gossiplanka image 1
 


1. ගෙය ඉදිරි පස තැඹිලි ගස් තිබීම අසුභ ය.


පෙර කාලයේ තැඹිලිවලට සැලකුවේ ගරු සරු ඇතිව ය. එදා ලෙඩෙකුට ඇරුණු විට තැඹිලි බීමට දුන්නේ හාමුදුරුවන්ට පමණ ය. උදේ කාලයේ මිස සවස් කාලයේ තැඹිලි බීම අගුණ යයි ද කියති. තැඹිලි ගෙය ඉදිරි පස සිටවීම සුදුසු නැතැයි කිවේ තැඹිලි බීමට ගෙදර අය පෙළඹෙතියි සිතා විය හැකි ය.  එහෙත් සමහරු කියන්නේ ගේ ඉදිරි පස තැඹිලි සිටවීම සුදුසු බවයි.


2. ගෙය ඉදිරිපස පිහිඹියා ගස් සිටවා තිබීමෙන් ගෙට වාසනාව  ගෙනේ.


සිහින් කොළ සහිත දැකුමිකළු ගසක් වූ පිහිඹියා ගස වාසනාවන්ත ගසක් වූයේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම විශ්වාසය දිවයිනේ සෑම ප්‍රදේශයකම සල දක්නට ඇත.



3 ගෙය ඉදිරිපස අඹ ගස් සිටවීම සුදුසු ය.


අඹ ගස තුළ ගුප්ත බලයක් ඇතැයි පෙර සිට මතයක් පවතී. යකැදුරන් ලෙඩ සුව කිරීමට අත්ත ගහ මැතිරීම සඳහා ගන්නේ අඹ අත්තකි. පත්තිනි දේවතාවිය සම්බන්ධ යාතු කර්මයක් වන අඹ විදමන අඹ ගහට සම්බන්ධ පුවතක් කියයි. පත්තිනි දේවතාවිය උපනේ අඹයකිනි. අඹ ගලට අකුණු නොවදිනියි විවාහයක් ගැමියන් අතර පවතී. මේ කරුණුවලින් පෙනෙන්නේ අඹ ගස සුවිශේෂ ගසක් බව ය.  ගෙය අසල සිටවිය යුතු ගස් ගැන සඳහන් කරන මයි මතය ග්‍රන්ථය සඳහන් කරන්නේ කොස්, පොල්, අඹ උක් ජමනාරන් වැනි ගස් ඊට සුදුසු බවයි. එහිදී එම ගස් පලතුරු ගස් වශයෙන් ඇති වටිනාකම ගැන පමණක් සලකා ඇති බව පෙනේ.


4. ගෙයි මුල්ලට ළිඳ අසු වීම ගෙහිමියාට අසුභ ය.


ළිඳ කපන ස්ථානය හා ළිඳ කැපීම සම්බන්ධයෙන් විවිධ විශ්වාස පවතී. ජලය ජීවිතයට ඉතා වැදගත් දෙයක් වීම ඊට හේතුවයි. ළිඳක් කපා වතුර ලැබීම වූ කලී වාසනාව සම්බන්ධ දෙයක් වෙයි. සමහර ළිවලින් වතුර නොලැබේ. තවත් ඒවායේ වතුර නියං කාලයේ සිඳී යයි. තවත් එකක වතුර අපිරිසිදු ය මේ ආදී කරුණු ගැන බලන විට ළිඳ ජීවිතයට බලපායි. ළිඳක් කැපීමට සුදුසු පැත්ත වශයෙන් මයි මතය සඳහන් කරන්නේ ගෙට ඊසාන දිශාවයි.


5. වද ගස් ගේ අසල සිටවීම අසුභ ය.


පැරණි යුගවල සිට වද මලට ලැබී ඇත්තේ අසුභ පක්ෂ යයි. එදා දඬුවම් දීම සඳහා ගෙන යන අපරාධකාරයන්ට පළඳවා ගෙන ගියේ වද මල් මාලාවන් ය. වද වලට සම්බන්ධ නිසා මේ ගසට වද ගස යන නම ලැබී ඇතැයි සිතිය හැකිය.  රතු පැහැය නිතරම අසුභ පක්ෂය නියෝජනය කළ අතර වද  මල් පූජා කිරීමට පවා නොගනිති.


6. ගෙය ඉදිරි පස ලේ පැලක් සාදා දිනපතා රාත්‍රියේ පහන්  දැලවීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගත හැකි ය.


ඈත දේවාලයකට යාමට ඇති අපහසුව නිසා දෙවියන් ගෙය අසලට ම වැඩමවා ගැනීම මින් අදහස් කෙරේ. මෙය තවත් දියුණු වී ගේ තුළ ම මෙවැනි පහන් දැල්වීම ද කෙරෙන බව පෙනේ. මෙලේ වැඩ වසන දෙවියන් කවුරුන්ද යන්න ගැන එම පහන් දන සමහර අයට වැඩි වැටහීමක් නැත. සමහරු පොළෙන් හෝ වෙනත් තැනකින් මිලදී ගත් එසේත් නැත්නම් පුවත් පතකින් කපා ගත් දේව රූපයක් මෙම මල් පැලේ තබති. සමහර තැනක විෂ්ණු දෙවියන්ගේ පිංතූරය ඇත. තවත් තැනක කතරගම දෙවියන් ගේ පිංතූරය ඇත. සමහරු දේව රූප අතර බුද්ධ රූපයක් ද තබති. කෙසේ වුවත් මල්පැලට පහන් තබා කියන්නේ ගාථා ය. මුලින් පන්සිල් ගනී. ඉන්පසු මල් පූජා කිරීමේ ගාථාව, පහන් පූජා කිරීමේ ගාථාව, බුදුගුණ ගාථාව හෝ තමන්ට පාඩම් ඇති ඕනෑම ගාථාවක් මෙහිදී ගායනා කරනු ලැබේ. ඉක්බිති දෙවියන්ගෙන් ඉලිය යුතු යම් විශේෂ ඉල්ලීමක් වේ නම් එය සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියති.


7. ගෙයි ප්‍රධාන දොටුව මුදුනේ යක්ෂ හෝ රාක්ෂ වෙස් මුහුණක් සවි කිරීමෙන් ගෙට ඇති ඇස්වහ දෝෂ දුරු වෙයි.


ගෙය දෙස බලන්නා ගේ ඇස් කෙළින් ම දිවෙන්නේ එම යක්ෂ වෙස් මුහුණට ය. එවිට ගේ දෙස බලා ඊට ඊර්ෂ්‍යයා කරන තැනැත්තාගේ ඇස්වහ එම වෙස් මුහුණ නිසා ඇති වේ. යක්ෂ, රාක්ෂ මුහුණු බියකරු වුවත් ඒවා අසුභ වස්තු ලෙස සලකන්නේ නැත. රෝග සුව කිරීම සඳහා කෙරෙන තොවිල්වලදී යකැදුරා යකුන්ගේ රූප ඇතුළත් වෙස් මුහුණු පළඳියි. විශේෂයන් ගරා යක් මුහුණ, නාග රාක්ෂ මූණ  ආදිය මීට අයත් වෙයි. එයින් ලෙඩාට වන්නේ සෙතකි. ඒ අනුව මෙවැනි මුහුණු ගෙදරට වාසනාව ගෙන දෙන බව කල්පනා කරන බව පෙනේ. එසේම යකුන් රකුසන් සිටින තැනට පේන්න, පිසාච, කුම්භාණ්ඩාදීන් පැමිණෙන්නේ නැති බව ද කියති. වර්තමානයේ සමහරුන් මෙම වෙස් මුහුණු ගෙදර එල්ලා තබන්නේ ඒවායේ කලාත්මක අගයක් ඇති බව සිත්හි තබාගෙන බව පෙනේ.


8. ජීවම් කරන ලද සුවඳ දුම් ඇල්ලීමෙන් ගෙට වාසනාව ළඟා වෙයි.


දුම්වල ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසය හින්දු ආගම ආශ්‍රයෙන් පැමිණි එකක් ලෙස සැලකිය හැකි ය. එහි සුවඳ දුම්වලින් දෙවියන් පුදනු ලැබේ. මෙය ගුරු කොට ගත් බෞද්ධයන් ද බුදුන් පිදීමට සුවඳ දුම් යොදා ගන්නා බව පෙනේ. ගෙයි වසන ප්‍රේත, පිසාච ආදීන් පලවා හැරීමට ද  දුම්මල දුම් අල්ලනු ලැබේ. දුම් නිසා මදුරු මැසි සතුන් ගෙයින් පිට වී යන්නාක් මෙන් පේන්න, පිසාචයන් ගෙයින් පිට වී යනියි සිතුවා විය හැකිය. ගෙට සුවඳ දුම් ඇල්ලීමෙන් අමනුෂ්‍යයන් දුරු වී යනවා පමණක් නොව ගෙට වාසනාවද ගෙන එන බව විශ්වාස කරති. සුවඳ දුම් ලබා ගැනීම සඳහා යොදන කුඩු නිපදවීමට දුම්මල, සාම්බ්‍රානි, කට්ටකුමන්ජල්, කපුරු වැනි ද්‍රව්‍ය ගනු ලැබේ. සුවඳ දුම් නිසා බාහිර ව පෙනෙන යහපත නම් ගෙයි ඇති විවිධ අප්‍රසන්න ආඝ්‍රාණයන් නැති කර ප්‍රසන්න ගතියක් ඇති කිරීමයි.


9. ගෙයි ගේ කුරුල්ලන් වාසය කිරීම ගෙට වාසනාව ගෙන දෙන්නකි.


සමහර පැරණි ගෙවල මුට්ටි සිදුරු කර බිත්තිවල රඳවා ගේ කුරුල්ලන්ට වාසස්ථාන සකස් කර දී ඇති සැටි දැකිය හැකි ය. අපල හදිහුනියම් ඇති ගෙවලට ගේ කුරුල්ලන් නොපැමිණෙන බවත් උන් එන්නේ එවැනි දේ නැති ගෙවලට බවත් ඔහු කියති. එසේ වාසය කළ ගේ කුරුල්ලන් හදිසියේ ගෙය අත් හැර දමා ගියොත් ගෙවැසියෝ බිය වෙති.ගෙදරට නපුරක් සිදුවීමට ආසන්න බව ඉන් හැඟෙතැයි සිතු බැවිනි. පරෙවියන් ගැන ද මෙබඳු ම විශ්වාසයක් පැතිර පවතී.


10. බිත්තර ද ගෙන කළු කූඹි සමුහ වශයෙන් ගෙට එන්නේ නම් ගෙට වාසනාව ගෙනෙන පෙර නිමිත්තකි.


කුළු කූඹියා අනෙක් කූඹීන් අතර අහිංසකයෙකි. ඌ සපා කන්නේ නැත. උන් ගෙනෙන බිත්තර උන්ගේ දරුවන් ය. ගැමියන් දරුවන් සැලකුවේ සම්පතක් ලෙසිනි. සම්පතක් ගෙන ගෙට ඒම ගෙට වාසනාවක් ලෙස සිතුවා විය හැකිය.


11. ගෙයි සීවලී රහතන්වහන්සේගේ පිංතූරයක් එල්ලීමෙන් ගෙයි කෑම හිග නොවෙයි.


මෙය බුද්ධ චරිතයට සම්බන්ධ සීවලී රහතන් වහන්සේන්ගේ කතාව ප්‍රචලිත වීමෙන් ඇතිකර ගත් විශ්වාසයක් ලෙස සැලකිය හැකි ය. සීවලී රහතන් වහන්සේ පෙර ජන්මයේදී දෙන ලද දන් නිසා උන්වහන්සේ කොයි තැනක ගියත් කෑමවලින් අඩුවක් නැතිව හොඳින් ලැබුණු බව සඳහන් ය.  මේ අනුව උන්වහන්සේන්ගේ පිංතූරය ඇති තැනටත් කෑම බීමවලින් අඩුවක් නැති වේ යයි විශ්වාස කරති.


12. ගෙදර ඇති කරන බලු බළල් සතුන් හදිසියේ මිය යන්නේ නම් එම ගෙදරට හුනියමක් කර ඇත.


ගෙදර ජීවත් වන්නන් එකිනෙකා විරසක කරවීම, ලෙඩ කරවීම, ධනය විනාශ කරවීම හා අවසානයේ මරණය ළඟාකර වීම වැනි දේ කිරීම සඳහා හුනියම් කරනු ලබන බව  කියති. ගෙදර අයගේ කෙස්, නිය වැනි දෙයක් හෝ මිනී අළු වැනි දෙයක් උපයෝගී කරගෙන ඒවා මන්ත්‍රවලින් ජීවම් කර අවශ්‍ය කරන ගෙදර වත්තේ වැළලීමෙන් හුනියම් කරන බව පිළිගැනීමයි.


මෙය කපටි යකැදුරන් විසින් මිනිසුන්ගේ මානසික දුර්වලකම් වලින් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා යොදාගත් උපාය මාර්ගයක් ලෙස ද නුතන අදහස් ඇති අය පෙන්වා දෙනි. ඉහත සඳහන් ආකාරයට ගෙදර සතුන් මිය යන්නේ  නම් උන්ට යම් වසක් විසක් කැවී ඇත්දැයි සොයා බැලීම වැදගත් බව සමහරු කියති.


13. ගේ තුළ වේයන් තුඹසක් බැදීම ගෙට අවාසනාව ළඟා වීමකි.


වර්තමානයේ ඇත්තේ සිමෙන්ති දැමු ගෙවල් බැවින් හුඹස බැඳීමේ ප්‍රශ්නයක් නැත. එහෙත් අතීතයේ බොහෝ ගෙවල බිම ගා තිබුණේ ගොම මැටි ය. එම ගෙවල් තුඹස් බැඳීමට අවස්ථා වැඩියෙන් තිබිණි. තුඹස සර්පයන්ගේ වාසස්ථානයයි. ගෙයි තුඹසක් ඇති විට සර්පයන් එහි ලැගුම් ගැනීම සිදු වේ. එයින් ගෙදර සිටින අයට අවාසනාව පමණක් නොව ජීවිතය ද අහිමි වීමට ඉඩ තිබේ.


14. එළිපත්ත උඩ තනි කකුලෙන් සිටගෙන සිටීම ගෙට අසුභ ය.


එළිපත්ත යනු ගෙයින් පිටටත් ඇතුළටත් යාමට ඇති ප්‍රධාන දොරටුව මැදයි. දොර උළුවස්සේ පාදම මීට අයත් ය. අතීතයේ ගෙවල උළුවස්සේ යට පැත්තට ද හරස් ලීයක් දමා තිබිණි. මෙම ලීය උඩ තනි කකුලෙන් නැතිව කකුල් දෙකෙන් ම වුවත් සිටගෙන සිටියොත් වෙන කෙනෙකුට ගෙට යාමටත් ගෙයි සිටින කෙනෙකුට පිටට යාමටත් නොහැකි වෙයි. මෙම අවහිරය සලකා ඇති වූ විශ්වාසයක් විය හැකිය. කෙසේ වුවත් මෙම විශ්වාසය දරන අය කියන්නේ ගෙට පැමිණෙන සිරියාකාන්තාව මෙම අවහිරය දැක ආපසු යන බවයි.



15. අඳුර වැටීගෙන එන වේලාවේ (ගොම්මන් වේලාවේ) ගෙය හෝ  මිදුල අතුගෑම අසුභ ය.


අඳුර වැටීගෙන එන වේලාව ගෙට අරක් ගත් දෙවියන් ඇතුළු අමනුෂ්‍යන් ගෙට ඇතුළු වන වේලාවයි. එම වේලාවේ  ගෙය අතුගෑමෙන් ඒ අයට කරදරයක් වේ යයි ගැමියෝ විශ්වාස කරති.  එසේ වුවත් මෙසේ අසුභයයි කීමේ අදහස සරල ආකාරයෙන් දැන් ගැමියන් ද වටහා ගෙන ඇති බව සාකච්ඡාවලදී හෙළි විය. එම වේලාවේ දී අතුගෑමෙන් එළිය අඩුකම නිසා ගෙයි හෝ මිදුලේ වැටී තිබිය හැකි වටිනා කුඩා දේ එනම් රන් රිදී ආභරණ වැනි දේ අතුගෑවී යාමට ඉඩ ඇත. මේ අදහස දැන් ගැමියෝ බොහෝ දෙනෙක් දනිති.


16. ගෙයි වහලයට බල්ලෙකු නැගුනොත් එය ගෙට අසුභ දෙයකි.


බල්ලෙකු වහලයට නැගීම ඉතාමත් දුර්ලභ සිද්ධියකි. මෙවැනි විශ්වාසයක් ඇතිවන්නට ඇත්තේ ද එම නිසා විය හැකිය. කඳු බෑවුමක ඇති ගෙයක වහලයට බලෙකු කලාතුරකින් නැගිය හැකි ය. බල්ලා නීච සතෙකු වන අතර ඌ උව්ඡ ස්ථානයකට නැගීම වූ කලී ගෙදර අය පහත වැටීමක පෙර නිමිත්තක් ලෙස සැලකුවා විය හැකිය