gossiplanka image 1
 


ලක්දිව දෙවිවරු පිළිබඳව විමසීමේ දී අතීතයේ විසූ ජන ප්‍රධානීන්, ජනතාව තුළ සුවිශේෂී මතකයන් ජනිත කළ වුන් මිය ගිය පසු දේවත්වයෙන් ලා සැලකීම කැපී පෙනෙන කරුණකි. නානා විධ ශිල්පවල කෙළ පැමිණියාවුන්, ඇතැම්  විටෙක කාය බල ශක්තිය ප්‍රකට කළවුන් දේවත්වයට ආරෝපණයව ඇත. දේවත්වයට පත් රජවරුන් පිළිබඳ විමසීමේ දී මහසෙන් රජු, වළගම්බා රජු, පළමු රාජසිංහ රජු, දෙවන රාජසිංහ රජ, කුරුණෑගල රජ වූ වත්හිමි කුමරා ද ඒ අතර වේ. මෙයින් ප්‍රධාන ස්ථානයක් මහසෙන් රජුට හිමි වේ.  දෙවන රාජසිංහ රජු අලුත් දෙවියෝ ලෙසින් දේව ගණයට එක්ව ඇත. ඔහු අත්තනෝමතික ලෙස ජනතාව පීඩාවට ලක්  කෙරෙමින් දැඩි පාලනයක් ගෙන ගිය අයෙකි. ඔහුට යටහත් වූ රට වැසියා ජීවත්ව සිටිය දී ම ඔහුව 'රාසිං දෙවියෝ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.


එමෙන්ම අමිහිරි සිදුවීම්වලින් මිය ගියවුන්ට ද දේවත්වය සමාරෝපණය කොට  ඇත. ගලේ බණ්ඩාර යනු බිහිසුණු ලෙස මිය ගිය අයෙකි. ජනප්‍රවාදවලට අනුව කුරුණෑගල රජ කළ බුවනෙකබා රජුගේ බිසෝ මාලිගයේ බිසෝවරු, පණිවිඩකරු සුරාවෙන් මත්ව යුද්ධයකින් ජයගෙන එසවිය යුතු සුදු කොඩි වෙනුවට පරාජයේ සංකේතය කියා පෑ කළු කොඩිය එසවීම නිසා මහත් සේ කලකිරි බැලුම්ගලින් පහතට පැන දිවි තොර කොට ගත්තේය.  එසේ මිය ගිය බිසෝවරු, යටිගල් ඔළුවේ බිසෝ බණ්ඩාර හැට හත් කට්ටුව' ලෙසින් අදහයි. එසේ වලානේ පත්තිනි මෑණියන් ලෙස දේවත්වයට පත්ව ඇත්තේ පඬුවස් දෙවි රජුන්ගේ ‘තිස්ස' නම් ඇමතියකුගේ දියණියකි. ඇය හදිසියේ මරණයට පත් තරුණියකි.  දේවත්වයට පත් රජවරු පිළිබඳව විමසීමේ දී මෙරට රජකම් දැරූ බහුතරයක් අතරින් ඉතාමත් අතළොස්සකි, එම තත්වයට පත්ව ඇත්තේ. එසේම මෙරට ආර්ථිකයට, වාරි  කර්මාන්තයට, බුදු සසුනට, සාහිත්‍යයට ඒකීයත්වයට කැප වූ රජවරු බොහෝ දෙනෙක් සිටිති. දුටුගැමුණු, මහවිජයබා, මහා පරාක්‍රමබාහු වැනි නරපතීන් දේවත්වයට පත් වූ සලකුණු නොමැත. එය විශේෂත්වයකි. යථොක්ත පරිදි මහසෙන් රජතුමා දේවත්වයට පත්ව ඇත. ඒ මින්නේරි දෙවියෝ ලෙසිනි. තමන්කඩුව මි න්රි ප්‍රදේශ ජනයා මෙතුමා මහත් භත්‍යාදරයෙන් සලකති. මෙතුමාගේ දේව අණසක පැතිරි ඇති ප්‍රදේශය ලෙස තමන්කඩුව හා අනුරාධපුර අවට ප්‍රදේශ සලකනු ලබයි.


මහසෙන් රජ (ක්‍රි.ව. 276 - 302) තෙක් කලක් අනුරාධපුරය රාජධානිය කොටගෙන රාජ්‍ය විචාළේය. මෙරට වාරි සංස්කෘතිය පිළිබඳව විමසීමේ දී පතාක යෝධයකු ලෙස මෙතුමා මතු වේ. වියළි කලාපය, තෙත් බිමක් කරලීමට විශාල වැව් රාශියක් ඉදි කළ මෙතුමා මහාවංශ කතුවරයා දක්වන පරිදි වැව් බොහෝ ප්‍රමාණයක් සාදවා ඇත. ඒවා නම් ජල්ලුරුවැව, බානු, මාමිනියා, මි ත්ර, කෝකවාත, මොනරා, පරකරත්මල්කඩ, කුම්බාලක, තිහව, වාහන, වෙළන්විටි, මාගල්ල, සීරු, මහදාර, ගල්ලක, කොලපාෂාණ යන වැව්ය.  මනා ශිල්පීය ක්‍රමවේදයකට අනුව වැව් සකස් කිරීම ඇරඹුණේ මෙතුමාගෙනි. වාරි කර්මාන්තය පිළිබඳව මනා දැනීමක් ඇති මහසෙන් රජතුමා මින්රි වැව ඉස්මත්තේ කුළු වැව් නම් කුඩා වැව් රාශියක් ඉදි කළේය.


ප්‍රධාන වැවට එක්වන රොන්මඩ ආදිය අවශේෂ කුඩා වැව් කරා යන අතර එමගින් ප්‍රධාන වැව ගොඩ වී යාම වැළකේ. ජලය ද බොහෝ  සේ ගබඩා කළ හැකි විය. මෙතුමා වැව් සෑදීමේ දී ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ඉදිවෙන වැව ආසන්නයේ තාවකාලික මාලිගා කරවා ඒවායේ වෙසෙමින් ජනතාව සමග දුක සැප බෙදාගෙන ඇත. මේ හේතුවෙන් ජනතාව මෙතුමාට මහත් ඇල්මක් දැක් වූ බව නොරහසකි.

එසේම තම බඩ වියත රැකගැනීමට උරදුන් මින්නේරි වැව තැනවීම හෙවත් නයාගේ සිත් සතන් තුළ මෙතුමා ජීවමාන වූයේය.  වැව තැනීම සම්බන්ධ ජනප්‍රවාද කීපයකි.


කලෙක රජු සීගිරිය අසල තාවකාලිකව කර වූ මාලිගාවක නතර විය. එළකිරි පානය පුරුද්දක් කොට සිටි රජතුමාට කිරි සැපයීමට වෙනමම එළදෙනක් විය. දිනක් එම එළදෙනගේ කිරිවල රසවත්භාවය වැඩි වීම ගැන රජු ඇමතිවරුන්ගෙන් විමසීය. කිරි රසවීමට එළදෙනට රසවත් පෝෂ්‍ය පදාර්ථ ලැබිය යුතු බවත්, එම පෙදෙස පෝෂක පෙදෙසක් විය යුතු බවත් රජතුමා උපකල්පනය කළේය. එළදෙන කෑම සොයා යන ප්‍රදේශය සොයා ගන්නා ලෙස අනතුරුව රජු ඇමතියනට නියෝග කළේය. ඒ සඳහා ඔවුහු එක් උපක්‍රෙමයක් යෙදූහ. ඒ එළදෙනගේ පිට මත තල ගෝනියක් බැඳ කොන් දෙකින් කුඩා සිදුරු දෙකක් කොට තණ කැවීමට යැවීමය.


එකල නියං සමයකි.  නියං සමය අවසානය වී වර්ෂා කාලය එළඹුණි. එළදෙන පිට  වූ තල ගෝනියෙන් බිමට වැටී තිබූ තල ඒ ආකාරයෙන් පැළව තිබුණි. එම මග අනුව ගමන් කළ ඇමතියනට ඉතා සරු සාර පෙදෙසක් හමුව ඇත. ඒ උස්ගල නම් ප්‍රදේශයයි. එහි වැල්මී ශාකය හොඳින් වැවී ඇත. එළදෙනගේ කිරි රසවත් වීමට හේතුව වැල්ම කා තිබීමයි.  තවදුරටත් විපරම් කළ ඇමතියනට උස්ගල ගල් ලෙනක වැද්දෝ මුණගැසුණහ. පත්තා, රඹා, රන්දුන්නා නමින් පිරිමි සහෝදරයින් තිදෙනෙක් ද 'බොකුටි' නම් වැදි සහෝදරියක් ද විය. පත්තා වැඩිමහලාය. රන්දුන්නා බාල සොයුරාය. මොවුන්ගේ    තොරතුරු විමසීමට ඇමතිවරු ගිය විට වැදි සොහොයුරෝ දුනු හී ගෙන විදීමට සැරසී ඇත. වහා දිව ගොස් රජුන්ගේ පිරිස මේ බව රජුට සැල කළේය. වැදි භාෂාව දත් අය සමග රජු හා  පිරිස උස්ගල ලෙනට ගියහ. වැද්දන් සමග සුහදව කතා කළහ.  රජු, ඔවුන් වසන ප්‍රදේශය වැවක් තැනීමට දෙන ලෙසත්, එයට  සරිලන සේ ගමක් ලබා දෙන බවටත් ඔවුනට කීය. එමෙන්ම ටිකිරි මැණිකා, බිසෝ මැණිකා යන රජුගේ නැගණියන්ගෙන් ටිකිරි මැණිකා වැද්දන්ට දීග දීමට ද රජු යෝජනා කළේය.



රජුගේ යෝජනාවලට රන්දුන්නා හැර අනෙක් දෙදෙනා  එකගව ඇත. කුඩීන්ට ගම දෙන්නෙ නෑයි පැවසූ රන්දුන්නා ඊතල ගැනීමට ගල් ලෙනට පැන්න විට ඔහුගේ හිස ගලක හැපී මිය ගොස් ඇත. 'පත්තා' වැද්දාට ටිකිරි මැණිකා කරකාර බැඳ දෙන ලදී. එසේම 'පත්තා' ට සන්නස් භාර මුදියන්සේ නම් නම්බු නාමයක් දෙන ලදී. බොකුටි' ගේ අනාගතය රජු භාරගෙන ඇති බව කියවේ. තවත් ජනප්‍රවාදයකට අනුව රජු සිගීරිය ගල් ළිඳ අසල මාලිගාවක නතර විණි. තම ගව ගාලේ එළදෙනකුගෙන් ලැබූ කිරි ඉතා රසවත් වීම හේතුවෙන් ඌගේ ගමන් මාර්ගය පිළිබඳ පරික්ෂා කිරීමට, පෙර ජනප්‍රවාදයේ පරිදිම සිදුරු කළ තල ගෝනියක් උගේ පිට මත තබා වර්ෂා කාලයේ දී එළදෙනගේ ගමන් මග පරික්ෂා කිරිමේන් සශ්‍රීක ප්‍රදේශයක් හමු විය. එහි "උඩගල්ල' නම් ගද ලෙනේ ජීවත් වූ කයිලා, මයිලා, පට්ටන් කට්ටියා' නම් වැදි සොයුරන් හමු විය. මහසෙන් රජු කයිලා හමු වී තල් පතකින් වැව සෑදීමට අවසර ඉල්ලා ඇත. “පට්ටන් කට්ටියා” එයට විරුද්ධ විණ. රජු විසින් ඔහු මැර වූ බව කියවේ.


 තවත් ජනප්‍රවාදයක දී ඉහත සොයා ගත් සශ්‍රීක ප්‍රදේශයේ කයිලහාමි, මයිලහාමි, කෝඳුරුහාමි නම් වැදි සොයුරෝ තිදෙනෙක් ද 'ගිරි' නම් සොයුරියක් ද හමුව ඇත. වැව සෑදීමට රජු සන්නසකින් අවසර ගැනීමට සීගිරිය ගල් ළිඳ ප්‍රදේශයට  පෙරහැරකින් වැඩිය. එවේලේ බාල වැදි සොයුරා වැව සෑදීමට විරුද්ධව, සැඟව සිට කඩුව ගෙන පෙරහැරින් එන රජුගේ බෙල්ලට කඩා පැන්නේය. ඉලක්කය වැරදී ඔහුගේ හිස ගලක වැදී මිය ගිය බව කියවේ. පසුව ඔහු යකෙක්ව ඉපිද ඇතැයි පැවසේ.


ඉහත ආකාරවලට රජමහපරිශ්‍රමයක් යොදා වැව තැනීම ආරම්භ කළේය. වැව සාදන ආකාරය තාවකාලිකව ලැගුම් ගෙන පරික්ෂා කළේය. වැව සාදන විට කීප වරක්ම වැව් බැම්ම කැඩී ගිය බව කියවේ. රජතුමා මෙයට හේතුව නක්ෂත්‍රකරුවන් ලවා  බැලීය. ඔවුන් පැවසුවේ වැවට අයිති උරුමක්කරුවකු යකෙකුව ඉපිද ඇති බවත්, ඒ සඳහා රාජ ලේ සහිත ලේ බිල්ලක් දිය යුතු බවය.  එ රජු බිසෝ මැණිකාගෙන් දරුවා බිල්ලට ඉල්ලීය. එයට විරුද්ධ වූ ඇය දරුවා සමග හිගුරක්ගොඩ ප්‍රදේශයට පලා ගොස් එහි සාමාන්‍ය පරිදි ජීවත්ව ඇති බව කියවේ. බිල්ල සඳහා රජු අනෙක් නැගණිය වූ ටිකිරි මැණිකාගෙන් පුත් කුමරු ඉල්ලා ඇත.

ඇය එකඟ වී ඇත.


රජු කුමරා බිලි දීමට සියලු කටයුතු සැලසීය. රජකුමරා බිලි දීමට අකමැති වූ ඇමතිවරු කුමරු බේරා ගැනීමට උපක්‍රමයක් යෙදීය. කළුදැවෙකු (වලසකු) අල්වාගෙන සළුපිළිවලින් සැරසීය. කුමරා ද සැරසීය. රහසිගත ලෙස බිලි දෙන ස්ථානයට කළුදවා ගෙන ගොස් බිල්ලට දී ඇත. කුමරා රහසිගත ලෙස කළුදැව නම් ගමේ ගමරාල වෙතට හදාවඩා ගැනීමට තෑගි භෝග සමග භාර දී ඇත. ඉන්පසු කිසිදු අන්තරාවක් නොමැතිව වැව සාදා නිම කළේය. එයින් ගත් ජලයෙන් රජතුමා පළමුව කුඹුරක් අස්වද්දීය. එය ‘බත්ගන් කුඹුර ලෙස හැඳින්වීය.මුලින්ම ගත් අස්වැන්නෙන් අලුත් සහල් ගෙන කැවුම් කිරිබත් පිස වැව් බැමේ දී රජුගේ ප්‍රධානත්වයෙන් රජ පවුලේ හා ඇමතිවරු එක්ව උත්සවයක් පවත්වා ඇත. බිලි නොදී පෙර සගවා තබන ලද කුමරා ද එයට සහභාගී කොට ගෙන ඇත. එහෙත් ඒ බවක් රජු දැන සිටියේ නැත. එහි දී රජු මහත් දුකින් තම නැගණියගේ බිල්ලට දුන් කුමරා පිළිබඳව මහ ඇමතිට පවසා ඇත.  එවිට මහ ඇමති තමාට එම කුමරු නැවත ගෙන්විය හැකි බවත්, ඒ සඳහා තමාට දෙන ත්‍යාගය කුමක් දැයි විමසා ඇති බවක් සඳහන් වේ. එවිට ඔබට මේ බත්ගන් කුඹුර තෑගි කරමි'යි රජු පවසා ඇත. එවිට මහ ඇමති රජුට නොපෙනෙන ලෙසට සිටීමට සැලැස්වූ කුමරු රජු ඉදිරියට ගෙන ආවේය. කුමරු එනු දුටු රජු මහත් ශෝකයෙන් අනේ මගේ වැව'යි කියා ඉහළට ගත් හුස්ම පහළට ගත නොහැකිව මිය ගියේය.


මේ එතුමා පිළිබඳව පැවත එන ජනප්‍රවාදයන්ය. එතුමා මිය යෑමෙන් පසු එතුමා ජීවමාන කරවීමට ජනතාව පෙලඹුණේය. මින්නේරි දේවාලය එම වැව ආශ්‍රිතව පිහිටා ඇත. ප්‍රදේශයේ ජනතාව සමග මහසෙන් රජු අතීතයේ ඉතා ලැබැඳිව සිට කෘෂිකර්මාන්තය දියුණුවට උර දුණි. ජනතාවට පිහිට විණි. එතුමා මිය ගිය පසුත් දෙවියකුව තමනට රැකවරණය ලබා දේ යන ප්‍රබල විශ්වාසය ජනතාව තුළ මුල් බැස ගත්හ. එසේම රජතුමා ජීවත්ව සිටිය දී කුරිරු බලයකින් යුක්ත වූ පනම් යකා වැනි යක්ෂයින් පවා දමනය කොට වැඩ ගත් බව ජනප්‍රවාදවල පවතී.  මින්නේරිය දෙවියන්ගේ බලය පිළිබඳව කියවෙන ජනප්‍රවාදයේ එන කතාවකි මේ. මින්නේරිය දෙවියන්ට කැප කරන ලද අවශේෂ දෙවොලක වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනය ආසන්නව තිබුණි.


මින්නේරිය දෙවියන්ගේ ප්‍රධාන දෙවොලේ කපු මහතාට මෙය අමතකව ගොස් තිබුණි. මංගල්‍ය කටයුතු  සූදානම් කිරීමට දින කීපයකට පෙර එම ස්ථානයට ඔහුගේ පැමිණීම අනිවාර්යය වුව ද සෙසු කපු මහතුන් පුදුමයට පත් කරමින් ඔහු ඒ වන විට ද පැමිණ සිටියේ නැත. මංගල්‍යය පැවැත්වීමට දින දෙකකට ප්‍රථම පාන්දර යාමයේ කපු මහතාට "මහසෙන් රජු සිහින්නෙන් පෙනී මංගල්‍යය පිළිබඳව මතක් කර ඇත. වහාම සූදානම් වූ කපු මහතා අදාළ දේවාලයට යෑමට පිටත්ව ඇත. නමුත් ඔහුගේ ගමනට බාධා වූයේ දෙගොඩ තලා උතුරා ගිය වැවක වතුරෙන් මාර්ගය යට වී තිබුණු නිසාය. කළ හැකි දෙයක් නොමැතිව බලා සිටි කපු මහතාව පුදුමයට පත් කරමින් තමා වෙතට කොටයක් පාවී එනු ඔහු දැක ඇත. එහි නැගී වතුර පිරී ඇති සීමාව තරණය කළ කපු මහතා අදාළ මංගල්‍ය කටයුතු සාර්ථකව කර ඇත. ආපසු එන ගමන්නේ දී ඔහු  මහත් පුදුමයට පත් වූයේ ජලය නොමැතිව මාර්ගය පැහැදිලිව  තිබුණ හෙයිනි.