
කෙම්පෝ සටන් ක්‍රමයෙහි උපත චීනයේ ෂාඕලින් පූජකාරාමය හා බැඳී පවතී. ෂාඕලින් සටන් ක්‍රම භික්ෂූන් හරහා ක්‍රමයෙන් චීන ජනතාවට සංක්‍රමණය විය. ක්‍රි.ව. 1300 පමණ වන විට චීන ධීවර ජනතාව ක්‍රමයෙන් ජපානයේ ඔකිනාවා දිවයින් අසල ධීවර බිම්වලට සේන්දු වූහ. ඔවුහු ඔකිනාවා දිවයින් වාසීන්ට කුග් ෆු සටන් කලාව හුරු කළහ. එම ධීවරයන් දක්ෂ සටන්කරුවන් නොවූ නිසා ඔවුන්ගේ ඉරියව් හා පහරදීම්වලින් මුල් සටන් කලාවේ තිබූ සුමට බව ගිලිහී ගියේය. හුදෙක් තාක්ෂණික වැදගත්කමක් ඇති ප්‍රහාරයන්ගේ සංකලනයක් වශයෙන් ඉතිරි වූ මේ සටන් ක්‍රමය චීන කෙපෝ සටන් ක්‍රමය ලෙස හදුන්වන ලදී. නිල බලා පහර දීම, පා පහර, මුෂ්ටි ප්‍රහාර හා විවිධ ආකාරවලට පනිමින් පා පහර එල්ල කිරීම කෙම්පෝ සටන් ක්‍රමයේදී ඉගැන්වේ. වර්තමානයේ මහත් ජනප්‍රියත්වයට පත්ව ඇති කියෝ කුෂින් කායි කාන් සටන් ක්‍රමය කරාටේ හා කපෝ ක්‍රමවල දෙමුහුමකි.
කලාරි සටන් ක්‍රම
ඉන්දියානු ආත්මාරක්ෂක හා යුධ සටන් ක්‍රමයක් වූ කලාරි ශිල්පය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ඇසුරු කරගත් ජන සටන් සම්ප්‍රදායකි. කලාරි සටන් ක්‍රම කලාරිප්පයාට් යන නමින් ඉන්දියාව තුළ හැඳින්වේ. 12 වන සියවසේදී පමණ බිහි වූ මේ සටන් කලා සම්ප්‍රදාය 16වන සියවස වන විට ක්රළය තුළ මහත් ජනප්‍රියත්වයට පත්විය.
1. ආත්මාරක්ෂක ප්‍රයෝග
2. යුධ ශිල්ප
3. නිල ශාස්ත්‍රය යන අංග මේ සටන් ක්‍රමයට ඇතුළත්ය. කලාරි ක්‍රමයන් සඳහා ගුරු කර ගනුයේ මර්මස්ථාන පිළිබඳ ඉන්දියානු ශාස්ත්‍රයයි.
කලාරි සටන් ගුරුවරයා ගුරුක්කල් නම් වේ. ඔහු මූලික සටන් ක්‍රම ප්‍රසිද්ධියේ උගන්වන අතර නිල ශාස්ත්‍රය හා වෙනත් උසස් සටන් ක්‍රම රහසිගතව උගන්වයි. කලාරි සටන් ක්‍රම චීන කෙම්පෝ සටන් ක්‍රමවලට සමීපය. පහරවල් රළුය, ගොරහැඩිය, චීන සටන් ක්‍රමවල ඇති නිසගයෙන් ගලා යන ගුණය මෙහි නැත. කෙසේ නමුත් ෂාඕලින් සටන් ක්‍රමවල ඇති සතුන්ගේ ඉරියව්වලට සමාන තාක්ෂණ ක්‍රම කලාරි සටන් ක්‍රමවල ද භාවිත වෙයි. පුලියන්කම් හෙවත් කොටි පිම්ම නම් පහර කොටියෙකු අනුකරණය කරමින් පැන පහරදීමේ ක්‍රමයකි. කලාරි ක්‍රමයේ අඩංගු සටන් මූලධර්මයන් පහත පරිදි වර්ග කළ හැකිය.
1. පායාට්ටු - පහරදීමේ පෙරහුරු ක්‍රම (කරාටේ ශිල්පයේ ඇති කාටාවලට සමානය)
2. ආයුධ රහිත ද්වන්ධ සටන්
3. අවි හරඹ .
කලාරි ක්‍රමයට අදාළ ආයුධ විශාල සංඛ්‍යාවකි. මෙහි එන කඩු සටන්වලදී කඩු පහරින් ආරක්ෂා වීමට පලිහක් පැළඳීම විශේෂත්වයකි.ඉණ වටා රෝල් කරන්ගෙන යා හැකි දිගු කඩුව කලාරි සටන් ක්‍රමවල ඇති භයානකම අවියයි. මේ අවිය පුහුණු වීමට ඉඩ ලැබෙනුයේ ප්‍රවීණයන්ට පමණි. (Spiral Sword) මධ්‍යතන යුගයේ අංගම් පොර නමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වූයේ මේ කලාරි සටන් ක්‍රමයි. කෙසේ නමුත් කලාරි ක්‍රමයෙන් වෙනස්ව දේශීය අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට අංගම් පොර ශිල්පීන්ට හැකිවිය. අංගම්පොර ක්‍රමයෙහි භාවිත වන නිල ශාස්ත්‍රය කලාරි ක්‍රමයේ භාවිත වන නිල ශාස්ත්‍රයට වඩා තරමක් වෙනස් ය. කලාරි ක්‍රමයේ භාවිත වන නිල ස්ථාන අතර දුර මනිනුයේ ඇගිලි පුරුක්වලිනි. අංගම් පොර ක්‍රමයේදී නිල ස්ථාන අතර දුර මනිනුයේ වියත්වලිනි.
11. ටයිකොන්ඩෝ
ටයිකොන්ඩෝ යනු විසිවන සියවසේ මැද භාගයේ අතිශය ජනප්‍රිය වූ අද්විතීය කොරියානු පා සටන් ක්‍රමයකි. කොරියානු හමුදා සටන් විශේෂඥයකු වූ ජෙනරාල් චොයි හොංහයි ගුරුතුමා සාම්ප්‍රදායික කොරියානු පා සටන් ක්‍රමයක් වන ටෙක් යොන් ක්‍රමයේ ඇති වැදගත්කම වටහාගෙන කරාටේ ශිල්පයෙන් තාක්ෂණික ප්‍රයෝග ද එකතුකර ටයිකොන්ඩෝ සටන් ක්‍රමය නිර්මාණය කළේය. ටයිකොන්ඩෝ යන්නේ තේරුම අත් පා සටන් ක්‍රමය යන්නයි. කෙසේ නමුත් ටයිකොන්ඩෝ ක්‍රමය හා සටන් ක්‍රමයකි. අත් සටන්වලට ඇත්තේ සුළු ඉඩකි. වේගයෙන් පාද මෙහෙයවා දෙන විවිධාකාර මාරක පා පහරවලින් ටයිකොන්ඩෝ ශාස්ත්‍රය සමන්විත වේ. ටයිකොන්ඩෝ ශිල්පයෙහි මූලික ඉගැන්වීම් ක්‍රම පහත පරිදි වේ.
1. මූලික පහරදීම් (basic techniques)
2. පහරදී තද ද්‍රව්‍ය බිඳ හෙළීම (Breaking techniques).
3. පෙර සැලසුම් කළ සටන් ක්‍රම පුහුණුව (Forms)
4. සටන් අවි පුහුණුව (Oriental Weapons)
5. මුහුණට මුහුණලා සටන් (Free Sparring)
ටයිකොන්ඩෝ ශිල්පයේ මූලික තාක්ෂණ විධි අන් සටන් ක්‍රමයන්ට වඩා තරමක් වෙනස්ය.
1 පහරට සිරුරේ බර එක් නොකර පහර දීමේ වේගය වැඩි කිරිමෙන් පමණක් වැඩි ඵලදායීතාවක් ලැබ ගැනීම.
2. කය සැහැල්ලුවෙන් තබාගෙන වැඩි වෙහෙසක් නොවී සටන් කිරීම.
3. උඩ පැන පහර නිදහස් කිරීමේ තාක්ෂණය. (මේ ක්‍රමයෙන් සිරුරේ මස්පිඩු නිසියාකාරව නිදහස්ව මෙහෙයවීමට හැකියාව ලැබේ.)
4. පහර පැනීමේ ක්‍රමය. (ඉදිරියට පැන පහර දීමත් පහර දෙමින් පැනීමත් යන ආක්‍රමණික තාක්ෂණ ක්‍රම නිසා සතුරාට පසු බැසීම විනා වෙනත් පියවරක් ගැනීම අපහසුවෙයි.)
5. ටයිකොන්ඩෝ ක්‍රමයටම ආවේණික වූ පැති පා පහර (ටයිකොන්ඩෝ ක්‍රමයේදී පැති පා පහර දෙනුයේ කරාටේ ක්‍රමයට වඩා වෙනස් විධියකටයි. මෙහිදී පාදය ඉංග්‍රීසි එල් අකුරේ හැඩයට නවා අවශ්‍ය පමණට ඔසවා වේගයෙන් පහර වදින දිශාවට පාදය විසිකර පහර දෙයි. පහර වදිනුයේ විලුඹෙහි පිට පැත්තේ දාරයෙනි. කවාකාරව එල්ලවන මේ මාරක පහර වැළැක්වීමට පහර වැළැක්වීම් ක්‍රම බොහෝ විට අසමත් වෙයි.) 6. පහර කෙටීමේ ක්‍රමය. (ටයිකොන්ඩෝ ක්‍රමයේදී අත් පා ආයුධ ලෙස සිතා ආයුධයකින් කොටන්නාක් මෙන් නිදහසේ පහර දිය යුතුය.) දැනට ලෝකයේ ප්‍රධාන ටයිකොන්ඩෝ ක්‍රම දෙකක් ඇත.
1. ලෝක ටයිකොන්ඩෝ පදනම (World Tae Kwon Do Federation)
2. ජාත්‍යන්තර ටයිකොන්ඩෝ පදනම (International Tae Kwon Do Federation) ලොව පුරා ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම, තරගාවලි සංවිධානය, ක්‍රීඩා නීති රීති සකස් කිරීම, ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ තීරණ ගැනීම ආදිය මෙම ස්වධීන ආයතන දෙක මගින් ඉටු කෙරෙයි.
Comments
Post a Comment