gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, තව දින කලකන් වසරක් ගෙවිල නව වසරක් උදා වෙනවා. ගෙවී ගිය කාලයේ අපි ගත කළ ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමක් කළ යුතුයි නේද මේ මොහොතේදී?


ඔව්. පසුගිය කාලයේ අප අතින් යම් වැරැදි සිදු වුණා නම් ඒ ගැන තවත් දුක් වෙන්න එපා. ඉදිරියේදී යහපත් ව ජීවිතය ගත කිරිමෙන් අර සිදු වූ වැරැදි වහගෙන අපට ඉතා හොඳ දියුණුවක් කරා යන්න පුළුවන්. බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අංගුලිමාල හිමියන්ට මේ පිළිබඳ අනුශාසනාවක් සිදු කළා. ධම්ම පදයේ 173 වැනි ගාථාවේ එය මෙසේ සඳහන් වෙනවා.

                                               යස පාපං කතං කම්මං

                                               කුසලේ පඨියති

                                               සෝ ඉමං ලෝකං පභාසේති

                                               අබ්භ මුත්තෝව චන්දිමා


                                             යමකු කළ පව ඔහු

                                             කුසලින් මුවහ වෙද

                                             හේ ලොව බුබුළුවයි

                                             වලාවෙන් මිදුණු සඳ ලෙද


එහෙම නම්, විවිධ ප්‍රශ්න නිසා අසමගි වෙලා ඉන්න අපේ රටේ මිනිසුන්ට ඒව අමතක කරල ඉදිරියට යන්න තව ම අවස්ථාව තියෙනවා. ඒත් අපේ රටේ යම් යම් ජාතික ප්‍රශ්නවලදී දේශපාලන වශයෙන් බෙදී සිටිනවා මිසක් එකමුතුකමක් නැහැ නේද?


ඔව්, අපේ රටේ ඒ ක්‍රමය තමයි තියෙන්නේ. හොඳ - නරක හැම දේකට ම විරුද්ධ යි. බලයේ ඉන්න පක්ෂය මොන දේ කළත්  හොඳ නැහැ කියල විවේචනය කරනවා. එහෙත් ඒ අයත් බලයට ඇවිත් කරන්නෙත් ඒ දේ ම යි. බලයේ ඉන්න පක්ෂය කකුලෙන් ඇදල බිමට දාන්න ම යි හැම වෙලාවෙම බලන්නේ. අනාගතය පිළිබඳ ජාතික සැලසුමකට එකමුතුවක් දක්නට නැහැ. මේ වවුල් ප්‍රතිපත්තිය තියෙන තුරු අපේ රටේ දියුණුවක් දකින්න බැහැ. මේ නිසා හැම දා ම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. ඇමෙරිකාවේ මේ තත්වය වෙනස්. මොන පක්ෂය බලයේ හිටියත් ජාතික ප්‍රශ්නයකදී ඩිමොක්‍රටික් සහ රිපග්ලිකන් පක්ෂ දෙක ම එකට එකතු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ඒ රටේ ජාතික නායකයෝ වැරදි තීරණ අරගෙන තියෙන්නේ. එහෙත් අපේ නායකයො වැරදිකාරයා' කියලා කිසි ම අවස්ථාවකදී ලෝකයට කියන්නේ නැහැ. ජෝර්ජ් බුෂ් මහතාගේ ඇතැම් ප්‍රතිපත්ති ඩිමොක්‍රටික් පක්ෂය අනුමත කළේ නැහැ. ඒත් එයා යුද්ධයකට අවතීර්ණ වුණාට පස්සේ රටක් ජාතියක් වශයෙන් සියල්ලෝම එකට එකතු වුණා. විවේචන කළේ නැහැ. හමුදාවේ අය අධෛර්යවත් කරන ප්‍රකාශ නිකුත් කළේ නැ. දැන් අපටත් හොඳ ම අවස්ථාවක් උදා වෙලා තියෙනවා වසර තිස් පහකට පන්සේ. ඒ තමයි මේ යුද්ධය නිසා නොයෙක් අංශවලින් පිරිහුණ රට අප සියලු දෙනාම එකතු වී දියුණු කිරීම යි. නිදහසින් පසු බිහි වූ හැම දේශපාලන පක්ෂයක් ම කුහකකමින් පිරිලා. මොන රජයක් හෝ හොඳ දෙයක් කරන විට අනිත් පක්ෂවල අය එන්.ජී.ඕ කාරයෝ එක්ක ඊට විරුද්ධ ව පෙළපාලි කියනවා; මහා සටන් පාඨ කියනවා. යුද්ධයකදී මිනිසුන් මැරෙනවා තමයි. අපේ රටෙ ඇති වී තිබෙන ප්‍රශ්නය විසඳීමට යාමේදී අනෙක් අය සහය දීම නො වෙයි කරන්නේ ඒ මුවාවෙන් කෑගහල බලය අල්ලගන්න යි. අපේ හැඟීම රටේ අයට රට ගැන නොව බඩ ගැන උනන්දුව යි තියෙන්නේ. අහිකුණ්ඨික කණ්ඩායමක හරි බලය අල්ලගන්න තියෙනවා නම් අපේ අයට වෙන මොනවත් ඕනේ නැහැ. මේ සියල්ලට පෙර රට නිදහස් කරගෙන බලය ගැන සිතන්න තරම් පටු අදහස් තිබෙන, බෝඩ් එල්ලගෙන කෑගහන, වළං මුට්ටි පොළවේ ගහන අයට සභාවයක් නෑ.


අපේ රට කෘෂිකාර්මික ජීවන රටාවකින් පැවත එන රටක්?


ඔව්. අතීතයේදි අපේ රට සහල්වලින් ස්වයංපෝෂිත රටක්. අතිරික්ත සහල් ප්‍රමාණයක් පිටරටත් යැව්වා. නමුත් කෘෂිකර්මාන්තය නගාසිටුවනවා කියල දැන් කරන්නේ බොරුවක්. නිලධාරි පැලැන්තිය විසින් බොරු විජ්ජා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරල පාලකයන් රවට්ටනවා. පාලකයන් ඉදිරියට යද්දී නිලධාරින් ආපස්සට දුවනවා. ඒ පාලකයන් රැවටීමෙන් කරන්නේ රටේ අනාගතය සමග සෙල්ලම් කිරීමයි. අපේ රටේ නිලධාරින් හැම දා ම කටින් බතල හිටවනවා. අපි කියනවා මෙච්චර කුඹුරු ප්‍රමාණයක් වගා කරනවා, මෙච්චර සහල් ප්‍රමාණයක් සහල් අස්වැන්නක් ලබාගන්නවා කියලා. පත්තරවලත් වගා කරනවා පෙන්වනවා. ඒත් ගමට ගිහිල්ල බලපුවහම නම් ඒ බවක් පේන්නේ නැහැ. පුරන් කඹුරු යායවල් දකින්න පුළුවන්. මගේ ගමේ යාය සහෝදරයන්ට අයිති කුඹුරුවත්  වැඩ කරන්නේ නැහැ. මම ඇහුව මොකද කියලා. ඌරන්ගෙන් පරිස්සම් කරන්න බැරි නිසා කුඹුරු වැඩ කරන්නෙ නැහැ කියලා කිවා. අපේ පැරණි නිවෙස්වල දෙල්, කොස්, දොඩම්, කරපිංචා ගස් පලා වර්ග වගා කළා. ගෙදර කෑමට අවශ්‍ය කරන සියලු ම දේවල් ගෙවත්තේ වගා කළා. ඒත් අද කොස් මදුළු පවා සුපර් මරිකට් එකෙන් ගේන්නේ. කොස් පැකට් එක පවා සුපර් මාකට් එකෙන් ගෙන ඒම ආඩම්බරයට කාරණයක් වෙලා. මම දැකල තියෙනවා හැම තැන ම ඉඩ කඩම් තියෙනවා.


ඒත් වගා කරලා නෑ. ඒකට හේතුව අපි බොහොම කම්මැළියි, පොහොර දාන්නේ නැහැ. වතුර දාන්නේ නැහැ. ආදරයක් නැහැ. ආසාවක් නැහැ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. ඔකොම පුරුදු වෙලා ඉන්නේ සුපර් මාකට් ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරපිංචා කොළේ පවා ගන්න යි. වගා බිම් ප්‍රමාණය අඩු වෙන කොට මිනිසුන්ට ආර්ථික අසහනයකට මුහුණ පාන්නට සිදු වෙනවා. මිනිසා විසින් ස්වභාව ධර්මය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කාලගුණයේ විශාල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඒ හේතුවෙන් වගාවන් කිරීම විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ නිසා තව අවුරුදු දෙකක් ගත වීමට පෙර මුළු ලෝකයට ම විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරතුර බ්‍රසීලය, ආජන්ටිනාව වගේ රටවල් එතනෝල්වලින් පෙට්රල් නිපදවීමට සූදානමින් සිටිනවා. එතනෝල් නිපදවීමට ගන්නේ උක් පැණි, තිරිගු වැනි කෑමට ගන්නා ද්‍රව්‍ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන් තිරිගු පිටි අඩු වෙනවා.අද අමෙරිකාවත් කොයි තරම් මෝඩ ද කියනවා නම්, තිරිගු වලින් එතනෝල් නිපදවීමට සූදානම් වී තිබෙනවා. එකෙන් තව තවත් ආහාර හිඟයක් ඇතිවෙනවා. අද අපේ රටේ බොහෝ මිනිසුන්ට අධිෂ්ඨානයක් නැහැ. එදින්නෙදා කාල බීල ජීවත් වන ක්‍රමයකට හුරු වෙලා සිටින්නේ? අලුත් අවුරුද්දේ මගේ ඉල්ලීම තමයි 'ඔබ යම් කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඉන් පසු එය ඉෂ්ඨ කරගැනීමට ධනාත්මක ව සිතන්න, කටයුතු කරන්න. ලොකයේ 'බැහැ කියල කිසිම දෙයක් නැහැ. අධිෂ්ඨානයක් හැගීමක් කැප විමක් තියෙනවා නම් ඕනෑ ම දෙයක් කරන්නට පුළුවන්. ඔබ මා ජානධිපතිතුමා කුඩා කාලයේදි එබ්‍රහම් ලින්කන්ගේ ඡායාරූපයක් දැකල අධිෂ්ඨාන කළා මම කවදා හරි අමෙරිකාවේ ජනාධිපති වෙනවා කියලා. ඒ අනුව එයා වැඩ කළා. බැහැ කියල ලෝකයේ කිසි ම දෙයක් නැහැ. බාධක එන්න පුළුවන්. ඒවා අභියෝග හැටියටයි මම නම් සලකන්නේ.ගලන ගංගාවක් දිගට ම ගලාගෙන ගියොත් ඒකේ ලස්සනක් නැහැ. ඒ වගේ ම තමයි ජීවිතය. බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා දියුණු වෙන පුද්ගලයෙකු සතු ගුණාංග හතරක්. ඒ තමයි ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා. මේ ගුණාංග අපේ ජීවිතයට බද්ධ කරගෙන අධිෂ්ඨානයෙන් යුතු ව කටයුතු කරනවා නම් ඕනෑ ම අභියෝගයක් ජය ගන්න පුළුවන්. එහෙත් සමහරුන්ගේ අලුත් අවුරුද්දේ අධිෂ්ඨානයක වන්නේ තමන්ගේ වැට මායිම  තව ටිකක් එහාට කරගැනීම, එහෙම නැත් නම් අනුන්ට උගුලක් ඇටවීම යි.


අද අපේ රටේ මිනිසුන්ට කාලය පිළිබඳ කළමනාකරණයක් නැහැ?


අපට කාල සටහනකට අනුව වැඩ කරන්න මුලින් ම කියලා දුන්නේ බුදුන් වහන්සේ යි. ඒ වගේ ම උන් වහන්සේ ආදර්ශවත් වුණා. ඒ දහමින් පෝෂණය වුණු මිනිස්සු දැන් ඒ ආදර්ශය ගන්නේ නැතිව ඔහේ දවස ගත කරනවා. අපේ රටේ තරම් බොරු කියන මිනිස්සු කොහේ වත් නැහැ. අපේ රටේ තරම් කෑම අහක දාන මිනිස්සු ලෝකේ කොහේ වත් නැහැ. අපේ රටේ තරම් අනුන්ගේ දේට ඊර්ෂ්‍යා කරන මිනිසුන් ලෝකේ කොහේ වත් නැහැ. ජපානය, චීනය, තායිවානය වගේ බෞද්ධ රටකට ගිහින් බලන්න. හාමුදුරුවෝ නො වෙයි, ගිහි අයවත් පිඟානේ බත් ඇටයක් වත් ඉතිරි කරනවද කියලා. ඒ අය තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය විතරයි බෙදාගන්නේ. මෙහේ අපේ දායකයන්ගේ තියෙන මෝඩ ශ්‍රද්ධාව නිසා පුළුවන් තරම් හාමුදුරුවන්ට බෙදනවා. අඥාන හාමුදුරුවොත් දා යකයෝ තරහ වෙයි කියලා ඔකොම බෙදාගන්නවා. අන්තිමට ලෙඩ වෙනවා. අද දානයකට ගියත් පාටියකට ගියත් ගෙදර කෑමට ගියත් කෑම කනවට වඩා විනාස කරනවා. ලොකේ තියෙන හැම කෑමක් ම හදල අහක දානවා. ඒ දියුණු වන රටවල ලක්ෂණයක් නො වෙයි. ඒ නිසා අපි වෙනස් වෙන්නට ඕනෑ. අපේ තියන්නට ඕනෑ එක්තරා හැදියාවක්. ඒක වගේ ම සංවරය ඉතා වැදගත්.මම හිතන්නේ අපේ රටේ දැන් ඔය ඉන්න තරුණ අය පන්සලට එන විට වත් සංවර ද? බොහෝ දෙනෙකුට සංවරය නැහැ. ගිහි අය කියන්නේ අපි හැම දා ම පන්සිල් ගන්නවා කියලා. පන්සිල් ගන්නවාට වඩා පන්සිල් කඩනවා. ඒ වුණාට අප උදාර සංස්කෘතියකට හිමිකම් කියනවා. අද එය කන පිට හැරිගෙන යනවා නේද? අපේ සමාජය අද අංගවිකල වෙලා. ලෝකයෙන් ම මහා ඉතිහාසයක්, සංස්කෘතියක් තියන අපේ රටේ දැන් තත්වය කනගාටු යි. සංස්කෘතියට පිස්සු වට්ටලා. මම ළඟදී අපේ ගමේ පන්සලට ගියා. ඒ වෙලාවෙදි පොඩි හාමුදුරුවරු ගොඩාක් හිටියා. ඒ අයගේ ඉගෙනීම ගැන ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා. එතකොට පොඩි හාමුදුරු කෙනෙක් පෙන්නල කිව්වා "මේ හාමුදුරුවො බොහොම හොඳට ඉගෙන ගත්තා. පන්තියේ ළමයින් තිස් පස් දෙනා ගෙන් පළමු වෙනිය වුණා. එහෙත් මේ පාර පන්තියේ තිස් පස් වැනියා වුණා කියලා. මම ඇහුවා "කොහොමද එහෙම වුණේ"? කියලා. අම්මා වී ගෝණි තුනක් විකුණලා බොහොම අනුකම්පාවෙන් 'හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන දීලා. පොඩි හාමුදුරුවන්ගේ වයස අවුරුදු 14 යි. දැන් එහාට කතා කරනවා. මෙහාට කතා කරනවා. වඳුරට ලැබුණු දැලි පිහිය වගෙයි. අද භික්ෂු අධ්‍යාපනයටත් 'හෑන්ඩ් ෆෝන් භාවිතය බලපාලා තියෙනවා. දානෙකට ගියත් හෑන්ඩ් ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහනවා. ගේම් ගහනවා. දායකයෝ අරහේ මහ ගෞරවයෙන් දානේ බෙදනවා. දැන් බලන්න පුංචි ළමයා නළවන්නෙත් හෑන්ඩ් ෆෝන් එකක් අතට දීලා. පාසල් දරුවන් ළඟ හෑන්ඩ් ෆෝන්. දරුවන් නොමග යනවා. එසේ ම දරුවන්ට පරිගණක අරන් දීලා කාමරවලට දාලා දරුවන්ට ඕනම දෙයක් බලන්න නිදහස දෙනවා. මේ නිසා දරුවෝ ලෝකෙම තියෙන අසභ්‍ය දේ බැලීමට පෙලඹෙනවා. මේ ගැන මවුපියන් අවධානය යොමු කළ යුතුයි.දැන් බලන්න, අපේ නූතන තරුණ තරුණියන් දිහා බලල කියන්න බෑ, මොන සංස්කෘතියට අයිති ද කියලා. අඳින පලඳින ඇඳුම් පැලඳුම් හරි අමුතු යි. කොණ්ඩ ඩයි කරලා. කරාබු දාලා. බෙල්ලේ ඇට කටු වගේ මාල එල්ල ගෙන. කලිසම බාගෙට ඉරා ගෙන! පුදුම රටක් මේ


කතාබහ අවසන් කිරීමට පෙර ඔබ වහන්සේට විශේෂ යමක් කියන්න තියෙනවා ද?


දැන් අංගවිකල වෙලා තියෙන අපේ සමාජයට හොඳ පත්තුවක් බැඳලා සුවපත් කරගත යුතු යි. දැන් බලන්න, ළමයින්ට දාන නම් මොන භාෂාවේ ඒවා ද දන්නේ නෑ. ඒවා සංස්කෘත නො වෙයි. සිංහලත් නො වෙයි. සිංහල භාෂාව පිළිබඳ මහා පඬි රුවනක් තමයි නම දැම්මේ කියලා බොහොම උජාරුවෙන් කියනවා.