
ස්වාමීන් වහන්ස, වර්තමාන ලංකා සමාජය ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික විපර්යාසයන් රැසකට ගොදුරු ව ඇති බව පැවසෙනවා. සමාජයකට වෙනස් වීමක් අවශ්‍ය වුවත් ලංකා සමාජයේ මේ සිදු ව ඇති වෙනස් වීමත් ශුභවාදි වෙනස්වීමක් නොවන බවට විද්වත් මතය වී තිබෙනවා. මේ සියලු අදහස් පිළිබඳ ඔබ වහන්සේගේ මතය?
මේ රටේ විද්වතුන් යැයි කියාගන්නා සමාජ විද්‍යාඥයන්, ප්‍රභූන් අද කොහේ ද ඉන්නේ? ලංකාවේ, සිදු වන අතිසංවේදි අතිබිහිසුණු බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු මේ විද්වතුන් විසින් සපයන්නේ පෙරහරත් සිතින් අර ලොරියත් ගියාට පස්සෙයි. ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පසුගිය දශකයක තිස්සේ ඇති වුණු ප්‍රබල පෙළේ ගැටලුවලට තවමත් විසඳුමක් තියෙනවද? නැහැ. නිදර්ශනයක් විදිහට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය. ඒ වගේ ම, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විෂමතා, රැකියා වියුක්තිය, ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම, තරුණ අසහනය, පාතාල ලෝකය වැනි උපසංස්කෘති බිහි වීම මේවා හැමදාමත් ලංකා ජන සමාජය පීඩාවට පත් කරමින් පවතින, සුව නොවන ප්‍රශ්න. ලබන වසර කෙසේ වෙත ඊළඟ දශකය සඳහා වත් ඔය විද්වත් මණ්ඩල සැලැස්මක් හදල තියෙනවද? නැහැනේ. මේක මේ එදා වේල හොයාගන්න කරන ස්තුති ගායනාවක් විතරයි. ලංකාවේ ප්‍රශ්නවලට ලැබෙන්නේ අතීසාරයට ගොයියගෙ ඇඳුම ඇන්දුවා වගේ උත්තරනේ..
මේ ගැන තව ටිකක් විස්තර කළොත්?
මැතිවරණ කාලෙක දී නැති නම් රටේ ප්‍රශ්නයක් උද්ගත අවස්ථාවදී මේ ප්‍රභූන් යැයි කියාගන්නා පිරිස් හතු පිපෙන්නා වගේ බිහි වෙනවා. මේ අය මළවුන්ට බේත් ලියන වට්ටෝරු වෙද්දු වගෙයි. ප්‍රශ්නයක් ඇති වෙලා ගිනි අරන් අළු ටිකත් හුළගේ ගියාට පස්සෙයි නීති හදන්නේ. රටක ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඊට පිළියම් යෝජනා කරන්න යම්කිසි කෙනකුට ජීවිතාවබෝධය, සමාජ පරිඥානය, බහුශ්‍රැතභාවය ලෝකයේ තෛකාලික සංකල්ප ගැන දැනුමක් තියෙන්නට ඕනෑ. මේ කිසිවක් ගැන දැනුමක් නැති සමාජයේ හෘදය ස්පන්දනය තේරුම් ගන්න බැරි කෙනකුට විද්වතෙක් වෙන්න බැහැ. අද සැබැ විද්වතුන් ඉන්නේ අල්ප යි. බහුතරයක් වන්දිභට්ටයෝ. තමන්ගේ හැකියාව දක්ෂතා කුසලතා තමා විසින් ම අවබෝධ කරගැනීම විවතකුගේ මුලික ලක්ෂණය යි. ඒත් අද බහුතරයකට තියෙන්නේ ස්තුති ගායනා කිරීමේ හැකියාව. ඒත් හිතන්නේ "මම විද්වතෙක්" කියලා. මේ වෙනස තේරුම් ගත්තේ නැති පිරිසක් තමයි අද ඉන්නේ.
වර්තමාන සමාජය මෙවැනි තත්වයට පත් වුණේ ඇයි?
අද අපට ඉන්නවා සමාජ විද්‍යාඥයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විශාල පිරිසක්. ඒත් ලංකා සමාජයට ගැළපෙන ඇඳුම් මහන්න මේ අයට තවමත් බැරිවෙලා තියෙනවා. මිනිහගෙ හැටියටයි ඇඳුම මහන්න ඕනේ. ඒත් මේ අය හදන්නේ ඇඳුම විදිහට මිනිහ කපන්න යි. ඒ ගානට අඩු තැන් පුරවන, වැඩි තැන් කපන ක්‍රමයක් දැන් තියෙන්නේ. ජනමාධ්‍ය මගින් පෙනී සිටින තරම් මහා ප්‍රාඥයො ඇත්තටම ලංකාවේ ඉන්නවා නම්, ඇයි සමාජය මේ තරම් විනාශ වෙලා තියෙන්නේ? වසරක් පාසා ම විශ්ව විද්‍යාල උපාධිධාරීන් පිරිසක් බිහිවෙනවා. අධ්‍යාපනයට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් ඇයි අපරාධ වැඩි වෙන්නේ? නීතියේ හිදැස් තියෙනවා. එක්දහස් නවසිය පනස් ගණන්වල ඉඳලම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. තවත් පරම්පරා දහයක් ඉදිරියෙන් ඉන්න අයටත් කියන්න වෙන්නේ "සංවර්ධනය වෙමින් පවතින රටක්” කියලා. මේ මහා භද්‍ර කල්පය ම ඉවර වුණත් මේ යන විදිහට කියන්න බැහැ "අපේ රට සංවර්ධිත රටක් කියලා.
ලංකාව මේ තත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි? සැලසුම්වල වරදක් නැහැ. ඒවා ලස්සනට තියෙනවා.ඒත් වැරැදි සැලසුම් හදපු මිනිස්සු තවමත් ඉහළ පුටුවල වැජඹෙනවා. නිදහසින් පසු ලංකා සමාජය මෙහෙයවපු මිනිස්සු පුටුවට එන්න කලින් කෑගහනවා "මමයි විද්වතා” කියලා.ඒත් ඒ කේන්ද්‍රිය චරිතවල චිත්තාකර්ෂණීය ඔපයක් පමණක් තිබුණු බව පුටුවේ ඉඳ ගත්තට පස්සෙයි තේරෙන්නේ. ලංකාවෙ මේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තියෙනව. ඒත් පිළිතුරු දෙන කෙනාගේ ස්වරූපය අනුව තමයි පිළිතුරු පිළිගන්නවා ද? නැද්ද කියලා තීරණය කරන්නේ. සමාජ ප්‍රශ්නයක් විසඳනකොට පාලක පක්ෂ හෝ ඕනැම පුද්ගලයෙක් නිශ්චිත පිළිතුරක් අරගෙන ආවත් ඒක්කෙදි වැදගත් වෙන්නේ ඒ පුද්ගලයා නියෝජනය කරන දේශපාලන පක්ෂය, කුලය, බලය, තනතුරු, වංශනාම ආදිය යි. මෙන්න මේ මලකඩ මේනියාව පිරිසුදු නො කළොත් මිනිසුන් ගේ ඔළු ගෙඩි රන් බඳුන් නොකළොත් මේ යථාර්ථය නමැති සිංහ තෙල් කවදාවත් දමන්න බැරි වෙනවා ද ,
මේ මිනිස්සු එක ම වරද හැමදාමත් කරන්නේ ඇයි?
අතීතයේ හිටපු ඇතැම් නායකයෝ තමන්ගේ හතර වර්ගයට මෙලොවදී ම සුර සැප ලබා දෙන්න ජාතික සම්පත් උගසට තියල රට පාවා දුන්නා. මේ අය අද පුංචි වැරැද්දක් වත් කළේ නැහැ කියල දිවුරනවා. ඒක හරියට "චෛත්‍යය ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක් ද?” කියන ගැමි කියමන වගෙයි. මහා අපරාධ කරපු අය අද පුංචි වැරැද්දක් වත් කළේ නැහැ කියලා දිවුරනවා. " මේ වගේ වැඩක් මං කරයි ද?” අහනවා. මුං ඇටයයි, මෑ ඇටයයි අත් දෙකේ තියාගෙ මිනිහෙක් ගෑනියි දරුවොයි, වෙනුවෙන් දිවුරුවානේ. ඒ පරපුර තව ම තියෙනවා.
භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ලංකා සමාජය ගොඩනැගීමට ඔබ වහන්සේගේ දැක්ම කුමක් ද?
අපේ රටේ තියෙන්නේ වවුල් න්‍යායක්. වවුලගෙ ප්‍රතිපත්තිය තමයි ළඟ තියෙන දේ කනෙ නැතිව ඈත තියෙන පල වැල රස බලන්න උත්සාහ කිරිම. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනේ. තමන් වටා තියෙන සම්පත් පළමුව ප්‍රයෝජනයට ගැනීමේ සංකල්පය කියා දෙන්නට ඕනේ. පුංචි ළමයි සෙල්ලම් ගෙයක් හදන්න ලී ටික හයි කරගන්නත් අද රිවට් ඇණ හොයනවා. පොඩි අයට උගන්වන්න ඕන කෙහෙල් පට්ට වලින් ලී ටික ගැටගහගන්න විදිහයි. මෙතෙක් කාලයක් ලංකා ජන සමාජය සංවර්ධනය කිරීමට හඳුන්වා දුන් සංවර්ධන මාදිලි අසාර්ථක බව මේ වන විට ප්‍රත්‍යක්‍ෂ වෙලා ඉවරයි. ඒවා යල් පැන ගිය සංවර්ධනය ක්‍රමෝපායන්, නව ක්‍රමයක් සකස් විය යුතු යි.
අද කිසි ම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ නේද?
හැම දේකට ම ප්‍රමිතිකරණයක් අවශ්‍ය යි. අධ්‍යාපනයට, මාධ්‍යයට, දේශපාලනය, සෞඛයට ආදි මේ හැම දේකට ම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි. වරින් වර පාලන තන්ත්‍රයන් වෙනස් නොකොට, මුල් පුටු වෙනස් වෙනකොට ජාතික ප්‍රතිපත්තියක් වෙනස් වෙන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වීමට නම් සංස්කෘතිය, ඓතිහාසික විකාශනය, භූගෝලීය පරිසරය, සංකල්ප, ඇගැයීම් ආදි මේ හැම දෙයක් ගැන ම ගැඹුරින් අධ්‍යයනය කරලයි ජාතික ප්‍රතිපත්තියක් හදන්නට ඕනැ. විද්වතුන් කියල පිරිසක් ඉන්නේ මේ සියල්ල අධ්‍යයනය කරල, සියලු ආකල්ප මුදුන් පමුණුවාලිය හැකි ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට යි. විද්වත් සභාවක් මගින් ගවේෂණය කරල, සියවසක් ඉදිරියට ප්‍රතිපත්තියක් නිර්මාණය කළා නම් හිතාගන්නත් බැරි මහා දියුණුවක් මේ රටේ ඇති වෙනවා.
"ගස් නැති රටේ තුත්තිරි ගහත් ගසක් ලු කියල කියමනක් තියෙනවා. වැඩක් නැති ජාතික ප්‍රතිපත්ති හදනකොට වැඩක් නැති සංකල්පත් ජාතික සංකල්ප බවට පත් වෙනවා. ලෝකයේ තියෙනවා සභා තුනක්, ඒ තමයි දේව සභාව, රාජ සභාව සහ මණ්ඩුක සභාව. කරුමෙට වගේ ලංකාවෙ තියෙන මණ්ඩුක සභා. ලංකාවෙ විද්වත් පිරිස ලක්‍ෂ ගණනක් ගෙවලා තරු පහේ හෝටල්වල රැස්වෙලා කේක් කාලා, ආනමාලු කෝලිකුට්ටු ගිල දමලා, චිත්‍රපටි බලල හවසට සියල්ලෝ ම සතුටින් විසිර යනවා. අවසානයට වෙච්ච දෙයක් නැහැ.
ස්වදේශීයත්වය අගයන, දැය සංවර්ධනය කරන නව පරපුරක් වෙනුවෙන් මුලින් ම වෙනස් විය යුත්තේ කොතැන ද?
ලංකා සමාජය මෙතැනට පත් වුණේ ඇයි? ප්‍රබලම හේතුවක් තමයි, දොඩං ගෙඩියට විදපං කියල දුනු ඊතල දෙනව. හැබෑවට දොඩම් ගෙඩියක් නෑ. ඊතලය ඉතිං දොඩම් ගෙඩිය හොයන් කෝට්ටේට ගිහින් ඇනෙන්න ඕන. ඕං ඔය වගේ තමා මේ රටේ ඊළග පරපුරට දීල තියෙන ඉලක්ක. ඊළග පරපුරට යහපත් සංකල්ප හා අරමුණු ඉලක්ක උදෙසා මූලික පවුල් පරිසරයෙන් ලැබිය යුතු ආභාසය, සංවේදිතාව, ඇගැයීම නොලැබීම හෙටක් නැති අනවශ්‍ය හොටක් ඇති අංගවිකල පරපුරකට පාර විවර වී තිබීම හරිම අවාසනාවක්. අද දරුවො මහ පවුලෙන් ලැබිය යුතු මහා ජීවන පන්නරය අප මාත්‍රයකින් වත් ලබන්නේ නැහැ. ඉස්සරත් අම්මා, තාත්තා රැකියාවට ගියා. ඒත් ආච්චි සීයා දරුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දුන්න. භාෂා දැනුම, ජනප්‍රවාද, ජනකවි, ආකල්ප වර්ධනය, සොබාදහම පිළිබඳ නව සංකල්පයන් මහ පවුල තුළින් දරුවන්ට නොමිලයේ ලබා දුන්න. ඒත් අද තියෙන්නේ න්‍යෂ්ටික පවුලක්. පුංචි පවුල රත්තරන් ! ආච්චි සීයා මහලු මඩමකට ගෙනිහින් දමනවා. එහෙමත් නැති නම් අද ගෙදර හිටියත් ආච්චි සීයා අඳුනන්න බැහැ. කොණ්ඩය පෝනිටේල් ගැටගහල මොඩ් වුණු ආච්චිලා අද ඉන්නේ. සමහර ආච්චිලා ලිප්ස්ටික් නැති නම් සිල්ගන්න යන්නෙත් නැහැ. පෝය දවසෙ උදේට ගෙදර ඉන්න මිනිපිරියොත් එක්ක රණ්ඩු වෙනවා. ලිප්ස්ටික්, ක්‍යුටෙක්ස් හොයාගන්න බැරිව.
ඉතාලියෙන් හෝ ප්‍රංශයෙන් ගෙන්වපු නවගුණ මාල තමයි මේ අය දාන්නෙ. ඒ වගේ ම අද ඉන්න ආචිලා සීයලට කතාන්දරයක් කියල දෙන්න කිව්වොත් ඒ අය කතන්දර දන්නේ නැහැ. ඒ වෙනුවට 'ටයිටැනික් නැතිනම් උන්දැලාගේ නාඩගමක්’’ ගැන තමයි කියල දෙන්නේ. මේ වගේ සිංහල ජනශ්‍රැතිය පිළිබඳ අවබෝධයක් නැති ඇට්ටකුණා වෙච්චි ජ්‍යෙෂ්ඨ පුරවැසියො ටිකක් අද ඉතිරි වෙලා ඉන්නේ. මේ නිසා ඉස්සර සමාජයේ ආචිට සීයාට තිබුණු ආදරණීය හැඟීම අද නැතිවෙලා. විශේෂයෙන් මේක නාගරික සමාජයේ දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ළමයා උදේ සුරැකුම් මධ්‍යස්ථානයට ගෙනිහින් දනවා. දරුවා නැගිටින්නේ එතැන්දි. දරුවා ඇස් ඇර ලෝකය දිහා බලනකොට පෙන්නේ ලෝක උරුම මිනිස් සතෙක් සංස්කෘති විසිපහක්, තිහක් ඒ ඇගේ තියෙනවා. දරුවො හිතන්නේ, පතන්නේ, කතා කරන්නේ මේ අයගේ සිතුම් පැතුම් එක්ක. එතැනින් ඇරැඹෙන පරපුර ම ඒ වගේ සංස්කෘතිය, සදාචාරය, හැදිච්චකම කිලෝ ගණනින් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් දේවල් කියල තව වසර දහයකින් ඉන්න කොල්ලො කුරුට්ටෝ හිතයි!
Comments
Post a Comment