gossiplanka image 1
 


කෙම් කිරීම් මගින් සමහර බලාපොරොත්තු ඉටු කර ගත හැකිය.ගොවිතැන සම්බන්ධ කෙම්, ලෙඩ දුක් දුරු කර ගැනීමේ කෙම්, වාසනාව ලබා ගැනීමේ කෙම් ආදී වශයෙන් කෙම් විවිධාකාර වෙයි. පොදු වශයෙන් ගත් කළ යමක් ඉටු කර ගැනීම සඳහා කරන අනියම් කාර්යක් මේ නමින් හැඳින්වෙන බව පෙනේ. නියම වශයෙන් කරන වැඩේ ''කම” වෙයි. අනියමින් කරන වැඩේ කෙම නම් වෙයි. මෙම කරන තැනැත්තාට කම කිරීමෙන් පසු එය ඉටු වුවත් නොවූවත් සිතට සහනයක් ලැබේ. මෙහි ඇති පහසුව වන්නේ කෙමිකිරීමට මුදල් හෝ ඒසඳහා කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය නොවීමයි. කෙම තමන්ට ම කර ගත හැකිය.

පහත දක්වා ඇත්තේ ප්‍රචාරයට පත් වී ඇති කෙම් කිහිපයකි.


බිළිඳු දරුවන්ට සෑදෙන ඉක්කාව නැවත්වීමට දරුවාට අන්දවා ඇති ඇඳුම් හෝ රෙද්දේ නූලක් ගෙන කොම්බුවක් මෙන් රවුම් කර දරුවාගේ නළල මත තැබිය යුතු ය.


කුඩා දරුවන්ට ඇතිවන ඉක්කාව ස්වාභාවික එකකි. එය මඳ වේලාවක් තිබී ඉබේම සුව වී යයි. එහෙත් බලා සිටින්නාට පෙනෙන්නේ එය දරුවාට මහත් වෙහෙසක්ගෙන දෙන්නක් ලෙසය. එබැවින් දරුවාට යම් පිළියමක් කිරීමට අවශ්‍ය බව වැඩිහිටියන්ට සිතේ. ඔවුන් එවිට මෙම කෙම කරනු ලැබේ. මඳ වේලාවකින් ඉක්කාව සුව වේ. එසේ වූයේ මෙම නිසා යයි සිතති.


ඇසට යමක් වැටුණු විට හිටි තැනින් අඩි තුනක් පස්සට ගොස් පිට අල්ලෙන් ඇස පිස දැමීමෙන් ඇසේ කුණ ඉවත් වේ.


ඇසට වැටෙන සමහර කුඩා රොඩු කැබලි ඇසෙන් උණන කඳුළු නිසා ඉබේම ඉවත් වෙයි. ඇසට යමක් වැටුණු විට නිරන්තරයෙන් කෙවීමට පටන් ගැනීම ස්වභාවයයි. මෙම කිරීමෙන් පසු එය අමතක කර දැමිය හැකි ය. ඊට පිළියමක් කළ බැවිනි.


නින්දේදී කොට්ටයෙන් පෙරළිමෙන් ඇතිවන උළුක්කුව නිදාසිටි කොට්ටය අව්වේ දැමීමෙන් සුව වේ.


රාත්‍රී නිද්දී ඇතිවන උළුක්කුව නිදි උළුක්කුව නමින් හැඳින්වෙයි. මෙය ඇතිවන්නේ හිස බොහෝ වේලාවක් නුහුරට තිබීම නිසා ය. නැවත උදය කාලයේ හිස කෙළින් තබා ගෙන සිටීමෙන් වේදනාව නැති වී යයි. ඒ සඳහා කොට්ටය අව්වේ දැමීමෙන් වන සේවයක් නැතත් කොට්ටයේ අපිරිසිදු ගතිය හා විෂ බීජ යනාදියක් ඇතොත් ඒවා විනාශ වී යාමෙන් නම් සේවයක් සිදු වේ.


පළ නොදරන ගස්වලට කුණුහරුපයෙන් බැණ වදිමින් බූවල්ලෙන් තැලීමෙන් පල හට ගනී.


දඩුවම් දීමෙන් හා නින්දා කිරීමෙන් කෙනෙකු නිසි මගට ගැනීමට හැකිය යන විශ්වාසය අනුව මෙය ඇති වූ බව පෙනේ. කෙසේ වුවත් ගසක අතු කැඩීම, පොතු ගැසීම, අතුබර වන ලෙස යමක් එල්ලා තැබීම වැනි ක්‍රියා නිසා ගසේ ගෙඩි සෑදීම ඉක්මන් වන ස්වභාවයක් ඇති බව කෘෂි විද්‍යාවේ ද සඳහන් ය. ගස අකාලයේ මැරී යාමට එන බැවින් ඊට පළමු වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව නිසා ස්වභාව ධර්මයෙන් එවැනි ස්වභාවයක් නිර්මාණය වී ඇතැයි කියති. ගැමියන් පල නොදරන දොඩම් දෙහි වැනි ගස්වල ගෙඩි හට ගැනීම පමා වූ විට අතු බර වන සේ පොල් ලෙලි එල්ලන ආකාරය අදත් ගම්බද ප්‍රදේශවල දැකිය හැකි ය. මුලින් දැක් වූ කෙම ද එහිම විකාශනයක් විය හැකිය.


නිවුන් කෙනෙකු ලවා ඇද්ද වුවහොත් උලුක්කුව ඉක්මනින් සුව වේ.


මෙය ද කෙමක් මිස එම නිවුන් අයගේ වෙනත් බලයක් ප්‍රකට කරන්නක් නොවේ. නිවුන් තැනැත්තා තුළ දෙදෙනෙකුගේ බලයක් ඇතැයි යන විශ්වාසය නිසා මෙවැනි කෙමක් පහළ වී යයි සමහරු කියති.


උගුරේ කටුවක් හිරවුණු විට බිම වැටි පොළොවේ ඇනී තිබුණු පොල් කොළයක් හෝ පොල් අත්තක අග්ගිස්සක් ගලවා දැමු අවස්ථාවක් මතකයට නැගීමෙන් එම කටුව උගුරෙන් ඉවත් වේ.


ගැමියන් කියන්නේ බිම ඇනී ඇති පොල් අතු කැබැල්ල මහි කාන්තාවට ඉවසිය නොහැකි වේදනාවක් හා බරක් බව ය. එය ගලවා දැමීමෙන් මහී කාන්තාවට මහත් සහනයක් ඇති වන බව කියති. ඊට ප්‍රති උපකාරයක් වශයෙන් මහී කාන්තාව උගුරේ හිරවුණු කටුව ඉවත්කරන බව විශ්වාස කරති. වයඹ පළාතේ ජනයා මෙම විශ්වාසය තවත් පුළුල් ආකාරයට සලකමින් උගුරේ කටුවක් හිර වුණු විට පමණක් නොව ශරීරයේ කොතනක හෝ දැවිල්ලක් ඇති වූ විට මෙම කෙම කිරීමෙන් ගුණ ලැබෙන බව විශ්වාස කරති.


කිරි ඉතිර වීමෙන් සෞභාග්‍යය ලැබේ.


කිරි ඉතිරවීම දේව පූජාවක් ලෙස සලකනොත් එය අනුකරණ මන්ත්‍ර නමින් හැඳින්වෙන අභිචාර විදියක් ලෙස සැලකිය හැකි ය. කිරි සුහ වස්තුවකි. එසේම එය සුද්ධ වස්තුවක් ද වෙයි. මුට්ටියේ දමා උණු කරන ලද කිරි උතුරායාම ගෙදර සෞභාග්‍යයෙන් ඉතිරී යන ආකාරය පෙන්වන අනුකරණ පූජාවක් බව පෙනේ. කිරි උතුරවන විට විශේෂයෙන් පිළිපදින චාරිත්‍ර කීපයක් ඇත. කිරි උතුරවන ළිපට කටින් පිඹීම නුසුදුසු දෙයක් ලෙස සැලකේ. කිසියම් හේතුවක් නිසා කිරි උතුරා නොගියොත් එය මහත් අසුභ සිදුවීමක් ලෙස සලකනු ලැබේ. පැරණි කාලයේ කිරි සඳහා ගන්නේ එළ කිරිය. එහෙත් අද එම කිරිවල ඇති හිගය නිසා ගන්නේ පොල් කිරිය.


ඇණ ගැසීමෙන් දත් කැක්කුම සුව කළ හැකිය.


දත් කැක්කුම සෑදුණු විට ගැමියන් විශ්වාස කරන්නේ දත් පණුවන් කෑම නිසා එසේ වන බවයි. එම පණුවන් වඳ කිරීම සඳහා කරන කෙමක් වන්නේ ඇණ ගැසීමයි. අප දුටු එවැනි ඇණ ගැසීමක් මෙසේ ය. ඒ සඳහා මට්ටම් ලෑලි කැබැල්ලක් ගනු ලැබේ. අඟල් හයක් දිග පළල තිබුණාම සෑහේ. නිශ්චිත ප්‍රමාණයක් නැත.ඉන්පසු එම ලෑල්ලේ පස් මුල්ලක් සහිත කොටු සටහනක් අඳියි. එම මුලු පහේ නි, ක, දැ, මු,ස් යන අකුරු පහ ඇණයකින් ලියයි. ඉන් පසු එම යකඩ ඇණය ගෙන දත් කැක්කුම ඇති තැනැත්තාගේ කැක්කුම ඇති දතින් කෙළ ස්වල්පයක් ඇණේ තුඩට ගෙන එම තුඩ නි වල සිට පිළිවෙලින් ‘ස් දක්වා ශබ්ද නගා කියමින් අනිමින් යයි. ඒ ආකාරයට 108 වරක් මන්තරය කියමින් ඇණය අනිමින් ගොස් ආතුරයාගෙන් මෙසේ අසයි දත් කැක්කුම කොයි තරම් කාලයකට නවත්වන්න ඕනෑද?” එවිට ලෙඩා තමන්ට කැමැති අවුරුදු ගණනක් කියයි. අවුරුදු සියයක් වුවත් කිව හැකි ය. ලෙඩා අවුරුදු ගණන කියන විටම කටහඩ අල්ලා ඇණය පස් මුල්ලේ කොටු කැපීයන තැනක තබා මිටියකින් ගසා ඇණය නොගැලවෙන සේ ගිල්වනු ලැබේ. ඉන්පසු එම ලෑලි කැබැල්ල උඩක තබයි. මේ කෙම කිරීමෙන් පසු දත් කැක්කුම සුව වන බව කියති.