
ජීවිතයට වගකීම් එකතු කරන විවාහය හෙවත් බැඳීම සාර්ථක කර ගැනීමට තමන්ට සුදුසු සහකරු හෝ සහකාරිය සොයාගැනීමේ වාසනාව උදාකර දෙන්නේ ජ්‍යොතිෂයයි. සියලු සංස්කාරයන්ට පොදු වූ ඇතිවීම, පැවතීම හා නැතිවීම යන සිද්ධාන්තයන් විවාහයට පොදු ලක්‍ෂණයකි. නිවැරදිව සකස්කර ගන්නා විවාහය සඳහා නිවැරදිව ගන්නා තීරණ නිසා අනාගතය පැවතීම සිදුවේ. එසේ නොමැති වූ විට විවිධ කරදර ඔස්සේ රෝහලට පමණක් නොව සුසානය කරා ද ගෙනයන ගැටලු නිර්මාණය වනු ඇත. දෙදෙනාගේ විවාහය පිළිබඳ පෙන්වා දෙන කේන්ද්‍ර සටහන්, කැඩපතක් සේ අනාගතයට අත්තිවාරම සකස් කර දෙන්නේ හොඳින් හඳුනාගත් ග්‍රහචාරය මතය.
දසමහා දෝෂ
කෙනෙකුගේ විවාහය පෙන්වන හත්වැන්න සහ ඒ ආශ්‍රිත ග්‍රහ පිහිටීම් සේ ශුභ ග්‍රහ දෘෂ්ඨි හත්වැන්නාධිපති සහ හත්වැන්නාධිපතිගේ බලය අනුව විවාහයේ පසු සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරනු ලබයි. එහිදී ප්‍රබල දෝෂ ලෙස සැලකෙන කුජ භෞම දෝෂය, ශනි මංගල දෝෂය, කඩහන්දි දෝෂය, වැනි දස මහා දෝෂ පිළිබඳ වඩාත් සැලකිලිමත් වේ. එසේම සමාජය තුළ ඉතා ජනප්‍රිය විවාහ පරීක්ෂාව වන පොරොන්දම් බැලීම මත දෙදෙනාගේ පැවැත්ම පෙන්වා දෙන්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම මතය.
විසි ආකාර ගැලපීම්
පොරොන්දම් බැලීමේ දී විසි ආකාරයකින් ගැලපීම් සිදුවිය යුතුය. නමුත් විසින් පොරොන්දමත් ප්‍රධාන කොටගත් පොරොන්දම් අටක් 'අෂ්ඨකූට පොරොන්දම්” ලෙස විවාහ පරික්ෂාව සඳහා යොදා ගැනේ.
'කුට’ යනු පොරොන්දමයි - අෂ්ට යනු අටයි. මුලාශ්‍ර (පොත් පත්වල සඳහන් වන ආකාරයට) ජ්‍යෝතිෂයේ දී මුල්ම පොරොන්දම් ක්‍රමය අෂ්ඨ කූටයයි. පසුව එය දස, විසි ලෙසින් වර්ධනය වී ඇත. 'අෂ්ඨකූටය' අත්‍යවශ්‍යයෙන් ම ගැලපියයුතු පොරොන්දම් අටයි, එයට දෙන ලකුණු ක්‍රමයකට අනුව විවාහයට සුදුසු නුසුදුසු බව දැනගත හැකිය. වර්ණ, වශ්‍ය, නැකැත්, යෝනි, රාශ්‍යාධිපති, ගණ, රාශි, නාඩි, යන අට ක්‍රමයට අනුව වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නා අය විවාහයට සුදුසු බව තීරණය කරනු ලබයි. නමුත් පොරොන්දම් නොබලා විවාහ වන්නන් ද සාර්ථක ජීවිත ගත කරන්නේ නොදැනුවත්කම් හෝ එම ගැළපීම් නියමිතව සිදුවී ඇති බැවිනි. පොරොන්දම් ගැළපීමේදී සිදුවන්නේ නොගැළපෙන හෝ අශුභ බවක් ඇත්නම් එය හඳුනාගෙන එම දෝෂ යටත් කර ගැනීම සඳහා අවශ්‍ය චිත්ත ශක්තිය ගොඩනගා ගැනීමට සහ නියමිත පුද පූජා වලින් කුසල් රැස්කර ගනිමින් විශ්ව බලයක් නිර්මාණ කරගත හැකිවීමයි.
පොරොන්දම්
පොරොන්දම් පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කරුණක්ද වෙයි. ඒ සමහර පොරොන්දම් අශුභ වුවද, වෙනත් ශුභ වූ පොරොන්දමක් නිසා ඉහත පොරොන්දම් අශුභ බව අහෝසි වී ශුභ වන බවය. එහිදී විසි පොරොන්දමෙන් සියයට පනහක් පමණ ගැළපීමේදී අශුභය අහෝසි වන පොරොන්දම් නිසා සියයට ප්‍රමාණය වැඩි වේ. මේ බව එතරම් නොතැකීම නිසා යහපත් විවාහයකට මග අවුරා තබන බව දැනගත යුතුය.
අශුභ පොරොන්දම්
අශුභ පොරොන්දමක් ශුභවන්නේ කෙසේද? යන්න විමසා බලමු. නැකැත් පොරොන්දමේ දී දෙදෙනාගේ නැකැත් දෙක නොගැළපේ නම් කේන්ද්‍ර දෙකෙහිම චන්ද්‍රයා හෙවත් සඳු උච්ච වී හෝ ස්වක්‍ෂේත්‍ර වී හෝ පුරපක්ෂයෙහි වීම සහ මිත්‍ර රාශියක වීම වැනි ශුභ බලයක සිටී නම්, ඉහත දැක්වූ නැකැත් පොරොන්දම් අශුභ බලය අහෝසි වේ. නමුත් බලවත් වූ නමුත් අශුභ දෘෂ්ඨි වැටෙන චන්ද්‍රයාගේ තත්වය දුර්වල වී යනු ඇත. එහිදී ඉහත ශක්තිය පෙන්වන්නේ නැත. එවිට නැකැත් පොරොන්දම වෙනුවෙන් සඳුගේ බලපෑමක් සිදු නොවේ. ගණ පොරොන්දම්
ගණ පොරොන්දම් දී ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම ගණයකට අයත් වේ නම් එම ගණ පොරොන්දම ශුභය. විටෙකදී එය නොගැළපේ නම් රාශි, රාශ්‍යාධිපති, නාඩි, රජ්ජු පොරොන්දම ශුභ වේ නම් ගණ පොරොන්දම ශුභ වේ. විවාහයට සුදුසු බිරියක් හෝ සැමියකු සොයා ගැනීමේ දී පොරොන්දමට අමතරව පරපුර, පරිසරය වැනි බාහිර තත්වයන් පිළිබඳ සැලකිලිමත් වීම අද දක්නට ලැබෙන විශේෂත්වයකි. නමුත් පොරොන්දම් පිළිබඳ සොයා නොබැලීම යනු තමන් පෙර කරන ලද අකුසල් ඵලදීමට නියමිත මාර්ගය පාදා ගැනීමකි. පෙර ආත්මවල සතුරන් මේ ආත්මයේ සැමියා හෝ බිරිය වී ජීවිතය ආගාධයකට ඇද දැමීමට ඉඩ ඇති බැවින් අකුසල් යටපත් කර කුසල් වඩවා ගැනීමට අවශ්‍ය දත්තයන් කේන්ද්‍රය තුළින් ලබා ගත යුතුය.
ග්‍රහ ගැලපීම්
එසේම ග්‍රහ ගැළපීම් ද හොඳින් පරීක්ෂා කරගත යුතුය. පෙම් බැදීමක් ඇති අයට පවා මේ තත්ත්ව ය හඳුනා ගැනීමෙන් දෝෂ ඇත්නම් දෙදෙනා කෙසේ ජීවත් විය යුතු ද යන්න අවබෝධයෙන් තීරණය කරගත හැකිවනු ඇත. පොරොන්දම් ඇත්තේ වෙන් කිරීමට නොවේ. අඩුපාඩු සකස් කර ගැනීමටය. යෝජිත විවාහයක් වෙනුවෙන් නම් පොරොන්දම් අශුභ වීම නිසා එය සිදු නොවිය හැකිය. එය සාධාරණය. නමුත් මේ අනුව මතුවන ගැටලුව වන්නේ පාපී කේන්ද්‍ර හිමියකුට විවාහ විය නොහැකි ද යන්නය.
පාපී කේන්ද්‍ර
කෙනෙකුගේ කේන්ද්‍රය පාපී නම් හෝ අශුභවාදී නම් එයට ගැළපෙන කේන්ද්‍රයක් සොයාගත යුතුය. එවිට ඔවුන්ගේ යුග දිවිය සාර්ථක වනු ඇත. මේ අනුව විවාහයට පෙර පොරොන්දම් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්නේ නම් තම තමන්ගේ අඩු පාඩු දුර්වලතා පිළිබඳ අවබෝධයෙන් ඒවා නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙන බව අඹුසැමියන් වීමට පෙර පෙම්වතුන් දැනගත යුතුය.
දරුවා ශිෂ්‍යත්වයෙන් සමත් කර ගන්න නම්.
ඔබේ දරුවා පහ වසර ශිෂ්‍යත්වය ලියනවා නම් ඔබ මේ වනවිට බොහෝ පීඩාවෙන් සිටිනවා විය හැකිය. සමහර විට දරුවා ගැන යහපත් අපේක්ෂාවෙන්, සතුටින් සිටිනවා විය හැකිය. සමහර විට ඔබ එතරම් ගණනකට නොගෙන සිටිනවා විය හැකිය.ඔබ කෙසේ සිටිය ද එදිනට දරුවාගේ මානසික ශක්තිය මත විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිදුවනු ඇත. දරුවාගේ මනස ශක්තිමත් කරවීමට ඔබේ ආශිර්වාදය සමගම ධර්මයට අනුව ද ආශිර්වාදය ලබා දිය යුතුය. දැනට පවතින ග්‍රහ දෝෂ පිළිබඳව හඳුනාගත යුතුය. එයට නිසි පිළියම් යෙදිය යුතුය.
මව්වරුන්ගේ විභාගය ලෙස හැඳින්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාට වඩා ඔබට පීඩාකාරී විය හැකිය. ජනප්‍රිය පාසලක් සොයා ගැනීමේ ඒකායන අරමුණ නිසා ඔබ විභාගයේ අයිතිකරුවා වී ඇත. නමුත් එය දරුවාට අගවන්න එපා. දරුවාට සැහැල්ලුවෙන් සිටින්නට ඉඩ හරින්න. පෙර දිනයේ හොඳින් නිදන්නට සලස්වන්න. එදින නෑවීම අශුභ විය හැකිය. සෙම් රෝග ඇති දරුවෙකුට එය අශුභ වන්නට පුළුවන. මස් මාංශවලින් තොර සැහැල්ලු ආහාර ලබා දෙන්න. පෙර දිනයේ පාඩම් නොකළ යුතුය. ඒ සඳහා බල නොකළ යුතුය. පෙර දිනයේ දරුවා සමග කල් ඇතිව ආගමික සිද්ධස්ථානයට ගොස් තම දහමට අනුව පුද පුජා පවත්වා දරුවාට ආශිර්වාදය ලබා දෙන්න. ඔබේ දරුවා විභාගයට වාඩි වු පසු ඔබ ගෙදර යන්න එපා. අසලම ඇති විහාරස්ථානයට ගොස් තනිවම හෝ පිරිත් කියන්න. දරුවා වෙනුවෙන් සෙත් ශාන්ති කරන්න. එවිට ඔබේ අවංක සිතුවිලි සහ ප්‍රාර්ථනාවන් විශ්වයට එක්ව මහා බලවත් වු ශක්තියක් නිර්මාණය වනු ඇත. එය දරුවාගේ මනසට ලැබී බලවත් වු පිරිසිදු චිත්ත ශක්තියක් ඇතිවේ. එයින් පසුගිය පාඩම් නිරතුරුවම මතකයට එනු ඇත. ප්‍රබෝධයෙන්, වුවමනාවෙන් පිළිතුරු ලියන දරුවා පහ වසර ශිෂ්‍යත්වය ජය ගන්නා හපනෙකු වනු නියතය. දරුවා මේ වනවිට සිටින අධ්‍යාපන මට්ටමට වඩා දරුවාගේ මනසට වැඩිපුර දේ පුරවන්නට උත්සාහ කරන්න එපා. හැකි තරම් සැහැල්ලුවෙන් සිටින්නට ඉඩ හරින්න. එසේ විභාගයට පෙර ගුරුවර ගුරුවරියන් සහ විභාග පරීක්ෂකවරුන් සතු කාර්යභාරය ඔබ නිවසේ දී දරුවාට කියා දෙන්නට උත්සාහ කරන්න එපා. ඒ පිළිබඳ දැනුමක් නොමැති නම් එය ඒ අයට ඉටු කරන්නට ඉඩ තබන්න. එසේ නොවුවහොත් දරුවා උපදෙස් සීට්ටුව තුළ අතරමං වනු ඇත. එවිට මතකයට එය බාධාවක් විය හැකිය. විශේෂයෙන්ම මේ දිනවල පවතින ඩෙංගු ඇතුළු වෙනත් වෛරස් උණ රෝග පිළිබඳව සැලකිලිමත්ව දරුවා ආරක්ෂක්ෂා කරගත යුතුය. ඒ සඳහා නිවැරැදි උපදෙස්වලට අනුව කටයුතු කර දරුවා නිරෝගීව තැබිය යුතුය. නිවැරැදි වතාවත්, නිවැරැදි පිළිවෙත්, නිවැරැදි උපදෙස් නිවැරැදිව ඉටුවන්නේ නම් ජන ප්‍රිය පාසලක් තෝරා ගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඔබට ඔබගේ දරුවා විසින් ලබා දෙනු ඇත.
Comments
Post a Comment