gossiplanka image 1
 


හිකනලා


කැලෑ බද පෙදෙස්වල ජීවත් වන ප්‍රමාණයෙන් කටුස්සාගේ ප්‍රමාණයට ඇති එහෙත් අහිංසක ලක්ෂණ පෙන්වන සතෙකු වශයෙන් හිකනලා හැඳින්විය හැකිය. හිකනලා ලක්දිව සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙයි. උගේ අහිංසකකම නිසා ම ඇති වූ විශ්වාසයක් ඇත. එනම් හිකනලා කෑවොත් බේත් නැත. යන්නය. මෙයින් අදහස් වන්නේ හිකනලාගෙන් මිනිසාට හිරිහැරයක් නැති බව ය. එසේම ඌ පහත් කුලයකට අයත් සතෙකු ලෙස ද සැලකේ.  සමහරුන් විශ්වාස කරන පරිදි වලිග දෙකේ හිකනලුන් වර්ගයක් ඇත. එම හිකනලුන් ළඟ සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් බැගින් ඇති බව කියති. හිකනලා මෙම මැණික රකින් කිසිවකුට ඇස ගැසීමටවත් නොදී ය. මෙම මැණික ලබා ගත හැකි ක්‍රමයක් ගැන විස්තර ප්‍රකට වී ඇත. එම ක්‍රමය මෙසේ ය.


මේ සඳහා තරමක් ලොකු මුට්ටි දෙකක් අවශ්‍ය වෙයි. ඉන්  එකකට කිරි දැමිය යුතු ය. අනික් මුට්ටිය පතුළේ හිකනලාට රිංගීමට නොහැකි තරමේ සිදුරක් තැනිය යුතු ය. ඉන් පසු කිරි සහිත මුට්ටිය මත සිදුරු සහිත මුටිය තබා ගෙන ගොස් වලිග දෙකේ හිකනලෙකු ගැවසෙන ස්ථානයක තබා සැඟ වී බලා සිටිය යුතු ය. . මෙසේ ටික වේලාවක් බලා සිටින විට කිරිවලට ඉව වැටුණු හිකනලා මුට්ටි දෙක ළඟට එයි. ඌ මතුපිට ඇති මුට්ටියට බැස පතුළේ ඇති සිදුරෙන් යට මුට්ටියේ ඇති කිරි දෙස බලයි. කිරි දකින හිකනලා කිරි බීමේ ආසාවෙන් තමන්ගේ කටෙහි තබාගෙන සිටින මැණික එළියට ගෙන මුට්ටියේ තබයි. එම අවස්ථාවේ මැණික පෙරළි ගොස් මට්ටියේ සිදුරෙන් කිරි මුට්ටියට වැටෙයි. එය ගැනීමට හිකනලා කොයි තරම් උත්සාහ ගත්තත් සිදුර කුඩා බැවින් පහළට යාමට නොහැකි වෙයි.


මැණක නැතිවීමේ සොවින් හිකනලා මිය යයි. ඉන්පසු ඇත්තේ කිරි මුට්ටියට අත දමා මැණික  ගැනීමයි. එම මැණික ගෙදර ඇති තාක් එම ගෙදරට කිසිම දෙයකින් අඩුවක් නොවන බව කියති.



කබරයා


ගෙවතු ආශ්‍රිතව සහ කැලෑවේත් ජීවත් වන සතෙකු වූ කබරයා මුල්කොට ගෙන ද අධි විශ්වාස කීපයක් ප්‍රචාරය වී ඇත. කබරයාගේ ද අනෙක් සතුන්ට වඩා විශේෂතා කීපයක් ඇත.  කබරයාට ඇත්තේ ගන ගොරෝසු හමකි. ඌට පොල්ලකින් වැනි දෙයකින් පහර දුන්නත් කිසිම ප්‍රතිචාරයක් නොදක්වයි. සතුරාට පහර දීමට වලිගය හෙවත් බාව යොදා ගැනීමද උගේ විශේෂ ලක්ෂණයකි. කැත කුණු මෙන් ම විසකුරු සතුන් ද ඌ ගිල දැමීමෙන් කරන්නේ විශ්මිත කාරියකි. මෙබඳු ලක්ෂණ නිසා ඌ මුල්කර ගෙන විශ්වාස කීපයක් ගොඩ නැගී ඇත.  කෙසේ වුවත් කබරගොයා ගෙදරට අවාසනාව ගෙන එන සනෙකු හැටියට සැලකේ. කබරයකු ගෙට ආවොත් එය අවාසනාවන්ත සිද්ධියක් ලෙස සැලකීමට පෙළඹී ඇත.  දෙවන විශ්වාසය නම් කබර තෙල් මිනිසුන් වහා මරණයට පත්කරන බලවත් විස සහිත තෙලක් බවයි. මෙම විශ්වාසයේ සත්‍යතාවක් නැතැයි සමහරු කියති.


මාර්ටින් වික්‍රමසිංහ මහතා ඒ ගැන තම කරුවල ගෙදර නම් නවකතාවෙන් පෙන්වා දී ඇත.එය එසේ වූවත් ගැමියෝ කබර තෙල් විස සහිත බවත් එය සාදාගත යුතු පිළිවෙළ ගැනත් අදහස් පළ කරති. කබර තෙල් සිඳ ගැනීමට මිය ගිය කබරයකු මෙන් ම ජීවත් වන කබරයකු ද අවශ්‍ය වෙයි. මිය ගිය කබරයා ගසක එල්ලා යටින් ගින්දර ගසා ඒ ගිනිදැල් සහිත ගින්නට පිඹින්ට අනෙක් කබරයා බැඳ තැබිය යුතු ය. ඌ විසින් ගින්න ඇවුලූ විට මියගිය කබරයා ඉන් පිළිස්සී තෙල් මද ඊට යටින් තබන භාජනයට වැක්කෙරෙයි.



තලගොයා


කබරගොයාට සමාන ශරීරයක් ඇතත් තලගොයා ගැන  ගැමියන් දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ය. මීට හේතුව තලගොයි  මස් පැරැන්නන්ගේ ආහාරයක් වූ නිසා විය යුතු ය. පැරණි ජනශ්‍රැති කීපයකම තලගොයි මස් ගැන කියැවේ. මේ නිසා තලගොයා සම්බන්ධයෙන් දරන විස්වාසයක් ද සුභ පක්ෂයට අයත් වෙයි.  එයින් පළමුවැන්න තලගොයා ගෙට පැමිණීම සුබය යන්න ය. එබැවින් තලගොයෙකු ගෙට ආවොත් ඌ එලවා දැමීමට මහන්සි  වන්නේ නැත.  දෙවන විශ්වාසය වන්නේ තලගොයාගේ දිව ගිල්ලොත් එම තැනැත්තාගේ ධාරණ ශක්තිය වැඩි වේ ය යන්නයි. මෙම විශ්වාසය තලගොයින්ට නරක කාලයක් උදාවීමට හේතු විය.