gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, රටක ජීවය තරුණ පරපුර බව කියනවා. අද අපේ තරුණ පරපුරට රටේ අනාගතය භාර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා කියා හිතෙනවා දැ යි ඇසුවොත්?


තරුණ අවධිය පිළිබඳ කතා කිරීමේදී සාමාන්‍යයෙන් රට පිළිගන්නා පුරවැසියෙක් වීමට නම් අවුරුදු දහඅට සම්පූර්ණ විය යුතු යි. එලෙස තරුණ අවධියට පිවිසෙන දරුවා භාර ගැනීමට අපේ සමාජය කොතරම් දුරකට සැලසුම් සකස් කරල තියෙනවා ද? මෙන්න මේ කරුණ අද අපට තියෙන ලොකු අභියෝගයක්. තරුණ දරුවන් වෙනුවෙන් පත් කෙරුණු අමාත්‍යාංශවලට ගිහින් අපි මේ ගැන සොයා බැලුවා. ලංකාවේ අවම වශයෙන් අවුරුදු 16-30 අතර වූ තරුණ පරම්පරාව කොපමණ ද? ඒ පිරිස ගැන සංඛ්‍යා ලේඛන මොනවා ද? ඔවුන්ගෙන් රැකීරක්ෂක්ෂා කරන සංඛ්‍යාව කොපමණ ද? රැකියා විරහිත පිරිස කොපමණ ද? අංග විකලත්වයෙන් සහ අඳ ගොළු බිහිරි තත්ත්වයෙන් ඉන්න සංඛ්‍යාව කොපමණ ද? මේවා පිළිබඳ ඔවුන් ළඟ කිසි ම තොරතුරක් නැහැ.තරුණ පරපුර ඉලක්ක කරගත් විවිධ වැඩසටන් තියෙනවා. මේවා හොඳ සංකල්ප. සෑහෙන කාලයක සිට ක්‍රියාත්මක වන යොවුන් කඳවුරු සහිත තරුණ සේවා සභාවකුත් අපට තියෙනවා. මේවායේ ඉතිහාසය දෙස බැලීමේදී අපට පෙනෙනවා ඇතැම් කඳවුරු අවසාන වෙලා තියෙන්නේ අපේ තරුණ පැටව්  එක්කෙනෙක් හෝ දෙනෙක් ගෙල වැලලාගෙන මැරිලා. ඇතැම් අවස්ථාවලදී යොවුන් පෙරමුණු අවසාන වෙන්නේ මාස හයක පමණ කාලය නිකරුණේ කාදමලා.එහිදී එක්කෙනෙක් හෝ දෙනෙක් දේශපාලනමය වශයෙන් කුමන හෝ චරිතයක් නිර්මාණය කරගෙන එළියට එනවා. අනෙක් සිය දහස් ගණනක් හිටිය තත්වයටත් වඩා පහළට වැටෙනවා.ඇතැම් පිරිස් පවසන්නේ "ඔබේ හැකියාවට අපි යමක් කරනවා, ඒ සඳහා හැකියාවන් ඇති කරගන්න, කුසලතාවක් ඇති කරගන්න” කියලයි. එහිදී "කුසලතාවයටයි හැකියාවටයි" කාලය ගත කරල තියෙනවා. නමුත් ලැබුණු දෙයක් නැහැ කියල දරුවා දෙස හැරී බලන කල අපට පෙනෙනවා.


හිර ගෙවල්වල, අනාථ කඳවුරුවල අද විශාල තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ?


වැඩිහිටියකුගෙන් අනාථ භාවයට පත් වුණු දරුවෙක් උසාවිය මගින් පුනරුත්ථාපන කඳවුරකට යොමු කරනවා. එහි රැකවරණය සලසන්නේ වයස අවුරුදු 18ක් වන තුරු පමණ යි. මෙවැනි ම තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මවුපියන්ගේ වැරදි නිසා ඔවුන් සමඟ කුඩා අවධියේ සිට ම සිරගත ව හෝ එළිමහන් කඳවුරක දිවි ගෙවන දරුවෝ. මේ අය අවුරුදු 18දී සමාජයට පිවිසෙනවා. මොවුන් භාර ගැනීමට මේ රටේ තියෙන වැඩපිළිවෙල මොකක් ද?



බුදුදහමේ තරුණයා ගැන විශේෂ කතා බහක් තියෙනවා ද?


බුද්ධ ශාසනය තරම් තරුණයා පිළිබඳ සොයා බැලූ තවත් ශාසනයක් ඇති ය කියල මම නම් හිතන්නේ නැහැ. සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මෙන කොට වයස විසිනවය යි. බුද්ධ රාජ්‍යත්වයට පත්වෙනකොට වයස අවුරුදු තිස්පහ යි. බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජය ම පටන් ගත්තේ තරුණයාගෙන්. උන් වහන්සේ ළඟ පැවිදි වුණු රාහුල, සෝපාක ආදි චූටි පැටව් ටික හැර අනෙක් සියලු දෙනා ම ගස් ගල් වුණත් පෙරළන්න පුළුවන් තරුණයෝ. තරුණ දරුවාට ශාසනික වශයෙන් ලබාදිය යුතු තැන පිළිබඳ උන්වහන්සේ කිහිප අවස්ථාවකදී ම දේශනා කළා. නමුත් අද අපේ තරුණ හාමුදුරුවරුන්ට මේ සමාජයේ නියමිත තැන හිමි කරල දීලා තිබෙනවද? මෙහිදී අප දැකිය යුතු ප්‍රධාන පැතිකඩක් තියෙනවා. අද මේ රටේ 30,000ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් ම සමාජ සේවයට කැප වෙලා ඉන්නවා.ඒ පිරිස මහා සංඝරත්නය යි.

අද අපේ තරුණ හැමුදුරුවරු සමාජයට පිවිසෙන කොට බාර ගන්න මේ රටේ කිසි ම වැඩපිවෙළක් නැහැ. මුළු ගමේ ම තරුණ පිරිස නියෝජනය කරන්නේ මේ හාමුදුරුවරු. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් සමහර විට තැනක් ලැබුණත් වයසක  දායක මහත්වරු ඒකට කැමති නැහැ. ගමේ තරුණ පිරිස ඉදිරියට ඇවිත් වැඩක් කරන්න හැදුවොත් ඒක කප්පාදු කරල දානවා. නැතිනම් අඩුපාඩුවක්මයි පෙන්වන්නේ. මේවායින් තරුණයාගේ මානසිකත්වය චින්තන ප්‍රවාහය ඉදිරියට යාමේ ශක්තියට මොනවද වෙන්නේ. අපට හොඳ ම නිදර්ශනය මඝ මානවක කතාවත් ඒ තත්ත්වය අදටත් එහෙම ම යි.


තරුණ අවධිය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?


තරුණ අවධිය යනු වින්දනය කළ යුතු අවධියක්. නමුත් එහිදී ඔබ නොදන්නා පැතිකඩ රාශියකට වක්‍ර ආකාරයෙන් පසු විය හැකි යි. එහිදී ප්‍රධාන කරුණ වර්තමානයේ තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය දැඩි ලෙස විශ්වාස කිරීම. ඒ තුළ සිදු වන්නේ කුමක් ද? . ඒ විශ්වාසය හොඳයි. නමුත් ඔබ විවාහ කරගැනීමේ පදනමක සිටිනවා නම් කෙදිනක හෝ ඔබව බසයක පසුපස ආසනයට රැගෙන ගොස් අන්‍යයන් ඉදිරියේ අවඥාවට පත් කරයි ද? එසේත් නැති නම් මේ සූදානම් වන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අත්හරීමට ද? එතැන තියෙනවා අපට හිතන්න පැත්තක්.

ඉදිරියටත් ඔබ සමඟ ජීවත් වීමට අපේක්ෂා කරන පුද්ගලයා නිරතුරුව ම ඔබට ගෞරවය ලබා දෙනවා; ශක්තියක් ලබාදෙනවා. තරුණ අවධිය වින්දනය කළ යුතු යි කියලා, යම් තැනකට ගොස් නොදැනුවත්ව ම පටිගත වෙනවා, ඡායාරූපගත වෙනවා, නැති නම් ආදරය සිහිවෙන්න කියලා දැනුවත්ව ම රූප කායේ නොදැක්විය යුතු තැන් රූපගත වෙනවා නම් අන්න එතැනදී අපේ දරුවෝ දැනුවත් විය යුතුයි. අද අනතර්ජාලයේ ඇතැම් වෙබ් පිටුවල ඉන්නේ අපේ ශ්‍රී ලාංකික දරුවෝ. විශේෂයෙන් ම උපකාරක පන්ති, ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැමිණි ගැමි දූලා මේවායේ ඉන්නවා. මේවාට පින්තූර ලබා දෙන අයට මුදල් ලැබෙනවා. මේවා නරඹන අයටත් මුදල් ගෙවනවා. එහෙම නම් මෙතැන ව්‍යාපාරයක් පවතින්නේ . අද දවසේ විවාහ වෙන දරුවෙකුට තවත් අවුරුදු විස්සක් ගත වන විට ලොකු මහත් වුණු දරුවෝ ඉන්නවා. ඒ වෙනකොට 60කට වැඩි නිවාස ප්‍රමාණයක් අන්තර්ජාල පහසුකම් පරිහරණය කරනවා. අපේ දරු පැටියෙක් ඒ එකකට පිවිසුණොත් මොනවද දකින්නේ. එතැන තමන්ගේ නැන්දා, පුංචි අම්මා එහෙමත් නැතිනම් බෙහෙත් ගත්ත දොස්තර නෝනා ඉන්නවා දැක්කොත් එදාට මොකක් ද වෙන්නේ. තමන් ගේ බිරිඳ මේ වෙබ් පිටු අතර ඉන්නවා දැක්කොත් මොනවද මේ පුරුෂයාට වෙන්නේ.


ගමෙන් නගරයට පැමිණෙන තරුණයාව විනාශ කරන පැතිකඩ රාශියක් අද ආරම්භ කරල තියෙනවා නේද?



ගමෙන් නගරයට එන තරුණ පිරිස ගොදුරු කරගන්න අද පැතිකඩ කිහිපයක් ම බලා සිටිනවා. මේවායේ සැබෑ තත්ත්ව ය සැගවිලා තියෙන්නේ. මේ තැනවල ඉදිරිපස උණ බම්බු කෑලි ටිකකින් සහ විදුලි බල්බ ටිකකින් සරසලා තියෙනවා. එහි මැද මේවායේ රෑ එළිවෙන තුරු වැඩකරපු දරුවෝ හෙට උදේට පාරේ යනවා ඔබ දැකලා තියෙනවද? හරිද්දෙට ම සිදුහත් කුමාරයා නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දුටුවා වගේ සිතිවිල්ලක් මේ දරුවන් දුටුවාහම ඇති වෙන්නේ. ඒ වගේ ම අද තියෙන ක්ලබ්වල කැසිනෝ ගහන අයට විනෝදාස්වාදය ලබා දෙන්න විස්කි ටික ළඟට ගෙනත් දෙන්න අද කවුද පත් වෙලා ඉන්නේ? විශ්වවිද්‍යාල දියණියෝ. අපේ තරුණ දියණිවරු මේක විශේෂයෙන් මතක තියාගන්න. විශ්වවිද්‍යාලයේ ම ඇතැම් ශිෂ්‍යයෝ ඉන්නවා මේ කැරොකේ සහ ක්ලබ්වල ඒජන්තවරු. මේ අය ගෑනු ළමයෙක් යාළු කරගෙන තවත් යහළුවන් කිහිපදෙනෙක් එක්ක ක්ලබ් එකට යනවා. එහිදී අරක්කු ටිකක් බොන්න දීල අමුතු ම ලෝකයක් පෙන්වනවා. ඉන් පසු එතැන රැකියාවක් අරගෙන දෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගමෙන් පැමිණි දරුවා පැය හතරකට රුපියල් 2000 පඩියකට ක්ලබ් එකේ වැඩට යනවා. අවාසනයේදී තුන් වැනි සිල් පදයයි පස්වන සිල්පදයයි දෙකම කඩාගෙන ජීවිත්තේ විනාශ කරගන්නවා. මේවා ලිඛිත සාක්ෂි ඇතිව මම පෙන්වන්නම්. පසුගියදා බෙලිඅත්ත කුඩාහෙල්ල ප්‍රදේශයේ අප්පච්චි කෙනෙක් ගෙල වැලලාගෙන මැරුණා. අම්මත් නැතිව මේ අප්පච්චි බොහොම දුක් මහන්සියෙන් දුවට ඉගැන්වූවා. කොළඹ ආසන්නයේ විශ්වවිද්‍යාලයකට තේරුණු දුව ක්ලබ් එකක වැඩ කළා. මේ දරුවා අවුරුද්දකින් විශ්වවිද්‍යාලයට ගිහින් නැහැ. ඇයව විශ්වවිද්‍යාලයෙන් අයින් කරලා. බුද්ධිමත්ය කියන විශ්වවිද්‍යාලය අද දරුවා කොතනට ද යොමු කරලා තියෙන්නේ? මෙවැනි දේට තරුණයන් යොමු වෙන්නේ රැකියා ප්‍රශ්න වගේ දේවල් නිසා නේද? මෙහි දී ඒ තරුණ පිරිසට දොස් කියලා වැඩක් තියෙනවා ද? මම බොහොම සරලව කියන්නේ "තරුණ අසහනයක්” නැහැ. මම එය දකින්නේ වැඩිහිටියන්ගේ අසහනය තරුණයන් මත පැටවීමක් ලෙසට යි. එවායේ ආදීනව අප වින්දනය කළා 1971 දී 1989 දී. දැන් තව අවුරුදු විස්සක් පමණ ඇවිත් තිබෙනවා. නැවතත් මේ වැඩිහිටි අසහනය තරුණයා වෙත තෙරපීම නිසා අර අතීතය නොදන්නා තරණයා නැවත් නැගී සිටිනවා. ඒක මර්දනය කරල හරියන්නේ නැහැ. වැඩපිළිවෙළක් අවශ්‍ය යි. අද මේ රටේ හැම පැත්තක ම දියුණුවක් අවශ්‍ය යි. අපේ දරුවන් සමාජානුයෝජනය සිද්ධ වෙන සමයේදී ඔවුන්ගේ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ම තමන් හා සමාන කැලතක් සමඟ එකතු වීම යි. අපි ඒකට සමාජ විද්‍යාවේදී කියන්නේ සමපදස්ථ වයස කියලා. ඒ සමපදස්ථ වයසේ ඉන්න දරුවෝ අපි තේරුම් ගන්න ඕනෑ. ඒක තමයි මූලික ම දේ. තරුණ දරුවා පිළිබඳ පවුලේ නිවැරැදි අවබෝධයක් තිබිය යුතු යි. එහිදී වැඩිහිටියන් හා තරුණ දරුවා අතර බැඳීම හරි ම වැදගත්. දැන් මේ බැඳීම පිළිබඳ නිවැරැදි පරිණත බවක් නැති වෙනකොට සමාජය කෑගහන වචනයක් තියෙනවා. ඒ තමයි "පරම්පරා ගැටුම” ආත්තම්මා කියනවා නම්, අපේ කාලයේ ඔහොම නෑ' කියලා අන්න එතැනදී දරුවා දෙස බලන්නේ වැරදි ඇසකින්. නමුත් පනස් ගණන්වල චිත්‍රපටියක් අරන් බැලුවොත් පෙනෙයි ඒ කාලයේ "ගවුම කොට්ට උරයටත් වඩා අඩුයි" කියලා. මෙවන් වටපිටාවක ජීවත් වන දරුවාගේ මානසිකත්වය කෙබඳුද? අද දවසේ තරුණයන්ගේ මානසිකත්වය හොඳ පතනයක් වීම නො වෙයි. අද ඔවුන්ගේ මානසිකත්වය මොකක් හෝ තරුවක් වීම යි. එහෙමත් නැති නම් පොඩි ටී ෂර්ට් කෑල්ලක් දාගෙන මස්  ගොබ පුම්බගෙන එක් චිත්‍රපටියක හෝ මල්ගහක් වටේ දිවීම යි.  එතැනින් එහාට ගොස් හොඳ ගොවියෙක්, ලේඛකයෙක්, ග්‍රන්ථ කර්තෘවරයෙක්, පරිපාලන නිලධාරියෙක් වීමට ආදර්ශයක් තියෙන්නේ කොතැන ද?


 අද අපේ රට තුළ පවතින යුද්ධයේ අතුරු ඵලයක් ලෙස පූජා නගර' ලෙස නම් කළ ප්‍රදේශවල පවා ගණිකා මඩම් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යනවා?


අද රටේ පවතින යුද්ධය නිසා විශාල තරුණ පිරිසක් හමුදාවට බැඳිල ඉන්නවා. මේ හමුදා කඳවුරුවල "වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපට පෙන්වමින් තරුණයන්ව අතිශය විකෘති ආශාවන් කරා යොමු කරවනවා. මම බය නැතිව මේ චෝදනාව කරන්නේ හමුදාවට යි. ඇමරිකන් හමුදාවට ඉරාකයේදී 'ජල්ලේ බෝයි' චිත්‍රපට බලන්න දුන්නා. අන්න ඒ වගේ දෙයක් තමයි අද අපේ රටේත් සිදු වෙන්නේ.මෙතැනින් එන තරුණයා සමාජයට යහපතක් කරයි ද?මෙතැනින් කුල්මත් වෙලා එන විවාහක පුරුෂයා ගෙදර පැමිණි පසු බිරිඳට දෙන තිරිසන් වද ඉවසගන්න බැරි ව ඒ බිරින්දෑවරු හැඬු කඳුළින් පසු වන්නේ. මේ අයගේ ලිපි සිය ගණනක් මම පෙන්වන්නම්. ඇයි එතැනට අපේ දරුවෝ පත් කරන්නේ. ඒවා යුද්ධයේ නාමයෙන් විය යුතු නැහැ. . බිත්තරයක්, හාල්මැස්සෙක් කන්නේ නැතිව පිරිත් නූල බැඳගෙන හාමුදුරුවන්ගේ චරිත සහතිකයෙන් හමුදාවට බැඳුණ තරුණයා එතැනදී සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මම කියන්නේ "මේ දරුවා හමුදාවට නොයා යුතුයි, යුද්ධය පරාජය නොකළ යුතුයි” කියන කතාවක් නො වේ. ඒ දරුවා තුළ මානව හිතවාදය, චරිතවත් බව ඇයි අපට හදන්න බැරි? අපේ බුද්ධාගමේ සඳහන් වෙන ආකාරයට රජතුමා දසරජ දම්වලින් රට පාලනය කරනවා නම් තමන්ගේ සොල්දාදුවන් අනිවාර්යෙන් ම ධර්මානුකූල කළ යුතු යි.

අනුරාධපුරයේ හමුදා කඳවුර සහ ගුවන් තොටුපොළ ආසන්නයේ ගණිකා මඩම් 367කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එහෙම නම් කවුද මේ යුද්ධයේ නාමයෙන් විනාශ වෙන්නේ. අපේ තරුණයෝ. ඒකට යෙදිල ඉන්නේ කවුද? අපේ තරුණියෝ. ඒ දියණිය ඇයි එතනට පත් වුණේ?

මේවාට වගකියන්නේ කවුද?


ළදරු පාසලට ඇතුළත් කළ දරුවා සා/පෙළ විභාගයට පෙනී සිටින තුරු ම අපේ මවුපියන් පසුපසින් සිටිනවා. ඉන් පසු උ/පෙළ සඳහා මුදල් ඉපැයීමට මවුපියන් වැඩියෙන් වෙහෙසෙනවා. මේ නිසා "දරුවා පිළිබඳ සොයා බැලීමට වෙලාවක් නැහැ” කියල ඒ ළමයාව අත්හැරලදානවා. එහිදී දරුවා උත්සාහ ගන්නවා තමන්ට දාලා තිබුණු සීමා සියල්ල ඉක්මවා ගිහින් මේ සමාජය අත්විඳින්න. නමුත් අපි ළඟින් ඉඳල දරුවාට ඒක අත්විඳින්න දුන්නා නම් එවන් දෑ සිදු වන්නේ නැහැ. ඔහු අත්හැර දැමීම නිසා ඔහු මුළා වුණු කෙනෙක් බවට පත් වෙනවා.මා දකින ආකාරයට පන්සලට, පල්ලියට, කෝවිලට සහ ඒ ඒ ආයතනවලට මෙහි වගකීම් පැවරෙනවා. ඒ වගේ ම පාසලට, ප්‍රධාන වශයෙන් ම දේශපාලන නායකත්වයට.


මේ තත්වයට ඔබ වහන්සේ දකින විසඳුම කුමක් ද?


අපි මේවා පිළිබඳ වගකිව යුත්තන් සමඟ කිහිප වරක් ම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. අද අපේ රටේ දිනකට ගබ්ද ප්‍රහාණය කිරිම් 1500ක් පමණ සිදුවෙනවා. උපකාරක පන්ති පැවැත්වෙන ප්‍රදේශවල මෙය වැඩි වශයෙන්  සිදු කෙරෙනවා. මේවා නතර කරන්න කියල වගකිව යුත්තන්ට කීවත් පලක් නැහැ. තව ම නීති සම්පාදනය කරනවා. කමිටු පත් කරල තියෙනවා. ඉරිදා දිනය දහම් දිනයක් කරන්න සාකච්ඡා කරල තියෙනවා. උපකාරක පංති පවත් වන බූවල්ලන් දෙතුන් දෙනෙකු ගේ සල්ලිවලින් කුමන හෝ පක්ෂයක හෝ පෝස්ටර් ටික ගැහෙනවා. ඒ ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔවුන්ගේ බලයට වගකිව යුත්තන් යටත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.