gossiplanka image 1
 


සමහර පුද්ගලයන් තුළ ඇස්වහ, කටවහ, හෝ වහ යන වස වර්ග ඇත.


මෙහි එන වස හෙවත් වහ ඇසට නොපෙනෙන බලවේගයක් ලෙස සලකයි. සමහර කෙනෙකුගේ ඇසින් කටින් හා හදින් විස නිකුත් වන බව මින් අදහස් කෙරේ. ඇස්වහ යනු යම් දෙයක් දෙස බලන තැනැත්තා තුළ ඇතිවන නපුරු අදහසයි. ඔහු එය කෙනෙකුට ප්‍රකාශ නොකළත් සිතින් එම දුටු දෙය කෙරෙහි ඊර්ෂ්‍යා කර එය විනාශ වී යාමට පතයි. එම පැතීම තුළින් ඇතිවන නපුර දර්ශනය වූ දෙයට බල පා එය විනාශ වීමට මඟ පෑදෙනියි කියති. කටවහ ද මීට සමාන ය. දුටු දෙය ගැන කටින් යමක් ප්‍රකාශ කළ විට ඊට හාත්පසින් විරුද්ධ දෙයක් සිදුවීම මෙහි දී සිදුවෙයි විශ්වාස කරති. හොඳින් ගෙඩි පලදාව ඇති ගසක් දෙස බලා මේ ගහේ ගෙඩි නම් හොඳට හැදිලා තියනවා යයි කටවහ ඇති අයෙකු කීවොත් මඳ වේලාවකින් එම ගෙඩි අකාලයේ වැටෙන්ට පටන් ගනී. එන්නේ නැත්නම් ගසේ අතු කඩා වැටී ගෙඩි විනාශ වී යයි.


කටවහ කාරයා යමකට හොඳයි කීවොත් ඉන් සිදුවන්නේ නරකක්.


සමහර සිදුවීම් දෙස බලන විට ඇස්වහ කාරයා යම් විචාරාත්මක බුද්ධියක් ඇති තැනැත්තෙකු ලෙස ද පෙනී යන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු ගෙඩිවලින් බර වූ ගසක අත්තක් දැක එම ගස අයිතිකාරයා අමතා මේ අන්නට බර වැඩියි ඉක්මනින් බල කරුවක් තැබුවොත් හොඳයි යනුවෙන් කීවා යයි සිතමු. ඔහු එසේ කීවේ ඔහු ලැබූ අත්දැකීමක් ආශ්‍රයෙනි. ගෙඩි බර වූ අත්ත කඩා වැටීමට ඉඩ ඇති බව ඔහු දනී. මේ ප්‍රකාශය කර ඔහු එතැනින් ගොස් මඳ වේලාවකදී එම අත්ත කඩා වැටී එහි  ගෙඩි විනාශ වූවොත් ගස අයිතිකාරයා කියන්නේ ප්‍රකාශය කළ තැනැත්තාගේ කටවහ නිසා එම අන්ත කඩා වැටුණ බවයි. හෝවහ යනු යමක් දෙස බලා එහි ඇති සම්පත තමන්ට නැතැයි සිතින් සිතා සුසුම් හෙළිම ය. එම සුසුම් විෂ වායුවක් ලෙස වාතයට එක් වී ඔහු දුටු සම්පත් විනාශයට පත් වීමට ඉඩ ඇතැයි කියති. ඇස්වහ කටවහ දොස් වැදුණු තැනැත්තන් ඉන් මුදවා ගැනීමට ද ප්‍රතිකර්ම පැරණි ඇත්තන් සොයාගෙන තිබිණි. එයින් කීපයක් මෙසේ ය. උදේ කපුටන් ඇඩලීමට පෙර ළිඳෙන් වතුර කළගෙඩියක් ගන්න. ඊට අබ හා වී මිට බැගින් ද ලුණු කැට හා කපු ඇට 7 බැගින් ද දමා දෙහි අත්තක් ගෙන සබ්බ පාපස්ස අකරණන් යන ගාථාවෙන් එක් දහස් අට වාරයක් පිරිත් කර ඇස්වහ කටවහ කැබැල්ලක ඔතා ඇස්වහ වැදී ඇති දරුවාගේ හිසවටා තුන් වරක් කරකවන්න. පසුව ගැහැණු පොල්කටු හනක දමා ගත් අඟුරු මතට ඉහත මිශ්‍රණය කෙළ ගසමින් දමන්න. මිශ්‍රණය පුපුරු ගසා පිළිස්සීමෙන් කටවහ දුරු වේ."වාහන නිතර ලෙඩ දෙන විට ඊට ඇස්වහ කටවහ දෝස වැදී ඇතැයි රියැදුරෝ විශ්වාස කරති. එම ඇස්වහ දෝස දුරුකිරීමට ඔවුන් වාහනයේ ඉදිරිපස බපරයේ දෙහි ගෙඩි හා වේළුණු මිරිස් කරල් නූලක අමුණා එල්ලති. මෙය ඉන්දියාවේ වාහනකරුවන් ද කරන බව එහි ගිය අයට දැකිය හැකි විය.ඉතා ඉක්මනින් ඇස්වහ වදින දෙයක් නම් පුහුල් ය. වැලේ හැදීගෙන එන පුහුල් ගෙඩියට ඇඟිල්ල දික් කර පෙන්නුවොත් පුහුල නරක් වී වැටෙතියි විශ්වාසයක් පවතී. මෙය ඇත්තෙන් ම ඇස්වහ නිසා සිදුවන්නක් ද එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා මෙසේ පුහුල් නරක් වී වැටේ දැයි කිව නොහැකි ය.  දේශගුණික හේතු නිසා ඉක්මනින් පුහුල් නරක් වෙයි. වර්ෂාව එක් හේතුවකි.