gossiplanka image 1
 


මිනිසා ස්වභාවයෙන්ම කිල්ලෙන සුලු, සටන්කාමී සත්වයෙකි. එකිනෙකා විවිධ හේතුමත සටන් කර ගැනීම මිනිස් ඉතිහාසය තුළ දක්නට හැකි පොදු ප්‍රවණතාවයකි.  විධිමත් ශිල්ප ක්‍රම අනුව සටන් කිරීමට මිනිසා හුරු වූ තැන් පටන් සටන් කලාව බිහිවූයේ යැයි කීම නිවැරදිය. සටන් ශිල්ප ක්‍රමයන් මූලික වශයෙන්,


1. අවි රහිත සටන් ශිල්ප

2. අවි සහිත සටන් ශිල්ප ලෙස වර්ග කළ හැකිය.


ශෛලිගත සටන් ක්‍රමයන්හි ආරම්භය දැනට වසර 2500කට පමණ පෙර චීනයේ ඇති වී යයි සිතීමට සාධක ඇත. ශෛලිගත සටන් ක්‍රමයන්හි විශේෂත්වය වනුයේ කිසියම් නිශ්චිත රිතීන් සමූහයකට යටත්ව ක්‍රමානුකූලව සටන් කිරීමයි. චීනයේ වූෂු සටන් ක්‍රම ලොව පැරණිතම ශෛලිගත සටන් සදාය ලෙස සැලකේ.  කාය ව්‍යවච්ඡේද විද්‍යාව සහ ලීවර සිද්ධාන්ත ඇසුරු කර ගෙන 19 හා 20වන සියවස්වල විද්‍යානුකූල සටන් ක්‍රම බිහිවිය. ජූඩෝ, ටයිකොන්ඩෝ වැනි සටන් ක්‍රම මීට නිදසුන් වේ. ඵලදායී සටන් ක්‍රම (Effective Martial Arts) විසිවෙනි සියවසේ බිහි වූ සාර්ථකම සටන් ශෛලීන්ය. පුරාණ සටන් ක්‍රමයන්හි ප්‍රායෝගික අංශවලට නවාංග එක් කිරීමෙන් ප්‍රායෝගික සටන් ක්‍රම බිහිවිය. ජීට් කු න්ඩෝ (Jeet Kune Do) සහ නව වින් චූන් ශෛලිය (Modern | Wing Chun Style) මීට හොඳ නිදසුන්ය.


සමහර සටන් ක්‍රම ආක්‍රමණශීලී ස්වරූපයක් ගනී. බොක්සි සටන් ක්‍රීඩාව මීට හොඳ උදාහරණයකි. තවත් සමහර සටන් ක්‍රම ආක්‍රමණශීලී ඒවා නොවේ. ජූඩෝ, අයිකිදෝ වැනි සටන් ක්‍රම ආක්‍රමණශීලී නොවන සටන් ක්‍රමයන්ය. ඒවායේ පහරදීම් නැත. පහර වැළැක්වීමේ ක්‍රම පමණක් ඇත. කරාටේ, කුන්ග් ෆූ, ටයිකොන්ඩෝ වැනි සටන් ක්‍රම මේ අන්ත දෙක අතර මැද මාවත ගනී.


සටන් කලාවේ මූලික ආකාර


සටන් කලාවේ මූලික ආකාර 3ක් දක්නට හැකිය.


1. සටන් ක්‍රීඩා

2. යුධ ශිල්ප

3. ආත්මාරක්ෂක සටන් කලාව


මෙයින් තෙවැනි අංගය වූ ආත්මාරක්ෂක සටන් කලාව කෙරෙහි මෙම කෘතියේදී වැඩි අවධානයක් යොමු කෙරේ.



සටන් කලාවේ ප්‍රභවය හා විකාශනය


සතුන් මෙන්ම මිනිසුන් අතර ද සටන් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. දිවි රැක්මට, දඩයම් ලබා ගැනීමට, ස්වකීය බල ප්‍රදේශ වෙන්කර ගැනීමට, සතුරන් පලවා හැරීමට මෙන්ම පෞරුෂය උරගා බැලීමට සටන් කිරීම සත්ව ප්‍රජාවට පොදු දෙයකි. කෙසේ නමුත් ශෛලිගත සටන්වල මූලාරම්භය දියුණු සත්වයන් තුළින් ඇති වූ බව පෙනෙයි. ක්‍රීඩා සඳහා සටන් කිරීම රෝම අධිරාජ්‍යයටත් වඩා ඈත ඉතිහාසයක් ඇති කරුණකි. මල්ලව පොර තරග ගැන වසර 2500ක් පැරණි ජාතක පාලියේ පවා සඳහන් වේ. නූතන ශෛලිගත සටන් කලාව චීනයේ හෝ ඉන්දියාවේ බිහි වූ බවට සාක්ෂි ඇත. වසර 1400කට පමණ පෙර ඉන්දියාවේ සිට චීනයට සංක්‍රමණය වූ බෝධිධර්ම හිමියන් ශෛලිගත සටන් කලාවේ. පියා ලෙස අදටත් සැලකුම් ලබයි. එතැන් සිට චීනයේ ෂාඔලින් ආරාමයේ වර්ධනය වූ මේ කලාව කුන්ග් ෆු නමින් හැඳින්වීය.


නිරන්තර සතුරු ආක්‍රමණවලට ගොදුරු වූ ෂාඔලින් ආරාමය තුළ වැඩිකල් මේ රහස් සැඟවුණේ  නැත. ඒ සටන් ක්‍රම පිළිබඳ රහස් බොහෝමයක් භික්ෂූන් හරහා ජනතාව උගත්හ. මෙලෙස සාමාන්‍ය ජනතාව වෙත සංක්‍රමණය වූ සටන් ක්‍රම පවුලේ සටන් ක්‍රම (Family Styles) නම් විය. ඒවා රහස් සටන් ක්‍රම ලෙස පරම්පරා අතර ගමන් කළේය.  කල්යත්ම මෙකී චීන සටන් කලාව ජපානයේ ඔකිනාවා දූපත වෙත ද පැතිර ගියේය. එහි පැවති සම්ප්‍රදායික ක්‍රම හා මිශ්‍ර වූ නව ආර ඔකිනාවා ටේ නමින් හඳුන්වනු ලැබීය. 20වන සියවසේ මුල් භාගයේදී ජපානයේ ගිෂින් ෆුනාකෝෂි විසින් මෙකී ඔකිනාවා සටන් ශිල්පය වැඩිදියුණු කර කරාටේ සටන් ක්‍රමය හඳුන්වා දුන්නේය.


තවත් දශක කිහිපයක් ගිය කල කොරියාවේ චොයි හොංහයි (Choi Hong Hai) සටන් ශිල්පියා කරාටේ හා කොරියානු පා සටන් මිශ්‍ර කර ටයිකොන්ඩෝ (Tae Kwon do) හදුන්වා දීමට සමත් විය.  බෲස්ලින්ගේ ආගමනය සටන් කලාවේ ස්වර්ණමය යුගයයි. කරාටේ, ටයිකොන්ඩෝ, බොක්සිං, ජූඩෝ, කුන්ග් ෆු ඇතුළු සටන් ක්‍රම 14ක් සංකලනය කළ ඔහු ජිට් කුන්ඩෝ (Jeet Kune do) නම් නවතම සටන් ආර හඳුන්වා දුන්නේය. 70 දශකය වන විට බෲස්ලි ලොව අංක එකේ සටන් ශූරයා බවට පත්ව සිටියේය.