
ගැරඬියා
අහිංසකයකු වූ මෙම උරගයා ගෙවලට රිංගන්නේ ඒවායේ සැඟ වී සිටින ගෙම්බන් හා මීයන් ගිල දැමීමට ය. එය උගෙන් වන සේවයක් වෙයි. එහෙත් ගැමියන් විස්වාස කරන්නේ ගැරඩියා ගෙදරට ඒම අසුභ දෙයක් හැටියට ය. ගැරඩියා දෂ්ට කළොත් බෙහෙත් නැත, යන විශ්වාසයක් පවතී. ඌ කෑවොන් සුව කිරීමට මුහුදේ මඩත් අහසේ තරුත් ඕනෑ යයි කියති. එයින් අදහස් වන්නේ බෙහෙත් නැත යන්න ය. ගැරඩියා දෂ්ට කිරීමෙන් එක්තරා හොඳක් ද සිදුවන බව කියයි. එනම් ගැරඩියා කෑ තැනැත්තාව වෙනත් සර්පයකු දෂ්ට නොකිරීමයි. ගැරඩියා පහත් සතෙකු බැවින් උසස් ගණයට අයත් විසකුරු සතුන් එම තැනැත්තාට දෂ්ට නොකර හරින බව කියයි. දියබරියා ගැන ද මෙබඳුම විශ්වාසයක් ගැමියන් අතර පවතී.
කුකුළා
කුකුළා සහ ගණයට අයත් සතෙකි. යම් වැඩක් ආරම්භ කරන අවස්ථාවේ කුකුළෙකු ඇඩලුවොත් එම වැඩය සාර්ථක වන බව විශ්වාස කරති. එහෙත් තොවිලදී මිනිසා වෙනුවෙන් යකාට බිලිවීමට කුකුළාට සිදුවී තිබේ. යකාත් කුකුළාත් අතර සම්බන්ධයක් ඇතැයි යකැදුරෝ කියති. ලක්දිව බොහෝ ප්‍රදේශවල තොවිලදී කුකුළා නොමරා උගේ කරමලෙන් ලේ ස්වල්පයක් ගෙන ගොටුවේ තබා යකාට පුද දෙනි. එහෙත් අම්පාර ප්‍රදේශයේ යකැදුරන් තොවිල්වලදී කුකුලන් ඉතා දරුණු වේදනාවන්ට ලක් කරමින් ඝාතනය කරන බව මායා රන්ජන් නැමැති ලේඛකයා විස්තර කරයි.
වඳුරා
වඳුරා සම්බන්ධ අධි විශ්වාස නැතත් ඌ සම්බන්ධයෙන් පැතිර ඇති අදහසක් මෙසේ ය. කිසිවකු වඳුරාට වෙඩි තැබුවොත් ඌ තුවාලයෙන් ලේ අතට ගෙන වෙඩි තැබූ තැනැත්තාට පෙන්නා මිය යයි කියති. වඳුරා මැරීම වෙනත් සතුන් මැරීමට වඩා පාපකාරී ක්‍රියාවක් ලෙස මෙයින් පෙන්නුම් කර ඇත.
පොල්කිච්චා
පොල්කිචන් තුන්දෙනෙකු දුටුවොත් මරණය පිළිබඳ ආරංචියක් නුදුරේදීම එන බව කියති. පොල්කිචන් තිදෙනෙකු දැකීම දුර්ලභ සිද්ධියකි. උන් සිටින්නේ දෙදෙනා හෝ එක් සතෙකු ලෙසිනි.
ඉදිබුවා /ඉබ්බා
ඉබ්බාගේ මස් කෑ විට ශරීර ශක්තිය වැඩි වී මස් පේශි තද බවට පත් වෙතියි විශ්වාසයක් පවතී. සමහරුන් කියන්නේ ඉබි මස් කෑ අයට බෙහෙත් විදීමට නොහැකි බවයි. ඊට හේතුව එම මස් කෑමෙන් මස් පේශි තද වී තිබීමයි.
මාපිලා
විසකුරු උරගයකු වන මාපිලා ගෙදරක සිට මැරුවොත් තවත් සත් දෙනෙකු එම ගෙදරට පැමිණෙතියි විශ්වාසයක් පවතී. නිදා සිටින අය වෙත මාපිලා බසින්නේ වහලයේ සිටය. වහලයේ එල්ලෙන මාපිලුන් වැලක ආකාරයෙන් නිදා සිටින තැනැත්තා වෙත යොමු වී ලේ බොන බව කියති. මාපිලුන් ලේ උරන විට මිනිසාට හොඳින් නින්ද යයි. වැලට එල්ලී සිටින මාපිලුන් සත් දෙනා ම මාරු වෙමින් ලේ උරා බිව් පසු යති. මිනිසා නින්දේ දී ම මිය යයි.
බකමුණා / බස්සා
බකමූණා රාත්‍රි කාලයේ ගෙවල් අසල ගස්වල සිට හඩයි නම් එම ගෙදර මරණයක් සිදුවීමේ පෙර නිමිත්තක් ලෙස සැලකේ. සමහර පලාතක උඩුනුවර බස්සාට ගම් පාළුවා යයි ද කියති. එම පළාතේ කියන්නේ ඌ පාන්දරක කෑ ගැසුවොත් එය දරු ප්‍රසුතියක පෙර නිමිත්තක් බව ය. බකමුණාගේ මූණේ ඇති බියකරු ස්වභාවයත්, උගේ හඩේ ඇති ගැඹුරුකමත් සලකා මෙබඳු විශ්වාස නැති වී යයි සිතිය හැකිය.
කණ කොකා
කණකොකා ගෙට උඩින් හඩාගෙන ගියොත් එම ගෙදර නුදුරේම මරණයක් සිදුවන බව විශ්වාස කරති. කණකොකා යනු පැහැයෙන් දුඹුරු කොකා ය. උන් කරවල් කොකුන් මෙන් සිදු නොවන බැවින් දැකුම සතුටට හේතු නොවේ.
උලමා
උලමා කෑගැසීම ගමට අවාසනාවන්ත කාලයක් උදා වීමේ පෙර නිමිත්තක් ලෙස සැලකේ. බෝදිලිමා මෙන්ම උලමා ගැන ද විවිධ මත පළ වී ඇත. උලමා යනු බස්සා නම් සතා යයි ආර්. ඇල්. ස්පිට්ල් මහතා දක්වා ඇත. ඔහු කරන විස්තරය මෙසේ ය. උලමා යනුවෙන් හැඳින්වෙන්නේ අන් කිසිදු සතෙකු නොව රාජාලි බස්සයි. උගේ බිහිසුණු හඩ නගද්දී ම ඌ හෙලා ගැනීමට සමත් වූ දෙදෙනෙක් එය සනාථ කරයි. ඒ දෙදෙනා නම් කෙලී හා ජේ.එච්. ස්ටීවන්සන් යන දෙදෙනා ය. ඒ අතරේ තවත් කෙනෙක් වූ සී.එච්. කනගසබේ කඳුකර බස්සා උලමා යයි කියා සිටී. ඔහු ද තම මතය ඉදිරිපිත් කරන්නේ බිහිසුණු හූව අසා පක්ෂියා සියැසින් දැක ඌ හෙලා ගැනීමෙන් පසුව ය. මේ තුන් දෙනාට ම වැරදී ඇතැයි අපි කෙසේ කියමුද? උලමාගේ හුව තබන කුරුල්ලන් වර්ග එකකට වැඩි ගණනක් ඇතැයි කියන ඩබ්.ඊ. බෙන්ගේ මතයෙහි අප පිහිටන්නේ නම් ඉහත කි දෙදෙනා ම නිවැරදි ය.
Comments
Post a Comment