gossiplanka image 1
 

 


ස්වාමීන් වහන්ස, බෝධි පූජාවලින් අපල උපද්‍රව නැති වී සෙත ශාන්තිය සැලසෙනවා ද?


අද බෝධිපූජා කරන සහ කරවන බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් නැහැ. ඒ නිසා, පටන් ගන්නෙම මිථ්‍යා දෘෂ්ටියෙන් ඇතැම් අය බෝධි පූජා තියන්නෙ අපල උපද්‍රව නැතිකරගන්න; එහෙමත් නැතිනම් විවාහ මංගල්‍යයක් හරියන්න; විභාග සමත් වෙන්න; ලෙඩ රෝගවලින් බේරෙන්න. සිල්වතුන්ගේ බලාපොරොත්තු ඉටු වන බව ධර්මයෙහි ද සඳහන් වන නිසා පිරිසුදු සිතින් කරන්නා වූ දෙයින් නිවැරැදි ප්‍රතිඵල ලැබෙනවා.


වෘක්ෂයකට පූජනීයත්වයක් ලැබීමට හේතුව කුමක් ද?


බෝධිය යනු සර්වඥතා ඥානය යි. පූජා යනු උපහාරය යි. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානය ලබා ගත්තේ ඇසතු වෘක්ෂ සෙවණේදීයි. ඒ උතුම් ඥානය අවබෝධ කරගත් බවට සාක්‍ෂි දරන්නේ ඒ වෘක්ෂය යි. ඒ නිසා අපි ඒ බෝධියට "සම්මා සම්බෝධි” යැ යි පවසනවා. උතුම් වූ බුද්ධත්වය සංකේතවත් කරන්නේ ඒ බෝධිය යි. ඒ නිසා ඇසතු වෘක්ෂය ඒ අනන්ත වූ බුදු ගුණය ද ඥානය ද සංකේතවත් කරනවා. මෙන්න මේ කරුණු මූලික කරගනිමින් ඇසතු රුක නො ව, බෝධි වෘක්‍ෂය ලෙස හඳුන්වනවා.


"බෝධි පූජාව" ආරම්භ වූයේ කෙසේ ද?


ශ්‍රී මහා බෝධීන් වහන්සේ හට පළමු වන පූජාව කළේ බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේ බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට පූජාවක් කළ යුතු යැ යි සිතා බෝධිය දෙස ඇසිපිය නොහෙළා සතියක් බලාගෙන සිටියා. පූජාවෙන් බෝධි පූජාව පළමුවෙන් ම කළේ බුදුරජාණන් වහසේ යි. බුද්ධත්වයෙන් පසුව ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ බුදු හිමියන් දැකීමට පැමිණි උපාසක-උපාසිකාවන් උන් වහන්සේ දුර බැහැරක වැඩම කොට ඇති බව දැනගෙන ශෝකයෙන් ආපසු ගිය අවස්ථා තිබුණා."අපි විසින් ගෙනෙන ලද මේ මල්, පහන්, සුවඳ දුම් පුදා යන්නට පූජ්‍ය වස්තුවක් ලබාදෙන්න” ඔවුන් ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියා. ආනන්ද හිමියන් මේ බැව් බුදුරජාණන් වහන්සේට පවසා පූජ්‍ය වස්තු මොනවාදැයි ඇසුවා. ආනන්දය, බුදුවරුන් පරිභෝග කළ ශ්‍රී මහා බෝධිය බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් පූජ්‍ය වස්තුවක් ලෙස වැඳුම් පිදුම් කළ හැකියි. ඒ නිසා ජය ශ්‍රී මහා බෝධියෙන් පැළයක් ගෙන්වා, මේ වන විහාරයේ රෝපණය කළ හැකි යි. - ආනන්ද හිමියන් මුගලන් මහ රහතන් වහන්සේ ලවා ජය ශ්‍රී මහා බෝධියෙන් පැළයක් ගෙන්වා ප්තවන විහාර දොරටුව සමීපයේ අත්පිඩු සිටාණන් ලවා රන් කටාරමක රෝපණය කර වූවා. එය 'ආනන්ද බෝධිය' නමින් අදත් වැඩ සිටිනවා.  


නිවැරැදිව බෝධි පූජාවක් තියන්නේ කෙසේ ද?


අද බහුතර පිරිසක් බෝධි පූජාව කරන්නේ කලාවක් හැටියට යි. ලස්සනට කවි කියන්න පුළුවන් නම් එතැන බෝධි පූජාව තියෙනවා. නමුත් බෝධි පූජාව යනු කවි ගායනා කිරීමක් නො වෙයි, අවබෝධයෙන් කළ යුතු වැඩක්. මේ පන්සල - උතුරු බටගම බෝධිමළු විහාරය ආරම්භ කළ දිනයේ සිට ම අපි බෝධි පූජා පවත්වනවා. මේ වන විට දින 2180ක් බෝධි පූජා පවත්වලා තියෙනවා. බෝධි පූජා පැවැත්වීමේ නිවැරැදි ක්‍රමය වන්නේ තෙරුවන් මුල් කරගත් බුද්ධ වන්දනාව යි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් ගුණ සිහි කර බෝධි පූජා පැවැත්වීම වඩාත් ප්‍රතිඵලදායක යි.බෝධි පූජා පැවැත්වීමට ප්‍රථම බෝමළුව, මල් ආසන පිරිසුදු කර පුද පුජාවන් පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම යි කළ යුත්තේ. අපේ පන්සලේ බෝධිය නහවන්න කලින් සියලු දෙනා අතට පැන් කළය දීලා ගාථාවක් කියනවා. මේ දේවල් අද මිනිස්සු දන්නේ නැහැ. බෝධි පූජා පැවැත්වීමට ප්‍රථම පන්සිල් හෝ ආජීව අට්ඨමක සීලය සමාදන් විය යුතු යි. ඉන්පසුව තෙරුවන් වන්දනා කර මල්, පහන්, පැන්, ගිලන්පස, සුවඳ දුම් පූජා කිරීම සඳහා ගාථා කිව යුතු යි. ඉන් පසු බෝධිපූජා වන්දනාව කරන්නට පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය වැනි සූත්‍ර දේශනා අර්ථය හොඳට සිහිකරමින් සජ්ඣායනා කිරීම බොහෝ ම හොඳයි. මේ දේවල් අද මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මිථ්‍යා මත රැසක් එකතු වී තිබෙනවා. අපේ අය කරන්නේ ගෙදරින් සිලි මල්ලක් අරගෙන ඇවිත් පන්සලට එනකම්ම පාර දිගට වැටවලින් මල් හොරකම් කරනවා. චෛත්‍යය, බුදුගෙය කිසිවක් වන්දනා කරන්නේ නැහැ. මල්, පහන්, බෝධියට පූජා කරල පැන් කළය ගෙනියනවා.


එදා අපේ බෞද්ධයෝ පැන් කළයට සුදු මල් දාලා බෝධිය නැහැවේ. නමුත් අද සුවඳ කුඩු වර්ග දානවා. වඩාත් නිවැරැදි දේ කුමක් ද?


මේ සුවඳ කුඩු දැමීම නිසා කැලණිය බෝධීන් වහන්සේගේ අන්තක් ගැලවිලා වැටුණා. ඉහළගම බෝධිය සම්පූර්ණයෙන්ම මැරුණා. සුවඳ කුඩුවල තියෙනවා දේවදාර කියලා කුඩු වර්ගයක්, මේවා දැමීමෙන් බෝධීන්වහන්සේගේ මුල් දිරන්නට පටන් ගන්නවා. ඒ නිසා පැන් කළයට සුදු මල් ටිකක් දාලා බෝධිය නැහැවීමයි නිවැරැදි ක්‍රමය. මම කියන්නේ බෝධි පූජාව යාච්ඤාවක් කරගන්න එපා කියලයි. අද අපේ බෞද්ධයන් කරන්නේ, "මම අසරණයි බෝධීන් වහන්ස, ඒ නිසා මට පිහිට වෙන්න” කියලා යාඥා කරනවා. මේ මිනිස්සුන්ගේ තියෙන පෞරුෂත්වය, ධෛර්යය, මානව හැකියාව ඇයි මේ විදිහට නැති කරගන්නේ. ඒ නිසා යාච්ඤා කරන්න එපා. සත්‍ය ක්‍රියාවක් කරන්න. මම විහාරයට ඇවිල්ලා මංපෙත් පිරිසුදු කර මල් පහන් සුවඳ දුම් පූජා කර භාවනා කළා සත්‍ය නම් ඒ සත්‍යයේ ආනුභාවයෙන් සියලු අපල උපද්‍රව, රෝග පීඩා දුරුවේවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න.


බෝධි පූජා පැවැත්වීමේදී මල් වට්ටි, පැන් කළ පහන් මෙපමණක් පූජා කළ යුතු යැ යි සංඛ්‍යාත්මකව පෙන්වා දෙනවා. .


සෙනසුරු ඒරාෂ්ටකය, මහ දශාව, අන්තර් දශාව තියෙනවා. ඒ නිසා දවස් 7/ 14 බෝධි පූජා තියන්න, පැන් කළය බෝධිය වටේ විසි එක් වතාවක් ගෙනියන්න කියල බුදුදහමේ කොතැනක වත් සඳහන් වෙලා නැහැ. බෝධි පූජාව යනු ප්‍රතිපත්ති පූජාවක්. බෞද්ධයාගේ මූලික ප්‍රතිපත්ති පංච ශීලය යි. ඒ සඳහා දින 7, 14, 21 වශයෙන් වෙන් කරල තියෙනවා ද? මේවා නියම කරල තියෙන්නේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥයෝ. ඇයි මෙහෙම දින වකවානු දෙන්නේ? නැතිනම් මේ මිනිස්සු එක දවසක් වත් බෝධි පූජා තියන්නේ නැහැ.බුලත් 9, පැන් කළ 9, මල් වට්ටි මේ පමණක් පූජා කළ යුතු යැ යි සංඛ්‍යාත්මකව පෙන්වා දී නැහැ. මෙම සංඛ්‍යාත්මකව පූජා විධි පැමිණියේ නෂත්‍ර බලවේග අනුව යි. සමහරු "ග්‍රහ අපල දුරුවේවා" කියල කොඩිවල ලියල බෝධීන් වහන්සේන්ගේ අතුවල එල්ලනවා. ඒ වගේ ම ඇතැම් පුද්ගලයන්ගේ පරම්පරා නම් ගම් ලියල කපුටා නයි වගේ සත්තු කොඩිවල ඇඳල එල්ලනවා. මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටික වැඩ.


බෝධි පූජාවෙන් ලැබෙන අනුසස් කෙබඳු ද?


අපදාන පාළියෙහි අතීත බුදුවරුන්ගේ සමයහි බෝධි පූජාවේ අනුහසින් දෙව් මිනිස් සැප පමණක් නොව නිවන් සුවය ද ලද අයුරු විස්තර කෙරෙනවා. බෝධි සංචික ස්ථවිරයේ පුවත ද මෙම බෝධි පූජාවේ ආශ්චර්යය තහවුරු කරනවා. "විපස්සි බුදුන් උන් වහන්සේගේ බෝධියට මහා බෝධි ප්‍රජාවක් විය. එකල පැවිදි ව සිටි මම එහි එළඹියෙමි. ඒ බුදුහු දුකින් මිදුණේ අප ද මුදාලමිනි. මෙසේ සිතමින් ඒ කිණිහිරි බෝධියට මම සුවඳ පැන් ඉසීමි. ඒ අනුහසින් අනු එක් කල්පයක් දුගතියක නූපනෙමි. තව ද එම කුසලයේ මහිමයෙන් සිව් පිළිසිඹියාපත් අෂ්ට විද්‍යා හා ෂඩ් අභිඥා ලදිමි.". ඒ වගේ ම බෝධි පූජා තැබීම නිසා විද්‍යාත්මකව බැලීමේදී ශරීරය තුළ යම් විපර්යාසයක් සිදු වන බව පෙනෙනවා. බෝධි පූජාව තැබීමට ගත වන කාලය ම බුදුගුණ සිහි කිරීම නිසා කෙලෙස් දුරු වී හිතට සැහැල්ලුවක් දැනෙනවා. කුසල සිතිවිලි බලවත් වෙනවා. දින කිහිපයක් සතියක් මාසයක් මේ ආකාරයෙන් බෝධි පූජා තියන විටදී ශරීරයේ රසායනික ක්‍රියාවලියේ සමබරතාවක් ඇතිවෙනවා. එවිට ලේ පිරිසුදු වීම නිසා මොළයට හිතට, හදවතට දැනෙනේ සිසිලක්. දුෂ්ට සිතිවිලි යටපත් වී රුධිර සංසරණය ක්‍රමවත් වීමත් නිසා සිරුරට මනා සුවයක් ලබනවා. හදිසි කෝප වීම්, භය වීම් ඒ පුද්ගලයා තුළ ඇති වන්නේ නැහැ. මේ නිසා රෝගාබාධ දුරු වෙනවා. බුද්ධිය වර්ධනය වී නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. පෙනුම ද ප්‍රසන්න වී යහපත් සිතිවිලි සමගින් යහපත් ජීවිතයක් ද හිමි වෙනවා. සතුරන් ඇති වන්නේ නැහැ.මේ නිසා ඔබට කාර්යාලය, සමාජය, වට පිටාව, සැනසිලිදායක ස්ථානයක් බවට පත් වනවා.