gossiplanka image 1
 



පේන කියන්නේ වර්ග කීපයකට අයත් වෙයි. හඳහන් බලා සාස්තර කියන්නන්, අංජනම් එළි බලා සාස්තර කියන්නන්. අමනුෂ්‍යයන් ආරූඪ කරගෙන සාස්තර කියන්නන්, කුරුල්ලන් ආධාර කරගෙන සාස්තර කියන්නන්, අත බලා සාස්තර කියන්නන්, ශරීර අංග ලක්ෂණ බලා සාස්තර කියන්නන්, අත් අකුරු බලා සාස්තර කියන්නන්, තත් කාලය බලා සාස්තර කියන්නන් ආදී වශයෙන් ඔවුන් වෙන් කළ හැකි ය. හඳහන බලා සාස්තර කියන්නේ කෙනෙකුගේ ජන්ම පත්‍රය ගෙන එහි ග්‍රහයන් පිහිටා ඇති ආකාරය සොයා වර්තමානයේ එම ග්‍රහයන්ගේ හැසිරීම් රටාව සැලකිල්ලට ගෙන ජන්ම පත්‍ර ලාභියාගේ ජීවිතයේ අතීතයත් වර්තමානයත් අනාගතයක් කියා දෙති. බොහෝ විට ඔවුන් කැමති වන්නේ අනාගතය කීමට ය. කෙනෙකුගේ ජන්ම පත්‍රයක් බැලීම සඳහා නැකත්කරුවෙකු වෙත ගෙන යන්නේ ඔහුට කරදරයක් අපලයක් ලෙඩක් වැනි දෙයක් ඇති වූ විට බව රහසක් නොවේ. මේ බව දන්නා සාස්තරකාරයා කියන්නේ වර්තමානයේ මෙම ජන්ම පත්‍ර ලාභියාට අපලයක් ඇති බව ය. ඔහුගේ ප්‍රකාශයේ යම් වරදක් ඇතැයි සැකයක් පහළ වූ විට ජන්ම පත්‍ර ලාභියාට ලබා ඇති දසාව හා වෙනත් ග්‍රහයෙකුගේ බලපෑමක් නිසා අපලය සැලකිය යුතු ලෙස බල නොපාන බව කියයි. කෙසේ වුවත් ග්‍රහ පූජාවක් තැබිම කෝකටත් හොඳ යයි ඔහු බොහෝ විට කියයි.


ජන්ම පත්‍රය බලා සාස්තර කියන්නා මුල් කොට ගන්නේ ග්‍රහයන් නව දෙනෙකුගේ හැසිරීම් රටාව ය. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු හා කේත්තු යන ග්‍රහයන් නව දෙනා ඊට අයත් ය. මෙම ග්‍රහයන් දෙස බලන විට මෙහි අවුලක් ඇති බව පෙනේ. රවි හෙවත් හිරු ගත් විට එය මෙහි සඳහන් අනෙක් වස්තූන්ට කිසි ආකාරයකින්  සමාන නොවන බව කවුරුත් පිළිගන්නා කරුණකි. හිරු ස්වයං උෂ්ණයක් හා ආලෝකයක් ඇති තාරකාවකි. මෙහි සඳහන් අනෙක් ග්‍රහයන් අතරින් කීපදෙනෙක් හිරුගෙන් ආලෝකය ලබා ගනිති. චන්ද්‍රයා ප්‍රධාන ග්‍රහයකු නොව උප ග්‍රහයෙකි. එය ආකර්ෂණය වී ඇත්තේ පෘථිවිය. ඊටත්වඩා තවත් ගැටලුවක් වන්නේ රාහු හා කේතු නමින් හැඳින්වෙන ග්‍රහයන් දෙදෙනා ය. ඒවා විශ්වයේ ඇති ග්‍රහයන් නොව මනසින් දුටු ග්‍රහයන් ලෙස හඳුනාගෙන ඇත. තවද හිරු උදාව හා වේලාව ගණන් බැලීමේදී විවිධ නැකත් කරුවන් විවිධාකාරයට ගණන් බලන බව ද පෙන්වා දී ඇත. මෙවැනි එකඟතාවක් නැති ජන්ම පත්‍රයෙන් කියන පලාඵල කෙනෙක් දුරට වලංගු දැයි සොයා බැලිය යුතු ය. අංජනම් එළි බලන්නා ළඟ තද කළු පැහැති කකයක් ඇත. එය පීරිසියක අඩියේ රවුම් ලපයක් සේ ආලේප කොට මල් බුලත් පුටුවක් උඩ තබනු ලැබේ. ඉන්පසු ඔහු මන්ත්‍ර බලයෙන් අංජනම්දේවී නමැති අදෘෂ්‍යමාන දේවතාවිය එතැනට කැඳවයි. අංජනම තුළින් පෙනෙන අංජනම් දේවිය සමග කතා කිරීමට ඔහු ඔහුගේම හිනවතෙකු හෝ හිතවතියක එතැනට කැඳවාගනී. අංජනම හැම දෙනාටම නොපෙනෙන බව ඔහු තිර ලෙස කියයි. ඔහු දන්නා අඳුනන කෙනෙකුම ඒ සඳහා කැඳවා ගන්නේ ඒ නිසා යයි ඔහු කියයි. අංජනම පෙනෙන තැනැත්තා පීරිසියේ කළු ලපය දෙස බලා සිටී. ඔහු වරින්වර ඔහුට පෙනෙනවා යයි කියන දේ අනික් අයට ඇසෙට කියයි. අංජනම් දේවි පැමිණෙන සැටි, ඇය නමස්කාර කරන සැටි, ගමන් අරඹන සැටි, සාස්තරය අසන්නාගේ ගෙදරට යන සැටි, එම ගෙදර ස්වභාවය පෙනෙන සැටි ආදී වශයෙන් ඔහු හෝ ඇය කීමට පටන් ගනී. අංජනම පෙනෙන තැනැත්තා කියන දේ සාස්තර අසන්නා බලාපොරොත්තු වන දේ නොවේ නම් කිල්ලට අසුවීමක්, හුනියමක් වළලා තිබීම වැනි දෙයක් කියා අංජනම නොපෙනෙන බව පැහැදිලි කර සාස්තර අන්නා පිටත් කර හරී.



වැඩිපුර ම දක්නට ලැබෙන්නේ අමනුෂ්‍ය ආරූඪයෙන් සාස්තර කියන අයයි. ඔවුන් ආරූඪ කරගන්නා තැනැත්තන් අතර දෙවියන්, යකුන්, පෙරේතයන්, මළගිය ඇත්තන් වැනි අය ගැන අසන්ට ලැබේ. මෙයින් ද කතරගම දෙවියන් ආරූඪ කරක්ගෙන සාස්තර කියන අය වැඩි ය. සමහර සාස්තරකාරයෝ සහ සාස්තරකාරියෝ කතරගම දේවාලයට ගොස් එන විට එම දෙවියන් ආරූඪ කරගෙන අවුත් සාස්තර කියති. සාස්තර අසන්නා බුලත් අත සමහ පඩුරු දුන් විට සාස්තර කීම අරඹයි. සමහර තැන්වල පඬුරු වශයෙන් ගන්නා විශේෂ මුදල් ප්‍රමාණ ඇත. රුපියල් සියයයි සත අටයි, රුපියල් දෙසිය පණහයි සත දහතුනයි, ආදී වශයෙන් දෙවියන් නියම කළ මිලක් පඩුරු වශයෙන් ගැනීම බොහෝ විට සිදු වේ. නියමිත පඬුරු දුන් පසු සාස්තර කියන තැනැත්තා හෝ තැනැත්තී හිස වනමින් දෙවියන් හෝ නියමිත යකා ආරූඪ කර ගනී. ඉන්පසු ඔහු කතා කරන්නේ එම අමනුෂ්‍යයාගේ පණිවිඩකාරයා ලෙසට ය. අමනුෂ්‍යයා සමහර විට කතා කරන්නේ කැඩුණු දෙමළ වචනවලිනි. එබඳු තැන්වල ඒවා පරිවර්තනය කරන්නෙක් ද සිටී. සාස්තරකාරයා කියන දේ සාරය අසන තැනැත්තා බලාපොරොත්තු වන දේ නොවේයයි සැකයක් පහළ වුවොත් සාස්තර කියන්නා අසන්නාට තර්ජන ස්වරූපයෙන් කථා කරයි. එම තර්ජනයගෙන්ද අසන්නා කෙරෙන් යමක් ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇත්නම් දෙවියා හෝ යකා අසන්නා සමඟ කෝපවී සිටින බැවින් සාස්තරය නො කියවෙන බව කියා වෙන දවසක එන ලෙස දන්වා ආපසු යවයි. කුරුලු සාස්තරය ද සමහරු පිළි ගනිති. එහිදී සාස්තර කියන්නා ඉදිරිපිට යම් යම් දේ ලියන ලද තල් කොළ කැබලි තිබේ. එසේ ම ඔහු ළඟ කුඩුවක දමන ලද ගිරවකු ද සිටී. සාස්තරය අසන තැනැත්තා නියමිත මුදල ගෙවා සාස්තරය ඇසීමට වාඩී වූ විට ඒ මිනිසා කුඩුවේ දොර හරී. එවිට ගිරවා පිටට පැමිණ ඉදිරි පස ඇති තල්කොළ කැබැල්ලකට කොටනු ලැබේ. සමහර ගිරවුන් එම පත්‍රිකාව කටින් ගෙන සාස්තර කියන තැනැත්තාට දෙන අවස්ථා ද ඇත. එවිට සාස්තරකාරයා එය ගෙන කියවයි. සිතු දේ ඉටුවෙයි අදට වඩා හෙට හොඳයි” කාරණාව හිතින් අස් කර ගන්න. ප්ලම්වලට රැවටෙන්න එපා වැනි වැකි ඒවායේ ඇත. අසන්නා සිතූ දෙයට එම වැකිය නොගැලපුනේන්නම් ගිරවා ලවා තවත් කොළයක් ගනියි. එවිට සමහර විට සිතු දේට එය ගැලපේ නම් සාස්තර අසන්නා සතුටින් පිටත් වී යයි. පිරිමින්ගේ දකුණු අත්ලෙන් ගැහැනුන්ගේ වම් අත්ලෙත් පිහිටා ඇති රේඛාවලින් එම තැනැත්තාගේ හෝ තැනැත්තීන්ගේ අනාගතය සටහන් වී ඇතැයි අත බලා සාස්තර කියන්නෝ පවසති. විවාහය, දරුවන්. ධනය, අධ්‍යාපනය වැනි කරුණු එහි සටහන් වී ඇතැයි කියති. සාස්තරය කියන්නා අසන්නාගේ අත ගෙන විවිධ ප්‍රශ්න අසමින් කතාව ගොඩ නගයි. බොහෝ විට සාස්තරකාරයා කියන්නේ අතේ ඇති හොඳ ලක්ෂණයි. උත්සාහවන්ත බව, එඩිතර බව, වාසනාවන්ත බව, කරුණාවන්ත බව ආදී දේ වැඩිපුර පවසයි. ඉන්පසු තවම පැමිණ නැති අනාගතය ගැන නොබිය ව අදහස් ඉදිරිපත් කරයි. තත්කාලය අල්ලා සාස්තර කියන අය ද සිටිති. එහිදී මුල්කර ගන්නේ සාස්තර අසන වේලාවයි. දවසේ එම අවස්ථාවේ පවතින ග්‍රහචාරය මේ සඳහා යොදා ගන්නා බව කියති. එසේම සාස්තරකාරයා එහිදී තවත් ප්‍රශ්න අසයි. කැමති මලක නමක්, දහයෙන් පහල ඉලක්කමක් වැනිදේ ද සාස්තර ඇසීමට පැමිණි  තැනැත්තාගෙන් අසයි. එහිදී කියන සාස්තරය ද ආරූඪයෙන් කියන සාස්තරයට සමාන ය. වෙනසකට ඇත්තේ කියන්නා කලබලයක් නැතිව යම් යම් දේ පැවසීමයි. අත් අකුරු බලා සාස්තර කියන ක්‍රමයක් ද සමහරු විශ්වාස කරති. දෙදෙනෙකුගේ අත් අකුරු සමාන නොවේ. සියුම් හෝ වෙනසක් ඇත. මෙය විද්‍යාත්මක සත්‍යයකි. අධිකරණයේදී පවා යම් යම් ලියවිලිවල අයිතිකරුවන් සොයා ගැනීමට අත් අකුරු විශේෂඥයන් යොදා ගන්නා බව පෙනේ. අන් අකුරු ඇසුරින් යමෙකුන්ගේ ජීව්තයේ අනාගතය කින්ට හැකිය යන අදහස එයින් ඇති වූවා සේ සැලකිය හැකි ය. රවුම් අකුරු ලියන්නේ කලාවට ලැදි අයය, පළල් අකුරු ලියන්නේ දුකෙන් සිටින අය ය, හැඩ අකුරු ලියන්නේ බුද්ධිමත් අය ය, අකුරේ ඉහ ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වන්නේ ආත්මාර්ථකාමීන් ය, ආදී වශයෙන් පිළිගත් සම්ප්‍රදායක් එහි ඇත. එහෙත් ඒවා පොදු සත්‍යයන් නොවන බව අත්දැකීමෙන් වටහා ගත හැකි ය. අංග ලක්ෂණ බලා සාස්තර කියන්නන් අතේ රේඛා පමණක් නොව ශරීරයේ වෙනත් අංගත් පරීක්ෂක්ෂාවට ලක් කරයි.  කකුලේ මහපට ඇඟිල්ලට වඩා ඊළඟ ඇඟිල්ල දිගින් අඩු නම් දුප්පත් වේ, කකුලේ යටිපතුලේ මැද බිම නොගෑවෙයි නම් කාමුක ය, අතේ ඇඟිලි දිග නම් කලාවට ලැදි ය, ඉස්සරහින් තට්ටය ඇත්තා කපටියෙකි, පසෙන් තට්ටය ඇත්තා මෝඩයාය: ආදි වශයෙන් විවිධ විශ්වාස මේ අනුව ගොඩ නැගී ඇත.