gossiplanka image 1
 

සොබාදහමට අනුව සිදුවන සමහර දේ සම්බන්ධයෙන් හේතු සාධක දැකිය නොහැකි තැන්වලදී ඒවා අද්භූත දේවලට සම්බන්ධ කිරීමට පැරැන්නෝ උත්සාහ ගත්හ. එවැනි සිදුවීම්වලින් අනාගතයට බලපාන යම් අනාවැකියක් ප්‍රකට වෙයි සීමට ඔවුහු පුරුදු වූහ. එවැනි විශ්වාස සමූහයක් මෙසේ ය.


1. චන්ද්‍ර ග්‍රහණ සහ සූර්ය ග්‍රහණ ඇතිවීම රටට අසුභ ය.


මෙම ක්‍රියා දෙක පැරැන්නන් හැඳින්වූයේ ඉර රාහු අල්ලනවා, සඳ රාහු අල්ලනවා යන නම්වලිනි. මෙතරම් බලගතු ඉරත් හඳත් මොහොතකට හෝ වසා දැමීමට නම් ඊට වඩා බලගතු තැනැත්තෙක් සිටිය යුතු යයි සිතා ඇත. මේ සඳහා පිළිතුරු ලැබුණේ පැරණි ඉන්දියානු බමුණු නැකත් කරුවන් ගෙනි. ඔවුන් කීවේ මෙබඳු කතාවකි. සුරාසුර යුද්ධයේ දී සාගරය මථනය කළ අවස්ථාවේ රාහු නම් අසුරයෙක් අමෘතයෙන් කොටසක් සොරකම් කළේ ය. විෂ්ණු ඔහුගේ සිරුර නසා ලීය. එහෙත් දිව්‍ය පානය බිවූ හෙයින් හේ අමරණීයත්වයට පත් විය. ඔහුගේ හිසන් වලිගයත් රාහු හා කොත්තු නමින් ස්වර්ගයෙහි සදා නොනැසී පවතී. ඔහුගේ හිස කොටස ග්‍රහයන් ගිල ගැනීමට තැත් කරන හෙයින් චන්ද්‍ර සූර්ය ග්‍රහණ ඇතිවේ.  මෙම කතාව විශ්වාස කළ අය ග්‍රහණ අසුභ දෙයක් ලෙස සැලකීම පුදුමයක් නොවේ. චන්ද්‍රයාගෙන් හා සූර්යාගෙන් ආලෝකය ලැබෙන්නේ මුළු රටට ම බැවින් මේ සිදුවීම නිසා මුළු රටට ම අසුභ බව කියති. පෘථිවියේ සෙවණැල්ල හඳ මත පතිත වීම චන්ද්‍රග්‍රහණය ලෙසත් පෘථිවියන් සූර්යයාත් අතරට චන්ද්‍රයා පැමිණීම නිසා සූර්ය ග්‍රහණ ඇතිවන බවත් නූතන විද්‍යාඥයන් පෙන්වා දී ඇතත් ගැමියන්ට අද වුවත් මෙය තේරුම් ගැනීම අපහසු වී ඇත.


2. තල මල පිපීම අසුභය.


තල මල පිපීම කලාතුරකින් දකින්ට අසන්ට ලැබෙන දෙයකි. එසේ ම අවුරුදු බොහෝ ගණනක් ජීවත් වූ තල ගස මල පිපීමෙන් පසු මැරී යයි. තල මල කෙනෙකු මෝහනය වන තරමට අලංකාර ය.  මෙම කරුණු නිසා තල මලේ අභිවාරී බලයක් ඇතැයි පෙර පටන් විශ්වාසයක් පවතී. ඇසට අතිශය අලංකාර දර්ශනය, කනට ඉමිහිරි ශබ්දය, නාසයට දැනෙන මිහිරි සුවඳ යන පංචේන්ද්‍රියන්ට ඉහළ ම රසයක් දැනෙන සියලු දේ දෙස මිනිසා බැලුවේ ඒවායේ කිසියම් ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. ඉතාම මිහිරි සුවඳක් නිකුත් කරන වැටකෙයියා මල ගැන ගැමියන් කියන්නේ එම මල් සුවඳට අමනුෂ්‍යයන් එන බවයි. කන පිනවන බට නලා හඩ ඇසුණු විට ඔවුන් කියන්නේ එම හඩට මෝහිනිය පැමිණෙන බව ය. මිහිරි රසවත් දෙයින් මිනිසා මෝහනය වෙතැයි සිතූ ඔවුහු ඒවායේ අසුභ පැන්ත ම දුටහ. තල මල ද අසුභ ගණයට වැටුනේ එහි ඇති අලංකාරය නිසා යයි සිතිය හැකි ය. නල මලේ අලංකාරය ගැන කියන ජන කවියා එය දක්වන්නේ මෙබඳු වචනවලිනි.


දිවිය ලෝක දහසයේම බැලූවන් මෙහෙම රුවක් නැති වෙන   අන්දම්

සිංදුව කීවට වස් නැත දෙවියනි නල මල සුළඟට යන             අන්දම්


තවත් අතකින් බැලුවොත් තල ගස මිනිසාට මහත් සේ ප්‍රයෝජනවත් ගසක් වෙයි. සද්ධමය ලියා ඇත්තේ තල් කොළවල ය .මිනිසාගේ දෛවය ලියා ඇති ජන්ම පත්‍රය ලියන්නේ තල් කොළයේ ය. එවැනි දේ මිනිසාගේ බුද්ධියටත් දෙවයටත් බලපායි. එබැවින් තල ගස විනාශ වීම අසුභ යයි සිතීමට හැකි බව පෙනේ.


3. කීඩාරම් මල පිපීම අසුභ ය.


කීඩාරම්මල පිපීම පුදුම සහගත සිද්ධියකි. ගස මැරීගොස් කාලයක් ගත වී ඒ වගක් අමතක වී ගියාට පසු හදිසියේ දවසක  පොළොව පලාගෙන මේ මල ඉහළට එයි. එය සාමාන්‍ය මලකට වඩා විශාල ය. මෙම මල ඉක්මනින් පරවි යන අතර දුර්ගන්ධයක් ද පතුරුවයි. හදිසියේ පිපි ඉක්මනින් විනාශ වී යන මේ මල සමහර තරුණියන් සඳහා උපමා වශයෙන් ද ගනිති. කෙසේ වුවත් මෙම මලේ ඇති විශේෂතා නිසා එහි ගුප්ත බලයක් ඇතැයි සිතා එය පිපීම අසුභයයි තීරණය කළ බව පෙනේ.


4. ගමනක් යන විට මගදී මුලිච්චි වන(හමුවන) දෙය හෝ තැනැත්තා එම ගමනේ සාර්ථක භාවයට හෝ අසාර්ථක භාවයට බලපායි.


ගමනක් යන විට අසුභ දෙයක් හෝ අසුභ කෙනෙක් හමු වූ විට සමහරු ගමන නොගොස් ආපසු එති. සමහරු වැදගත් ගමනක් යන විට සුභ දෙයක් හෝ කෙනෙක් ඉදිරියට ළඟා කර ගනිති. ගමනක් යන විට වතුර කළගෙඩියක් ගෙන එන තරුණියක හමු වීම ඉතා සුභ දෙයක් ලෙස සලකති. සැලළිහිණි සන්දේශය කියන්නේ සුහ වස්තු රාශියක් පෙර මග දැකීමට සුදුසු බවකි.  මඳ සුළඟ, පිරුණු කළ ගෙඩි, ඉදුණු අඹ ගෙඩි, පිපුණු සුදු නෙළුම්,  ප්‍රියමනාප වචන ඇති කාන්තාවන්, රන් කෙන්ඩි, සුදු චාමර, සුදු කුඩ, තරුණ ඇතුන් යන දේ දැකීම සුදුසු වස්තු ලෙස ගැනේ. හිස් භාජන, මළමිනි, වැරහැලි ඇඳගත් අය, ලෙඩුන්, කබරයන්, ඇස්වහ ඇති අය, අසුහ වස්තු ලෙස සැලකේ.


 5. ගමනක් යන විට ඉස්සරහට හාමුදුරුනමක් හමු වීම අසුභ ය.


සංඝ රත්නය යනුවෙන් බෞද්ධයන් ගෞරවයෙන් සලකන භික්ෂුනමක් සුහ වස්තුවක් ව පවතිද්දී මෙවැනි අසුහ විශ්වාසයක් ඇති වීමට හේතු සෙවිය යුතු ය. හිස මුඩු කළ හෙවත් කෙස් කැපූ ඇත්තන් අනුව පුද්ගලයන් ලෙස සැලකීමට අතීතයේ මෙහි මිනිසුන් පුරුදු වී සිටි බව පෙනේ. පැරණි පිරිමින් කොණ්ඩා සහ රැවුල් වැවීමට පුරුදු වී සිටි බවට සාධක ලැබේ. බටහිර ජාතීන් මෙහි පැමිණීමෙන් පසු මේ රටේ සමහර පිරිමින් ද කොණ්ඩා හා රැවුල් කැපීමට පටන් ගත් බව පෙනේ. එසේ මුලින් කොණ්ඩා කපා ගත් අයට අනික් අය කීවේ මුඩුමයා වලවෙට්ටුවා වැනි උපහාස නම් ය. එකල මුලින් ම කොණ්ඩා කැපීමට සිදු වූයේ හිරේ වැටුණු අයට ය. මේ අනුව කොණ්ඩා කැපූ අය අවාසනාවන්ත අය ලෙස ගණන් ගත් බව කිව හැකිය. මේ යෙදුම හාමුදුරුවන්ටත් යෙදීමට සමහරු උත්සාහ ගෙන ඇත. ඊට අනුබල දෙන්නට ඇත්තේ බෞද්ධ නොවුණු අන්‍යාගමිකයන් විය හැකි ය. කෙසේ වුවත් මෙම විශ්වාසය දිවයින පුරා පැතිර ඇති බව පෙනේ .


6. රාහු කාලය නමින් හැඳින්වෙන කාලයේ ආරම්භ කරන වැඩ හා යෙදෙන ගමන් බිමන් අසාර්ථක වෙයි.


ඉර හා හඳ වසා ගන්නා අසුරයා රාහු බව මුලින් කීවෙමු. රාහු දෙවියන්ගේ හතුරා ය. එබැවින් රාහු මිනිසුන්ට අපල කරන්නෙකි. රාහු බලවත්ව සිටින කාලය රාහු කාලයයි. එම කාලය අසුබ කාලයක් ලෙස සැලකෙන්නේ එබැවිනි. මෙම විශ්වාසය වර්තමානයේ

කොයි තරම් ව්‍යාප්ත වී ඇත්දැයි කීවොත් සමහර පෞද්ගලික ගුවන් විදුලි හා රූපවාහිණි සේවා මගින් පවා දිනපතා රාහු කාලය මේ යයි. මිනිසුන්ට කියාදෙයි. එසේ කරන්නේ එහි විද්‍යාත්මක පදනමක් ඇතැයි සලකාගෙන නොව නැකත් විශ්වාස කරන අයගේ සිත් දිනාගෙන ඔවුන්ගේ සේවාවන් ජනප්‍රිය බව පෙන්වීමට ය. රජය මගින් 1997 වර්ෂය සඳහා නිකුත් කර ඇති ආයුර්වේද දින පොතේ පවා මෙම රාහු කාලය පෙන්වා දී ඇත. ඒ මෙසේ ය.


 ඉරිදා පෙ.ව. 4.30 පටන් 6 වන තුරු ද, සඳුදා පෙ.ව. 7.30 පටන් 9.00 වන තුරු ද, අඟහරුවාදා 3.00 පටන් 4.30 වන තුරු ද, බදාදා 12 පටන් 1.30 වන තුරුද, බ්‍රහස්පතින්දා 1.30 පටන් 3.00 වන තුරු ද, සිකුරාදා 10.30 පටන් 12.00 වන තුරුද, සෙනසුරාදා 9.00 පටන් 10.30 වන තුරු ද, රාත්‍රී හා දිවා කාල දෙකේ ම රාහු කාලය බව එහි දක්වා ඇත. මෙම කාල සටහන දෙස බලන විට වැඩකටයුතු අධික නූතන යුගයේ ජීවත් වන මිනිසුන්ට මෙම කාලවලදී තමන්ගේ වැඩ කටයුතුවලින් නිදහස් වී සිටීමට කෙසේවත් නො හැකි බව පෙනේ.


7. සිහිනවල සුභ අසුභ පල ඇත.


සිහින පෙනීම මිනිස් වර්ගයාට ම පොදු ලක්ෂණයකි. ඒ අනුව සිහින සම්බන්ධයෙන් ලෝකයේ සෑම රටකම මිනිසුන් අතර විවිධ විශ්වාස පවතී. ඒවා සියල්ල අධිවිශ්වාස ගණයට අයත් ය. සිග්මන් ප්‍රොයිඩ් වැනි මනෝවිද්‍යාඥයන් සිහින විග්‍රහ කර ඒවා තේරුමක් නැති මනෝ විකාර ලෙස පැහැදිලිව පෙන්වා දී ඇතත් තවමත් මිනිසුන් තුළ සිහිනවල යම් යම් අනාගත පෙර නිමිති ඇතැයි යන විශ්වාසයේ තදින් එල්බ ගෙන සිටින බව පෙනේ. සිහින සම්බන්ධයෙන් මිනිසුන් තුළ පවතින පොදු විශ්වාස කීපයක් ඇත.සිහිනෙන් දකින දේ වඩා ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ඉන් ලැබේ යයි විශ්වාසයක් බොහෝ දෙනා අතර පවතී. උදාහරණ ලෙස හීනෙන් මරණයක් දුටුවොත් ප්‍රතිඵලය නුදුරු දිනක මගුලකට සහභාගි වීමකි. මඟුලක් දුටුවොත් මරණයක පෙර නිමිත්තකි. හීනෙන් අසූචි දුටුවොත් ධන ලාභයකි. පණුවන් දැකීම ලාභයකි.


ගැබිණියන් දකින සිහිනවලින් ලැබීමට සිටින දරුවාගේ වගතුග එළි වන බව මුලින් දැක්වීමු. දරුවා ද නින්දේදී සිහින දකින බව පෙනේ. දරුවා සිහිනෙන් අඩයි විටෙක සිනාසෙයි. එබඳු අවස්ථාවල මවුන් කියන කතාවක් මෙසේ ය. දරුවා නිදන විට දේවතාවෙකු අවුත් මව මිය ගියේ යයි දරුවාට කියයි. එවිට දරුවා බොරු කියන්න එපා. දැන් මම අම්මාගෙන් කිරි බිව්වා කියා සිනාසෙයි. එවිට දේවතාවා දරුවාගේ පියා මිය ගිය බව කියයි. එවිට දරුවා අඩයිලු. දරුවා හිනෙන් සිනාසෙන්නේන් පසුව  අඬනේත් එම ආකාරයට බව කියයි.


8 නපුරු සිහිනයක් දුටු විට එයින් වන නපුරෙන් ගැලවීම සඳහා සිහිනය ගැන කිසිවකුට නොකියා උදේ කිරි ගසක් ළගට ගොස් ඊට කිව යුතු ය.


සිහින වූ කලි අමනුෂ්‍ය බලවේගයක් අනුව පෙනෙන දෙයක් බව විශ්වාස කරන පුද්ගලයන් දුටු හීනෙන් වන නපුර වළක්වා  ගැනීම සඳහා යොදාගත් උපක්‍රමය මෙයයි. හීනය කාටවත් නොකියා සිටීම කොයි අතිනුත් සුදුසු බව මින් පෙනේ. හීනයෙන් පෙනුණු දෙය කිසිවෙකුට කීවොත් එම තැනැත්තා හීනය නිසා ඇති විය හැකි භයානක ප්‍රතිඵල දෙගුණ තෙගුණ කර හීනය දුටු තැනැත්තාට කියා බිය ගැන්විය හැකි ය. එම කතා අසා මානසික වශයෙන් අසහනයට පත්වන එම තැනැත්තාට නැති කරදර හා ලෙඩ වැළඳිය හැකි ය.


මෙයින් වන තවත් හොඳක් ඇත. කෙනෙකුට සිතේ ඇති දෙයක් එසේ සඟවා ගෙන සිටීමට නොහැකි ය. එය කාට හෝ කිමට ඔහු කැමති ය. කිරි ගසක් හෙවත් කොස් ගසක් ළඟට ගොස් තමන් දුටු හීන ඊට කීමෙන් එම තැනැත්තාගේ සිත නිදහස් වෙයි. මිනිසුන්ට වදින වස් දොස් අපල උපද්‍රව උරා ගැනීමේ බලයක් කිරි ගසට ඇතැයි විශ්වාසයක් පෙර පටන් පවතී. අලූතින් අවුරුද්දට වැඩ අල්ලන්නේ කොස් ගසේ අත්තක් කැපීමෙනි. මල්වර වූ දැරිය දිය නෑමෙන් පසු මුලින් ම බලන්නේ කොස් ගසක් දෙසය. සමහර ප්‍රදේශයක දැරිය ලවා කොස් අත්තක් කපවයි. අලුතින් නිර්මාණය කළ බුදු පිළිමයට නෙත් තැබූ ශිල්පියා මුලින් ම බලන්නේ කොස් ගසක් දෙස ය.



9. ඇගේ මාංශ පේශි නැටීම හෙවත් කම්පනනයට පත්වන ආකාරය අනුව අනාගත සුභ අසුභ අනාවැකි ප්‍රකාශ වෙයි.


ශරීරයේ යම්කිසි ස්ථාන සියුම් ලෙස චලනය වීම ස්වාභාවික දෙයකි. මෙහට පැහැදිලි හේතුවක් නැත. ඒ අනුව පැරැන්නන් මෙම චලනය වීම්වල අනාගන පෙරනිමිති සැඟ වී ඇතැයි සිතු බව පෙනේ. චලනය වන ස්ථාන අනුව මෙම පෙර නිමිති ප්‍රකාශ කෙරෙයි. ඇස නටන්නේ අඩන්නට ය.යනු ඉතා ප්‍රචලිත විශ්වාසයකි. පැරණි ග්‍රන්ථවල තවත් අස විස්තර එයි. ඒවායේ දක්වන පරිදි චලනය වන ස්ථාන හා ඒවායේ ප්‍රතිඵල මෙසේ ය. - හිස - භූමි ලාභ, හක්ක - විපත්, ඇහි බැම - ප්‍රිය සම්භෝග , කන - ප්‍රියවචන, ඇස - වස්තු ලාභ, බෙල්ල- ජයලාභ, නාසය - පුෂ්ප ලාහ, උඩුතොල - මිත්‍ර ලාභ, යටිතොල-විපත්ති, කම්මුල - හිතවතුන්ට හානි, නිකට - රස ආහාර, උරහිස - රෝග භය, බාහුව - භාර්යා ලාහ, අත ධන ලාභ, පිටි පතුල - දබර, පපුව- දියුණුව, තනය - ස්ත්‍රී ස්පර්ෂ, පෙකනිය - වෙන් වීම, උකුල - ස්ත්‍රී ආලිංගන, රහසඟ - ධන ලාභ, කට - ලාභ, වළලූකර- රුජා, මැණික් කටුව - ලාභ,  පිට - පරාජය, ඇලය - ප්‍රීතිය, බඩ - රෝග තුනටිය - පුත්‍ර ලාහ, කලව- සුව, දණහිස- ඇවිදීම, තට්ටම - විවිධ දෝස


10. නාසය දැවීමක් හෝ කිඹුහුමක් ඇති වන්නේ ඈතක සිටින කෙනෙකු  මතක් කරන නිසා ය.


හෙම්බිරිස්සාව නැති කෙනෙකුට කලාතුරකින් නාසයේ දැවිල්ලක් හෝ කිඹුහුමක් යා හැකි ය. එම තත්ත්වය ස්වල්ප වේලාවකින් නැති වී යයි, නාසයේ මෙබඳු වේදනාවක් ඇති වන්නේ කෙනෙකු මතක් කිරීමේ බලය නාසයට වැදීමෙන් යයි සිතා ඇත. කිඹුහුම සම්බන්ධයෙන් පවතින තවත් විශ්වාසයක් නම් යම් වැඩක් ආරම්භ කරන විට හෝ ගමනක් පිටත්වන විට අසල සිටින කෙනෙකු කිඹුහුමක් ඇරියොත් ඉන් කියැවෙන්නේ එම වැඩය හෝ ගමන අසාර්ථක වන බවය.


11. කැමත්තෙනවිට උගුරේ හිරවුම්හාකන තැනැත්තාගේ හිතවතෙකු බඩගින්නේ සිටින බව ඉන් කියැවේ.


මවුපිය දූ දරු හා සහෝදර සහෝදරියන් මෙබඳු බලයකට අසුවන බව කියති. මව ආහාර ගන්නා අතරේ තම දරුවන් ඈතක සිටින්නේ නම් මවට කෑම හිරවුවොත් පුතා බඩගින්නේන්ද දන්නේ නෑ යයි කියයි. කෙනෙකුට ඇතිවන බඩගින්න අනික් වේදානාවන්ට වඩා බලගතු බවක් මින් කියැවේ.  පැරැන්නෝ ආහාර ගන්නා වේලාව ඉතා වැදගත් අවස්ථාවක් හැටියට සැලකූහ. ආහාර ගනිමින් සිටින සතෙකුට පවා හිරිහැර නොකිරීමට ඔවූහු වග බලා ගත්හ. මහින්දාගමන කතාවේ එන මුවා තණ කමින් සිටිනු දුටු දෙවනපෑතිස් රජු ඌට නොවිද කෑම අවසන් වන තුරු සිටි බව වංශ කතාවල සඳහන් ය.


12. පහන් නිවූ පසු ගෙයි කලාමැදිරියන් වැඩිපුර ගැවසෙන්නේ නම්  ගෙට සොරුන් ඒ මේ පෙර නිමිත්තකි.


පෙර කාලයේ ගෙවලට සොරුන් ආවේ රාත්‍රී කාලයේ නිවැසියන් නිදා ගත් පසුව ය. එසේ පැමිණෙන හොරු ගෙයි  බිත්තියක් බිඳ ගෙතුළට පැමිණ බඩු ගෙන යති. මේ බව කල් ඇතිව දැනගැනීමට ක්‍රමයක් නිවැසියන්ට තිබුනේ නම් එයින් බේරීමට ඉඩ තිබිණි. ඒ අනුව ඇති කර ගත් එක් විශ්වාසයක් හැටියට මෙය දැක්විය හැකිය. සමහරුන් කියන්නේ එම කලාමැදිරියන් ජීවම් කර එවා ඇත්තේ සොරුන් විසින් බව ය. එසේ එන කලාමැදිරියන්ගේ එළිය සොරුන් ප්‍රයෝජනයට ගෙන අඳුරු ගෙයි බඩු ඇති තැන් සොයා ගන්නා බව කියති. සමහර ගොවියන්ගේ තවත් මතයක් මෙසේ ය. තමන්ගේ ගෙයි වැඩිපුර කලාමැදිරියන් ගැවසේ නම් තමාට අයත් හේනට හෝ කොටුවට හොරුන් පැමිණ ඇතැයි ඔවුහු සිතති. ගෙදර එසේ කලාමැදිරියන් ගැවසෙන විට ගොවියා හේනට හෝ කොටුවට ගොස් පරික්ෂා කිරීමට පෙළඹෙයි.


13. අතේ අල කසන්නේ ධනයක් ලැබීමට ය.


අල්ල කැසීමේ ප්‍රතිඵල දෙයාකාරයකට පෙන්නුම් කරති. ඒ අනුව දකුණු අල්ල කසන්නේ මුදල් ලැබෙන්ට ය. වම් අල්ල කසන්නේ වියදමක් ඇති වීමට ය. මෙවැනි විශ්වාසයක් ඇතිවීමට හේතුව මිනිසාගේ අත්ල ඔහුගේ දෙවය රේඛාවලින් සටහන් කර ඇති තැනක් ලෙස සැලකීමයි. වම සහ දකුණු අත්වල සටහන් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ගෙන දෙන බව ද විශ්වාස කරති. ශාස්තර කීම සඳහා පිරිමින්ගේ යොදා ගන්නේ දකුණු අත ය. ඒ සඳහා ගැහැනුන්ගේ යොදා ගන්නේ වම් අත ය.


14. දළදාව එළියට වැඩම කිරීමෙන් වැස්ස ලැබේ.


දළදාවේ ප්‍රාතිහාර්ය ගැන විවිධ පුරාවෘත ප්‍රචලිත ය. පඩිරට කුලක්ඛර නම් මිථ්‍යාදෘෂ්ටික රජ දළදාව කිණිහිරයක් උඩ තබා බැලූ විට දළදාවට කිසිම හානියක් නොවී කිණිහිරය තුළට ගිලා බැස්සේ ය. දඹදෙණිය.. පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව. 1250 - 1285) සත්‍ය ක්‍රියා කොට දළදාව අතට ගත් විට එය අහෝසට පැන නැගී බුදුන්වහන්සේගේ රූපකාය ප්‍රදර්ශනය කළේය. මේ ආකාරයට ප්‍රචාරය වි ගිය විශ්වාසයක් වූයේ දළදාව සෙවූ විට වැස්ස ලැබේ ය යන්නය. ලක්දිව ඉංග්‍රීසි ජාතිකයන් යටත් කරගත් සමයේ මෙබඳු අදහස් පැතිර ගිය බව වාර්තා වෙයි. කෘෂිකාර්මික රටකට වැස්ස තරම් අනගි වස්තුවක් තවත් නැත. එ බැවින් මෙරට වැසියන් වැස්ස ලබාගැනීමේ විවිධ කෙම් පහන් යාතුකර්ම ආදියට පෙළඹීම අනිවාර්යයෙන් සිදුවෙයි. පරම පූජනීය දළදාවෙන් ද එවැනි දෙයක් බලාපොරොත්තුවීම පුදුමයක් නොවේ. දළදාව එළියට වැඩමවනේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඇසළ පෙරහැර අවස්ථාවේදී ය. අගෝස්තු මාසයේ වියළි කාලගුණයක් පැවැතුනත් සමහර කාලවල හදිසි වැසි ඇතිවීම ස්වභාවික ය. මෙම අකල් වැසි සහ ඇසල පෙරහැර අතර  සම්බන්ධයක් ඇතැයි යන අදහස අනුව මෙවැනි විශ්වාසයක් ඇති වී ඇති බව පෙනේ.


15 දකුණට කරකැවුණු දක්ෂිණාවෘත හක්ගෙඩිය වාසනාව ගෙනෙයි.


මෙය පැරණි විශ්වාසයක් වුවත් වර්තමානයේ පවා මෙබඳු හක්ගෙඩි විකිණීමට ඇතැයි දැක්වෙන් පතර දැන්වීම් දක්නට ලැබේ. මෙයින් පෙනෙන්නේ මෙම විශ්වාසය අද වුවත් මිනිස්සු පිළිගන්නා බවයි.


දකුණට කැරකැවුනු හක්ගෙඩි දුර්ලභ ය. එය ද මෙවැනි විශ්වාසයක් ඇති වීමට හේතුවක් ලෙස සැලකිය හැකි ය. මෙම විශ්වාසය පැරණි ඉන්දියාවේ පැවති බවට සාධක ඇත. එකල එහි රජුන්ගේ රාජකකුධ භාණ්ඩ අතර දක්ෂිණාවෘත ශංඛය ද තිබුණු බව සඳහන් ය. ක්‍රි. පූ. 3 වන සියවසේ ඉන්දියාවේ රජ කළ අශෝක අධිරාජයා එකල ලක්දිව පාලකයා වූ දෙවනපෑතිස් රජුට එවූ අභිෂේක වස්තු අතර දකුණට කරකැවුණු හක්ගෙඩියක් ද තිබුණු බව සඳහන් ය. මෙයින් පසු ලක්දිව සෑම රජෙකුම තම අභිෂේකයන් සඳහා දක්ෂිණාවෘත ශංඛයක් ගත් බව කියනු ලැබේ.


16. ඌරුමස්, මොදමාළු, මෝරමාළුමගුරුමාළු අළු පුහුල් අළුකෙහෙල් යන කෑම වර්ග කිලි සහිත ආහාර වෙයි.


කිලි සහිත ආහාර ගණයට ඇතුළත් කර ඇති මෙම ආහාර මස්, මාළු, එළවලු යන වර්ග තුනට ම අයත් බව පෙනේ. මෙම ආහාරවල දක්නට ඇති පොදු ලක්ෂණය වන්නේ ඒවා මෘදු හා ජලය සහිත විම ය. මෙම ආහාරවලින් ඌරුමස් හා පුහුල් යන දෙක නම් මන්ත්‍ර ගුරුකම්වලට සම්බන්ධ බව පෙනේ. කෙසේ වුවත් මන්ත්‍ර ගුරුකම් කරවා ගත් ඇත්තන් මෙවැනි ආහාර ගැනීමෙන් වැළකී සිටින්නේ ඒවායේ ඇති බලයක් නිසා මන්ත්‍ර බලය බිඳී යයි සිතන බැවිනි.


ජීවම්කළ යන්ත්‍ර ඇතුළත් සුර පැළඳ සිටින කෙනෙකු එවැනි අහාර ගත් විට හෝ තමන්ගේ ගෙදරට ගෙනා විට පැළඳ සිටින සුරය පැලී ගිය බව කියන කතා සමහර විට අසන්ට ලැබේ. ජීවම් කළ යන්ත්‍ර පැළඳ වෙඩි නොවැදී සිටි අය නොදැනුවත්ව ඌරුමස් වැනි කිළි ආහාර ගෙන මන්ත්‍ර බලය බිඳී පසුව වෙඩි වැදී මිය ගිය අවස්ථා පිළිබඳ එක් පුරාවෘතයක්  සරදියෙල්ගේ චරිතය ආශ්‍රයෙන් ගොඩ නැගී ඇත.


17. එක් ස්ථානයකට අකුණක් වැදුනොත් එම ස්ථානයට පසු  අවස්ථාවල හෙන හතක් වදී.


අකුණක් හෙවත් හෙනයක් වැදුණු තැනට යම්කිසි අධි බලයක් කා වදින බවත් එම හේතුව නිසා නැවත නැවත අකුණු වැදිය හැකි බවත් මෙයින් ප්‍රකාශ වෙයි. ගෙයක් ගැනීම වැනි කටයුත්තකදී එවැනි තැනක් තෝරා නොගැනීමට වගබලා ගන්නේ එබැවිනි. අකුණු යනු දෙවියන් විසින් ලෝස්, ලාවට දමා ගසන ආයුධයක් ය, යන අදහස ගැමියන් තුළ පවතී. අකුණ වැදුණු තැන බිම හාරාගෙන යකඩයක් හෙවත් එම ආයුධය ගලා බසින බව ඔවුහු සිතති. කෙසේ වුවත් අකුණත් යකඩත් අතර සම්බන්ධයක් ඇතැයි අත්දැකීමෙන් ඔවුන් දැන සිට ඇත. අකුණු ගසන වේලාවට යකඩ ආයුධවලින් එනම් පොරෝ උදළු කැති ආදියෙන් වැඩ  කිරීමත් ඉඳිකටුවලින් රෙදි මැසීමත් නොකළ යුතු බව පැරණි වැඩිහිටියෝ පවසති. අකුණු ගසන වේලාවට ගෙයි ඇති යකඩයක් මිදුලට විසි කිරීම ද ගැමියන් කරන දෙයකි.


අකුණක් වැදීමේදී සාධක ඇති තැනකට නිතර අකුණු වැදිය හැකිබව නවීන විද්‍යාවෙන් ද පිළිගනියි. උස ගස් ඇති තැන්, කඳු මුදුන්, පිට්ටනි, වෙල් එළි යනාදී තැන්වලට අකුණු නිතර වැදීමේ ප්‍රවණතාවක් ඇති බව සොයාගෙන ඇත. ගැමියන් ද එබඳු තැන් නිරීක්ෂණය කර මුලින් දැක් වූ විශ්වාසය ගොඩනගා ගත් බව කිව හැකි ය. අපරාධ කරන අයට හෙන හතක් වදියි කියා බණින්නේ ද මෙය මුල් කරගෙන ය