gossiplanka image 1
 


නුවණට හා ධනයට අධිපති දෙවියන් ලෙස ලාංකීය ජනයා අතර වන්දනාමානයට පාත්‍ර වන මෙතුමා ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. සාමාන්‍යයෙන් දෙවිවරු මිනිස් ස්වරූපයෙන් නිරූපණය වෙතත් ගණ දෙවිඳු එයින් මඳක් බැහැර වේ. මෙතුමාගේ රූපකාය වනුයේ එක් දළයක් ඇති ඇත් හිසක් සහිත මිටි තරබාරු සිරුරකි. උදරය විශාල වන අතර විටෙක අත් සතරකි. තවත් විටෙක අත් අටකි. එක් අතක ශංඛයකි.  තවත් අතක ත්‍රිශුලයක් හෝ අංකුශයකි. තව එකක වක්‍රායුධයකි.  මානෙල් මලක් අතකින් දරා සිටියි. සමහර විටෙක කරේ පූන නූලක් දමා ගෙල වටා පොටක් හා ඉණ වටා මෙවුල්දමක් ද පැලඳ සිටින්නේය. ගණ දෙවිගේ වාහනය මීයෙකි.


ගණේෂ, ගණපති, පුල්ලෙයාර්, විනායගර්,   විඝ්ණේශ්වරන්, මුතු ලිංගසාමි, ඒක දන්තන්, ගජ කරණාගත්, ලම්බෝදරන්, ඝණදීපන්, වක්‍ර තුණ්ඩන්, හෙරම්බන්, විඝ්නරාජ, පුල්ලෙයාර් අප්පා, ආරිවුරම්, සිත්තිධානා ආදී නම් රැසකින් ගණ දෙවිඳුන් හැඳින්වේ. ගණ දෙවිඳු  පුල්ලෙයාර්' යන නාමයෙන් රජරට ප්‍රදේශයේත්, වන්නි ප්‍රදේශයෙන් හැඳින්වෙන අතර, එම ප්‍රදේශවල ජනයාගේ මහත් පුද පූජාවලට ලක් වේ.  නුවණ හා ධනය මුල් කොටගෙන ලාංකීය ජනයා ගණ දෙවිදු ඇදහීම සිදු කරතත් මෙතුමා ඉන්දීය ජනයාගේ දේව වන්දනය තුළ ප්‍රමුඛ ස්ථානයේ වැජඹේ. නැණ - නුවණ පමණක්  නොව සියලු යස ඉසුර ලබා දෙන දෙවියකු ලෙස මෙතුමා  ප්‍රකටය. දේව ගණයාගේ ගණ නායක තනතුර ගණ දෙවිඳුට හිමි බවත් කියවේ. ඉන්දියානු බැතිමතුන් කවර දේව පූජාවක් හෝ ඇරඹීමට පෙරාතුවත්, සෑම සුබ කටයුත්තක දීත් ගණ දෙවිදුන්ට පූජා පවත්වන බව කියවේ. සුරතල් ඇත් පැටවකුගේ මුහුණ ඇති මහත් විකට රූපී පෙනුමක් ඇති මෙතුමා හාස්‍යයට දැඩි ඇල්මක් දක්වන්නකු ලෙස‍ෙද ප්‍රකටය.


ගණ දෙවිඳුගේ මව හා පියා ලෙස සැලකෙන්නේ ශිව දෙවි හා උමයංගනා දෙවඟනන්ය. වැඩිමල් සොයුරා ලෙස ස්කන්ධ කුමරු හෙවත් කඳ දෙවි සැලකේ. ගණ දේව උපත හා ඔහුට ඇත් හිසක් ලැබුණ සැටි කියවෙන රසවත් පුවත් රාශියක් ඇත.


(ගණ දෙවි උපත (4)


පාර්වතිය (උමා දේවිය) ශිව දෙවියන් හා විවාහ වී කලක්  ගත වුව ද දරුඵල නොලැබුණෙන් උමයංගනාව මහත් දුකින් පසු වූවාය. මේ බව දත් මහේෂ්වර හෙවත් ඊශ්වරයන් ඇයව සනසාලමින් දරුවකු ලබා ගැනීමට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පන්නක වෘතය (පුණ්ඩ්‍ය වෘතය) රකින ලෙස කීය. විෂ්ණු දෙවිඳුන්ට භක්ති ප්‍රණාමය දැක්වීමේ විශේෂ ධ්‍යානයක් වූ මෙය රැකීම ආරම්භ කළ යුතු වූයේ පුර පසළොස්වක පෝය ගෙවී ලබන්නා වූ තෙළෙස්වක තිථියෙනි. නියමිත කාල නැකැත් අනුගමනය කරමින් උමයංගනාව කෙලාසකූටය මත පැලක් බැඳ පුද්ධ්‍ය වෘතයම විම ඇරඹුවාය. විෂ්ණු දේවයන් ප්‍රසාදයට පත්ව උමාව ඉදිරියේ කෘෂ්ණා අවතාරයෙන් පහළ විය. තම පූජාව විෂ්ණු පිළිගත් බව වටහා ගත් උමා දේවිය මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්ව විෂ්ණු දේවයන්ට ගෞරව කරමින් තමාට දරුඵල ලබා දෙන මෙන් අයැද සිටියාය. පාර්වතියගේ ප්‍රාර්ථනය ඉටු වීමට ආශිර්වාද කොට සිනාවක් පාමින් විෂ්ණු අතුරුදන් විය.


එතෙක් මහත් ආයාසයක් දරා කළ වෘතය අවසන් කොට පාර්වතිය අසපුව වෙත ගියාය. මහත් වූ ආශ්චර්යයකි. සිය සයනය මත මිණි මෙවුල් නදින් සිනා නගමින් සුරතල්, මොළකැටි රූමත් බිලිඳෙකි. මහත් ස්නේහයකින් ඇය විෂ්ණුට කෘතඥ වෙමින් දරුවා සිප ගනිමින් ස්වමියා වූ ශිවයනටත්  පෙන්වීය. තුන්කල් පෙනෙන ශිවයන් මෙම කුමරුවාගේ අනාගත යස ඉසුර කීර්තිය බලා සතුටුව කුමරු දෝතට ගත්තේය. අති සුන්දර දෙවඟන වූ උමයංගනාවටත්, මහා බලැති ශිවයනට දාව කුමරුකු උපන් බව දේව ගණයාට සැල වුණි. මෙසේ මත්ස්‍ය පුරාණයේ ගණ දෙවිඳුගේ උපත දැක්වේ. එමෙන්ම ගණ දෙවිඳුට ඇත් හිසක් ලැබුණු අයුරුත් විස්තර  වේ. ගණ දෙවිඳුගේ උපත සැල වූ වහාම ප්‍රීති ප්‍රමෝදයට පත්  දේව සමූහයා කුමරුන් දැක බලා ගැනීමට පැමිණියහ.


දිවමල්, සළු, ආභරණ ආදී නෙක විධ වූ වස්තූන් ඔවුන් තෑගි බෝග වශයෙන් රැගෙන ආහ. මේ අතර පාපී සිතුවිලිවලින් පිරී ගිය සිතැති අපල කාරක සෙනසුරු ද පැමිණ සිටියේය. ඔහු කුමරු වෙත ආයේ දෑස් වසාගෙනය. බිලිඳු කුමරු දෑතින් ස්පර්ග කොට ආශිර්වාද කළෙන් පාර්වතිය ඒ පිළිබඳව විමසුවාය. තමා විෂ්ණු දේව සතුටු කිරීමට උග්‍ර වෘතයක් රැක්ක බවත් එහෙයින් බිරිඳ වෙත යාම ප්‍රමාද වූ කෝපයට ඇය උරණව තමාට ශාප කළ බවත්, ඒ නිසා තමන් දෑස් හැර යමකු දෙස බලන විට ඔහු විනාශව යන බවත් සෙනසුරුගේ පිළිතුර විය.  විෂ්ණු දෙවි ලබා දුන් කුමරු අතිශයින් බලවත් යැයි සිතු පාර්වතිය නොබියව දෑස් හැර කුමරා දෙස බලන මෙන් සෙනසුරුට කීවාය. ඒ අනුව සෙනසුරු නෙත් හැර කුමරු දෙස බැලීය. එවිටම බියකරු ශාපය ක්‍රියාත්මක වූයේය.


ඒ මොහොතේම කුමරුගේ හිස කඳෙන් වෙන්ව වේගයෙන් අහසට පැන නැගී විෂ්ණු දේවගේ වෛකුෂ්ඨය වටා සත් වරක් කැරකී හිමවතට (හිමාලයට) වැටුණේය. දාරක ස්නෙහයෙන් කම්පා වූ පාර්වතිය සෙනසුරුට ශාප කරමින් විලාප දෙන්නට විය. පාර්වතියගේ ශාපයට සෙනසුරුගේ පාදයක් කොර විය.  මෙම ශෝකාලාපය ඉවසා ගත නොහැකි දේව සේනා වෛකුෂ්ඨ පර්වතය කරා ගොස් හඬා වැලපෙමින් සෙනසුරුට දඬුවම් පමුණුවා පාර්වතීගේ පුත් කුමරුට නැවත ජීව ප්‍රාණය ලබා දෙන ලෙස විෂ්ණු දේවයන්ට ආයාචනා කළහ. කම්පාවට පත් විෂ්ණු ගුරුලාසනාරූඪව හිමාලය (හිමවත) වෙත ගොස් එහි අස්සක් නෑර බැලීය. එහෙත් කුමරුගේ හිස සොයා ගත නොහැකි වූයෙන් වහා කුමරුට ජීවය දිය යුතු නිසාත්, එවේලේ පුෂ්ප භද්‍ර නදී තීරයේ සිටි හස්තියකුගේ හිස සිඳ ගෙන කුමරුගේ කවන්ධයට (හිස් නැති ශරීරයට) සවි කොට යළි ප්‍රාණය ලබා දුනි.


ගණ දෙවි උණ (2)


උමා දේවිය නෑමට තෙල් බෙහෙත්, කල්ක, රැගෙන ගංගා නදිය වෙතට ගියාය. ඇය කල්ක හා ඇගේ ශරීරයෙන් පිට වූ අපිරිසිදු ද්‍රව්‍ය ගෙන ඉන් මිනිස් රුවක් තැනුවාය. ගංගා නදියෙන් දිය ගෙන ඒවා ඉස රුවට පණ දුන් අතර එම රුවේ හිස තැනුයේ ඇත් හිසක ආකාරයෙනි. ඔහු ගණේෂ විය. දිනක් පාර්වතිය ගණේ ආරක්ෂකයකු ලෙස නාන කොටුව මුර කිරිමට තබා තමා ස්නානය කොට එන තුරු කිසිවකුට එය තුළට ඒමට ඉඩ නොදෙන ලෙස උපදෙස් දී ස්නානය පිණිස ගියාය.  ඒ අතර ශිවයන් එහි ආයේය. ගණේෂ ශිවට නාන කොටුවට ඇතුළු වන්නට ඉඩ නොදුන්නේය. මහත් කෝපයට පත් ශිව ගණේෂගේ හිස ගසා දැමීය. මෙම කලහය ඇසී පාර්වතිය පැමිණ තමාගේ උපදෙස් පරිදි ආරක්ෂවට සිටි ගණේෂගේ හිස සිඳීම සම්බන්ධයෙන් ඇය ශිවට දොස් තබමින් වහාම පළමුවෙන්ම හමුවන කාගේ හෝ හිසක් ගෙන කවන්ධයට සවි කරන මෙන් ඇයදීය. ඒ අනුව හිසක් සොයා ගිය ශිවට හමු වූයේ ගංගා නදිය අසල නිදා සිටි ඇත්තෙකි. එම හිස ගෙන ගණේෂගේ කවන්ධයට සවි කොට ප්‍රාණය දුන්නේය.


ගණ දෙවි උපත (3)


වාරාහ පුරාණයේ දැක්වෙනුයේ ගණ දෙවි ඊශ්වරයන් විසින් මවන ලද බවත්, උමයංගනවගේ ශාපයක් නිසා ගණේට ඇත් හිසක් විශාල උදරයක් සහිත විකට රූපී පෙනුමක් ලැබුණ බවත්ය. එය මෙසේය.  දේව ගණයා (දෙවියන්ගේ හමුදාව ලෙස ක්‍රියා කරන්නන්) සහ රුසිවරයන් (ඉසිවරුන්) එක්ව ඊශ්වර දෙවියන් වෙතට  ගොස් අධර්ම ක්‍රියා වැළැක්වීමේ බලයක් ඇති කරන මෙන් ඉල්ලීය. මෙය ඇසූ ඊශ්වරයන් පාර්වතිය දෙස බලා ශිව තම මුහුණේ වූ ආලෝකයෙන් අවට හාත්පසම බබළවා මනා රූප ලක්ෂණයන්ගෙන් සපිරි කඩවසම් තරුණයෙකු පහළ කළේය. ඔහු ශිව දෙවිඳුන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසට දිස් විය. එම රූපකාය මනමෝහනීය කරවන සුලුය. උමා දේවියට ඔහු දැකීමෙන් ඊර්ෂ්‍යාවක් හට ගත්තාය.


“තොප රූප ලක්ෂණයෙන් පහළව මා සිත චංචල නොකරනු. මා සිත් උමතු නොකරනු. මේ නිසා තොපට ඇත් හිසකුත්, මහා උදරයකුත් පහළව රූප විලාශය දුරු වේවා” කියා උමා දේවිය ඔහුට ශාප කළෙන් ඔහු එලෙසින් හට ගත්තෙය.


ගණ දෙවි උපත (1)


පාර්වතී දෙවඟන, පුත්‍රයකු ලබා ගැනීමට විෂ්ණුට වැඳුම් පිදුම් කරන්නට වූවාය. විෂ්ණු සිය අවතාරයකින් ළදරු වේශයක් ගෙන පාර්වතියට පුත්‍රයකු වූයේය. මෙම සුභාරංචියට දේව පිරිවර තුටු පඬුරු රැගෙන අලුත උපන් කුමරු බැලීමට  කෛලාසකූටය වෙත ආහ. ඒ අතර සෙනසුරු ද විය. ඔහු පැමිණ සිටියේ දෑස වසාගෙනය. ඔහු දරුවා දෙස නොබලා සිටියේය. එවිට උමයංගනාව ඒ පිළිබඳව විමසා සිටියේය. එවිට සෙනසුරු පිළිතුරු දෙමින් “මාගේ බිරිඳ කෝප වූ අවස්ථාවක මට ශාපයක් කරලා තිබෙනවා. මා යමෙකු දෙස බැලුවේ නම් ඒ සැණින් ඔහු මැරෙන හැටියට. ඔබගේ කුමරු දෙස  නොබැලුවෙත් ඒ නිසායි” කීය. මෙය විශ්වාස නොකළ පාර්වතිය "මා පුත් ඔය අපලවලින් නිදහස් වූවෙක්. බිය නොවී දෑස් හැර බලන්නැ"යි කීයෙන් සෙනසුරු දෑස් විදා කුමරු දෙස බැලීය. එකෙණෙහිම කුමරුගේ හිස කඳින් වෙන්ව වෛකුණ්ඨය කරා  ගොස් විෂ්ණු ශරීරයට මිශ්‍රව ගියේය.


කෝපයටත්, කම්පවටත් පත් පාර්වතිය සෙනසුරුට ශාප කළෙන් ඔහුගේ පයක් කොර විය. කම්පාවට පත් විෂ්ණු දේවයන් ගරුඩාසනව හිසක් සොයා ගියේය. ගංගා නම් ගගබඩ නිදා සිටියා වූ ඇතකු දුටු විෂ්ණු උගේ හිස සිඳ පාර්වතියට දුන්නේය. ඇය එම හිස කවන්ධයට සවි කළාය. මහා බ්‍රහ්ම ගණේෂට ප්‍රාණය ලබා දුන්නේය. මේ අයුරින් ගණ දෙවිදුන් උපන් සැටිත්, ඔහුට ඇත් හිසක් ලැබුණ සැටිත් පුරාණ කතාවල සඳහන් වේ. මේ සෑම කතාවකම ශිව, පාර්වතී, විෂ්ණු, සෙනසුරු සම්බන්ධව සිටී. මොවුන්ගේ යහපත් හෝ අයහපත් බලපෑම් මත ගණ දෙවිඳු උපත ලබා ඇත් හිස සහිත දේවාත්මයක් ලෙස පත්ව තිබෙන බව ප්‍රකට කරුණකි. ලාංකීය ජනප්‍රවාදයකට අනුව ගණ දෙවියනට ඇත් හිසක් ලැබුණේ සිය වැඩිමල් සොයුරා වූ කඳ කුමරුගේ ප්‍රේම මාලිගාව තැනීමට ගොස්ය.


කඳ කුමරු ලංකාවේ රුහුණු පුරවරයට පැමිණි අවස්ථාවේ දී වල්ලී සුරූපිණිය දුටුවෙන් ඇය වෙත සිය ප්‍රේමය පවසා සිටියේය. එහෙත් එයට වල්ලීය බහක් නොදුන්නෙන්, කඳ කුමරු කුඩා කල පටන් බුද්ධිමතෙකු වූ තම මලණුවනට ( ගණේෂට) මේ පිළිබඳව කියා උපදෙසක් පැතීය. එකල ගණේෂගේ නාමය මුතුලිංග සාමීය. ඔහු මෙරටට පැමිණ ව ගේ ආදරය දිනා ගැනීමට උපක්‍රමයක් යෙදීය. වල්ලිය වනයේ වෙසෙන විටෙක ඇත් හිසක් මවාගෙන ගණ  දෙවි ඇය ඉදිරියට කඩා පැන බිය ගැන්වීය. වල්ලිය බිරාන්තව පලා යාමට තැත් කළාය. එවිටම කඳ කුමරු ඇය ඉදිරියට පැමිණ ආරක්ෂකයකු ලෙස ඇයව බදා ගත්තොත්ය. එවේලේ වල්ලිය සිය ආදරය කඳ දෙවිට ප්‍රකාශ කළාය. කඳ කුමරුගේ ප්‍රේම මාලිගාව තැනුණ ද එයට රුකුල් දීමට ගොස් ගණේෂ සිදු කර ගත්තේ මහත් ඇබැද්දියකි.


තමා ඇත් වේශයක් මවා වල්ලීය වෙතට ගිය පසු එම වේශයෙන් මිදීමට ඉසීම සඳහා මැතිරූ පැන් කෙණ්ඩියක් ස්කන්ධ කුමරුට දුන්නේය. එහෙත් අවාසනාවට මෙන් ස්කන්ධ අතින් එම කෙණ්ඩියේ පැන් සී සී කඩ විසිර ගියේය. ඒ වල්ලී සුරූපිණිය වැලඳ ගැනීමෙන් ඔහු මනෝ ප්‍රේම ලෝකයකට ගිය බැවිනි.  ගණ දේවයන් පෙම්වතුන්ගේ ගරු බුහුමනට පාත්‍ර වනුයේ මෙවැනි කාරණා නිසා විය හැකිය. බොහෝ විටෙක ගණ දෙවිඳුන් බුදු දහම සමග සබැඳියාවක් ඇති දේවාත්මයක් ලෙස  නිරූපණය වීම අල්පය. එහෙත් එක් ජනශ්‍රැතියකට අනුව එතුමා බුදු සරණ ගිය දෙවිවරයකු ලෙස ප්‍රකට වේ. එයට අනුව එතුමා බුද්ධ කාලීනව මථුරාවේ සිටි දෙවියෙකි.


බුදුන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවගෙ සල් උයනට වැඩ පරිනිර්වාණ මංචකයේ සැතපුණ කල්හි පොළෝ තලය තෙවරක් කම්පා වූයෙන් මේ පිළිබඳව සොයා බැලූ ගණ දෙවිඳුට සම්බුද්ධ පිරිනිවනට කාලය එළඹැති බව දැක මහත් ශෝකයෙන් යුතුව මල්ල රජ දරුවන්ගේ සල් උයනට ගොස් බුදුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. ගණ දෙවියනට ශෝක නොවන   ලෙස වදාරා අනාගතයේ බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට ලක්දිව පත්වන බවත්, ධර්මයත්, ධාර්මික ජනයාත් සුරකින  ලෙසට වදාළහ. ඒ අනුව ගණ දෙවිඳු දේවතාවන් පස් දෙනකුත් දෙමළ යකුන් දස දෙනකු ද පිරිවරා ගල් නැවක නැගී මුහුද මතින් යාපන තුඩුවට ගොඩ බැස්සේ. එතැන් පටන් ඔවුන් බුදු වදන ඉටු කරමින් සිටින බව ඒ ජනශ්‍රැතියේ කියවේ.


ගණ දෙවියන් පිදීම මෙරට බොහෝ කලක පටන් පැවත එන්නක් බවට සාධක හමු වේ. දසවන සියවසට අයත් යැයි සැලකෙන අනුරාධපුර පූගල්ල සන්නසෙහි බ්‍රහ්ම, ශිව නාම අතරට ගණ දෙවිගේ නාමය ද සඳහන්ව ඇතැයි කියවේ. ගණ දෙවි ලංකාරක්ෂක දෙවියකු ලෙස ලංකාතිලක ශිලා ලිපිවල සදහන්ව තිබීම, මිහින්තලේ කණ්ටක චෛත්‍යයේ වූ දික් සොඬ සහිත රූපය, අනුරාධපුර යුගයේ දේව ඇදහීම පැවති බව තහවුරු වන්නකි. පරවි සන්දේශය, තිසර සන්දේශය, කව් සිළුමිණ, කෝකිල සන්දේශය වැනි අතීත ග්‍රන්ථයන්හි ද ගණ දෙවියන් ගැන සඳහන්ව ඇත.  සිංහල රාජ පරම්පරාවන්ගේ බලය කෙමෙන් වඳව ගිය, ද්‍රවිඩ ජාතික හින්දු රාජ පරපුර විසින් පාලනය ගෙන ගිය යුගයේ දේව ප්‍රචාරය පැතිර ගියෙන් අකුරු කරවීමට පෙරාතුව මෙරට දරුවන්ට ගණ දෙවි හෑල්ල නමැති කවි පොත කියවා ගණ දේවයන්ගේ නුවණ ආශිර්වාදය පැතීමට සැලසීමෙන් ද එතුමන්  කෙරේ පැවති ප්‍රසිද්ධිය සිතා ගත හැකිය.


ගණ දෙවියන්ට ඒකදන්ත නාමය ද ආරූඪව ඇත්තේය. එක් දළක් පමණක් ඇති තැනැත්තා යන්න එයින් හැඟවේ. ගණ දෙවිගේ එක දළයක් බිදී යාමට හේතුව දක්වන කතා පුවතකි මේ. ශිව දෙවිඳුගේ කීකරු ශිෂ්‍යයකු වූ පරශුරාමයන් ශිව දෙවි මුණගැසීමට දිනක් කෙලෙස් කුළට ගියේය. එවෙලෙ ගණේෂ වගේ සයනාගාරය මුර කරමින් සිටියේය. සයනාගාරයට ඇතුළු වීමට පැමිණි පරශුරාමට ගණේෂ තම දළ යුග්මයෙන් ඇන බිම හෙළුවේය. මඳ වේලාවකින් නැගී සිටි පරශුරාම සිය අත වූ අවියකින් ගණේෂගේ එක් දළයක් බිඳී යන ලෙස ගැසීය. සිය පුත්‍රයාගේ දළයක් බිඳි පරශුරාමයනට ශාපයක් කිරීමට උමයංගනා දේවිය සූදානම් විය. මේ බව දුටු විෂ්ණු දේවයන් පරශුරාම තමාට වන්දනාමාන කරන්නකු බව පවසා උමයංගනාව සන්සිඳවා ශාපය වැළැක්විය.