
ස්වාමීන් වහන්ස, අද ලෝක ඒඩ්ස් දිනය යි. කාමයෙහි වරදවා නොහැසිරීමේ සිල්පදය බිඳ දමන්නවුන්ට ලැබෙන දඬුවමක් වූ "ඒඩ්ස්” රෝගය පිළිබඳව සාකච්ඡාව අරඹමු. ඒඩ්ස් හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය අද මුළු ලෝකයට ම ප්‍රශ්නයක් වෙලා. 1981 ජූලි 05 වැනි දා පළමු ඒ රෝගියා අමෙරිකාවෙන් වාර්තා වීමත් සමඟම මුළු ලෝකයේ ම අවධානය ඒ දෙසට යොමු වුණා. එය සිදු වී දැනට වසර විසිහතක් ගත වුණත්, අද වන විට මේ රෝගය මුළු ලෝකයේ ම සෑම රටක ම පැතිර ගොස් තිබෙනවා. ඒ නිට්ටාවට ම සුව කළ හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ වෙතත් ඒ රෝගය පිළිබඳ පළ වන දත්ත මුහුදේ පාවෙන අයිස් කන්දක ජලය මතුපිටට පෙනෙන කොටසට සමාන කර තිබෙනවා. අයිස් කන්දක වැඩි ප්‍රමාණය මුහුද යට පවතිනවා වගේ, ඒඩ්ස් රෝගය පිළිබඳ සැබෑ තොරතුරු සැගවිලා පවතින්නේ.ඒ කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒඩ්ස් රෝගීන් ගණනාවක් හමු වී තිබෙනවා. ඒ නිසා මේ ලෝක ප්‍රශ්නය අද අපෙත් ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඕනෑම රටක සංවර්ධනය මනින පළමු ඒකකය වෙන්නේ නිරෝගී ශ්‍රම බළකායක් තිබීම යි.
ඒඩ්ස් රෝගය වැලඳුණු කෙනකුගේ කායික සතුට සුවය නැති වෙනවා. එවැනි පුද්ගලයකුගෙන් ආධ්‍යාත්මික යහපත බලාපොරොත්තු වෙන්න බැහැ. ලංකා සමාජයේ නහර පද්ධතිය ඕනැම වසක් විසක් මිශ්‍ර කළ හැකි මට්ටමක තවමත් තියෙනවා. ඒක මේ සමාජය හැදිල තියෙන විදිහ. එදා මිහිඳු හිමියන් ලංකාවට වැඩම කර පේතවත්ථු, විමානවත්ථු දේශනා කළාට පස්සෙ, මිනිස්සු මහා විපර්යාසයකට පත් වුණා. පේතවත්ථුවෙන් අකුසල් සහ ඵල විපාක පිළිබඳවත් අපූරුවට පෙන්වා දුන්නා. මිහිඳු හිමියන් එදා දේශනා කළ රටාවට ම එබඳු ප්‍රතිභාපූර්ණ දේශනා විලාසයක් අද ලංකා සමාජයට අවශ්‍ය වෙලා තියෙනවා.
ප්‍රෞඪ ඉතිහාසයකට සංස්කෘතියකට හිමිකම් කියන ලංකා සමාජය මෙවැනි තත්වයකට පත් වුණේ ඇයි?
මේ රෝග ආණ්ඩුවෙන් ගෙනාවෙත් නැහැ. පොලීසියෙන් දුනෙත් නැහැ. එහෙම නම් මේ දේවල් ආවේ කොහෙන්ද? ලංකා සමාජය මේ තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. ඒ තමයි මාධ්‍යයේ ස්වරූපය, අධ්‍යාපනයේ දුර්වලතා සහ නීතියේ හිදැස් පැවතීම. මේ සියල්ලේ එකතුව නිසා පසුගිය දශක තුනක පමණ කාලය සිට ම ලංකා සමාජය බටහිරකරණය වූවා නෙමෙයි, බටහිර තමන්ට ආවේශ කරගත්තා.
මේ රටේ යකෙක්, භූතයෙක් ආවේශ වුණා නම් දහඅට සන්නිය නටල හරි හොඳ කරගන්නවා. ඒත් බටහිරින් වැලඳගත් මේ යක්ෂයා මොන වන්නම නැටුවත් එළවාගන්නට බැහැ. ලංකා සමාජය මේ තත්වයට පත් වීමට ප්‍රධාන වශයෙන් ම වගකිවයුත්තේ මාධ්‍ය සංස්කෘතිය යි. පාළු ගෙදර වළං බිඳින මාධ්‍ය සංස්කෘතියක් වර්තමානයේ තියෙන්නේ. ඕන කෙනකුට ඕන දෙයක් ප්‍රචාරය කරන්න නිදහස තියෙනවා. ඒ වගේ ම ඕනැම අපරාධයක් කරලා. ලංකාවේ නීති දරුවකුට පද්ධතියෙන් රිංගලා යන්න පුළුවන් කියලත් ලෝකය ම දන්නවා දරුවකු කුතූහලය ඇති වන වයසේ ඉඳලා, ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන. පාසලේ 3-4 පන්තිවලදී පටන් ඒඩ්ස් වැලඳෙන ආකාරය, එහි ඇති භයානකකම ගැන කියා දෙන්නට ඕනැ. කුඩා වයසේදී ම පාසල් අධ්‍යාපනයට මේවා උගන්වන්න යෝජනා කළ ගමන් ම, ළමා අයිතිවාසිකම්, සදාචාරය ගැන කතා කරන්න අන්තවාදී පිරිස් ඉදිරිපත් වෙනවා. මේ අය බෝඩ් අරගෙන ලිප්ටන් වටරවුමේ පෙළපාලි යනවා. ඒ පෙළපාලි යන මිනිස්සු තමයි අර කාම වෙළෙඳපොළේ එජන්තලා.
මේ ලෝකයේ තියෙන හැම දේ ම තමන්ගේ ජීවිතයට ගන්න තරම් මිනිස්සු දුර්වල ඇයි?
පාරක නිදාගෙන ඉන්න බල්ලෙක් වාහනයක් එනවා දකිනකොට පාරෙන් ඉවත් වෙනවා. ඕන කෙනෙක් දන්නවා මේක අනතුරක්, මැරෙන්න පුළුවන් කියලා. සිදු වන විනාශය දැන දැන ම ඒක කරන්නේ මොළයක් නැති උදවිය යි. ඒ නිසා බල්ලට තියෙන අවබෝධයක්වත් අද ඇතැම් මිනිස්සුන්ට නැහැ. වර්තමාන ජන සමාජයේ පරමාදර්ශය ජනමාධ්‍ය මාධ්‍ය මගින් උගන්වන්නේ ටක් ටික් ටුක් ජීවන ක්‍රමයක්. බොහොම සරලයි. ජීවිත්තේ, මිනිහෙක් වුණාම අල්ලක් තරම් වත් ජීවිතය පිළිබඳ ගැඹුරක් තියෙන්න ඕනැ. දැන් ඉන්න මිනිස්සුන්ට ඒ තරම්වත් ගැඹුරක් නැහැ. අතීතයේදී කාන්තාවකට සූසැට අබරණින් සැරසිලා පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුව දක්වා තනිව ම ගමන් කළ හැකි වාතාවරණයක් තිබුණා. ඒත් අද ඇතැම් නිවෙස්වල ගෙදර කුස්සියේ ඉඳන් සාලෙට යනකොට අප්පට ම අහුවෙලා දුව විනාශ වෙලා ඉවරයි. දරුවකුට ගෙදර වත් සුරක්ෂිත නැති තරමට අද සමාජය පත් වෙලා. මුදල් පසුපස දුවන සමාජයක් අද තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ හොඳ ම වෙළෙඳපොළ කාම වෙළෙඳපොළයි. කාම වෙළෙඳපොළ සුදු එකැස් අශ්වයෙක් වගෙයි. උගේ එක ඇසයි පෙනෙන්නේ. අනෙක් ඇස පෙනෙන්නේ නැහැ. මහා වේගයෙන් දුවනවා. ඒ නිසා අනතුරක් අත ළඟයි. වර්තමානයේ රටේ ක්‍රියාත්මක වෙන්නේත් මේ සංකල්පයයි. එහිදී ආර්ථික වශයෙන් වේගවත් ගමනක යෙදෙනවා. ඒත් අනෙක් පැත්තෙන් වෙන විනාශය වසා දමලයි තියෙන්නේ.
අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය මගින් ලාංකේය සංස්කෘතිය විනාශය කරා ගෙන යන බව පැවසෙනවා. මෙහි සත්‍ය අසත්‍ය බව අර්ථකථනය කරන්නේ කොහොම ද?
මාධ්‍ය කියන්නෙ වින්දනයක්. එදා මාධ්‍යයේ පෙනී හිටිය. පිරිසගෙන් සිංහලකම, සදාචාරය පිළිබිඹු වුණා. අද මොක ද වෙලා තියෙන්නේ? පිට්ටු බම්බුවකට ලේන්සුවක් එතුවා වගේ ඇඳුම් ඇඳගෙන සිංහල, දෙමළ, ඉංග්‍රීසි නොවන අමුතු ම භාෂාවකින් කතා කරනවා. සිංහල සංස්කෘතිය ඝාතනය කරන, විලිබිය නැති චරිත අද මාධ්‍යයේ කුමාර-කුමාරිකාවන් වී සිටිනවා. ඇඳුමක තියෙන්නේ
සංස්කෘතික වටිනාකමක්. බටහිර කාන්තාවගේ සංස්කෘතියට අදාළයි අඩ නිරුවත. ඒත් ලංකා සමාජයේ කාන්තාවට එය ගැළපෙන්නේ නැහැ. ලාංකික කාන්තාවත් ඇසළ පෙරහරත් එක වගෙයි. මේ දෙ අංශයෙන් ම බලාපොරොත්තු වෙන්නේ සංස්කෘතියේ පෞඪත්වය සහ අභිමානය යි. එහෙම නම් සිංහල කාන්තාවක් මහමඟ යනකොට ලාංකික ප්‍රෞඪත්වය අභිමානය පැහැදිලිව පෙනෙන්න ඕනැ. ඒත් අද ඇතැම් යුවතියන් පාරේ යන්නෙත් අඩ නිරුවතින්. මේව දකින තරුණයන් කියන්නේ "පින් පෙන්වනවා” කියලා. අන්තිමට පින් පෙන්වන්න ගිහින් වැඩ වරද්දවා ගන්නවා. තරුණියො දූෂණයට ලක් වුණා කියනවා. දූෂණය කරවගෙන හිරගෙවල් පුරවනවා. මෙම හේතුව ඕනෑ ම දෙයක් කරගන්න කියලා මාධ්‍යයෙන් ආකල්ප හදනවා. ඊට පස්සෙ "ඕවා ප්‍රශ්න නෙවෙයි, සුළු දේවල්නෙ” කියන තැනට මිනිස්සු පත් කරලා තියෙනවා. පරමාදර්ශී චරිතත් අද එතැනට වැටිලා තියෙනවා.
අද මේ කාම රැල්ලට පුදුම විදිහේ ආකර්ෂණයක් තියෙනවා. මෙගා නාට්‍ය සම්ප්‍රදායෙන් පර අඹු සේවනය, පර පුරුෂ සේවනය, තරුණ පිරිස රාත්‍රී කාලයේ අශීලාචාරව හැසිරීම සාමාන්‍යකරණය කර තිබෙනවා. අද ඉන්න තරුණ පිරිස තමන්ගේ ජීවිතය දෙස බලන්නේ මෙගා සංස්කෘතියෙන්. ටෙලිනාට්‍යයේ ඉන්න නළුවා හෝ නිළිය තමයි තමන්ගේ ජීවන දෘෂ්ටියේ පරමාදර්ශය. මෙගා නාට්‍යවල තියෙන්නේ 'ටක් ටික් ටුක් ක්‍රමයේ ප්‍රශ්න විසඳීමක්. ඒ ක්‍රමයෙන් තමයි මොවුන් තම ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ ගන්නේ. ලංකා සමාජයේ හෙට වීරයා කවුද කියල තීරණය කරන්නේ අද මාධ්‍යයයි. ඒ වගේ ම අද වීරයා හෙට නැති කරන්නත් මාධ්‍යයට පුළුවන්. සදාචාරයට තැනක් නැති, විලිබිය නැති මන්දිරයේ කැණිමඬල කඩාදැමීමට කාලය එළඹිලා තියෙන්නේ. එතැනින් තමයි මනස විකෘති කළේ. භික්ෂූන් වහන්සේ වත් මේවාට විරුද්ධව කතා කරන්නේ නැහැ. යම්කිසි තරුණයෙක් හෝ තරුණියක් කාම රැල්ලට නැඹුරු වෙනවා නම් අද සමාජය ඔහු හෝ ඇය ප්‍රතික්‍ෂේප කරනවා. ඒත් කළ යුත්තේ ඔවුන්ට ආධ්‍යත්මික පුනරුත්ථාපනයක් ලබා දීම යි.
නිවැරැදි ජීවිතයක් ගත කරන බෞද්ධයෙක් කවදවත් ඒඩ්ස් රෝගයට ගොදුරු වෙන්නේ නැහැ නේද?
සෑම මනුෂ්‍යයකුම උප්පත්තියේ සිට ම සත්ව ගති ලක්‍ෂණ තියෙනවා. කුඩා දරුවෙක් තරමක් ලොකු වෙනකොට සංස්කෘතිය සහ ආගම නමැති අමෝරාවෙ දමලා හැඩතල ගසනවා. මේ නිසා ශීලාචාර විදිහට හැසිරෙනවා. බෞද්ධයකු තුන්වැනි සිල්පදය සමාදන් වීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිනවා කියලා පොරොන්දු වෙනවා. අඹු සැමියන් වශයෙන් විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා, ඒ ජීවිතය ගත කිරීමට බුදු දහම මගින් බාධාවක් නැහැ. ඒත් තම සැමියාගෙන් හෝ බිරිඳගෙන් තොරව යම් ජීවිතයක් ගත කරනවා නම්, ඒ අවස්ථාව තහනමට ලක් වෙනවා.
Comments
Post a Comment