
ස්වාමීන් වහන්ස, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ත්‍රිලක්ෂණය පදනම් කරගත් බුදුදහම දුක ගැන ම පමණක් කියන දහමක් බව බෞද්ධ විරෝධි ඇතැම් අය පවසනවා. මේ අයට ඔබ වහන්සේ දෙන පිළිතුර?
" අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පදනම් කරන්ගෙන තියෙන්නේ බුදුදහම නො වෙයි. ලෝකය යි. බුදුදහමෙන් පෙන්වා දෙන්නේ ලෝකයේ පවතින යථාර්ථය ' දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ''. මේ ලෝකය පවතින්නේ දුක මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ හොයල බලන්න, ඕනෑ ම සැපතක කෙළවර තියෙන්නේ කුමක් ද? දුකක්. මේ දුක නමැති ලෝකය තුළ සැප ලබාගැනීමට කොපමණ උත්සාහ කළත් අවසානයේ ලැබෙන්නේ දුකක් ම යි. නමුත් මේ ලෝකය දුක යි, අනාත්ම යි, අනිත්‍ය යි, ඒ නිසා මුදල් උපයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවක දේශනා කර නැහැ. එකල ජීවත් වූ නකුල සිටුතුමා සහ නකුල සිටුදේවිය දිනක් බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියා. භාග්‍යවතුන් වහන්ස, අපි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. අපි දරුවො හදල සතුටින් ජීවත් වෙනවා. ඒත් අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මැරුණට පසුවත් දෙන්නා දෙතැනක ඉපදෙන්න කැමති නැහැ.” එහිදී බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයත් පරව්ලොව ජීවිතයත් සාර්ථක කරගැනීමට හේතු වන කරුණු දහයක් දේශනා කළා. නිවසක්, ධන ධාන්‍ය, දූපුතුන්, දාසකම්කරු, සතුන්, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැත, ත්‍යාගශීලී බව, ප්‍රඥාව යන කරුණු දහය යි. මෙහි විශ්වයේ නිත්‍ය කිසිවක් නැහැ. දිව්‍ය ලෝකයක ඉපදුණත් එයත් අනිත්‍ය යි. ඒ යථාර්ථය අවබෝධ කරගෙන ජීවිතය සාර්ථක කරගැනීම සඳහා යා යුතු මාර්ගය බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ව පෙන්වා දුන්නා.
අද අපේ ජීවිත දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරිලා. යාච්ඤා කිරිම මගින් මේ තත්වයට යම් සහනයක් ලබාගත හැකි බව අන්‍යාගමිකයන් විස්වාස කරනවා. බුද්ධාගමේ එවැනි දෙයක් තිබෙනවා ද?
දෙවියන්ට හෝ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගවලට යාච්ඤා කිරීම බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් අගය කළේ නැහැ. යාඥා කිරීමෙන් ලබාගත් කිසි දෙයක් මෙහේ නැහැ. යම් පුද්ගලයෙක් බුද්ධිමත් ව ක්‍රියා කළොත්, ඔහුට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාගත හැකි යි. නමුත් මනෝ විද්‍යාත්මකව බැලීමේදී යාච්ඤා කිරීම මගින් යම්කිසි සහනයක් ලබාගත හැකි බව පෙනෙනවා. මට මතකයි දැනට වසර ගණනාවකට ඉහතදී ක්‍රිකට් තරගයක් තිබුණා ඉන්දියාව සහ පකිස්ථානය අතර. එහිදී පකිස්තානය ජයග්‍රහණය කිරිමට නම් ලකුණු හතරක් ගත යුතු ව තිබුණා. ලකුණු හතරක් ගත්තොත් තරගය දිනනවා. තුනක් ගත්තොත් සමාන වෙනවා. යැවීමට තිබුණේ එක පන්දුව යි. පන්දුවට පහර දෙන්නේ ජාවිඩ් මියැන්ඩාඩ් පන්දු යවන්නේ කපිල් දේව්. ඒ අවස්ථාවේදී කපිල් දෙව් එවූ පන්දුවකට ජාවඩ් මියැනඩාඩ් සියල්ලන් මවිතයට පත් කරමින් හයේ පහරක් ගැහුවා. එක මොහොතකින් මහා පරිවර්තනයක් සිදු වුණා. ඒ අවස්ථාවේදී වාර්තාකරුවෝ ඔහුගෙන් විමසුවා 'මොකක් ද ඔබ ලබපු ශක්තිය කියලා. ඒ අවස්ථාවේදී ඔහු ඇත්තට ම මෙය මම නො වෙයි කළේ, අල්ලා දෙවියන් වහන්සේයි මෙය කළේ කිවා. . නමුත් ඇත්ත වශයෙන් ම මෙය සිදු කළේ අල්ලා දෙවියන් වහන්සේ නෙවෙයි. මා සිතන ආකාරයට ඒ සංකල්පය පැමිණියේ විශාල ධෛර්යයක්, ශක්තියක් ඇතිව යි. එවැනි පෘථග්ජන. මනුෂ්‍යන්ට යම් චිත්ත ඒකග්‍රතාවක් ඇති කරගැනීම සඳහා යාච්ඤා කිරීම පිහිටක් කරගත හැකි යි. ඒ නිසා අපි එය සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු නැහැ. කළ යුත්තේ එය අර්ථවත් කරගැනීම යි. බුදු දහමට අනුව බැලීමේදී අවුරුද්දක් යාඥා කරනවාට වඩා විනාඩි පහක් මෙත්‍රී භාවනාව කිරිමෙන් මනසේ විශාල දියුණුවක් ඇති කරගත හැකි යි.
බුදු දහමට අනුව ලෞකික ජීවිතය සුවපත් කරන කාරණා ගැන ඔබ වහන්සේ කතා කළා. ලෞකික ජීවිතයේ සැපත මෙන් ම පරව්ලොවදී ලබන සුරබඹ සැප ද අනිත්‍ය යි. මේ නිසා සසර ගමන නතර කරන මග ගිහි ජීවිතයේදී තෝරාගන්නේ කෙසේ ද?
අපි මේ ජීවිතයේදී බොහෝ දේ කරන්නේ දිව්‍ය ලෝකවල ඉපදීමේ අපේක්ෂවෙන් නො වෙයි. මේ ජීවිත කාලය තුළදී සැප ලබාගැනීමට යි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 'ඉධ නන්දති පෙච්ච නන්දතිමෙලොව සතුටු වෙන පුද්ගලයා පරලොවත් සතුටු වෙනවා යනුවෙන්. ඒ වගේ ම උන් වහන්සේ 'ඉධ තප්පති පෙච්ච තප්පති' මෙලොව තැවෙන පුද්ගලයා පුද්ගලයා පරලොවත් තැවෙන බව ද දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ සමාජය භික්ෂු-භික්ෂුණී උපාක උපාසිකා යනුවෙන් පිරිස් හතරකට වෙන් කළා. මෙහිදී ගිහි ජීවිතය සාර්ථක කරගන්නා අන්දම බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවරට පෙන්වා දී තිබෙනවා. පුංචි දරුවෙක් කළ යුත්තේ කුමක් ද? තරුණයෙක් තරුණියක් කළ යුත්තේ කුමක් ද? විවාහය සඳහා කෙනෙක් තෝරාගත යුත්තේ කෙසේ ද? ඒ විවාහ වූ යුවළ දෙවියෙක් දිව්‍යාංගනාවක් ලෙසින් සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? විවාහ වූ පසු ඔවුන්ට ලැබෙන දරුවන්ට යුතුකම් ඉටු කරන හොඳ අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු වන ආකාරය පවා බුදුරජාණන් වහසේ දේශනා කර තිබෙනවා. දරුවන්ට යුතුකම් ඉටු කර අවසාන වන විටදී ඒ අම්මා තාත්තා බොහෝ වයෝවෘද්ධ යි. ඉන්පසු ඔවුන් කළ යුත්තේ කුමක් ද? මරණ මොහොත දක්වා අනවශ්‍ය බැඳීම්වලින් නිදහස් ව සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වීම යි. බුදුරජාණන් වහනසේ දේශනා කළ ධර්මයට අනුගතව ජීවත් වෙනවා නම් ආං ලෝකවල ඉපදීමට අමුතුන්නේ පින් කිරීමට අවශ්‍ය නැහැ. අද ගීත, චිත්‍රපටි, නවකතා මේ ආදී බොහෝ දේවලින් කියැවෙන්නේ ආදරය යි. නමුත් අද ආදරය නිසා සිදු වන ජීවිත විනාශය වැඩි වී තිබෙනවා. ආදරය කිරිමට කෙනෙක් තෝරාගන්නේ කෙසේ ද? කියා බුදුරජාණන් වහන්සේ නකුල සූත්‍රයේදී දේශනා කළා. ආදරය කිරීමට තෝරාගන්නා තැනැත්තාට ම සම ශ්‍රද්ධා, සම සීල, සම චාගා, සම ප්‍රඥා තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළා.
මේ කරුණු පැහැදිලි කළොත් ?
බුදු දහම අනුව ශ්‍රද්ධාව යනු පැහැදීම, විශ්වාසය සහ ගෞරවයයි. ඔබ ආදරය කරන තැනැත්තාට ඔබ කෙරෙහි පැහැදීමක් තියෙනව ද? විශ්වාසයක් තියෙනවා ද? යන්න සොයා බැලිය යුතු යි. ආදරය හඳුනා නොගත් අය, අවංකව ආදරය නොකරන අය නිරතුරුව ම අනෙක් පුද්ගලයාව පහත්කොට සලකනවා. ඔයාගේ පවුලේරිස පහත්, ඔයාගේ ඇඳුම් පැලඳුම් පහත් ඔයාගේ විලාසිතා පහත්, ඔයාගේ යහළුවහත් කියමින් තැනැත්තාව හෙළාදකිනවා. එසේ කරන්නේ පැහැදීමක් නැති නිසා යි. එසානි තෝරාගන්නා පුද්ගලයා කෙරෙහි පැහැදීමක්, ගෞරවයක්, විශ්වාසයක් තිබීම සුදුසු කමක්. දෙවැනි කරණ සම සීලං. එනම් ප්‍රතිපත්ති ගරුක බව. එවැනි අය කවදා වත් වෙනස් වන්නේ නැහැ. මම මගේ ජීවිතයේ ඔහු හැරෙන්නට වෙනත් කිසිවෙක් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ ම ඔහු හිතන්නෙත් මට මගේ ජීවිතයේ ඇයගෙන් තොර ලෝකයක් නැහැ. ඒ ආකාරයට සිතීමෙන් දෙදෙනා අතර දැඩි බැඳීමක් ඇති වෙනවා. එය ආදරයට සුදුසුකමක්. ඊළඟට සම චාගා. එනම් පරිත්‍යාගශීලී භාවය. සාමාන්‍යයෙන් ලෝකයේ සියයට සියයක් ම අදහස් ගැළපෙන දෙදෙනෙකු ඇත්තේ නැහැ. ඕනෑ ම කෙනෙකුගේ අඩු පාඩු තිබෙන්නට පුළුවන්. විවාහ වූ දෙදෙනෙක් අතරේ නොගැළපෙන අදහස් ඇති වීම ස්වභාවික යි. නොගැළපෙන අදහස් හමුවේ අප කළ යුත්තේ පරිත්‍යාගය යි. අද වැඩි පිරිසක් මේ පරිත්‍යාගය කරන්න කැමති නැහැ. තමන් සිතන දේ නිවැරදියි කියලයි නිතර ම සිතන්නේ. ලෝකයේ අපි කොපමණ හොඳින් ජීවත් වීමට උත්සාහ කළත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක ස්වභාවික යි. ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේත් ප්‍රශ්න ඇති වුණා. ගිහි ජීවිතයේදී ප්‍රශ්න පැනනැගුණු අවස්ථාවලදී දෙදෙනා ම එක වගේ සිතීමට පුරුදු විය යුතු යි. ඒ සඳහා සමාන බුද්ධි මට්ටමක් තිබීම වැදගත්. මේ කරුණු සියල්ල ගැළපේ නම් ඒ ආදරය සෙනෙහස දිගටම පවත්වා ගැනීමට පුළුවන්.
අද උසාවිවල දික්කසාද නඩු වැඩිවෙලා. පුවත්පත් අරගෙන බැලුවත් ඒ බව පෙනෙනවා. මෙය සමාජයට විශාල ප්‍රශ්නයක්. මේ තත්වයට බුදු දහමෙන් ලැබෙන විසඳුම කුමක් ද?
මා දකින ආකාරයට අද සමාජයේ දික්කසාදය වැඩි වී තිබෙන්නේ ඉවසීම නැති නිසයි. මහත්තයාගෙන් පොඩි අපහසුතාවක් ඇති වනවාට නෝනා කැමති නෑ. ඒ වගේම නෝනගෙන් පොඩි අපහසුතාවක් වෙනවාට මහත්තයා කැමති නැහැ. ක්ෂණික විසඳුම් සොයන්නේ. මේ ආකාරයට ඉවසීම නැති නිසා ඇති වන ප්‍රශ්න දස දහස් ගණනක්.ඉවසීම නැති නිසයි කටගහන්න යන්නේ. ඉවසීම නැති නිසයි රිදවන්නේ. දික්කසාද වෙනවා කියන අදහසින් මා ළඟට පැමිණි විවාහක යුවළ තිහක් පමණ ඒ තත්ත්වයෙන් වැළකී තිබෙනවා. මට මතකයි, අවුරුදු තිහක පමණ එක් දරු මවක් අඬ අඬා පැමිණ පැවසුවේ විවාහය අතඅරිනවා කියලා. මම විමසුවා හේතුව මොකක් ද? කියලා. එයා පැවසුවේ මේක මගේ කරුමේ කියලා, මම කර්මය වෙනස් කරන හැටි එයාට කියලා දුන්නා. ඊට පසුව ඇය පැවසුවේ දික්කසාද වෙන බව කේන්දරෙත් තියෙනවා කියලා. ඒ තත්ත්වයත් වෙනස් කරන්න පුළුවන්. මම එයත් ඇයට කියල දුන්නා. ඊට පසුව මම ඒ අම්මගෙන් කරුණු එකින් එක ඇහුවා. මේ අම්මා අඬමින් පැවසුවේ ඇගේ ස්වාමිපුරුෂයා ඇයට නිතරම වද දෙන බවයි. මම කෙසේ හෝ ඒ ස්වාමිපුරුෂයාත් ගෙන්වාගත්තා.
පරික්ෂාකාරීව බැලූ විට තිබුණේ අනවබෝධයක්. බිරිඳ මට ආදරේ නැහැ. එයා සලකන්නේ එයාගේ පවුලේ උදවියට පමණ යි. කියලා ස්වාමි පුරුෂයා සිතනවා. මගේ සැමියා මට ආදරේ නැහැ. වෙනත් කාන්තාවකට ආදරේ කරනවා කියලා බිරිඳ හිතනවා. ඒ වැරැදි මත නිසා දෙදෙනා තව තවත් ගැටෙනවා. ඉන් පසුව මම ඒ දෙදෙනාට බොහෝ කරුණු කියා දී අවවාද කළා. ඒ අය ඒවා පිළිගත්තා. දැන් ඔවුන්ට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. දැන් ඒ ඇත්තන්ගේ අතීතය මතක දැ යි විමසූ විට ඒ පිළිබඳ කතා කරන්නත් ලැජ්ජයි. ඒවා මතක් කරන්න එපා කියලා මගෙන් ඉල්ලීමකුත් කළා. ඒ තරමට ම ඒ දෙන්නා ආදරෙන් ජීවිත ගත කරනවා. මේ ආකාරයට ධර්මානුකූල ව කරුණු අවබෝධ කර දෙනවා නම් උසාවිවල දික්කසාද වෙන ප්‍රමාණයෙන් බහුතරයක් වළක්වාගන්න පුළුවන්. ඊට අවශ්‍ය වනන්නේ ධර්මය. ඇත්ත වශයෙන් ම මම අන්‍ය ආගමික අයටත් උදව් කර තිබෙනවා. ධර්මය යනු බුද්ධාගම ම නො වෙයි. ධර්මය යනු ධර්මතාවය. එය එක ආගමකට පමණක් අයත් දෙයක් නො වෙයි.
ගිහි ජීවිතය සාර්ථක කරගැනීමේ වැඩි වගකීම ඇත්තේ කාට ද?
පවුල් ජීවිතයේ වැඩි බලය තිබෙන්නේ කාන්තාවට, අපි කොපමණ පුරුෂ ආධිපත්‍යය ගැන කතා කළත් පවුල් ජීවිතය සාර්ථක කරන්නේ කාන්තාව. ලෝකයේ වැඩි ම දුක උහුලන්නේ වැඩි ම අභියෝග තියෙන්නේ කාන්තාවට. තාත්තා අප්‍රමාණ වැරැදි කළත් අම්මා හොඳ නම් ඒ පවුල රැකෙනවා. නමුත් අම්මා නරක නම් ඒ පවුල විනාශ වෙනවා. උතුවන්කන්දේ සරදියෙල් කියන්නේ දරුණු පුද්ගලයෙක්. දරදඬු චරිතයක්. නමුත් අපි අසා තිබෙනවා, ඔහු තමන්ගේ පෙම්වතිය ළඟට ගොස් පොඩි ළමයෙක් වගේ වැටිල අඩනවා. ඒක තමයි කාන්තාවකගේ බලය. ඒක ඒ බිරිඳගේ දක්ෂතාව ය. තමන්ගේ සැමියාට මේ ලෝකයේ වෙන කවුරුත් කෑම හදල දුන්නට තෘප්තිමත් නොවන විදියට කටයුතු කිරීමට කාන්තාව දැනගත යුතු යි. ඒ වගේ ම මගේ භාර්යාවගෙන් මගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය මට මේ ලෝකයේ වන කිසිවකුගෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මේ ලෝකයේ වඩාත් ම වටින්නේ මගේ භාර්යාව යි කියන මට්ටමට සැමියාව පත් කරගැනීම භාර්යාවගේ දක්ෂතාවක්. එවිට ඔහුව පාලනය කළ හැකි ය. කාන්තාවගේ වරදින් ම අද සමාජය විනාශ වී තිබෙනවා කියලා මම කියන්නේ නෑ. නමුත් කාන්තාවකට ඒ සඳහා විශාල ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය හඳුනා නොගැනීම නිසා අද බහුතරයක් අයාලේ ගොස් විනාශ වී තිබෙනවා. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන වටිනා කරුණු අධ්‍යයනය කර කටයුතු කරන්නේ නම් මම සිතන ආකාරයට හැම කාන්තාවකට ම ජීවිතය ජය ගත හැකි යි.
Comments
Post a Comment