gossiplanka image 1
 


 


ස්වාමීන් වහන්ස, වර්තමානයේ අප රට තුළ ආර්ථික උද්ධමනය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ තත්වය පාලනය කිරිමට බුදු දහමින් ලද හැකි උපදෙස් කවරේ ද?


ශ්‍රී ලංකාවේ උද්ධමනය දිනපතා ඉහළ යමින් පවතිනවා. දූපත් මානසිකත්වයෙන් මිදී මෙම ප්‍රශ්නය දෙස බැලුව හොත් මුළු ලෝකයේ ම දැවැන්ත ආර්ථික උද්ධමනයක් ඇති වී තිබෙන බව අපට වටහාගත හැකි යි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය වේගයෙන් ඉහළ යෑම, දැවැන්ත සම්පත් හිගය, ජනගහනය වේගයෙන් වර්ධනය වීම, මරණ අනුපාතය අඩු වීම ආදි බොහෝ කරුණ මෙකී තනය නිර්බාණය කිරීමට හේතු වී තිබෙනවා. කෙසේ නමුත් නූතනයෙහි ලංකා සමාජය තුළ උද්ගත වී පවතින මෙම අර්බුදය පිළිබඳ වියතුන් විවිධ කෝණවලින් අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. මෙරට ජනගහනයෙන් 70%කට අධික පිරිසක් විසින් තම ආගම වශයෙන් පිළිගනු ලබන බුදුදහමින් මෙකී අර්බුදය විසඳාගැනීම උදෙසා යම් විකල්ප යෝජනා පවතින්නේ ද යන්න පිළිබඳව අප මෙහිදී විමසා බැලිය යුතු යි.


බුදුරජාණන් වහන්සේ ආර්ථික විද්‍යාඥයකු නොවුව ද උන් වහන්සේගේ දේශනා තුළ ආර්ථිකය හා බැඳුණු බොහෝ කාරණාකාරණ දැකගත හැකි යි. විශේෂයෙන් ම කුටදන්ත සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්නවා. අපේ රටේ ධනය උපයන පිරිසට වඩා යැපෙන පිරිස් ප්‍රමාණය වැඩි යි. නූතන දියුණු රටවල ඉතා කුඩා දරුවන් හැර අවුරුදු දහසයක් ඉක්මවා ගිය සියලු දෙනා ම ස්වධීන ව ධනය හම්බ කිරීමට පෙලඹෙන අයුරු දැකගත හැකි ය. එය ඉතා ම සාධනීය තත්ත්වයක්.  ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටවල පවතින ඇතැම් ආකල්පමය දුර්වලතා හේතුවෙන් ධනය සම්පාදනය කරන්නන්ට වඩා යැපෙන්නන්ගේ ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉගෙනගන්නා අතරතුර තාවකාලික රැකියාවල නියුක්ත වීම ඉතාමත් ම සාමාන්‍ය සිදුවීමක්. ඉතාලියේ ඇතැම් නගරවල ගණිකා වෘත්තියේයෙදී තම අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයාගන්නා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අපට මුණගැසී තිබෙනවා. නමුත් ඔවුන් සමග කතාබහ කළ පසු ඔවුන් එම මුදලින් අධ්‍යාපනය සඳහා වැය කරන්නේ ඉතා ම ස්වල්ප ප්‍රමාණයක් බව අපට හෙළි වුණා.


මෙවැනි අධාර්මික රැකියාවකට ඔවුන් පෙලඹී ඇත්තේ යුරෝපීයන් තුළ පවතින ආන්තික කාමසුඛල්ලිකානුයෝගි ජීවන ප්‍රතිපදාව නිසා යනු අපගේ අදහස යි. එවැනි අන්තවාදී අධාර්මික ධනෝපායක් කිසිසේත් ම සිදු නොකළ යුතු අතර, ලංකාවේ මූලික අධ්‍යාපනය නිමා කළ ශිෂ්‍යයා විතීයික අධ්‍යාපනය සඳහා මවුපියන් මත යැපීම සිදු නොකළ යුතු ය යන්න අපගේ අදහස යි. එවැනි රැකියාවක් කරමින්  විශ්වවිද්‍යාල තුළ ඉගෙනගන්නා ශිෂ්‍යයන් පිළිබඳ ලංකාවේ මවුපියන් කතා කරන්නේ ඇස්වල කඳුළු පුරවාගෙනයි. එවැනි අධිෂ්ඨානශීලී දරුවන් ගැන ආඩම්බර වී ඔවුන් දිරිමත් කිරිම වෙනුවට හඬා වැලපෙමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දැමීම මවුපියන් සිදු කරන්නේ නම් එය අතිශයින් ම වැරැදි ක්‍රියාවක්. මන් ද යත්, මසකට රුපියල් 15000ක් වැටුපක් ගන්නා ගෘහස්ථ පිරිමියාට පමණක් අවුරුදු 30 දක්වා උපාධිය ලබන තෙක් අධ්‍යාපනය ලබන දරුවන් නඩත්තු කිරීම කළ නොහැකි ය.  එබැවින් නූතන ආර්ථික අර්බුදය ජය ගැනීමට නම් බෞද්ධ නිවෙසක ජීවත් වන අවුරුදු 16ට වැඩි සියලු දරුවන් කෙටිකාලීන රැකියා කරමින් හෝ නිෂ්පාදන කාර්යයට දායක වීමට පුළුවන් බව  මගේ අදහස යි. ඒ සියලු දෙනා ම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා අනිවාර්යයෙන් ම කැප විය යුතු බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී බුදුරදුන් පෙන්වා දී තිබෙනවා.


මෙහිදී අප ලෝකයට රටට ගැළපෙන අනාගත වෙළෙඳපොළ වටහාගත් දක්ෂයන් බිහි කළ යුතු යි. නූතන රැකියා වෙළෙඳ පොළෙහි සියලු දෙනාගේ ඉලක්ක වෘත්තීන් බවට පත් වී ඇත්තේ  වෛද්‍ය, බැංකු, පාසල්, ඉංජිනේරු වැනි ස්ත්‍රයන්හි ඇති රැකියායි.  සමාජයක් විසින් දියුණුව ප්‍රාර්ථනා කරන්නේ නම් එම ආකල්ප අනිවාර්යයෙන් ම දුරු කරගත යුතුයි. ප්‍රධාන අධාර්මික රැකියා ලෙස බුදුදහමේ හඳුන්වා දී ඇති රැකියාවලින් අනිවාර්යයෙන් වෙන් විය යුතු අතර, අනාගත රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබාදීමත් ඉගැන්වීමත් සිදු කළ යුතු යි.


රටක නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජය විසින් පූර්ණ අනුග්‍රහය ලබාදිය යුතු බව බුදුන් වහන්සේ ද දේශනා කළා.


නූතනයේ අප හමුවට පැමිණ ඇති ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ඉහත දැක් වූ අංශය කෙරෙහි මෙන් ම රජයක් විදිහට  සිදු කළ මැදිහත් වීමක් ද ප්‍රබලව පවතිනවා. එනම් ගෘහාශ්‍රිත නිෂ්පාදන කාර්යයන් මෙන් ම දේශීය කෘෂිකර්මාන්තයෙහි සහ කර්මාන්ත ආදියෙහි වර්ධනයට වඩාත් උයෝගිමත් වීම යි. එය රජයේ වගකීමක්, කෘෂිකර්මාන්තය ඇතුළු ව්‍යාපාර සඳහා රජය විසින් මූලධනය සපයා දීම ඇතුළු අනුග්‍රහය සලසා දීම අනිවාර්යයෙන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ කුටදන්න සුත්‍රයේදී දේශනා කර වදාළා. එවිට, රට තුළ ඇති වන පීඩනයට යම් දුරකට හෝ මුහුණදීමට හැකි වෙනවා.


ආර්ථික විද්‍යාවේ පෙන්වා දෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයකින් අසිමිත ආශාවන් සපුරාගැනීම යි. එය සාර්ථක ක්‍රමවේදයක් ද?


කොතරම් ධනය සම්පාදනය කරනු ලැබුව ද නිසි කළමනාකාරිත්වයක් නොමැති නම් රට ආර්ථිකයෙන් බිඳවැටීම වැළැක්විය නොහැකි යි. බෞද්ධ කළමනාකරණය සහ පරිභෝජන දර්ශනය මෙහිදී ඉතා වැදගත්. නිෂ්පාදනය කළ සම්පත් පරිහරණය කිරීමේදී හෝ ස්වභාවික සම්පත් පරිහරණය කිරීමේදී අප තුළ පවතින ආකල්පය මෙහිදී ඉතා වැදගත්. නූතන ආර්ථික විද්‍යාවේ පුරෝගාමියකු වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත් මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචනය කරමින් පවසා ඇත්තේ , "සීමිත සම්පත්වලින් අසීමිත ආශාවන් සහ අවශ්‍යතාවන් සම්පුර්ණ කිරිම” ආර්ථික විද්‍යාව බවයි. මෙම සංකල්පය ඔහු  ගොඩනඟාගන්නට ඇත්තේ, දේව ධර්මයේ ආභාසය සහිතව විය හැකිය යන්න අපගේ අදහස යි. බයිබලයේ  එන ආකල්ප සංක්ෂිප්තයක් වශයෙන් ගත් විට දෙවියන් වහන්සේ  විසින් මෙම ලෝකය මිනිසා උදෙසා මවන ලද්දක් ද? යන අදහස එළි කර තිබෙනු දැකගත හැකි ය.


මෙම ආකල්පය මත පිහිටා ඉදිරිපත් කර ඇති නූතන ආර්ථික  විද්‍යාව සීමිත සම්පත් උපරිම ලෙස ආශාවන් පිනවීම සඳහා  යෙදවීමට සිදු කර ඇති යෝජනාව පිළිබඳ පුදුම විය යුතු නැහැ. නමුත් "ඔබේ ආශාවන්වල සීමාව ඔබ දන්නවා ද?" යනුවෙන් මා ඔබගෙන් ප්‍රශ්න කළ හොත් ඔබ දෙන පිළිතුර කුමක් විය හැකි ද? 95%ක් ක් ම පැවසීමට ඉඩ ඇත්තේ , "ඒ ගැන මා තව ම සිතලා වත් නැත” යන්න යි. තමන්ගේ ආශාවන්වල රිද්මය පිළිබඳ ස්වභාවය පිළිබඳ අසීමිත ආශා ජීවිත සම්පත්වලින් සපුරන්නට යැ යි පැවසුව හොත් සීමිත සම්පත් ඉක්මනින් බෙදාගැනීම සඳහාත්, තමන්ගේ කොටස වෙන් කරගැනීම සඳහාත් මේ ලෝකය එකිනෙකා යුදවදින තත්වයට පත් වීම වැළැක්විය නොහැකි යි. සීමිත සම්පත් සඳහා අද බල අරගලයක් නිර්මාණය වී තිබෙනවා.


නුතන ලෝකයේ පවතින ප්‍රධාන යුද කිහිපයෙහි අභ්‍යන්තර සාධකය වී ඇ ත්තේ මෙම සීමිත සම්පත් සඳහා වන බල අරගලය යි.  තෙල්, යපස්, ජලය, වායුව ආදි සියල්ල වේගයෙන් ක්ෂය වෙමින් පවතියි. වර්තමාන භාණ්ඩ මිල ඉහළ යෑම සඳහා ද මෙම සීමිත සම්පත්වලට තරගකාරි මිලක් හිමි වීම බලපා තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ බොරල්තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 200 බවට පත් වන විට ශ්‍රී ලංකාවේ පාන් රාත්තල රුපියල් 80 දක්වා ඉහළ දැමීමට සිදු වන බව වෙළෙඳපොළ නියෝජිතයන් පවසනවා.  එසේ නම් උද්ගත වී ඇති ප්‍රශ්නයට හේතුව කුමක් ද යන්න ඉතාමත් පැහැදිලි යි. නූතනයෙහි සෑම රාජ්‍යයක් ම පාහේ ඉහළ යන බඩු මිලට කෙටිකාලීන විසඳුම් සොයනවා මිසක දිගුකාලීන පරිහෝජන ආකල්ප පිළිබඳ දර්ශනය සකසා ගැනීම සඳහා ප්‍රමාණවත් උත්සාහයක් දරන අයුරු තවමත් දැකගත නොහැකි යි.


මිනිසුන්ට අසීමිත ආශා පවතින නමුත් ලෝකයේ පවතින්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් බව බුදුරදුන් දේශනා කළා. එබැවින් මෙම ගැටලුවට අපූර්ව යථාර්ථවාදි විසඳුමක් බුදුදහම යෝජනා  කරනවා. එනම්, සීමිත සම්පත් සඳහා අසීමිත ආශා පාලනය කරගන්නා ලෙස, හික්මවාගන්නා ලෙස, උපදෙස් දීම යි. කරණීය මෙත්ත සූත්‍රයේදී "කාමේසු විනෙය්‍යගේධං" යනුවෙන් කාම තණ්හාවට විනයක් පාලනයක් හික්මවීමක් ඇති කරගත යුතු බව

යෝජනා කර තිබෙනවා.


බුදුදහමේ 'අරපිරිමැස්ම' පිළිබඳ සඳහන් කර තිබෙනවා ද?


බෞද්ධ ආර්ථික කළමනාකරණයෙහි පවතින ප්‍රධානතම අංශයක් ලෙස ආශාවන් වෙනුවට අවශ්‍යතාව ප්‍රමුඛ කරගන්නා  ලෙස සහ එම අවශ්‍යතාවන් සපුරාගැනීමේදී මංකොල්ලකාරි ආකල්පයන්ගේ තොර වන ලෙස අපට මඟ පෙන්වනවා. එමෙන් ම අප පරිභෝජන දර්ශනය ගොඩනගා ගැනීමේදී කුල සූත්‍රයේ සඳහන් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත්.


1. වැනැසී ගිය දෑ නැවත සොයා තැබීම

2. දිරාගිය දෑ යළි පිළිසකර කිරීම

3. සීමාවකින් තොරව ආහාරපාන සඳහා වියදම් නොකිරීම

4. දුස්සීල ගැහැනියක හෝ පිරිමියකු අධිපතිත්වයෙන් නොතැබීම


යන කරුණු හතර කෙරෙහි අප ගැඹුරින් අවධානය යොමු කරතොත්, බුදුදහම අරපිරිමැස්ම කෙරෙහි කොතරම් අපව උනන්දු කර තිබේ ද? යන්න පිළිබඳ පැහැදිලි කරගත හැකි යි. නූතනයෙහි බොහෝ ඇඳුම්, පැළඳුම්, බඩු භාණ්ඩ අප භාවිතයෙන් ඉවත් කරන්නේ ඒවා පාවිච්චි කිරීමට නොහැකි තරම් විනාශ වී තිබීම යන කරුණ මත නොව, කල් ඉකුත් වූ විලාසිතාවන් බවට ඒවා පත් වීම නිසා යි.  නමුත් දිරාගිය දෑ යළි පිළිසකර කරගන්නට උපදෙස් දෙන බුදුසමය එකී නූතන දෙය බැහැර කිරීමට අදාළ දර්ශනය සපුරා ප්‍රතිෂ්ප කරනවා. වර්තමානයෙහි පවතින කැලිකසළ ප්‍රශ්නයට ද තිබෙන සම්පත් උපරිම පරිභෝජනයට ද උපදෙස් දෙන දැක්ම නිසා එහි අපුරු විසඳුමක් අන්තර්ගත ව තිබෙනවා. " සරල බඩු භාණ්ඩ ප්‍රමාණයක් නිවෙසක තිබීම, වනගත සෙනසුනක කුටියකදී දැනෙන මානසික සුවය ඔබගේ නිවෙස තුළදී ම අත්විදීමට උපකාරයක් වනු ඇති බව අපගේ අදහස යි. මේ ආකාරයට විමසා ධනය හා සම්පත් අරපිරිමැමෙන් පරිහරණය කිරීමත්, එක් නිවෙසක කිහිප දෙනෙක් නිෂ්පාදනය කාර්යයට දායක වීමත් සිදු කරන්නේ නම් ආරක්ඛ සම්පදාව තුළ නූතන ජීවන අර්බුදයට විසඳුමක් ලබාගත හැකි වේය යනු අප දරන ආකල්පය යි.