gossiplanka image 1
 

මෙම අද්විතීය සටන් ක්‍රමයේ උපත ජපානයේ ඔකිනාවා දූපත හා බැඳී පවතී. චීනයෙන් ඔකිනාවා දිවයිනට සංක්‍රමණය වූවන් විසින් කුන්ග් ෆු සහ වෙනත් චීන සටන් ක්‍රම ඔකිනාවා දිවයින් වැසියනට මුල්වරට හඳුන්වා දෙන ලදී. එම චීන සටන් ක්‍රම සහ දේශීය සටන් කලාවේ මුසුවක් ලෙස ඔකිනාවා ටේ සටන් ක්‍රමය බිහිවිය. ඔකිනාවා දිවයිනෙන් ජපානයේ අන් ප්‍රදේශවලට සංක්‍රමණය වූ මේ සටන් ශිල්පීන් ජපන් බසින් කරාතේ කා යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙහි  තේරුම හිස් අතින් පහර දෙන්නා යන්නයි. කරාටේ හෙවත් හිස් අත් සටන් ක්‍රමය 1921 දී ජපානයේ දී මුල්වරට ප්‍රසිද්ධියේ හඳුන්වා දෙනු ලැබීය.  කරාටේ ශිල්පය හඳුන්වා දීමට මූලික වූ ගිහින් ෆුනාකෝෂ ගුරුතුමා 1936 දී කරාටේ සම්මේලනයක් කැඳවා එම ශිල්පයේ දේශීය අනන්‍යතාව පෙන්විය යුතුයැයි යෝජනා කළේය. ඒ අනුව ජපානයේ දී හෙළිදරව් කළ නව සටන් ශෛලියට කරාටේ  යන නම භාවිතා කළ  යුතුය යන යෝජනාව සම්මත විය. තව ද ජිගාරො කානො ගුරුතුමා විසින් හදුන්වා දුන් පටි අනුව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය ද මේ ශිල්පයට එක්විය. කල්යත්ම කරාටේ ශිල්පය ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් බවට පත්විය. ජාතික මට්ටමෙන් ද ප්‍රාදේශීය මට්ටමෙන් ද විවිධ තරගාවලීන් සංවිධානය කෙරුණි. ප්‍රතිවාදී ශිල්පියා මියයන තුරුම පහර දෙන සටන් ශිල්පීන් එකල විරල නොවීය.


කරාටේ ශෛලීන්


කරාටේ ශිල්පය බිහිවී දිගු කලක් යන්නට මත්තෙන් විවිධ ගුරුවරුන් යටතේ වෙනස් ශෛලීන් රාශියක් බිහිවිය. මේ ශෛලීන් පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කළ හැකිය.


1. මූලික පෞරාණික ශෛලීන්


කරාටේ ශිල්පය බිහිවීමට හේතු වූ ඔකිනාවා ටේ ශෛලිය මූලික පෞරාණික ශෛලියයි. මේ සටන් ක්‍රමය අද ද ආරක්ෂිතව පවතී. ඔකිනාවා ටේ ශෛලිය හා කුන්ග් ෆු සටන් ක්‍රම සංකලනය කිරීමෙන් සොකොන් මට්සුමුරා විසින් දහනව වන සියවස මුල් භාගයේදී ශාරින් ශෛලිය හඳුන්වා දෙනු ලැබීය.


2. සාම්ප්‍රදායික ශෛලීන්


කරාටේ ශිල්පය හඳුන්වා දෙනු ලැබූ 1921 වර්ෂයේ සිට දෙවෙනි ලෝක යුද්ධය දක්වා බිහි වූ ශෛලීන් මෙනමින් හඳුන්වනු ලැබේ. සාම්ප්‍රදායික ශෛලීන්හිදී පහරෙහි තාක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරනු ලැබේ න ල ර ඉරියව්, නිවැරදි තාක්ෂණික ක්‍රමවලටතරගාවලීන් හිදී වැඩි ලකුණු ලැබේ.


3. තදින් පහර දීමේ ශෛලීන්


මුල්වරට මසුනු ඔයාමා ගුරුවරයා විසින් තදින් පහර දීමේ ශෛලීන් හඳුන්වා දෙනු ලැබීය. පහරෙහි නිරවද්‍යතාවයට වඩා එහි බලය ගැන මෙහිදී අවධානය යොමු කරනු ලැබේ. මුහුණට මුහුණලා කරන සටන්වලදී ප්‍රතිවාදියා අකර්මණ්‍ය වන තුරුම පහර දිය යුතුය යන්න තදින් පහර දීමේ ක්‍රමයට අදාළ මූලික රීතියකි. ඔයාමා අනුව ගිය බොහෝ පසුකාලීන කරාටේ ගුරුවරු තදින් පහරදීමේ ක්‍රම තවත් වැඩිදියුණු කළහ. කරාටේ ක්‍රමයේ මූලික අධ්‍යයන විධි මෙසේය.


1. කිහොන් - තාක්ෂණික විධි හා ශිල්පීය මූලධර්ම

2. කාටා - සැලසුම්ගත සටන්

3. කුම්තෙ - ද්වන්ධ සටන්

4. කොබුදො - කෙටි අවි සටන්


කරාටේ ක්‍රමයේ අධ්‍යයන ඉලක්ක මෙසේය.


1. නිවැරදි ඉලක්කයට පහර දීම

2. නිවැරදි තාක්ෂණය භාවිත කිරීම

3. වේගය ලබා ගැනීම

4. පහරේ බලය වැඩි කිරීම

5. නිවැරදි ඉරියව් භාවිතය කරාටේ ශිල්පයේ භාවිතය


කරාටේ ශිල්පයේ භාවිතය


1. ක්‍රීඩාවක් ලෙස භාවිතය


දැනට කරාටේ ශිල්පය වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ තරගකාරී ක්‍රීඩාවක් හැටියටයි. මෙහිදී පහත සඳහන් අංශවලින් වෙන් වෙන්ව තරග ඉසව් පවත්වනු ලැබේ.


කාටා - සැලසුම්ගත සටන්


මේ සඳහා අදාළ ශිල්පීය ක්‍රමවල නිරවද්‍යතාවය, නිවැරදි ශෛලිය, නිවැරදි කාලය යන ප්‍රධාන නිර්ණායක ඇතුළුව අංශ කිහිපයකින් ලකුණු ලබා දෙයි.


කුම්තේ - ද්වන්ධ සටන්


සාම්ප්‍රදායික තරග සටන්වලදී පහරේ නිරවද්‍යතාවයට, තාක්ෂණික හැකියාවට, පහර වැළැක්වීමේ හැකියාව යනාදිය සලකා බලා ලකුණු හිමි කර දෙනු ලැබේ. නිශ්චිත කාලයක් තුළ වැඩිම ලකුණු ලැබූ අය ජයග්‍රාකයා ලෙස නම් කරයි. තදින් පහරදීමේ සටන් තරගවලදී ප්‍රතිවාදියා අකර්මණ්‍ය කළ අය ජයග්‍රාහකයා ලෙස සැලකේ.


කොබුදො - කෙටි අවි සටන්


මෙහිදී කාටාවලදී ලකුණු දුන් ආකාරයටම ලකුණු ප්‍රදානය කරනු ලැබේ. සාමාන්‍යයෙන් කරාටේ ශිල්පයේදී අවි සහිත වන්ධ තරග සටන් පවත්වනු නොලැබේ.


2. සටන් ක්‍රමයක් ලෙස


3. මුල් ඔකිනාවියානු සටන් ශෛලිය සැබවින්ම ආත්මාරක්ෂක සටන් ක්‍රමයකි. අනෙකුත් සියලුම කරාටේ ශෛලීන් ද ආත්මාරක්ෂක සටන් ක්‍රම ගණයේ ලා සැලකිය හැකිය.


4. ආරක්ෂක හමුදාවල භාවිතයට


ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ ක්‍රමයක් ලෙස ලෝකයේ බොහෝ රටවල පොලිස් හා හමුදා භටයන්ගේ භාවිතය සඳහා කරාටේ ක්‍රීඩාව උගන්වනු ලැබේ. පළමු වරට දෙවන ලෝක යුද්ධයේදී හිස් අත් සටන් ක්‍රමයක් ලෙස මෙම ශිල්පය භාවිත විය.


කරාටේ ශෛලීන් වර්ගීකරණය


විවිධ සටන් කලා පාසල් හා ගුරුවරුන්ගේ කැපවීම නිසා මේ වන විට කරාටේ ශෛලීන් රාශියක් බිහිව ඇත. මේ ශෛලීන්හි ආකාර තුනකි.


1. ජාත්‍යන්තර ශෛලීන්


රටවල් රාශියක ව්‍යාප්තව ඇති ශාඛා සංගම් සහිත ශෛලීන් ජාත්‍යන්තර ශෛලීන් ලෙස නම් කළ හැකිය. ශොරින් රයු ෂෝටොකාන්, වදෝ රයු ආදී ශෛලීන් මීට උදාහරණ වේ.


2. සම්මත ශෛලීන්


ජපාන කරාටේ සංවිධානය මගින් පිළිගත් ශෛලීන් මේ ගණයට වැටෙයි. වදෝ රයු , ගොජු කායි වැනි සාම්ප්‍රදායික ශෛලීන් ජපාන කරාටේ සංවිධානය මගින් පිළිගෙන ඇති අතර සම්ප්‍රදාය ඉක්මවා යන තදින් පහර දෙන ක්‍රමවලට පිළිගැනීමක් ලබා දීමට මැළිවීම සාමාන්‍ය සිරිතකි.


3. ප්‍රාදේශීය ශෛලීන්


ප්‍රාදේශීයව පමණක් ව්‍යාප්තව පවතින, විවිධ ආකාරයේ කරාටේ ශෛලීන් මේ නමින් හැඳින්වේ. ප්‍රාදේශීය ශෛලීන් පුහුණු වන්නන්ට ජාත්‍යන්තර තලයේ කරාටේ ශිල්පියෙකු වීමට වැඩි වෙහෙසක් ගැනීමට සිදු වේ.


ප්‍රධාන කරාටේ ශෛලීන්


1. ගොජු රයු


ගොජු යන ජපන් වදනේ තේරුම රළු හා මෘදු යන්නයි. රළු හා මෘදු ක්‍රමයට පහර දීමේ දී රළු බවෙන් ද මෘදු බවෙන් ද වාසි ලබාගෙන පහසුවෙන් සටන දිනීමට හැකිය. රළු හා මෘදු ක්‍රමයට පහර දීමේදී සැම විටම මෘදු ලෙස පහර වළක්වනු ලැබේ. පහරට එරෙහිව බලයක් යොදා එය නවත්වනු වෙනුවට සුළු අමතර බලයක  යොදා පහර වෙනතකට හැරවීම ගොජු ක්‍රමයේදී ජනප්‍රියය. පහර දීමේදී සිරුරේ අත්මිට, පතුල්වල දාර වැනි රළු කොටස් උපයෝගී කරගෙන උදරය, ඉකිළි වැනි මෘදු ප්‍රදේශ පහරවලට ඉලක්ක කරයි. අම්ල වැනි මෘදු ප්‍රදේශවලින් හිස වැනි රළු ස්ථානවලට පහර දෙයි. මෙහි ඇති පහරදීම් විශාල ප්‍රමාණයක් කවාකාරව අත් මෙහෙයවා කළ යුතු ඒවාය. එබැවින් ප්‍රතිවාදියෙකුට පහර වැළැක්වීම අසීරුය. අනිච් මියාගි ගුරුතුමා ගොජු රයු ක්‍රමයේ ආරම්භකයාය. ගොජු රයු යනු සටන් ක්‍රීඩාවක් නොවේ. එය තනිකරම ආත්මාරක්ෂක සටන්  ක්‍රමයකි.


 2. ෂෝටෝකාන්


කරාටේ මුල්ගුරු ගිෂින් පුනාකාමි විසින් 1917දී මෙම ශෛලිය නිපදවනු ලැබීය. මෙම ශෛලියේදී ගැඹුරු ඉරියව් වැඩි වශයෙන් භාවිත කරයි. සිරුර තුළ ඇති බලය පහරට එක් කිරීම සඳහා ඉඟටිය කරකවා පහරදීමට ෂෝටෝකාන් ශෛලියේදී හුරු කරයි. ලෝකයේ විශාල ප්‍රදේශයක ව්‍යාප්තියක් දක්වන ප්‍රචලිත ශෛලියකි. මෙහි සෘජු රේඛීය පහරදීම් බහුලය. කවාකාර පහරදීම් අඩුය. එබැවින් ෂෝටෝකාන් යනු ක්‍රීඩාවක් ලෙස ප්‍රගුණ කිරීමට උචිත ශෛලියකි.


3. වදේ රයු


අන් කරාටේ ශෛලීන්ට වඩා වෙනස් මඟක් ගත් නම්‍යශීලී සටන් ක්‍රමයකි. මෙහිදී අන් ශෛලීන්හිදී මෙන් සිරුරේ ශක්තිය ගැන අධික විශ්වාසයක් තබනු නොලැබේ. පහර වදින ස්ථානය වෙනතකට ගැනීමේ සරල ශිල්පීය ක්‍රමය මගින් බොහෝ පහරදීම් සාර්ථකව මගහැරීමට වදො ශිල්පීහු දනිති. ශිල්පීය ගුණයෙන් අනූන මේ සටන් ක්‍රමය දුර්වල ශරීර ඇති අයට ද උචිතය. ඔකා හිතාගෝරි ගුරුතුමා විසින් 1950දී හඳුන්වා දුන් මේ ශෛලිය අද වන විට ජපානයේ ප්‍රධානතම ශෛලීන් 4න් එකකි.


4. ෂිතො රයු


නහ තෙ සහ සුරි තෙ යන ශෛලීන් දෙක ප්‍රගුණ කළ සටන් විශාරදයෙකු වූ කෙන්වා මබුනි විසින් මේ ශෛලිය හඳුන්වා දෙනු ලැබීය. ඍජු පහරදීම් හා සරල ඉරියව් බහුල මේ ශෛලියේදී ඔකිනාවියානු අවි සටන් ක්‍රම ද හුරු කරනු ලැබේ.


5. කියො කුෂින් කායි කාන්


සම්පූර්ණ සත්‍ය කරාටේ නමින් හඳුන්වනු ලැබූ මේ ශෛලිය මට්සුසු ඔයාමා ගුරුතුමා විසින් හඳුන්වා දෙනු ලැබීය. මෙය සාම්ප්‍රදායික කරාටේ සහ චයිනීස් කෙම්පො සටන් ක්‍රමවල සංකලනයකි. සිරුර ශක්තිමත් කිරීමට හා පහරේ බලය වැඩි කිරිමට මෙහිදී වැඩි තැනක්

දෙනු ලැබෙයි. තදින් පහරදීමේ ක්‍රමය මුල් වරට හඳුන්වා දුන්නේ කියො කුෂින් කායි කාන් ක්‍රමයෙනි. මෙහි එන පහරදීම් කොතෙක් බලවත් ද යත් එක පහරක් හරි ඉලක්කයට වැදීම තරගය නිමා කිරීමට බොහෝ විට හේතුවේ.


6. ඔකිනාවියානු ශෛලීන්


කරාටේ ශිල්පය බිහිවීමට පෙර ඔකිනාවා දූපතේ වර්ධනය වූ සටන් ශෛලීන් මීට අයත්ය. මෙවැනි ශෛලීන් කිහිපයකි.


1. නහ තේ - මෘදු පහරදීම් හා ශ්වසන අභ්‍යාස ක්‍රම ඇතුළත් ශෛලියකි.

2. සුරි තේ - රළු හා වේගවත් පහරදීම් ඇතුළත් ශෛලියකි.

3. තොමෙරි තෙ - මේ දෙකේ මිශ්‍රණයෙන් බිහි වූ ශෛලියකි.

4. ශාරින් රයු - ඉහත ක්‍රමයන් වැඩිදියුණු කිරීමෙන් බිහි වූ ශෛලියකි.

5. කොබුදො - ඔකිනාවියානු අවි සටන් ක්‍රම මීට අයත් විය. මේ අවි සිරුරේ සගවාගෙන යා හැකි ආකාරයට සකස් කළ ඉතා කෙටි ඒවාය. මෙලෙස කෙටි අවි යොදා සටන් පුහුණු වීමට හේතුව අතීතයේ ඔකිනාවා දිවයින චීනයේ යටත් විජිතයක්ව පැවති අවදිය දක්වා දිවයයි. එකල ඔකිනාවා වැසියන් ආයුධ ළඟ තබා ගැනීම බරපතළ වරදක් කොට සැලකුණු නිසා මෙලෙස සිරුරේ ඇදුම් අතරෙහි සඟවාගත හැකි කෙටි අවි භාවිතයට ඔවුන් හුරුවිය. වඩා ජනප්‍රිය ඔකිනාවියානු ආයුධ පහත පරිදි වෙයි.


නන්චකු - කෙටි පොලු දෙකක් අතරට කෙටි අස්ලොම් කඹයක් යෙදූ මාරක අවියකි.

සායි - ත්‍රිශූලයකට සමාන දෙපිට කැපෙන පිහිය

බෝ - අඩි හයක් පමණ දිගැති ලී දණ්ඩ

ටොංෆා - හරස් දණ්ඩක් සවි කළ කෙටි මුගුර

කාමා - දිගු මිටක් සහිත දෑකැත්ත