමේ වගකීම හමුදාව වෙත පැවරුවා. එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න එපා කියල බුදුරජාණන් වහන්සේ කිසි ම දවසක කිව්වේ නැහැ. උන්වහන්සේ නිහඬව සිටියා.


මේ ප්‍රශ්නයට බුදුදහමින් ලැබෙන විසඳුම කුමක් ද?


බුදුරජාණන් වහන්සේ හැම ප්‍රශ්නයක් ම විසඳුවේ හේතුඵලවාදී විග්‍රහයක් තුළ යි. වර්තමාන ගැටුම් ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑ සැකය සහ අවිශ්වාසය ඇති වීමට හේතු වූ කරුණු රැසක් තිබෙනවා. ආර්ථික, භාෂා, දේශපාලනික, සමාජීය, ආගමික සාධක ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මෙම ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට හැකි වන්නේ දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන, කෙටි කාලීන සැලැස්මක් යටතේ යි. අපි කවුරුත් මිනිස්සු කියල හිතල මනුෂ්‍යත්වයට ආදරය කරන්න හැමෝටම පුළුවන් නම් ප්‍රශ්නය විසඳගන්න අපහසු නැහැ. ඒ වගේ ම නොබෙදුණු රාජයක් තුළ බලය බෙදාගැනීම ඉතාමත් සාධාරණ බව "චක්‍රවර්තී සීහනාද" සූත්‍රයේ දී බුදුරජාණන් වහසේ දේශනා කර තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ රටක් බෙදීම නො වෙයි, බලය බෙදාගැනීම යි. මේ රට සියලු ජන වර්ගවලට අයත් ඒකීය පොදු රටක්. දකුණේ පදිංචි වන සිංහලයකුට ඇති අයිතියට සමාන අයිතියක් එහි පදිංචි වන ද්‍රවිඩයකුට ද ලැබිය යුතු යි.


මේ ධර්මානුකූල විසඳුම් වර්තමානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද?


අවුරුදු ගණනක් පුරා ඇති වූ ගැටලුවක් අපට එක් වර ම ධර්මානුකූලවත් විසඳන්න අමාරු යි. නමුත් බුදුරජාණන් වහන්සේ

දේශනා කළ කරුණු අපට මෙහිදී නිර්ණායක බවට පත් කරගන්න පුළුවන්. අද උතුරේ ප්‍රශ්නය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ "එළාර ආපසු ඉපදිලා” කියලයි. මේවා ඉතිහාසයත් සමග ගැළපෙන කරුණු.


සියලු දෙනාට ම එකග විය හැකි විසඳුම කුමක් ද?


ඕනෑ ම ප්‍රශ්නයකට විසඳුම් සොයාගැනීමට නම් පළමුවෙන් ම අපේ සිත සන්සුන් කරගත යුතු යි. රටට සාමය උදා කරගැනීමට විසඳුම් සොයන පාර්ශ්ව අතර සාමකාමී, ශාන්ත මානසික තත්වයක් පැවතිය යුතු යි. ඔවුන්ගේ සිත් වෛරයෙන්, ක්‍රෝධයෙන් තුරන් ව අහිංසාව, ප්‍රේමය, සත්‍ය වචනය පැවතීම අවශ්‍ය යි. අපේ මනුෂ්‍ය ජීවිත කාලය කොතරම් අල්ප ද? අවුරුදු පනස් පහ, හැට වන විට විශ්‍රාම යන්න ඕනෑ. ඇතැම් විට අප ඊට පෙර මිය යා හැකි ය. රටේ රජතුමා මෙන් ම හිගන්නා ද මෙලොවට එන්නේ හිස් අතින්. පසුව බොහෝ ධන සම්පත් රැස් කර, ඒ සියල්ල අනුන්ට හිමි කර මියයනවා. මේ සත්‍ය ධර්මය වටහාගෙන සිතේ ශාන්තිය පවත්වාගෙන මේ ප්‍රශ්නයට විසඳුම් කල්පනා කරන්න ඕනැ. " මේ ගැටලුවට මුහුණ දෙන ප්‍රධාන පාර්ශ්වකරුවන් දැන්වත් හිතවත් ව හා ළෙන්ගතුව සාමුහික වගකීම ඇතිව ක්‍රියා කරන ඇතැයි ජනතාව හිතනවා. එය අතීතයේ සිට මෙහි සමගියෙන් ජීවත් වූ සිංහල දෙමළ ජන කොට්ඨාසවල මියගිය සියලු දෙනාට ම කරන ගෞරවයක් මෙන් ම වර්තමානයේ ජීවත් වන සහ අනාගතයේ ඉපදෙන පරම්පරාවලට ද කරන ඉමහත් සේවාවක්. රජයේ සියලු ම වරප්‍රසාද සෑම ජාතියකට ම සමානව භුක්ති විඳිමින් තවදුරටත් නොබෙදී ජීවත් වීමේ වාතාවරණයක් රට තුළ ඇති කිරීම දේශපාලන නායකයන්ගේ වගකීමක්.