
ස්වාමීන් වහන්ස, අද අප රටේ තරුණ පරපුර අතර කලහකාරි ගති පැවතුම් වැඩි වී ඇති බවත් විශ්වවිද්‍යාල ආදියෙත් නිතර ගැටුම් පවතින බවත් බොහෝ අය පෙන්වා දෙනවා. තරුණ භික්ෂුවක් වශයෙන් අද තරුණයා කලහකාරි බව පිළිගන්නවා ද?
අද අප ජීවත් වන්නේ විශ්ව ගම්මානයකි. එහිදී තරුණයා පිළිබඳ වියුක්තව කතා කළ නොහැකි යි. ඒ පිරිසට වෙන ම ලෝකයක් වෙන ම ශ්‍රී ලංකාවක් නැහැ. ඔවුන්ට හිමි වී තිබෙන්නේ 1977න් පසු විවෘත ආර්ථික ක්‍රමය තුළ විකාශනය වූ ශ්‍රී ලංකාවක්. මා විශ්වාස කරන හැටියට විවෘත ආර්ථිකය අපේ සංස්කෘතියට හෝ සදාචාරයට ගැළපෙන්නේ නැහැ. ඉන් බිහි වන්නේ ධනය, බලය, නිලය පසුපස වේගයෙන් හඹා යන තරුණයන් පිරිසක්. අතීතයේදී අපට ශික්ෂණයක් ඇති ව යහපත් ව ජීවත් වීමට උත්සහ කරන, ආගම දහමට හිතෙෂී, මවුපියන්ට කීකරු තරුණ පරපුරක් හිටියා. වර්තමානයේත් එවැනි තරුණයන් නැතිවා නො වේ. නමුත් අද අපට වැඩිපුර දක්කනට ලැබෙන්නේ කෙසේ හෝ තමන් ගේ භෞතික අරමුණ කරා ළඟා වෙන්න උත්සාහ කරන ආත්මාර්ථකාමී තරුණ කණ්ඩායමක්.
මේ තත්තවයට වගකිව යුත්තේ කවුද කියන එකත් අපේ ප්‍රශ්නයට ඇතුළත් වුණා?
මා දකින ආකාරයට මේ තත්වයට සමාජයේ ක්ෂේත්‍ර කිහිපයක් ම වගකිව යුතු යි. වර්තමානයේ ආධ්‍යාත්මික ගුණයෙන් තොර අසත්පුරුෂ තරුණ පරපුරක් බිහි වී ඇත් නම් පැහැදිලිව ම මවුපියන් ඒ සඳහා වගකිව යුතු යි. ළදරු පාසල් යන වයසේ සිට ම දරුවා උනන්දු කරවන්නේ ශිෂ්‍යත්වය සමත් කරවීමට යි. ඉන් පසු සාමාන්‍ය පෙළ 'ඒ' සාමාර්ථ දහයක් ම ගන්න බල කරනවා. පසුව උසස් පෙළින් "ඒ" සාමාර්ථ තුනක් සහිතව සමත් කර උගත් මැෂිමක් තනන්න මවුපියන් හදන්නේ. මේ නිසා අද තරුණයන්ට තියෙන්නේ කෙසේ හෝ උගත්තෙක් වී සල්ලි ගොඩක් උපයන රැකියාවක් ලබාගෙන කාල බීල ජොලිකරන මානසිකත්වයක්. භෞතික ලෝකයේ බොහෝ දේ රැස් කරගත්තත් ඔවුන්ගේ අභ්‍යන්තරය හිස්.
මවුපියන් දරුවන් පිළිබඳව නිරතුරුව සොයා නොබැලීම නිසාත් විශාල වරදක් සිදු වී තිබෙනවා?
මේ මරදාන ප්‍රදේශයේත් ඉතාම සාමකාමී, ගුණ ගරුක, ශික්ෂණෙයක් ඇති තරුණයන් ඉන්නවා. ඒ දරුවන්ගේ මවුපියන් නිරතුරුව ම තම දරුවා පිළිබඳ සොයා බලනවා. ආදරයෙන් හොඳ නරක අවබෝධ කර දෙනවා. ඒ නිසා යහපත් දරුවකු ගොඩනැගීමට අම්මා ගේ සහ තාත්තගේ ආදරය ලොකු ම තුරුම්පුවක් කරගන්න පුළුවන්. ඒ වගේ ම අසත්පුරුෂ තරුණ සමාජයක් බිහි වීමට අධ්‍යාපනයේ අඩුපාඩුවකුත් මම දකිනවා. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් පාසල් දරුවාට ශිෂ්‍යයාට අධ්‍යාත්මික හා වෘත්තීය අනාගතයක් ගොඩනගාගැනීමට ඉලක්ක ලබා දෙන්නේ නැහැ. කලා අංශයෙන් උසස් පෙළ හදාරන දරුවට රැකියාව ලැබෙන්නෙ වාණිජ්‍ය අංශයෙන්. වාණිජ්‍ය අංශයෙන් තමන්ගේ නිපුණතා දක්වන තරුණයාට මාධ්‍ය අංශයෙන් රැකියාවක් ලැබෙනවා. දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන, ඒ ඒ අංශ වෙත යොමු කරලීමේ නිරවුල් අධ්‍යපන වැඩපිළිවෙළක් නැහැ.ඒ නිසා මවුපියන් නිතර ම උත්සහ කරන්නේ තම දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ නීතිඥයෙක් කරන්න යි. නමුත් හැමෝටම එහෙම වෙන්න පුළුවන් ද? නිදහස ලැබූ දා පටන් මේ රටේ පැවැති ආණ්ඩු ගත් තීන්දු තීරණ මේ තත්වයට හේතු වී තිබෙන බව බොහෝ අය කියනවා? අද තිබෙන්නේ බඩගෝස්තරවාදී දේශපාලනයක්. ඒ දේශපාලනඥයන්ගේ තීන්දු තීරණ විවිධාකාර යි. බලය මාරු වන විටදී ඔවුනොවුන් අතින් අතට යන තීන්දු තීරණ තියෙනවා. මවුවරුන්, ළමා පරපුර, තරුණ පරපුර රැකගත යුතුයි. ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කළ යුතුයි කියා කීවත් ප්‍රතිපත්ති සකස් කරන දේශපාලනඥයන්ට සැබෑ අවශ්‍යතාවක් නෑ. මේ අනුව ගත්තම අදූරදර්ශී දේශපාලන තීන්දුත් තරුණ පරපුරේ විනාශයට බලපානවා. ඒ වගේ ම තරුණ පරපුර නොමග යාව සම්බන්ධව කලා මාධ්‍යත් වගකිව යුතු බවයි මගේ අදහස. අපේ රටේ කාල - බීල එළිමහන් සංගීත සංදර්ශන, නාට්‍ය නරඹල ජීවිතය ගෙනියන පිරිසකුත් ඉන්නවා. මේ පිරිස් අතුරින් නිවැරැදි මිනිසෙක් බිහි වෙනවා යැ යි සිතනවා නම් ඒක ලොකු මුළාවක්. මොක ද, අපේ රටේ තියෙන්නේ මුළා වූ කලාවක්. ගීත වෙනුවට බොහෝ විට ඇසෙන්නේ දුර්ගීත. අපේ කලාව අහන්නත් බෑ, බලන්නත් බෑ. ඒක අමුතු කතාවක්. කිසි ම රසඥතාවකුත් නෑ. බුද්ධියට කතා කරන සින්දු ඇත්නම් ඒ අතළොස්සක් පමණයි. බොහෝ විට ඇසෙන්නේ හදවතට කියන සින්දු.
මේ අවාසනාවන්ත තත්වයක්. ඒත් ඒ ගැන අපේ මුර දේවතාවුන් වහන්සේලා නිහඬ ඇයි?
" මේ ගැන ආගමික අංශත් වගකිව යුතු බව මම පිළිගන්නවා. භික්ෂුවක් කියන්නේ " ස්වාර්ථය” සඳහා ජීවත් වන කෙනෙක් නෙමෙයි. "මගේ මේ ජීවිතය අනුන් සඳහා ම යි” යනුවෙනුයි බුදුන් වහන්සේ දේශනා කළේ. කාල - බීල සැප සම්පත් විඳිමින් පඩික්කම් පුරවන සමාජයක් ගොඩනගන්න එහිදී භික්ෂුවකට අයිතියක් නැහැ. ඉතිහාසයේ භික්ෂූන් වහන්සේලා පාරට බැහැලා මිනිසුන් සමඟ උරෙනුර ගැටී සමාජය විනාශයෙන් මුදාගන්න ජීවිත පවා බිලි කළා. නමුත් වර්තමානයේ සමාජ පරිහානියට එරෙහිව ගෞරවනීය නායක හාමුදුරුවන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන බවයි මගේ අදහස. කෝවිලේ පූජකතුමා පල්ලියේ පියතුමා, මවුලවීතුමා සමග අපේ මහනායක හාමුදුරුවරු එකමුතු වීමේ සමාජ විනාශයට එරෙහි ව සාමකාමී ව අනුශාසනා කළ යුතු යි. එසේ නොකළ හොත් අපට අප වත් නැති වන සමාජයක් තව නොබෝ දිනකින් ම උදා වෙයි.
මෙහිදී ජනමාධ්‍යයේ කාර්යභාරය කෙසේ විය යුතු ද?
"ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය තරුණයන් නොමඟ යනවා.” කියා අපට කෙළින් ම ඇඟිල්ල දිගු කරන්න බැහැ. නරක වැඩසටහන් වගේ ම හොඳ වැඩසටහනුත් විකාශය වෙනවා. ඒත් වැඩි වශයෙන් විකාශය වෙන්නේ තරුණ මදය අවුස්සන වැඩසටහන්.අද ටෙලිනාට්‍ය වැඩි ප්‍රමාණයක් කතා කරන්නේ බිඳ වැටුණු පවුල් සංස්කෘතිය පිළිබඳව. එහිදී අපට දකින්නට ලැබෙන්නේ තවත් අඹුවක් පසුපස යන සැමියෙක්. එසේත් නැති නම් තවත් සැමියෙක් පසුපස යන බිරිඳක්. මම නම එහිදී දකින්නේ ආදරය යනෙහි අර්ථයවත් තේරුම් නොගත් කය පිනවන ආදරයක්. නමුත් නකුල මාතා, නකුල පිතා වගේ අඹු සැමියන් මේ රටේ නැද්ද? එකමුතුව ඉන්න පවුලක් ගැන කතා කරන ටෙලිනාට්‍යක් නම් මම කිසි ම දවසක දැකල නැහැ. නිරන්තරයෙන් ම විකාශය වෙන්නේ සමාජයට වෛර කරන ටෙලිනාට්‍ය. ඉන්දියාවෙන් වීසි කළ ටෙලිනාට්‍ය අද අපේ රටේ පෙන්වනවා. අද රේඩියෝ චැනල් අහනවා නොවෙයි අස්සවනවා. "මෙන්න අසවල් බරථයේ අපේ ගුවන් විදුලිය ශ්‍රවණය කරනවා. ඒ වෙනුවෙන් අපි ඔබතුමාට ලක්ෂ දහයක් දෙනවා. එන්න අසවල් ටෙලිනාට්‍ය බලන්න. එය නරඹන අතරතුරදී අපි අසන පහසු පැනයට පිළිතුරු ලබා දුන්නොත් මෙන්න ගෙයක් දෙනවා. කිසිම අයුරකින් මේ මාතෘ භූමියේ ශිෂ්ටත්ව, මිනිස්කම, තරුණකම ආරක්ෂ නොවන ආකාරයේ වාණිජකරණයට හසු වුණු වැඩසටහන් රැසක් මාධ්‍ය මගින් විකාශය කෙරෙනවා. මෙහිදී සුපර් ස්ටාර් වැඩසටහන ගැන විශේෂයෙන් කතා කළ යුතු යි. ගීත ගායනයට හැකියාව තිබෙන තරුණයන් සොයා අගය කළ යුතු යි. නමුත් තරුණයෙකුට ජීවත් වීමට ලස්සන කටහඬක් පමණක් ඇද්ද? ඔහුට ආත්ම ශක්තිය, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව අවශ්‍ය නැද්ද? නමුත් මේ වැඩසටහන්වලින් බොහෝ දුරට කරන්නේ අර තරුණයන්ගේ ආත්ම ශක්තිය නැති කිරීම යි. ගීතයකින් පරාජයට පත් වූ අවස්ථාවක දී අඩල වැලපිල කඳුළු සලන තරුණයෝ අපි දැක තිබෙනවා.නමුත් මම හිතන්නේ මෙවැනි පරාජය ලද පමණින් තරුණයෙකු වැටෙන්නේ නැහැ. මගේ අම්ම තාත්ත මට සලකන්නේ නැති නම්, සමාජයට මා අවශ්‍ය පුද්ගලයෙකු නොවේ නම් පමණක් මගේ මානසිකත්වය සම්පූර්ණයෙන් ම බිඳවැටෙනවා ආදී වශයෙන් සිතන තරුණයෝ අද අඩුයි. එපමණක් නො වෙයි, යෞවනියන්ටත් රූපරාජිනී තරග හැම මාධ්‍යක ම පවත්වනවා. දැන් අපේ තරුණ සමාජයට සිදු වන්නේ කුමක් ද? ඒ අයගෙන් අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? අරමුණක් ඉලක්කයක් ආධ්‍යාත්මයක් නැති තරුණ පරපුරක් බිහි කර, අපේ මේ මාතෘ භූමිය විනාශ කර දැමිමේ සුවිසාල කාර්ය භාරයක් අද මේ මාධ්‍ය මගින් සිදු කරනු ලබනවා.පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ක්‍රියා කරද්දී රජයේ මාධ්‍ය ඒවා කොපි කරනවා. "මාධ්‍ය සංස්කෘතිය කුමක් ද යන්න පිළිබඳව නිවැරැදි පණිවිඩයක් දෙන්නේ නැහැ. රාජ්‍ය මාධ්‍යක් යනු රටක් හසුරුවන මාධ්‍ය යි. එවන් මාධ්‍යයක් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු යි.
ඔබ වහන්සේ හිතන ආකාරයට අපේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනය අගයන බුද්ධිමත් තරුණයන් ඇත්තේ ම නැද්ද?
" එහෙමම කියන්නත් බැහැ. අපි නිරතුරුව ම කතා කරන්නේ මිනිසුන්ගේ නරක, නුගුණ සහ සෘණාත්මක පැත්ත. ලෝකයේ අනෙක් රටවල තරුණයන්ට සාපේක්‍ෂව අපේ රටේ තරුණයෝ ඉතා හොඳයි. පසුගිය දා අමෙරිකා විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන් තිදෙනෙක් ඝාතනය කළා. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එවැනි තත්වයකට පත් වෙලා නැහැ. අපේ දරුවන් තුළ තවමත් ලජ්ජා බය තියෙනවා. ලෝකයේ අනෙක් රටවලට වඩා ආධ්‍යාත්මික ගුණ සපිරි රත්තරන් තරුණයන් අපේ රටේ ඕනැ තරම්. නමුත් ඒ අය ගැන කතා කරනවා, ඇගැයෙනවා මදි. ජනමාධ්‍ය මගින් නිරතුරුවම පෙන්වන්නේ විකෘති සමාජයක්.. මා තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග පසුගිය වෙසක් පොහෝ දා විහාරමහා දේවි උද්‍යානයේ පැවැත්වුණු වෙසක් නිර්මාණ තරගයක් නැරැඹීමට ගියා. එහිදී සැම තැන ම දුටුවේ කොණ්ඩය වවාගත්, කරාබු පැලැඳි, කලකිරෙන සිතිවිලි ඇති කරවන තරුණයන්. ඒ අතරේ ම එක් ස්ථානයකදී මම ලස්සනට සුදු ඇඳුම් ඇඳල, කොණ්ඩය හොඳින් පීරල, විනය ගරුකව පාරෙ ගමන් කරන තරුණයො අට දෙනෙක් පමණ දැක්කා. මම ඔවුන් සමඟ කතා කළා. එහිදී ඔවුන් ගේ පිළිවෙළ, හැසිරීම පිළිබඳව
අගය කළා. එවන් දරුවන් තැනූ පින්වත් මවුපියන්ට මම එහිදී පින් ප්‍රාර්ථනා කළා. ඉදිරි ජීවිතයත් යහපත්ව ගත කරන්න කියා මගේ ආශීර්වාදය ලබා දුන්නා. අපි නිතර ම තක්කඩියා, බූරුව කියල දොස් පවරනවා. නමුත් හොඳ දේ අගය කරන්නේ නැහැ. නරක දේ විවෙචනය කරනවා වගේ ම හොඳ දේ අගය කළ යුතු යි. මේ ශ්‍රී ලංකාවේ දුම්වැටි, මත්පැන් නොබොන සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් විශාල පිරිසක් ඉන්නවා. නමුත් අපි කතා කරන්නේ අතරමං වූ තරුණයන් ගැන යි. තරු පසුපස හඹා යන, තරුවක් වීමට උත්සාහ කරන තරුණයෝ අපි නිරතුරුව ම දකිනවා. අවසානවකට අනෙක් පිරිස අනුගමනය කරන්නේ ඔවුන්ව යි. නමුත් අර පුණ්‍යවන්ත, පාසල් යන, ආගම දහමට ළැදි තරුණයන් අනුගමනය කරන පිරිස අඩු යි. මේක කාමාවචර ලෝකයක්. තරුණයන් ගමන් කරන්නේ පසිඳුරන් පිනවන ලෝකයක් වෙතට යි. පසිඳුරන් පිනවිය යුතු යි. නමුත් ශික්ෂණයක් ඇතිව. පසිඳුරන් පිනවන්න එපා කියල බුදුදහමේ කොතැනක වත් සඳහන් කර නැහැ.
අපේ ආයතනයෙන් කළ සමීක්ෂණයකදී වසරකට බෞද්ධ පොත් පිටපත් 16,24,000ක් අලෙවි වන බව වාර්තා වුණා. එම පොත් වැඩියෙන් ම පරිශීලනය කරන්නේ තරුණයෝ. එහෙම නම් අපේ තරුණයන් තරු පස්සේ යනවා ම කියන්න බැහැ නේද?
ඇත්තෙන් ම සතුටු යි. එවැනි සමීක්ෂණ නිතර කෙරෙන්න ඕනැ. ඒ පිළිබඳ රටට ම කියන්නත් ඕනැ. යම්කිසි කෙනෙක් පොත පත පරිශීලනය කරනවා නම් ඔහුගෙන් සිදු වන වැරැදි අඩු යි. කියවීම මිනිසා සම්පූර්ණ කළත් මනස විකෘති වන දේ කියවන අයත් ඉන්නවා. ඒ අය සමාජයට බරක්. නමුත් ඉහතින් සඳහන් කළ පරිදි බෞද්ධ පොත් ලක්ෂ ගණනක් අලෙවි වී ඇති නම් එය සුබ පෙර නිමිත්තක්. නමුත් රැල්ලට අසු වී පොත් මිල දී ගෙන කබඩවල දමාගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. එයින් සිදු වන්නේ පොත් මුද්‍රණය කරන මුදලාලිලා පොහොසත් වීම පමණ යි. නමුත් කියන්න සතුටුයි, පරිවර්තන පොත් පවා අපේ රටේ හොඳින් අලෙවි වෙනවා. අපේ මිනිස්සු නිවැරැදි දේ වැලඳගන්න හරිම කැමැතියි. නිවැරැදි දෙයට අත් දෙක ම ඔසවන තරුණයා මේ රටේ ඉන්නවා. එවැනි තරුණයන් අතට මේ ධර්මය පිළිබඳ ලියැවුණු පොත් ලැබී තිබෙනවා නම් මම හිතනවා මීට වඩා හොඳ හෙට දිනක් උදා වේවි කියලා.
තරුණ පරපුරට බුදුදහමෙන් ලැබෙන පණිවිඩය කුමක් ද?
යහපත් තරුණයකු වන්නේ කෙසේ ද? කියල බුදුරජාණන් වහන්සේ දේශනාවන්හි සඳහන් වෙනවා. සිදුහත් කුමාරයා සත්‍ය ගවේෂණය කළේ, බුද්ධත්වයට පත් වුණේ තරුණ කාලයේදී යි. බුද්ධ ශාසනයේ පළමු වෙනි කණ්ඩායම වශයෙන් ගොඩ නගන්නේ තරුණයෝ.
බන්ධනාගාරයේ අපරාධ, මත්ද්‍රව්‍ය, රිය අනතුරු, දුසිරිත් පිටුදැකීමේ සංවිධානයේ අනුශාසක ලෙස මා කටයුතු කරනවා. පාප මිත්‍ර සේවනය නිසා හිරගෙදරට පැමිණ විශාල පිරිසක් අපට එහිදී මුණගැසෙනවා. "ඔබ වහන්සේලා සමාජයේදී මුණගැසුණ නම් අපට හිරගෙදර එන්න වෙන්නේ නැහැ" කියලා ඒ අය අපට කියනවා. පන්සල් යන්න ආරාධනා කළොත් සහභාගි වෙන්නේ හතරපස් දෙනයි. නමුත් "බාර් එකට ගිහිං බෝතලයක් බොමු” කිව්වොත් ගණන් කරන්න බැරි තරම් තරුණයො ඉන්නවා. පින් පව් කියල දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර නොතිබුණා නම් මොලොවක් නෑ, පරලොවක් නෑ, මවක් නෑ. පියෙක් නෑ. "හෙට මැරුණත් අද ජොලි කරමු” කියන දර්ශනය පමණක් තිබුණා නම් මේ රට මේ තරම් වත් පවතින්නේ නැහැ.
Comments
Post a Comment